වීරත්වයේත් දුෂ්ටත්වයේත් කතාව - The Railway Men
අප ජීවත්වෙන වෙළඳපල ධනවාදී සමාජය විස්තර කරන්න භාවිත වන ප්‍රසිද්ධ නිදසුනක්, ‘අවි ආයුධ අලෙවිය වෙනුවෙන් යුද්ධ නිර්මාණය කරන අතර ඖෂධ අලෙවිය වෙනුවෙන් ලෙඩරෝග නිර්මාණය කරනවා’ යන්න.
බොහෝ කර්මාන්ත හිමියන් අපගේ කලාපයට පැමිණීමට ප්‍රධාන හේතුවක් වන්නේ පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා ලිහිල් නීති රීතීන්ය. අපගේ කලාපය පුරාම මේ සම්බන්ධයෙන් ඇති තරම් උදාහරණ ඇති නමුත් ඉංදියාවේ බෝපාල් ඛේදවාචකය ඒ අතරින් ඛේදනීයම වන්නේ එය මානව ඉතිහාසයේ එදා මෙදා තුල සිදුවූ දරුණුම කාර්මික අනතුර වන බැවනි. අදාල කර්මාන්ත ශාලාව අසළ පිහිටි දිළිඳු පැල්පත් නිවාස කොළණියේ මිනිසුන් සියල්ල මරණය වෙත ගෙන ගිය මෙම අනතුරින් ආසන්න වශයෙන් 15,000ක පමණ පිරිසක් මරණයට පත්විය. Railway Men මෙම ඛේදවාචකයේ ස්වාභාවයත් මිනිසුන් ඊට මුහුණ දුන් අකාරයත් පිළිබිඹු කරන කෙටි රූපවාහිනී කතා මාලාවකි.
Jagmohan Kumawat බෝපාල් නගරයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. ඔහු Union Carbide India Ltd කර්මාන්ත ශාලාවෙන් ප්‍රදේශයට ඇති අනතුර පිළිබඳ සිය පුවත්පත මගින් දිගින් දිගට කරුණු අනාවරණය කරයි. නමුත් තමන් පවසන කරුණු තහවුරු කිරීමට විශ්වාසදායක සාක්ෂියක් ඔහුට මෙතෙක් හමු වී නොමැත. එම ආයතනයේ සේවය කර එහි අනාරක්ෂිත බව ප්‍රශ්න කිරීම නිසා සේවයෙන් නෙරපූ Imad Riaz නම් තරුණයෙකු සහ ආයතනයේ සේවය කරණ Rati Pandey නම් කළමණාකරුවා සමග එක්වන මෙම ප්‍රාදේශීය මාධ්‍යවේදියා, මෙම ආයතනයේ පාලනාධිකාරිය සඟවන සත්‍යය සොයමින් සිටී. අවසානයේ Jagmohan Kumawat බලධාරීන්ට සහ සමාජයට තහවුරු කිරීමට උත්සාහ කරන කාරණය ඔප්පු වන්නේ ඔහුට සහායවූ Imad Riaz හා Rati Pandey ගේ ජීවිත ඇතුළු ජීවිත 15,000කින් වන්දි ගෙවීමෙන් පසුවය. නමුත් අවසානයේ දැන දැනම සිදුවූ මිනිස් සමූහ ඝාතනයක් ලෙස ඊට කිසිදු වැරදිකරුවෙකු නොවීය.
කතා මාලාව දිගහැරෙන්නේ බෝපාල් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාත් අදාල අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටින සේවකයන් හා මගීන් වටාය. බෝපාල් නගරයේ දිවිගලවාගත් ජනතාව පිටකිරීමට ඇති එකම මාර්ගය දුම්රියයි. ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වීමට ප්‍රමාද වනවා යනු ඔවුන්ද ක්‍රමක්‍රමයෙන් මරණය වෙත ලගා වනවා යන්නය. එමෙන්ම මේ වන විට බෝපාල් දුම්රිය ස්ථානයට මගීන් පිරුණු දුම්රියක් පැමිණෙමින් තිබේ. එම දුම්රිය මෙම ප්‍රදේශයට ඇතුල්වනවා යනු එම මගීන්ද මියයාමට විශාල ඉඩක් ඇත. බෝපාල් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයන් මෙම තත්වයට මුහුණ දෙන ආකාරය මෙම කතා මාලාව පුරාම දිගහැරෙයි. අනතුරෙන් පසු අදාල ආයතනයේ හිමිකරුවන් එම අනතුරේ චෝදනාවන්ගෙන් තමන් නිදහස්වීමට මං සොයමින් සිටින අතර Iftekaar Siddiqui ඇතුළු පිරිස සිය ජීවිත අහිමි වන බව දැන දැනම අනිත් මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට කැපවෙන ආකාරය අපට දැකගත හැකි වෙයි.
උපතින් සඳුන් කැබැල්ලක් ගෙන එන්නාක් මෙන් වීරත්වය රැගෙන උපදින කිසිවෙකු නොමැත. සමාජය විසින් ඇතිකරන තත්වයන් වීරයන් බිහිකරයි. මෙහි එන Balwant Yadav නම් මංකොල්ලකරුවා පොලිස් නිලධාරියෙකුගේ වේෂයෙන් බෝපාල් දුම්රිය ස්ථානයට පැමිණේන්නේ දුම්රිය ස්ථානයේ සේප්පුවේ ඇති මුදල් මංකොල්ල කෑමටයි. නමුත් මෙම ව්‍යසනය හමුවේ ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින් එම ජනතාව බේරා ගැනීමට පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කටයුතු කරයි. තවදුරටත් කර්මාන්ත ශාලාවේ ආනෙකුත් සේවකයන් බේරාගැනීමට ගොස් මියගිය Rati Pandey ගේ ගැබිණි බිරිඳ මෙම විෂ ගෑස් වලට නිරාවරණය වීම හේතුවෙන් උපදින දරුවාද ආබාධිතයෙකු වීම ආදී සංවේදී සිදුවීම් රාශියක් මෙහි අපට හමුවෙයි.
මෙහි එක් පසකින් බහුජාතික සමාගම් තම ලාභය වෙනුවෙන් දහස් ගණනක් මිනිස් ජීවිත පවා නොතකමින් කටයුතු කරන මනුෂ්‍යත්වයට පවා පටහැනි හැසිරීම පිළිබිඹු කරන අතර තවත් පසකින් කිසිදු විශේෂත්වයක් නැති සාමාන්‍ය මිනිසුන් අර්බුදය හමුවේ වීරත්වයට පත්වෙමින් අනෙකාගේ ජීවිතය වෙනුවෙන් තම ජීවිතය පවා කැපකරන ආකාරය අපට දැකගත හැකිවෙයි.
The Railway Men රූපවාහිනී කතා මාලාවක් වුවද දිගු චිත්‍රපටයක් දින හතරකට කොටස් වශයෙන් විකාශනය කරනවා බදුය. සිනමාත්මක භාවිතාව අනුව අග්‍රගන්‍ය යැයි පැවසිය නොහැකිවුවද කිසිදු අලස බවක් නොමැතිව නොකඩවා අදාල කොටස් හතරම බලා නිමකිරීමට හැකිවන තරමට එය නිර්මාණාත්මකය. මෙය වීරකාව්‍යයක් නොවන අතරම වාර්තා චිත්‍රපටයක් හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් නොවේ. නමුත් එසේ නොවන්නේද නොවේ.
Comments
Post a Comment