අමෙරිකානු සිහිනය, බයිසන් සහ සිනහව අහිමි වීම : Butcher's Crossing




Butcher's Crossing යනු 1960 දී ජෝන් එඩ්වඩ් විලියම්ස් විසින් රචනා කරන ලද එම නමින් ම වූ නවකතාව පාදක කරගනිමින් ගේබ් පොල්ස්කි විසින්  2022 දී අධ්‍යක්ෂණය කරන ලද ආඛ්‍යාන වෘතාන්ත චිත්‍රපටයකි. Nicolas Cage, Fred Hechinger, Xander Berkeley, Jeremy Bobb සහ Paul Raci යන නළුවන් සහ Rachel Keller නිළිය ඊට රංගනයෙන් ප්‍රමුඛ ලෙස දායක වී ඇත.

මේ චිත්‍රපටයට මෙන් ම නවකතාවට පාදක වී ඇත්තේ 1860 - 1880 අතර කාලයේ බටහිර අමෙරිකාවේ සිදු වූ මහා ‘බයිසන්’ ගව ඝාතන ක්‍රියාවලිය යි. බයිසන් ගවයන්ගේ හම් ලබා ගැනීම වෙනුවෙන් සිදු වූ එම ඝාතන ක්‍රියාවලිය කෙතරම් බරපතළ වූවක් ද යත් 1860 වන විට බටහිර අමෙරිකානු ප්‍රදේශයන්හි සැරිසැරූ මිලියන 60ක් පමණ වූ බයිසන් ගව ගහනය දශක දෙකක් ගත වන විට 300කට වඩා අඩු වී තිබිණ.

එහෙත් අද වන විට උතුරු අමෙරිකාවේ එම ගවයන් 30,000ක් පමණ ජීවත් වන අතර ඒ සඳහා සහය වී ඇත්තේ ශේෂ වූ ස්වදේශික අමෙරිකානු ගෝත්‍රික කණ්ඩායම් ය. එය මෙතෙක් ලෝකයේ සිදු වූ ශ්‍රේෂ්ඨතම සංරක්ෂණ ක්‍රියාවලීන්ගෙන් එකක් ලෙස සැලකේ. 2016 දී අමෙරිකානු රජය සිය ‘ජාතික ක්ෂීරපායී සත්ත්වයා’‍ ලෙස මෙම බයිසන් ගවයා නම් කිරීමට පවා හේතු වූයේ මෙම සංරක්ෂණ ක්‍රියාදාමය යි.

මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ මොන්ටානාහි Blackfeet Nation සමාගමට අයත් ඉඩමක වන අතර එම සමාගමේ අරමුණ වන්නේ  ප්‍රතිෂ්ඨාපනය කරන ලද බයිසන් ගවයන් සිය නිජබිම්වල ම රැක බලා ගැනීම, වනජීවී වාසස්ථාන සංරක්ෂණය කිරීම, ගෝත්‍රික ආහාර ස්වෛරීත්වයට ආධාර කිරීම හා ‘මී ගවයන් ආශ්‍රිත සංස්කෘතිය’ පුනර්ජීවනය කිරීම බව පැවසේ. 

මේ චිත්‍රපටය පිළිබඳ සාකච්ඡාව එම බයිසන් ගව ඝාතනයේ ඇති ම්ලේච්ඡත්වයේ සිට බටහිර අමෙරිකාවේ ධනේශ්වර සිහිනයේ වියවුල හෙළි කිරීම දක්වා පුළුල් කිරීමට හැකිය. ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව ‘අමෙරිකානු සිහිනය‘‍ විග්‍රහ වනුයේ පහත පරිදි ය.

“‍එක්සත් ජනපදයේ සෑම පුරවැසියෙකුට ම ‘වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අධිෂ්ඨානය සහ මුලපිරීම තුළින් සාර්ථකත්වය සහ සමෘද්ධිය අත්කර ගැනීමට සමාන අවස්ථාවක් තිබිය යුතුය’ යන පරමාදර්ශය.”

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්වැසි භාවයෙන් මිදී අමෙරිකානුවන් තනා ගත් මේ පරමාදර්ශය තුළ සැබැවින් ම සිදු වූයේ කුමක් ද, යන්න නැරඹීමට වඩා ම උචිත චිත්‍රපටයක් ලෙස මෙම Butcher's Crossing චිත්‍රපටය දැක්විය හැකිය. ඩේවිඩ් ලින්ච් බඳු සිනමාකරුවකු මෙය මීටත් වඩා බරපතළ ලෙස සිදු කර ඇති බව ද ඒ සමඟ ම දැක්වීම වැදගත් ය.

මෙහි ප්‍රධාන චරිතයක් වන විල් ඇන්ඩෲස්(Fred Hechinger) අමෙරිකාවෙ බටහිර පෙදෙසට පැමිණෙනුයේ 1874 දී ය. ඒ, පරණ ලෝකයෙන් මිදී නව අරමුණක් සොයා ගැනීම, අලු‍ත් දෙයක් කිරීම ඔහුගේ අරමුණ යි. එහෙත් එම අරමුණ විල්ගේ හුදු පෞද්ගලික අපේක්ෂාවක් නො වන බව අමෙරිකානු ඉතිහාසය පිළිබඳ සාවධාන වන්නෙකුට හඳුනා ගත හැකිය. එය දේපළ වෙළෙන්දන් විසින් ද එම දේපළ වෙළෙන්දන්ගේ ලාභ අරමුණු වෙනුවෙන් කැප වූ අමෙරිකානු පාලක තන්ත්‍රය විසින් ද අමෙරිකානුවා තුළ ගොඩ නංවන ලද සිහිනයකි.

ඔවුන් පෙන්වා දුන්නේ ස්වදේශික ගෝත්‍රික ජනයාගේ ඉඩම් මිල දී ගනිමින් නව දිව්‍යමය ජීවිතයක් ගත කිරීමේ හැකියාව අමෙරිකාවේ බටහිර දෙසට සංක්‍රමණය වන්නෙකුට හිමි වන බව යි. විල්ට මිලර්(Nicolas Cage) මුණ ගැසෙනුයේ එම දියුණු වීමේ අපේක්ෂාව සහිතව උක්ත වෙළඳ දැන්වීම දිගේ පැමිණි ගමනේ දී ය.

බයිසන් ගව දඩයම පිළිබඳ බලාපොරොත්තුව මේ තරුණයා ඉදිරියේ තබනුයේ මිලර් ය. ඔහුට අවශ්‍ය වන්නේ මේ වන විට අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් වන හම් වෙළඳාම වෙත මහා පරිමාණයෙන් ඇතුළු වීමට ය. ඒ සඳහා මෙතෙක් නො කළ ගණයේ දැවැන්ත දඩයමකට ඔහු අර අඳිමින් සිටී. බයිසන් ගවයන් 10,000ක පමණ රංචුවක් වෙසෙන ප්‍රදේශයක් පිළිබඳ නිශ්චිත තොරතුරක් ඔහු සතු වන අතර එම ගමන සඳහා අවශ්‍ය මූලික වියදම ලබා දීමට විල් එකඟ වෙයි.

මිලර්, විල්, ෆ්‍රෙඩ්(Jeremy Bobb) හා චාර්ලි(Xander Berkeley) යන කණ්ඩායම දඩයම සඳහා පිටත්ව යනුයේ ඉන් අනතුරුව ය. කඳු, කාන්තාර, ගිරි දුර්ග, කැළෑ පසුකර අතිශය වෙහෙසකාරී දුෂ්කර ගමනකින් අනතුරුව මිලර් පැවසූ ‘කළු මුහුදක් මෙන් මිටියාවත වහගෙන’ සිටි බයිසන් ගව රැළ ඔවුන්ට මුණ ගැසේ.

එය ඉතා පහසු දඩයමක් වන නමුත් චිත්‍රපටයේ ක්‍රියාව සම්පූර්ණයෙන් ම පරිවර්තනය වනුයේ එම පහසු බව නිසා ම ය. නො එසේ නම් එතරම් පහසුවෙන් සිදු කළ හැකි දඩයමක් අතරමඟ නතර කර ලද දෙයින් සෑහී ආපසු ගමන් කිරීමට මිලර් අකමැති වේ. ඔහුට මුළු සේනාව ම දඩයම් කිරීමේ ආශාව ඇති වේ. මුළු මිටියාවත පුරා ම බයිසන් මළකුණු එකතු වේ.

කණ්ඩායම අතර ගැටුම් ඇති වන්නේ මේ තත්වය යටතේ ය. මිලර් මුරණ්ඩු ලෙස දඩයම අඛණ්ඩව කර ගෙන යෑම හේතුවෙන් කණ්ඩායමට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වන අතර ශීත කාලය එළඹීම හේතුවෙන් යළි පිටවීමට නො හැකිව කඳවුරෙහි සිර ගත වීමට ඔවුන්ට සිදු වේ.

මේ අතර ෆ්‍රෙඩ් විසින් චාර්ලි ඝාතනය කරනු ලැබේ. ශීත කාලය පහ වීමෙන් අනතුරුව කරත්තවල පටවා ගත නො හැකි තරමේ හම් තොගයක් පටවාගෙන යළි නගරය වෙත යන ගමනේ දී කරත්තය සමඟ ෆ්‍රෙඩ් ප්‍රපාතයකට පෙරළී යයි. කඳවුරේ ගබඩා කර පැමිණි හම් තොගය පසුව ගෙන එන අරමුණෙන් මිලර් සහ විල් නගරය වෙත පැමිණිය ද ඒ වන විට හම් වෙළඳ පොළ පාඩු ලබන තත්වයකට පත්ව ඇති බව හම් ව්‍යාපාරිකයා(මැක්ඩොනල්ඩ්) පවසයි.

එක පිට එක සිදු වූ අකරතැබ්බ හේතුවෙන් උරණ වූ මිලර් හම් ව්‍යාපාරිකයාගේ වෙළඳ සැළ ද ව්‍යාපාරිකයා ද ගිනිබත් කර පලා යයි. චිත්‍රපටය අවසන් වන්නේ විල් තනිව ම යළිත් කඳු ප්‍රාන්තය පෙදෙසට පිටත්ව යන දර්ශනයකිනි.

මෙය හුදෙක් ගව ඝාතනය පිළිබඳ කතාවක් පමණක් නො වන බව අප පැවසූයේ මේ හේතුවෙනි. මෙහි මිලර් විසින් නිරූපණය කරනුයේ අමෙරිකානු සිහිනයේ නපුරු රාක්ෂස ස්වරූපය යි. කෙසේ හෝ ධනවත් වීමේ එම සිහිනය හමුවේ සොබා දහම පමණක් නො ව මනුෂ්‍ය ජීවිතය පවා අර්ථ විරහිත තත්වයට පත් වේ. බයිසන් ගවයන් මෙන් ම ස්වදේශික අමෙරිකානු ගෝත්‍රික ජනයා ද ගොදුරු වූයේ එම සිහිනයේ දුෂ්ට ප්‍රාර්ථනාවට ය.

ඒ අර්ථයෙන් මිලර් යනු පුද්ගලයෙකු නො ව අමෙරිකානු ධනේශ්වරය විසින් පරමත්වයට නංවන ලද මනස් වියමන යි(thinking pattern). එම චින්තන විලාසය අනෙකාට පමණක් නොව තමාට ම පවා තර්ජනයක් බව ඔහුට වටහා ගත නො හැකිය. බයිසන් ගවයන්, තම කණ්ඩායමේ සාමාජිකයන් පමණක් නොව, ඔහුගේ මෙම චින්තන විලාසය හේතුවෙන් ඔහුගේ ධනවත් වීමේ සිහිනය පවා විනාශ වී යයි. ඔහුගේ සිහිනය කෙළවර වන්නේ බයිසන් දඩයක්කරුවකුගේ සිට මනුෂ්‍ය ඝාතකයකු බවට පත්ව නගරයෙන් පලා යාමට සිදු වීමෙනි.

ඒ අනුව නව අරමුණක් සොයා ගෙන බටහිර අමෙරිකාවට පැමිණි ප්‍රීතිමත් තරුණයාට මුණ ගැසුණු මිලර් යනු පුද්ගලයකු නො වන බව අප මෙහි දී යළිත් අවධාරණය කළ යුතුය. මිලර් යනු එම නව අරමුණ යි. එහෙත් එම නව ධනේශ්වර අරමුණ හේතුවෙන් මෙම තරුණයාට හිමි වන්නේ කුමක් ද ?

සැබැවින් ම ප්‍රශ්නය පවා සදොස් ය. තමන් රැගෙන ආ ඩොලර් පන්සීය පවා මෙහි දී ඔහුට අහිමි වේ. ඊටත් වඩා බරපතළ අහිමි වීම වනුයේ ඔහුට ඔහු රැගෙන ආ ‘ප්‍රීතිය’‍ අහිමි වීම යි. මෙම සිනමා කෘතියේ ගැඹුරුතම සිනමා ප්‍රකාශනය ලෙස අප දකිනුයේ එය යි.

අදාළ සිනමා පටය ආරම්භයේ සිට අවසානය දක්වා නිරූපණය වන ප්‍රධාන චරිතය ලෙස මෙම තරුණයා ප්‍රේක්ෂකයාට මුණ ගැසෙනුයේ අතිශය ප්‍රීතිමත් පෙනුමකිනි. ඔහුගේ මුහුණේ රැඳී ඇති සිනහව ඔහුගේ මුහුණේ දක්නට ලැබෙන නාසය හෝ එබඳු අවයවයක් මෙන් අනිවාර්ය අංගයක් බව ඉසියුම් ප්‍රේක්ෂකයාට වැටහිය යුතුය. එහෙත් දඩයම් කාලය තුළ දී ක්‍රමයෙන් ඔහුගේ මුහුණෙන් එම ‘සිනහව’ අතුරුදන් වෙයි.

කෘතිය අවසන් වන්නේ එම තරුණයා නැවත කඳවුරේ ගබඩා කර පැමිණි හම් රැගෙන ඒම සඳහා ආපසු පිටත්ව යන්නට ඇතැ යි හැඟෙන දර්ශනයකිනි. චිත්‍රපටය ආරම්භ වන මොහොතේ එම තරුණයාගෙ සිනා මුසු මුහුණ දුටු ප්‍රේක්ෂකයාට අවසානයේ දැක ගත හැකි වනුයේ ඔහුගේ පසුපස දර්ශනයකි. ඔහුගේ ‘සිනාව’‍ අතුරුදන් වීම කෙතරම් බරපතළ ලෙස මතු කිරීමට සිනමාකරුවාට අවශ්‍යව පැවතියේ ද, යන්න මෙම අවසන් දර්ශනයෙන් මනාව ගම්‍යමාන වේ.

බොහෝ විට මෙම ගමන ඔහුගේ සිනාව පමණක් නොව ඔහු ද අතුරුදන් වන අන්දමේ ගමනක් විය හැකිය. නැතහොත් එම පෙර සිටි තරුණයා වෙනුවට මේ දැන් පිටත්ව යනුයේ මිලර්ගේ ම අනුපිටපතක් විය හැකිය. මිලර්ගේ අනුපිටපතක් වීම යනු සිනහව පමණක් නො ව පශ්චාත්තාපය, කරුණාව, ආදරය යනාදී කිසි ම මිනිස් සංවේදනාවක් නොමැති වීම යන්න යි.

අමෙරිකානු සිහිනයේ සැබෑ යථාර්ථය ඔබට මුණ ගැසෙනු ඇත්තේ එපරිදි ය.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?