ධර්මිෂ්ට යුගයේ මතකයන් අවදි කරවන 'කොළඹ මතක'
කොළඹ සුර පුරයකි. සියලු සැප සම්පත් කොළඹට ය. විශේෂයෙන් ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයෙන් පස්සේ කොළඹ යනු සිතූ පැතූ සැප සම්පත් උපද්දවන සුරංගනා ලෝකයකි. කොළඹ ජීවත්වන්නෝ පිං කළ ඇත්තන්ය. මෙහි වසන්නන්ට ඔවුනගේ දරුවන්ට නෑ හිතමිතුරන්ට දෙවියන් දුන් තිළිණයකි. එය, පෙර කළ පිං මහිමයෙන් ඔවුන් ලද භාග්‍යයකි. කොළඹින් දුර ඈත වෙසෙන බොහෝ ජනයා කොළඹ පිළිබඳ මවා ගත් ආකල්පය එයයි. මෙහි ඇත්තක් නැතුවාමත් නොවේ. එය දේශපාලන ක්‍රමය විසින් කොළඹ කේන්ද්‍රීයව ඇති කළ තත්වයකි. නමුත් එය මතුපිට තත්වයයි. යටි තලයේ ඇති මීට හාත්පසින්ම වෙනස් තත්වය පිළිබඳ ඔවුනට අවබෝධයක් නැත.
‘කොළඹ මතක’ කුමුදු කුමාරසිංහගේ අතීත මතක සටහන් තුළින් මතු කරන්නේ මේ අනවබෝධයේ අවබෝධයයි. ‘කැබලි මතක’ ලෙස ඇය මෙය හැඳින්වූවාට මේ තුළින් මතුවන්නේ ඇයගේ අතීත මතකම නොව ඉන් ඔබ්බට ගිය, මතුකරගත හැකි, මතු කරන්නා වූ ඒ කාල පරාසයන් හි දේශපාලන, සමාජ, සංස්කෘතික සහ ආර්ථික තත්වයන්ය. බොරැල්ල, මරදාන, දෙමටගොඩ කේන්ද්‍රකොට ගෙන සමස්ත කොළඹ පිළිබඳ වූ චිත්‍රයන්ය. සංස්කෘතික විවිධත්වයත්, භෞතික මෙන්ම ආකල්පීය විවිධත්වයන්ද සහිත දෛනිකව වෙනස්වීම් සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින කොළඹ යනු සංකීර්ණ සමාජ සංස්කෘතියකි. කුමුදු විසින් සිදු කරනුයේ මේ සියල්ල පිළිබඳ වූ ඇගේ මතකයන් විවරණය කිරීමකි. 1977 ජේ.ආර්. ආරම්භ කළ විවෘත ආර්ථිකයත් සමඟ සමාජයේ පීඩිත ජනයා වෙලාගත් ඛේදවාචකයේ විවරණයක්ය. තමා වටා භ්‍රමණය වූ සමාජය තමා හරහා කියවා ගැන්මට පාඨකයා පෙලැඹවීමකි.
1977 යනු ශ්‍රී ලාංකීය සමාජය දැවැන්ත වෙනසකට භාජනය කළ සමාජය හිරි වැට්ටවූ වසරකි. ජේ.ආර්. ජයවර්ධන සහ ඔහුගේ ආණ්ඩුව විසින් ගනු ලැබූ සමාජ දේශපාලන ආර්ථික තීන්දු තීරණ ඉතා දැඩිව ලාංකීය පොළොවට, සමාජ සංස්කෘතික දේහයට, ජනතාවට බලපෑම් සහගත විය. ‘බල්ලෝ මරා හෝ සල්ලි හොයන’ පන්නයේ ආර්ථික ප්‍රතිපත්ති, සිය ප්‍රතිපත්තිය බවට පත් කරගනිමින් එය විවෘත ආර්ථිකය නමින් හඳුන්වා සමාජය වෙත මුදා හළ ජේ.ආර්. ජයවර්ධන සිය ධවල පෙලැන්තියට වඩවඩාත් මුදල් පොදි ගහ ගැනීමේ මංකොල්ලකාරී සමාජ වටාපිටාවක් ස්ථාපිත කළහ. එතෙක් මු`ඵ ගැන්වී හිටි වසල වෙළඳ පෙළැන්තියට, මංකොල්ලකාරී පාතාල මැරයන්ට ජේ. ආර්ගේ මේ ක්‍රමය ආශිර්වාදයක් විය. විවෘත ආර්ථිකයේ මජරකම වසා ඊට මතුපිටින් ධර්මිෂ්ඨ වෙස් මුහුණක් පලඳවමින් පාතාල මැරයන්ගේ රැකවරණය මැද ඇති එකාට මදි නොකියන්නටත් පීඩිතයා අන්ත පීඩාවට ලක් කරමින් වඩවඩාත් ධනය රැස් කිරීමටත් අවස්ථාව උදාකර දුනි.
“... ඒ අස්සේ එක එක රජයන් ආවා ගියා. නොයෙක් සිදුවීම් වුණා. මිනිස්සු එක එක ආණ්ඩුවලට රැවටුණා. රැවටෙමින් ජීවිතය එක්ක පොර බැදුවා. මට හිතෙන්නේ වැඩිවැඩියෙන් රැවටුණේත් දුප්පත්කම නිසාමයි කියලා.
කිසිම පිහිටක් නැති තැන මිනිස්සු හොරකම් කළා. ඒ හොරකම් කළේත් තව නොයෙකුත් දේවල් සිද්ධ වුණෙත් බඩගින්න දරාගැනීම බැරි වුණාම. තමන් වෙනුවෙන් කෙසේවෙතත් තමන් එක්ක ජීවත් වෙන අනිත් අයගේ බඩගින්න වෙනුවෙන්. ඒ කාලේ හැම ගෙදරකම කාපු බීපු විදිහ ගැන හැමෝටම අවබෝධයක් තිබුණා.”
(170 පිටුව )
පෞද්ගලිකව කතුවරිය මුහණු දුන් ආර්ථික අගහිඟකම් පොදු සමාජ ඛේදවාචකයේම කොටසක් බැව් ඇය පවසයි.
“හැත්තෑ හතේ විවෘත ආර්ථිකයත් එක්ක අපේ පැතිවල මිනිස්සුන්ගෙත් ජීවිතය සංකීර්ණ වුණා. වේගයෙන් ඒ සංකීර්ණ ජීවිතය මිනිස්සුන්ගේ හැඟීම් ගිලගත්තා. කඩපොලේ සාප්පුවේ තියෙන බඩුමූට්ටු මිනිස්සුන්ගේ සරල ජීවිතය අවුල් ජාලයක් කළා. වෙළඳපලේ තිබුණු නානාප්‍රකාර බඩුත් එක්ක මිනිස්සුන්ගේ ආසාවල් වැඩි වුණා.
අධ්‍යාපන ක්‍රමයත් සංකීර්ණ වුණා. ඉස්සර අපි කරදර වුණේ සොච්චම් පාසල් පහසුකම් ගාස්තුව ගෙවාගන්න බැරිව. ඒක සොච්චමක්. ඒත් ඒක ගෙවන්නවත් අපිට සල්ලි තිබුණේ නැහැ.
පස්සේ කාලෙක සියල්ල වේගයෙන් වෙනස් වුණා. මේ දැන් ඉපදුණු ළමයට පවා සුපිරි පාසලක් තියෙන තැනක ඒ ළඟම ගෙදරකට රෙජිස්ටර් කරන්න සල්ලි ඕන වුණා. ඒ මොකද ළමයව සුපිරිම පාසලට දාගන්න හීනය දෙමව්පියන්ට හැබෑ කරගන්න ඕනෙ නිසා. ඉතින් ඒවට හොර ඔප්පු, හොර ඩොකියුමන්ට්ස් හදන්න ඕනෙ. දරුවව සුපිරිම නර්සරියකට දාන්න ඕනෙ. දරුවට සුපර් මාකට් එකේ සුපරිම කෑම කවන්න ඕනෙ.
දරුවව ඉස්කෝලෙට බාර දුන්නු වෙලේ ඉඳල තරගේ, ටියුෂන් පන්ති තොගයක්, ස්කූල් වෑන්, ක්‍රිකට් ප්‍රැක්ටිස්, ස්විමින් ප්‍රැක්ටිස් තව නොයෙකුත් දේවල්. හැම දේම සල්ලි මත තීරණය වෙලා තිබුණා. දැන් දුප්පත්කම කියන්නේ අනෙකාට වඩා තමාගේ ගෙයි ප්‍රමාණය පුංචි වීම, අනෙකා පිටරට යනකොට තමන්ට යන්න බැරිවීම, ගේ දොර බඩු මූට්ටු අනෙක් අය පරද්දන්න ගන්න බැරි වීම, පළාතේ තියෙන ලොකුම ගේ තමන්ට ගන්න බැරි වීම, අල්ලපු ගෙදර වාහනේට වඩා තමන්ගේ වාහනේ මිළෙන් අඩුවීම, සුපිරි වාහනේකට යන්න මුදල් මදිවීම, පාරිභෝගික පිස්සුව තමයි තනිකරම.”
(170-171 පිටුව)
ධර්මිෂ්ඨ හැව සහිතව පැමිණි විවෘත ආර්ථිකය සමාජ, සංස්කෘතික, දේශපාලන දේහයන් විකෘතියට ලක් කළ අයුරු කුමුදුගේ මතකයන් ඔස්සේ විවරණයක යෙදෙන්නේ ඉහත ආකරයටයි. ගෙයක් දොරක් වෙනුවට අධි සුඛෝපභෝගී මන්දිර, යාන වාහන ඒවා අතපත් කරගැනීම වෙනුවෙන්ම දේශපාලනයේ නියැලෙන චරිත අපට සිහි ගන්වනවා පමණක් නොව, එහි අධිවේගී ගමනෙහි ආරම්භකයා ජේ.ආර්. බව කුමුදු පාඨකයාට සිහි ගන්වනවා. අධිපරිභෝජනවාදයට හුරුකරවීම, අධ්‍යාපන ක්‍රමයේ දේශපාලන මැදිහත් වීම සහ අධ්‍යාපනය සේවයක් වෙනුවට තරඟකාරී ව්‍යාපාරයක් බවට පත් කිරීමේ මංකොල්ලකාරී ආර්ථික රටාවේ ආරම්භයත් එහි ප්‍රතිඵලයක් ලෙස තරඟකාරී සමාජයක මිනිසාට හැල්මේ දිවීම හැර වෙනත් කිසිදු මඟක් නැතැයි යන මතය සමාජය වෙළාගත් ඛේදවාචකයක් බවත් කොළඹ මතක තුළින් පාඨකයා සවිඥානික කිරීමට කුමුදු උත්සාහ ගන්නවා.
පාතාලයට රැකවරණය දෙනු ලැබුවේ දේශපාලනය විසිනි. දේශපාලකයාගේ සමාජ විරෝධී හැසිරීම් අරමුණු සහ පලිගැනීම් වෙනුවෙන් පාතාල මැර කල්ලි ව්‍යාප්ත වූයේ විවෘත ආර්ථික තරඟකාරී දේශපාලන රටාවත් සමඟිනි. දේශපාලකයා වෙනුවෙන් පාතාල මැරයා කරන සේවය වෙනුවට පෙරලා දේශපාලකයා විසින් මැරයාට දුන් පහසුකම් විශාලය. නිදහසේ ගිනි අවි පරිහරණය, නිල නොනිල හමුදාවන්හි සේවය කිරීම, බලහත්කාරයෙන් ඉඩකඩම් අත්පත්කර ගැනීමේ නිදහස, සාමවිනිසුරු පදවි එවන් වරප්‍රසාදයන්ගෙන් කොටසකි. මැර පාතාලය සහ දේශපාලකයා එක්ව කළ හවුල් ව්‍යාපාරයක් ලෙස හෙරොයින් නැත්නම් කුඩු ජාවාරම ඉතා ප්‍රසිද්ධයි. නිරෝගී තරුණ ප්‍රජාව සීඝ්‍රයෙන් වෙළාගත් මේ මත් උවදුර දේශපාලන ජාවාරමක් බව කොළඹ මතක තුළින් හඟවයි.
කොළඹ මතක තුළ කුමුදු කුමාරසිංහගේ සටහන් අසංවිධිතයි. එකම අදහස එකම තොරතුර නැවත නැවතත් සටහන් කර ඇත. ඇය එය නොදැන කළා වෙන්නට ද බැරිය. කුමුදු එය ඇයගේ මෙම ලේඛනයේ ලක්ෂණයක් බවට පත් කරගත්තා වීමටද හැකිය.
අප කාටත් මතකයන් ඇත. ඒ මතකයන් ද අවදි කිරීමට කොළඹ මතක සමත් වීම අපූර්වත්වයකි. විශේෂයෙන්ම මෙහි සටහන් කර ඇති සෑම මතකයක් තුළම අවංක ස්වභාවයක් ඇත. ඇයගේ පෞද්ගලිකත්ව හෙළිදරව්වන් තුළින් සමාජ විවරණයක් කිරීමට ගත් නිර්ව්‍යාජ උත්සාහය අප අගය කළ යුතුයි.
Comments
Post a Comment