විප්ලවය පසුපස පිහියා දුසිමක්!
සියවසකට පසු ලෙනින් - ඔහුගේ කලා විචාර දෘෂ්ටිය පිළිබඳ ඉඟියක්....
1924 ජනවාරි 21 වැනිදා ව්ලැදිමීර් ඉලීච් උල්යානොව්, එනම්, ලෙනින් අභාවයට පත් විය. මේ ජනවාරි 24 වැනිදාට ඔහුගේ මරණයෙන් සියවසක් ඉකුත් වේ. ලෙනින්ගේ සමස්ත භූමිකාව පැරණි, පසුගාමී රුසියාව නූතන ලෝකයට කැඳවීමේ සමාජ පරිවර්තනයකට පණ පෙවීමේ පුරෝගාමී කාර්යය ලෙස ඇගයෙන අතර ‘රළ‘ අතිරේකය ලෙස අප මෙහි උත්සාහ කරන්නේ ලෙනින් කලාව පිළිබඳ දැක්වූ අදහස් සමාලෝචනය කරන්නටය.
1917 ඔක්තෝබර් රුසියානු විප්ලවයට පසුව, විප්ලවය නිසාම කලාවට, කලාකරුවන්ට හා රුසියානු කලාගාරවල ඇති කලා කෘතිවලට මහත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාව ඇති බවටත් විනාශයක් වෙමින් පවතින බවටත් විවේචන එවකට යුරෝපය මුල් කර ගත් ධනපති ප්‍රචාරක මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. නමුත් ඇත්ත තත්වය වූයේ පූර්ව විප්ලව රුසියාවේ කලාව හා සාහිත්‍ය ආරක්ෂා කරන්නටත් ඒ ඇසුරු කරමින් ‘අනාගත ලෝකයේ සංස්කෘතිය පෝෂණය කරන්නටත්’ රුසියානු කොමියුනිස්ට් පක්ෂය නායකත්වය දුන් බවය.
අප මෙහිදී උපුටා දක්වන්නේ සුචරිත ගම්ලත් විසින් ලියා පළ කළ ‘බොල්ෂෙවික්වාදය හා සාහිත්‍යකලා‘ කෘතියෙනි.
“විප්ලවය මෙතෙක් බන්ධන අඩස්සියේ සිරි වී'සිටි සියලුම බලවේග මුදවා හැර ඒවා සැඟවුණු පතුලෙන් මතු පිටට ගෙන එයි. ..... පුද්ගලික දේපොළ ක්‍රමය පදනම් වූ'සමාජයෙහි කලාකරුවා කලා කෘති නිපදවන්නේ වෙළඳපොළ සඳහා ය. ඔහුට ඔහුගේ භාණ්ඩ මිල දී'ගන්නන් උවමනා වෙයි. අපගේ විප්ලවය කලාකරුවන් මේ ග්‍රාම්‍ය වූ තත්වයේ ග්‍රහණයෙන් මුදවා ගත්තේ ය. තව ද එය රජය ඔවුන්ගේ ආරක්ෂකයා බවට .... පත් කළේය. සෑම කලාකරුවෙකුට මත් තමා කලාකරුවෙකැයි සිතන ඕනෑම කෙනෙකුටත් දැන් නිදහසේ කලා නිර්මාණ කරන්ටත් අන් සෑම දේ ම නො තකා තම අභිෂ්ටාර්ථය අනුගමනය කරන්ටත් අයිතිය ඇත.”
(V.I. Lenin, On Literature and Art, Progress Publishers 1967, p 49-50)
1921 ‘ප්‍රව්දා’ පුවත්පතට ලෙනින් විසින් ලියූ පොත් විචාරයකින් ඔහු කලාව සාහිත්‍ය සම්බන්ධ දරණ අදහස ගැන පිළිබිඹුවක් ඇත.
“1921 දී පැරීසියෙහි පළ කරන ලද ‘විප්ලවය පසුපස පිහියා දුසිමක්’ යන්න කෙටිකතා සංග්‍රහයකි. මෙය ලියා තිබෙන්නේ (විප්ලවය ගැන) කෝපයෙන් වියරු වැටුණු ‘ආකාඩි අවර්චෙන්කෝ’ විසිනි. ඔහු වනාහි සුදු භටයෙකි. මේ වූකලී මහත් සේ ශූර ලෙස ලියා තිබෙන පොතකි. කතුවරයාගේ දැවෙන ද්වේෂය නිසාම පොතේ ප්‍රබල තැන් මෙන්ම දුබල තැන්ද එක සේ වැදගත් ලෙස මතු වී පෙනේ. කතුවරයා තමාට කුලුපග නොවන විෂයන් ගැන කතා ලියන විට ඒවා කලාත්මක භාවයෙන් තොරය. මීට නිදසුනක් වශයෙන් ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ ගෘහ ජීවිතය නිරූපණය කරන කතාව පෙන්විය හැකිය. ද්වේශයෙන් පිරී ඇති මේ කතාවේ සත්‍යයෙහි අංශු මාත්‍රයක් වත් නැත. ගෘහ ජීවිතයද ඇතුළු තවත් නොයෙකුත් අංශ අතින් බලන විට ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ අනේක දුබලකම් තිබෙන බව මම සහතික කරමි. එහෙත් දක්ෂ ලෙස ඔවුන් විස්තර කරන්ට පුළුවන් වන්නේ ඔවුන් සැබැවින්ම කවුරුන්දැයි වටහා ගැනීමෙනි. කතුවරයා ඔවුන් කවුරුන්දැයි නොදනී.
එහෙත් පොතේ බොහෝ කතාවලට වස්තු වී'තිබෙන්නේ කතුවරයාට මැනවින් හුරු පුරුදු, ඔහු අත්දුටු, කල්පනා කළ, විඳ ඇති විෂය වේ. ධනයෙන් ආඪ්‍ය වූ, ගිජු ලෙස ගිල දමන ආහාර පානාදියෙන් සුසජ්ජිත වූ ඉඩම් හිමියන්ගේ හා ධනපතීන්ගේ පැරණි රුසියාව නියෝජනය කරන පුද්ගලයන්ගේ මනෝගතීන් හා සිතැඟි නම් කතුවරයා විස්මයජනක කුසලතාවකින් යුක්තව නිරූපණය කරයි. පැරණි පාලක පන්තීන්ගේ නියෝජිතයන්ට විප්ලවය අවශ්‍යයෙන් ම පෙනී යා යුත්තේ එසේය. අවර්චෙන්කෝගේ දැවෙන ද්වේෂය නිසා බොහෝ කතා විස්මය ජනක ජීවමාන විශද භාවයකින් යුක්ත වේ. සැබැවින් ම උත්තම ගනයෙහි ලා ගිණිය යුතු කතා ද මෙහි දක්නට ලැබේ. නිදසුනක් වශයෙන් ‘බූට් සපත්තුවලට තැළුණු තණ කොළ’ යන කතාව දැක්විය හැකිය. මෙහි නිරූපණය වන්නේ සිවිල් යුද්ධය මධ්‍යයේ ජීවත් වූත් තවමත් ජීවත් වන්නා වූත් දරු දැරියන්ගේ මානසික තත්වයයි.
එහෙත් කතුවරයා සැබෑ ගැඹුරු හැඟීම් පළ කරන්නේ බොජුන් ගැන කතා කරන විට ය. යට ගිය දවස රුසියාවේ ධනවතුන් කෑ බී සැටි විස්තර කරන විට ය. ඔවුන් ශාන්ත පීටර්ස්බර්ග් නුවර දී රූබල් දාහතර හමාර, පනහ යනාදි වශයෙන් ගෙවා හදිසි බොජුන් වැළඳූ සැටි කියන විට ය. ඔහු මේ සියල්ල විෂයාක්ත බසින් අභිරුචියෙන් වර්ණනා කරයි. ඔහු මේවා මැනවින් දනී. අත්දැකීමෙන්ම පසක් කොට ගෙන ඇත. මෙහි ලා ඔහු අතින් වරදක් සිදු වී'නැත. මේ විෂය පිළිබඳ ඔහුගේ දැනීමත් නිර්ව්‍යාජත්ය්වයත් සුවිශේෂ ය.
‘ගරා වැටුණු නටබුන්’ යන අවසාන කතාවෙහි ඔහු ක්‍රිමියාවේ සිවස්ටපල් නුවර ධනාඪ්‍ය ව ත්‍යාගශීලිව ප්‍රභූන්ට සම්බන්ධ ව සිටි, එනමුදු ‘දැන් දවස් කුලියට කාලතුවක්කු ගබඩාවේ වෙඩි උණ්ඩ බෑමේ හා තේරීමේ නිරතව සිටින’ හිටපු සෙනෙට් සභිකයකු ගැන විස්තර කරයි. එහි ම ‘විශාල වානේ කර්මාන්ත ශාලාවක’ හිටපු අධ්‍යක්ෂවරයකු ගැන විස්තරයක් දක්නට ලැබේ.
“එම කම්හල වයිබර්ග් දිස්ත්‍රික්කයේ විහාලතම කම්හල ලෙස සැලකිණ. දැනට ඔහු කොමිස් ගෙන පරණ බඩු විකුණා දෙන සාප්පුවක වෙළඳාමේ නියුක්ත ය. ළඟක සිට ඔහු කොමිස් පිට විකිණීම සඳහා මිනිසුන් ගෙන එන ස්ත්‍රීන්ගේ පාවිච්චි කළ කබාවලට හා විල්ලුද සෙල්ලම් වලසුන්ට මිල නියම කිරීමෙහි ලා එක්තරා පුහුණුවක් ලැබ සිටී.
මේ හනමිටිකාර කතා නායකයන් දෙදෙනා අතීතයත්, ශාන්ත පීටර්ස්බර්ග් නුවර සැඳෑ හිරු රැසත්, වීදි හා නාට්‍ය ශාලාත්, ‘මෙඩ්වෙඩ්’, ‘වියන්නා’, ‘මේරි යාරොස්ලොවෙට්ස්’ යනාදී බොජුන් හල්වල වැළඳූ රස මියුරුත් සිහි කරති. ඔවුන්ගේ ස්මෘති දාමය කැඩෙන්නේ පහත දැක්වෙන අඳෝනාවෙනි. “අපට මෙහෙම සිද්ද වෙන්න අපි කළ වරද මොකක්ද? අපි කාගෙ වැඩට ද ඇඟිලි ගැහුවෙ? .... ඒ ගොල්ල රුසියාවට මෙහෙම සැලකුවේ ඇයි?”
අකාඩි අවර්චෙන්කෝට ඒවා සිදු වූයේ ඇයි දැයි තේරුම් ගන්ට බැරිය. කම්කරුවන්ට හා ගොවීන්ට එය පහසුවෙන්ම තේරෙන බවත් ඔවුන්ට ඒ ගැන තවත් පැහැදිලි කිරීම් අනවශ්‍ය බවත් පෙනේ.
මාගේ අදහසේ හැටියට මේ ඇතැම් කතා යළිත් මුද්‍රණය කිරීමට වටී. කුසලතාව දිරි ගැන්විය යුතුය.”
Comments
Post a Comment