දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )


2019 ජූලි මාසයේ දවසක් (2022)



රාජිත දිසානායක “සිංහල වේදිකා නාට්‍ය කලාව” තුළ අඛණ්ඩ කලාත්මක, දේශපාලන අරගලයක යෙදී සිටින නාට්‍යකරුවෙකි. යොවුන් නාට්‍ය කරුවෙකු ලෙස ‘සක්වාදාවල’, ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද?’ යන සිය මුල්කාලින නිර්මාණ ත්‍රිත්වයෙන් අනතුරුව, ‘වීරයා මැරිලා’ වේදිකා නාට්‍ය හරහා, වෘත්තීය පරිණතභාවයක් සහිත නාට්‍යකරුවෙකු ලෙස ඔහු සිදු  කළ නාට්‍ය නිර්මාණ ප්‍රමාණය 13කට ආසන්න වනවා මෙන්ම කලාත්මක කාර්ය අතින්ද බරපතළය. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලෙදී අපට නැරඹීමට හැකි වූ ඔහුගේ ‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍යද, ඔහුගේ සෑම නිර්මාණයක් මෙන්ම, අප ජීවත්වන සමාජය  කෙරෙහි සිදු කළ බරපතළ කාලාත්ම මැදිහත්වීමකි. එහෙයින් මෙවර රළ කලාපය තුළ ඒ පිළිබඳ සාකච්ඡාවක් සිදු කිරීමට අප තීරණය කළා. 

‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය ආරම්භ වනුයේ, පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු වූ ධනුෂ්ක, කලක් විදේශ ගතව සිටි සිය ඉපරණි පාසල් පෙම්වතියක වූ දිනූෂි මුණ ගැසීමෙනි. දෙදෙනාගේම මිතුරෙකු වූ සුරවීරට අයත් මහල් නිවාසයේදී යොදාගත් හමුවීම අතර මැද, ධනුෂ්කට හදිසියේ ආපසු නිවස කරා යාමට සිදුවනුයේ, එම මහල් නිවාස සංකීර්ණයට 'මරාගෙන මැරෙන බෝම්බකාරියක' ඇතුළු වී ඇතැයි යන ආරංචියෙනි. 

“දිනුෂී - ඇයි මම අද හම්බවෙන්න ඕන කියලා කිව්වේ, කියලා ඔයා දන්නවාද?

ධනුෂ්ක - අනේ දිනු, අපි ඒ ගැන කතා කරමු, මං ඉක්මණට දුවලා එන්නම්, නැත්නම් බෝම්බේ පිපිරුණාට වැඩිය විනාශයක්.”

පෙනුමෙන් සුහද හමුවක්සේ පෙණුනද, ඊට වඩා අතිරික්ත, ලුබ්ධිමය යමක් වූ එම හමුව, සිය බිරිඳ ඉදිරියේ වසන් කිරීමට ධනුෂ්ක දරන උත්සාහය තුළ නූතන මධ්‍යම පාන්තිකයාගේ කුහක ද්විත්ව චිත්ත ස්වභාවය සහ ඒ මත  ක්‍රියාත්මක වන මර්දනකාරී රාජ්‍ය උපකරණයන්ගේ අන්‍යෝන්‍ය සහපැවැත්ම පිළිබඳ ගැඹුරු විග්‍රහයක් කිරීමට නාට්‍යකරුවා සමත් වේ. 

රාජිත සිය කෘතිය තුළ ඍජුව නොපැවසුවද, මෙය පාස්කු ප්‍රහාරය ආශ්‍රිත ලංකාවේ සමාජ වාතාවරණය පාදක කර ගන්නා බව ප්‍රේක්ෂකයාට වැටහෙයි. ඒ හරහා රාජ්‍යයේ ඍජු සන්නද්ධ මර්දනකාරී භාවිතය මෙන්ම එහි දෘෂ්ටිවාදී මැදිහත්වීමද, දෘෂ්ටිවාදය භෞතික බලවේගයක් සේ සංවිධානය කර, සංවිධානය වී ඇති ආකාරයද නාට්‍ය කරුවා අපට පෙන්වා දෙයි. ධනුෂ්ක ආපසු සිය නිවසට යාමෙන් අනතුරුව ඔහුගේ අසල් වැසියා වූ මනෝජ් සමග ධනුෂ්කගේ නිවසට පැමිණෙන ‘මතඟවීර’ ගේ චරිතය තුළින් රාජ්‍යයේ මේ දෘෂ්ටිවාදී සහායක බලඇණිය නිරුපණය වෙයි. 

“මනෝජ් - උඹට හම්බවෙලා නැද්ද? මේ මිස්ටර් මතඟවීර, අපේ එපාර්ට්මන් එකට ඉස්සරහා එක, ඒකත් වීරේලාගේ. 

ධනුෂ්ක - ආ, ඇත්තද? 

මනෝජ් - වීරේලා මෙහෙ නෙවෙයි, ඔස්ටේ්‍රලියාවේ 

ධනුෂ්ක - ආ.... හරි ......හරි....

මතඟවීර - ජාතියක් විදිහට අපි මුහුණදීලා ඉන්න තත්වය ඇත්තටම හරිම ලේ කකියනවා. ඇට මිදුළු රිදෙනවා, සිංහයෝ වගේ හිටිය ජාතියක්, සිංහයන්ගෙන් පැවැත එන ජාතියකට අද වෙලා තියෙන්නේ මොකක්ද? 

ධනුෂ්ක - සිංහයෙක්ගෙන් පැවැත එන කතාවත් මාර වැඩක් තමයි නේද?

මතඟවීර - මොකක්ද මාර වැඩේ ?

ධනුෂ්ක - ඒක නිකං හරි අමුතු මාර එකක් නෙවෙයිද?

මතඟවීර - අපි අමුතු මාර ජාතියක් විදිහට ලෝකයෙන්ම විශේෂ වෙන්නෙත් ඔය හින්දාම තමයි. 

ධනුෂ්ක - ඕස්ටේ්‍රලියාවේ, ඒ ගොල්ලෝ කැංගරුවන්ගෙන්ද? කාගෙන්ද ඒ ගොල්ලෝ .................

අපේ ඔය සිංහයාගේ ගල්ගුහාව, පොළොන්නරුවෙද? අනුරාධපුර පැත්තෙද? කොහෙද ඒක?”

නාට්‍යකරුවා අපට පවසනුයේ,  ඇත්තෙන්ම ජාතිකවාදී කතිකාව ඉදිරියට යනුයේ තාර්කික චින්තනයෙන් නොවන බවයි. එය හුදු දෘෂ්ටිවාදී බලහත්කාරයකින් පමණක්ම ඉදිරියට යනවාමද නොව, අපගේම (පීඩිතයාගේම) අනුමැතියක්ද සහිතව ඉදිරියට යන බවයි. මේ අනුමැතියේ මුලය පවතිනුයේ නව ලිබරල්වාදයෙන් ඔද්දල් වූ, පීඩිතයාගේම වරද සහගත හෘද සාක්ෂිය තුළ බවය. නාට්‍යකරුවා අපට යෝජනා කරනුයේ.  මේ වරද සහගත හෘද සාක්ෂිය, ආසියාතික පසුගාමීත්වයකින් හා නව ලිබරල් පෙළඹුම් කාරිත්වයකින් දෙකඩ වු හෘද සාක්ෂියකින් උපදින්නක් බවයි. 

බෝම්බ තර්ජනයක් පිළිබඳ ආරංචියෙන් පසු ආපසු නිවස කරා යන ධනුෂ්කට, මහල් නිවාස සංකිර්ණයේ වාසය කරන්නන්ගේ අනියත බියට හේතු වූ හිස වසාගත් තරුණිය,  බෝම්බකාරියක නොව, සුරවීරගේ නිවසේදී තමා හමුවූ ස්වකීය පැරණි පෙම්වතිය බව පවැසීමට ධනුෂ්කට නොහැකි වනුයේ මේ දෙබිඩි හෘද සාක්ෂිය හේතුවෙනි, කුහක ලිංගික සධාචාරය හේතුවෙනි. රාජ්‍යය සිය මර්දනකාරිත්වය දිගේලි කරනුයේ පීඩිතයාගේම, පුරවැසියාගේම මේ ‘ආසයි - බයයි’ මනෝභාවය මතිනි. 

සන්නද්ධ හමුදාවන්ගෙන්, සහායක පුරවැසි ඔත්තු සේවාවන්ගෙන් විධිමත් ලෙස සැලසුම් සහගත රාජ්‍ය, පුරවැසියන්ගේ මෙම ක්ෂුද්‍ර මනෝභාවී අතපසුවීම්, සිය යාවත්කාලීනභාවය සඳහා යොදා ගැනීමෙන්, යළි අලුත් වටයකින් සිය අත්තනෝමතික බලය පුනස්ථානය කර ගනී. 

බෝම්බ ප්‍රහාරය පිළිබඳව ආරංචිය ලද ධනුෂ්ක, සිය බිරිඳ සන්සුන් කිරීමට අපසු නිවසට යන අතර මහල් නිවාසයේ තනි වූ දිනුෂි බෝම්බකාරියකයැයි සිතා හමුදාව විසින් වටලනු ලැබේ. ධනුෂ්ක සමග සිදුවූ ඇගේ හමුව වසන් කරනු වස්,  වතුර බටයක් දිගේ පහළට බැස සැඟවී පළා යාමට ගන්නා උත්සාහයේදී, වතුර බටයත් සමග බිම ඇද වැටී ඇය මිය යයි. ධනුෂ්කට දීනුෂී හමුවීම සඳහා නවාතැන ලබාදුන් සූරවීර අත්අඩංගුවට ගැනීමෙන් ධනුෂ්කව හෙළිදරව් වේ. රාජ්‍යයේ දෘෂ්ටිවාදී සහායක බල ඇණියේ නියෝජිතයා වූ මතඟවීරගේ මැදිහත්වීමෙන්, සිදුවීමෙන් ධනුෂ්ක ගලවා ගනු ලැබේ. ඊට හිලව් වශයෙන් ධනුෂ්කට මතඟවීරගේ වතුර විකීණීමේ ව්‍යාපෘතියට එරෙහි සටන අතහැර දැමීමට සිදුවේ. 

“මනෝජ් - වීරෙට ඉතින් හැම තැනම කනෙක්ෂන් තියෙන හන්දා ඕනෑම වැඩකට එක කෝල් එකයි දෙන්න ඕන. 

මතඟවීර - අපේ අයව ආරක්ෂා කරන එක අපේ වගකීමක්.” 

අනතුරුව අපට වේදිකාවේ පෙනෙන රූපය නම්, වතුර වීදුරුවක් රැගෙන එන ධනුෂ්ක එය මතඟවීරට පිළිගන්වන දර්ශනයයි. මතඟවීරලාගේ නව ලිබරල් - ජාතිකවාදය සමග එක පෙළට සිට ගැනීමට සිදුවන තැනට ධනුෂ්ක අසරණ වනුයේ ආසියාතික - නව ලිබරල් සදාචාරය ඉදිරියේ, ඊට අභිමුඛව දෙපයින් නැගි සිටීමට ඔහු දක්වන අසමත්භාවය විසිනි. එනම් මහල් නිවාසය තුළදී සිය පැරණි පෙම්වතියක වූ දිනුෂි හමු වු බව සිය වර්තමාන භාර්යාව ඉදිරියේ පිළි ගැනීමට ධනුෂ්ක දක්වන අසමත්භාවය විසිනි. එහෙයින් කෘතිය අපේ කාලයේ සමාජීය මිනිසාගේ වාස්තවික ගැටලුව පමණක් නොව ආත්මීය ගැටලුවද එක විට විචාරයට හසුකර ගනියි. මේ සමුදයාර්ථ තම පෙළ රචනයට හසුකර ගැනීමට, ස්වකිය නළුනිලියන්ගේ රංගනය හරහා එය මතුකර ගැනීමට, පිටපත් රචකයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජිත දිසානායක දක්වන සුහුරුභාවය විශිෂ්ටය.

නාට්‍ය අවසානයේ, එතෙක් ඍජු අවංක පුද්ගයෙකු වූ ධනුෂ්ක, ජාතිවාදී මතගවීරලා සමග එක පෙළට හිට ගනුයේ, දිනුෂී සමග මහල් නිවාසයේ සිදුවූ හමුව සිය බිරිඳගෙන් වසන් කිරීමටය. 

“ධනුෂ්ක - මිස්ටර් මතඟවීර තේ එකක් බොනවාද? නැත්නම්....

මතඟවීර - මට වීරේ කියන්න. 

ධනුෂ්ක - වීරේ මොනවාද බොන්නේ?

මතඟවීර - වතුර එකක් බොමු.”

නාට්‍යයේ කලින් අවස්ථාවක ජාතිවාදී කතා ඇදබෑම මත මතඟවීරව නිවසින් එලවා දැමීමට තරම් නිර්භීත වු ධනුෂ්ක, පසුව මතඟවීර සමග ‘එකට සිට ගැනීම’ පසුපස ඇත්තේ මහල් නිවාසය තුළ දී සිදු වූ දිනුෂී සමග හමුව පිළිගැනීමට ධනුෂ්කට ඇති නොහැකියාවයි. ඊට හේතුව එම හමුවීම තුළදී අශ්ලීල බාලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් ධනුෂ්කගේ සිත තුළ පැවතීමද? නාට්‍යයෙන් මතු කෙරෙන බොහෝ තේමාවන් අතර, ගැඹුරෙහිම ඇත්තේ මෙම තේමාත්මක මානයයි. එනම් රාජ්‍යයේ දෘෂ්ටිවාදය හා එහි දෘෂ්ටිවාදාත්මක උපකරණ ක්‍රියාත්මක වනුයේ අපගේම අශ්ලීල ආශාව සහ එයින්ම උපන් වරද සහගත හෘද සාක්ෂිය මත බවයි. 

කෙසේ වෙතත් රාජිත දිසානායකගේ  ‘ජූලි මාසයේ දවසක්’ නාට්‍යයෙන් භෞතික බලයක් සේ සංවිධානය වූ, රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ  මිනිසාගේ නළල මත නොවෙනස් ඉරනමක් සේ කොටා ඇති ආකාරයත්,  කේවල මිනිසාට දැනුවත්ව, එක අගලක්වත් ඉන් එහා මෙහා විය නොහැකි සේ එම භෞතික බලය සංවිධානය වී ඇති ආකාරයත් මැනවින් පෙන්වා දෙයි. නාට්‍යයේ චරිත මේ ‘ඉරණම්කාරී යථාර්ථයේ’ ගොදුරු බවට පත්වනුයේ, මිනිසාට පරිකල්පනය කළ නොහැකි අත්භූත හේතුවක් නිසා නොව, එම චරිතයන්ගේම දෘෂ්ටිවාදී හා ලුබ්දිමය ඇවැතුම් පැවැතුම් නිසාය. මේ අනුව ඒකාධිපති රෙජීමයන්, අප මත සිය ආධිපත්‍ය පතුරවනුයේ හුදු බලහත්කාරය මගින්ම පමණක් නොව, අපගේම නිහඩ අනුමැතියෙන් බව නාට්‍ය අපට පෙන්වාදෙයි. මේ නිහඬ අනුමැතියේ මූලාශ්‍රය, නව ලිබරල්වාදයෙන් ඔද්දල් වු අපගේ වරද සහගත හෘද සාක්ෂිය තුළ ඇතිබව පෙන්වාදෙන නාට්‍ය කරුවා, එම වරද සහගත හෘද සාක්ෂියද අපගේම කුහක සහ දෙබිඩි දින චරියාව තුළම වන අඩංගුවක් බව පෙන්වාදෙයි. එමෙන්ම භෞතික බලයක් සේ සංවිධානය කළ, සංවිධානය වුණු දෘෂ්ටිවාදයේ ශක්තියද නිවැරදි ලෙස තත්සේරු කිරීමක් සිදුකරයි. මේ සාර්ථක කලාත්මක, දේශපාලන ප්‍රයත්නය පිළිබඳ අප රාජිත දිසානායක නාට්‍යකරුවාට සුබ පතමු. 

රාජිත දිසානායකගේ නාට්‍යාවලිය

තවත් තුන්දෙනෙක් (1988)

සක්වාදාවළ (1995)

හංසයින්ටත් මං ආසයි (1996)

මට වෙඩි තියන්නැද්ද (1999)

වීරයා මැරිලා (2002)

සිහින හොරු අරන් (2005)

ආපහු හැරෙන්න බෑ (2009)

සිරිවර්ධන පවුල (2010)

බකමූණා වීදි බසී (2011)

නැතුවම බැරි මිනිහෙක් (2017)

ආදර වස්තුව (2018)

හිතල ගත්තු තීරණයක් (2019)

2019 ජූලි මාසයේ දවසක් (2022)

වීරයා මැරිලා (2002)

 

සිහින හොරු අරන් (2005)

 

 බකමූණා වීදි බසී (2011)

 

 නැතුවම බැරි මිනිහෙක් (2017)

ආදර වස්තුව (2018)

හිතල ගත්තු තීරණයක් (2019)


 

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

පසු නූතන තිත්ත කරුවල මැද, නූතන කෙටිකතාකරුවාගේ ලෙන් දොර බිඳීම