Song Zone - අඳුරු කුටිය තුළ

 


ගායනය : ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර ඇතුළු පිරිස

පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

තනුව හා සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

අපි මේ පාර කතා කරන්න තෝර ගත්තෙ පරණ සින්දුවක්. මේ සින්දුව ලංකාවෙ වාමාංශික දේශපාලන වේදිකාවල පවා පට්ට ගහන මැයි දින වේදිකාවෙත් සද්දෙට දාන සෑහෙන ප්‍රගතිශීලී සින්දුවක් විදියට සම්භාවනාවට පාත්‍ර වෙච්ච එකක් බව ඔබ දන්නවා. 

ඒ වුණාට මේ සින්දුව ඇතුළෙ ගැබ් වෙලා තියෙන අන්තර්ගතයට අදාළ දාර්ශනික සංවාදය නිවැරදිව ග්‍රහණය කර ගන්න කෙනෙකුට නම් මේ සිංදුව එක්ක වැඩි දුරක් ගමන් කරන්න වෙන්නෙ නෑ. ඒක තේරුම් ගන්න නම් ලෝකෙ රොමෑන්තිකවාදය නිර්මාණය වෙන්න පෙර යුරෝපීය සමාජයේ ක්‍රිස්තියානිය ලෞකිකරණය වීමේ ඉතිහාස කතාව දැන ගෙන ඉන්න එක වටිනවා. 

ක්‍රි.ව. 16 වන සියවසෙන් පස්සෙ යුරෝපීය සමාජය ඇතුළෙ සිද්ධ වෙච්ච දේශපාලන, සමාජ, ආර්ථික පරිවර්තනයන් එක්ක තවදුරටත් ක්‍රිස්තියානියෙ ප්‍රභූත්ව ලක්ෂණ දෙදරුම් කන්නට වුණා. පුනරුදය, බුද්ධි ප්‍රබෝධය, කාර්මික විප්ලවය ආදිය මඟින් පැරණි ක්‍රිස්තියානියෙ ඉගැන්වීම් ඒ විදියට ම ඉස්සරහට අරගෙන යන එක සෑහෙන අමාරු වුණා. දෙවියන් ගැන පවා තිබුණු විශ්වාස පද්ධතිය බරපතළ සංශෝධනයන්ට ලක් වෙන්න මේක හේතු වුණා. 

විශේෂයෙන් ම යුරෝපයේ අලු‍තින් බිහි වෙච්ච වාණිජ ධනේශ්වර පන්තියට තමන්ගෙ වෙළඳ උවමනාවන්ට ගැළපෙන විදියෙ නව ක්‍රිස්තියානියක් අවශ්‍ය වුණා. දෙවියන් සහ ජේසු සාමාන්‍යකරණය කිරීමේ ව්‍යාපෘතිය බිහි වෙන්නෙ මෙන්න මේ උවමනාව තෘප්ත කරන්න තමයි. 

සරල භාෂාවෙන් කියනව නම් එයින් කියවුණේ තවදුරටත් දෙවියන් වැඩ වාසය කරන්නෙ සමෘද්ධිමත් කුසීත මන්දිරවල නෙවෙයි දිළිඳු පැල්පත්වලයි වහල් වැඩබිම්වල යි බව යි; කවදා හෝ දෙවියන් මුණ ගැසිය හැක්කේ එබඳු වැඩබිම්වල කඳවුරුවල වෙසෙන්නන්ට පමණක් බව යි. ෆ්‍රැන්සිස් නිකාය කියන්නෙ මෙන්න මේ දෘෂ්ටිවාදය නියෝජනය කරපු ප්‍රධානතම ගුරුකුලය. ඒ වෙළෙන්දන්ගේ ම නැව්වල නැඟලා මේ නව ක්‍රිස්තියානි අදහස ලෝකය පුරා ගෙනියන්න මැදිහත් වෙච්ච මේ වගේ නිකායවල් ගණනාවක් ම ඒ කාලෙ තිබුණා. 

දැන්, මේ සාකච්ඡාව ඔලු‍වෙ තියාගෙන මේ පිටුවෙ මුද්‍රණය වෙලා තියෙන සින්දුවෙ පද රචනය කියවන්න. මොනවද ඔබට පේන්නෙ? හරි නම් ඔබට පෙනෙන්න ඕන ඊනියා විමුක්ති ක්‍රිස්තියානියේ අර්බුදය; විමුක්තියේ නාමයෙන් මේ දෘෂ්ටිවාදයෙන් සැඟවී යන්නෙ වහලාගෙ වහල් භාවය බව. 

වහලා තුළ ම තමා ගැන අභිමානයක් ඇති කිරීම මෙහි ඇති බරපතළ ම දේශපාලන අනතුර යි. මේ මතවාදයට අනුව ධනපතියා කියන්නෙ පීඩිතයාගෙ අනුකම්පාවට බඳුන් විය යුත්තෙක්. මොකද, එයාට කවදාවත් දෙවියන් එක්ක, එක් වෙන්න සිද්ධ වෙන්නෙ නෑ. එහෙම එක් වෙන්න පුළුවන් පීඩිතයාට විතර යි. ස්වාමි - වහල් සම්බන්ධය ඇතුළෙ වහලාට ස්වාමි මානසිකත්වයකින් කටයුතු කරන්න ඉඩ හදල දෙන එක, ක්‍රමය ඉතා ම පහසුවෙන් පවත්වගෙන ලබා දෙන්නෙ පුදුමාකාර සහයෝගයක්. “වඩා ම කුරිරු වහල් වෙළෙන්දා කියන්නෙ වහලු‍න්ට කරුණාවන්ත ම වහල් වෙළෙන්දට” කියන එකේ තේරුම හරියට ම වටහා ගන්න උඩ අපි මතු කරපු සංවාදය සෑහෙන්න වැදගත්. 

මෙන්න මේ වහලා තුළ ඇති කෙරෙන දෘෂ්ටිවාදය හොඳින් ම දැක ගන්න පුළුවන් නාට්‍ය නිෂ්පාදනයක් තමයි Uncle Tom's Cabin කියලා කියන්නෙ. අන්කල් ටොම් හිතන්නෙ තමාට තරම් සාමයක් තම හාම්පුතාට නොමැති බව යි. කවදා දෝ දෙවියන් හා එක් වීමට හැක්කේ තමාට මිස තම හාම්පුතාට නො වන බව ඔහු විශ්වාස කරනවා. මේ නිසා සමස්තයක් විදියට අන්කල් ටොම්ලා තමන්ට හිමි වෙලා තියෙන ඒ සීමිත ඉඩකඩ ඇතුළෙ සාමකාමීව ජීවත් වීමට පහසුවෙන් හිත හදා ගන්නවා. 

ඔය වගේ ම අදහසක් තමයි “පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නෑ මහ මන්දිරේ” කියන සින්දුවෙත් තියෙන්නෙ. මහ මන්දිරවල එහෙම සාමයක් නෑ කියලා හිත හිත අපිව පැල්පත්වල ම කොටු කරන අදහස කොච්චර භයානක ද, කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. 

මේ නිසා “අඳුරු කුටිය තුළ” සින්දුවෙ පදයක් පදයක් පාසා ලියවිලා තියෙන්නෙ සූරා කෑමේ ක්‍රියාවලියට පක්ෂපාත දෘෂ්ටියකින්. පද රචකයා අතින් මේක සිද්ධ වෙන්නෙ දැනුවත්ව නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි අපි දැන ගන්න ඕන දෘෂ්ටිවාද ක්‍රියාත්මක වෙන්නෙ එහෙම තමයි කියලා. “වෙහෙසෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි, මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි” කියන ප්‍රකාශය පල්ලිවල ලොකු අකුරින් ලියවෙන්නෙ නිකං නෙවෙයි කියලා හිතන්න බැරි නම් එහෙම කෙනෙක් කලාකාරයෙක් වෙන්න ඕන නෑ. 

කේමදාස සංගීතෙ ඇතුළෙ මොන වික්‍රම පෑවත් මේ සින්දුවෙ පදවලින් කියවෙන ප්‍රතිගාමී දෘෂ්ටිවාදය පරාජය කරන්න ඒ මියුසික් එකටවත් හැකි වෙලා නෑ. ඒ නිසා මේ සින්දුවෙ ම ලියවිලා තියෙන එක පද පෙළක් දිහා අමුතුවෙන් බලන්න අපි යෝජනා කරනවා. 

“බලන් කඩතුරා හැර දෑසේ...” 

වියුක්තව ගත්තම මේක එකඟ වෙන්න පුළුවන් යෝජනාවක් වුණාට මේ සින්දුවෙ තියෙන සන්දර්භය ඇතුළෙ නැවත කඩතුරා හැර බැලීමෙන් ද මුණ ගැහෙන්නෙ ව්‍යාජයක්. දෙවියන් සහ පීඩිතයන් එකට අත්වැල් බැඳගෙන සිටින දර්ශනය තමයි ඒ. 

ඒ නිසා කඩතුරාව හැර බැලීම කියන්නෙ ඒ තරම් සරල දෙයක් නො වන බව අපි තේරුම් ගන්න ඕන. කඩතුරාව ඉරා බැලූ පසුත් යළි කඩතුරාවක් ම දිස් විය හැකි බව අවබෝධ කර ගැනීමට නම් මේ සින්දුව සෑහෙන දුරට ප්‍රයෝජනවත් වන බව නම් අවසාන වශයෙන් කියන්න ඕන. 

ඉතිං මේ සින්දුවෙන් කියවෙන කඩතුරාවත් අයින් කරලා බලන්න පුරුදු වෙමු කියන යෝජනාව කරන්න තමයි මේ සටහන ලිව්වෙ. 

ගීතය මෙන්න

අඳුරු කුටිය තුළ - දොරගුළු ලාගෙන

ගයන ගීතිකා යදින යාතිකා 

දෙවියන් හට නෑසේ 

පොළොව කොටන තැන - පාර තනන තැන

ගිනියම් අව්වේ මහ වරුසාවේ 

දෙවියෝ වැඩ ඉන්නේ

බලන් කඩතුරා හැර දෑසේ


සිනිඳු සුවැති සළු සිරසින් හැරදා

දූවිලි මඩ වැකි පිළි ගත පළඳා

දෙවියන් රුව දක්නට හැක්කේ

අඳුරු කුටිය තුළ


කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී

ගත නැගි ඩාදිය සුවඳින් සැරසී

දෙවියන් හා එක්විය හැක්කේ


අඳුරු කුටිය තුළ

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?