Minarets - සංගීතයේ සහ අනන්‍යතාවයේ දේශපාලනය


නාද්‍යා බාමිනී පෙරේරාගේ ඵසබ්රුඑි වාර්තා චිත්‍රපටය නරඹන විට සිහියට නැගුණේ සිනමාවේදී ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ප්‍රකාශයකි. 

වරක් ඔහු පැවසුවේ වෘත්තාන්ත චිත්‍රපටයකදී අධ්‍යක්ෂකවරයා දෙවියෙකු මෙන් වන අතර වාර්තා චිත්‍රපටයකදී අධ්‍යක්ෂකවරයා වන්නේ දෙවියන් බවයි. (In feature films the director is God ¦ in documentary films God is the director) වාර්තා චිත්‍රපටයකට වඩා වෘත්තාන්ත චිත්‍රපටයකදී අධ්‍යක්ෂකවරයාගේ දැක්ම, දෘෂ්ටිකෝණය, අර්ථකථනය සහ අධ්‍යක්ෂකවරයාගේ ආත්මීයත්වය වැඩි බලපෑමක් කරන බව මෙයින් අදහස් වේද? වරක් ප්‍රවීණ සිනමාකරු ක්‍රිස්ටොෆ් කිසලොව්ස්කි තමා වාර්තා චිත්‍රපටවල සිට වෘත්තාන්ත චිත්‍රපටවලට මාරුවීම සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකදී පැවසු දෙයක්ද සිහියට නැගේ. ඔහු පවසා තිබුණේ යථාර්ථය හොඳින් නිරූපණය කරද්දී ෆැන්ටසිය වැඩි කාර්යභාරයක් ඉටු කරන බවයි. එනම් අධ්‍යක්ෂකවරයාගේ මැදිහත්වීම යථාර්ථ නිරූපණයේදී සහ යථාර්ථය ගැඹුරින් විනිවිදීමෙදී වැඩි කාර්යකොටසක් ඉටු කරන බවය. ඔහු කීවේ ප්‍රබන්ධය යථාර්ථයටත් වඩා යථාර්ථවත් බවද? කෙසේ වෙතත් වාර්තා චිත්‍රපටයක් වුව සිදුවීම් සහ පුද්ගලයන් ඉදිරියේ හුදු කැමරා ඇටවීමක් නොවේ. 

වාර්තා චිත්‍රපටයකදී අප ඉදිරියේ සිටින්නේ නළුනිළියන් නොව සැබෑ පුද්ගලයන් වුවද ඔවුන් අප ඉදිරියට පැමිණෙන්නේ අධ්‍යක්ෂකවරයාගේ රූපරාමු සංයෝජනය සහ කැමරා කෝණ හරහාය. රූපරාමු දෙකක් සංයෝජනය වන විටම, වස්තුව දෙස කැමරාව හරහා බලන පර්යාවලෝකය තෝරණ විටම අධ්‍යක්ෂකවරයාගේ දැක්ම එයට එක්වේ. ඒ සමගම ප්‍රේක්ෂකයන් ලෙස අපට ඒ ගැන අපේම කියැවීමකට අවකාශය විවෘත වේ. Minarets වෙත නාද්‍යා ලබාදී ඇති රූපමය සත්කාරය, එහි කලාත්මක ලක්ෂණ පවත්වා ගැනීමෙහිලා දරන උත්සාහය, එහි රූපරාමු සංස්කරණය වන ආකාරය සහ කැමරාවේ කෝණය අපට එම විෂය පිළිබඳ ඇයගේ දැක්ම පරාවර්තනය කරයි. නමුත් නාද්‍යාගේ වාර්තා චිත්‍රපටය හරහා අප කියවන්නේ කුමක්ද? එම කෘතිය හරහා අප ග්‍රහණය කර ගන්නා සහ වර්ධනය කර ගන්නා විෂය ක්ෂේත්‍රය කුමක්ද? 

Minarets නරඹන විට දැනුණු ප්‍රධාන දෙය වන්නේ සමාජයේ සමකාලීනව පවතින බෙදුම් ඉරි සහ අනන්‍යතා සදාතනික සත්‍යයන් නොවන බවයි. ඒවා හැමදාටම මෙලෙස නොපැවති අතර අනාගතයේදීත් මෙලෙසම නොපවතිනු ඇති බව අපට හැඟේ. නිදසුනක් ලෙස ඉස්ලාම් ආගමික අනන්‍යතාව සහ මුස්ලිම්වරුන්ගේ ජීවන දර්ශනය වත්මන් මොහොතේ අර්ථදක්වා ඇති එකමද, එසේත් නැතිනම් ගෙවී ගිය ඉතිහාසය තුළ එහි වෙනස් රූපාකාරයන් පැවතුණිද? නාද්‍යා කළ නිර්මාණය නරඹන විට දැණුනු හැඟීම මීට පෙර ලංකාවේ දෙමළ බෞද්ධයා පිළිබඳ සුනිල් ආරියරත්න සිදු කළ පර්යේෂණය සහ කෘතිය ඇසුරු කරන විටද දැනිණි. සිංහල බෞද්ධයා පිළිබඳ මහා ආඛ්‍යානයක් ගොඩනගා ඇති වර්තමානයේ, බෞද්ධ අනන්‍යතාව ලෙස සිංහල බෞද්ධයකු පරිකල්පනය කරන වර්තමානයේ පවතින චින්තන රාමු සියල්ල එම කෘතිය හරහා ප්‍රශ්න කිරීමට ලක්විය. ලංකාවේ දෙමළ බෞද්ධයන් සිටි අතර එය ලංකාවේ සංස්කෘතියේ සුවිශේෂී අනන්‍යතාවක් සලකුණු කළ බවට වන සාක්ෂි එහි තිබිණි. 






අද රාජ්‍ය අනුග්‍රහයද ලත් භික්ෂුන් සහ ජාතිකවාදීන් උතුරට, නැගෙනහිරට ගොස් මහත් උත්කර්ෂයෙන් පෙන්වන බෞද්ධ නටඹුන් වල සැබෑව කුමක් විය හැකිද? උතුරේ සිංහල බෞද්ධ රාජ්‍යයක් පැවතුනු බව තහවුරු කිරීමට අද පෙන්වන එම පුරා විද්‍යාත්මක නටඹුන් උතුරු නැගෙනහිර දෙමළ බෞද්ධයන් සිය ආගමික වතාවත් සඳහා භාවිතා කළ සිද්ධස්ථාන විය හැක. බෞද්ධ අනන්‍යතාව පිළිබඳ සීමා මායිම් අද පවතින ආකාරය වෙනුවට එහි වෙනස් විවිධත්වයන් අතීතයේදී පැවති බව දැන ගන්නා විටම මේ ගොඩනගන අධිපති කතිකාව අභියෝගයට ලක්වේ. නාද්‍යා නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයද මුස්ලිම් ජනතාවගේ සංස්කෘතිය සහ ඉස්ලාමීය අනන්‍යතාව පිළිබඳව එම අභියෝගයම අප ඉදිරියේ තබයි. දේශපාලනයේ නිරත වන්නන් ලෙස අප ඒ වෙත ආකර්ෂණය වන්නේ එහෙයිනි.

චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වාම අප ඉදිරියේ ගොඩ නැගෙන්නේ ලංකාවේ මුස්ලිම් ජනතාව සතුව තිබු සංගීත සම්ප්‍රදායක් පිළිබඳ සාක්ෂි සමුදායකි. ඒ අතර සංගීතය ඇතුළු ලෞකික සංස්කෘතිය ඉස්ලාම් ආගමික පදනම්වලට එරෙහි බවට තර්ක නගන තරුණ මුස්ලිම්වරුන් අපට චිත්‍රපටය තුළ හමුවේ. මෙහිදී වඩාත් මතකයේ රැඳුනු කරුණ වනුයේ වැඩිමහල් අය සිය සංගීතයේ සහ ලලිතකලාවේ සංස්කෘතිය මහත් අභිරුචියකින් පවසද්දී සමකාලීන තරුණ කොටස් ඒවා මිනිස් සදාචාරය දූෂණය කරන ගර්භිත විෂයයන් ලෙස දැකීමයි. මෙය ඉස්ලාමය තුළ පමණක් නොව අනෙකුත් ආගම් තුළ පවා තිබුණු ලක්ෂණයකි. නිදසුනක් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය තුළද එක් වකවානුවකදී මෙවැනිම අදහස් පද්ධතියක් තිබිණි. ලලිත කලාවන් සලකනු ලැබුවේ ‘නච්ච, ගීත, වාදිත, විසූක දස්සන’ ලෙසිනි. බෞද්ධ සංස්කෘතියට ඉමහත් බලපෑමක් කළ දඹදෙණි කතිකාවත ලලිත කලාවන් ගර්භිත විද්‍යාවන් ලෙස බැහැර කර තිබේ. එහි සඳහන් වන්නේ ‘සංගීත නාටකාදී ගර්භිත විද්‍යා තමන් නූගත යුතු, අනුන්ට නූගැන්විය යුතු’ යනුවෙනි. සිංහල ජනතාව අතර පැවතුණු කුල ධූරාවලියේද ඉන්දියාවට ප්‍රතිපක්ෂව කලාකරුවන්ගේ කුල ස්ථානගත කර තිබුණේ පහළිනි. 

20වන සියවස මුල වනවිටත් සිංහල සංස්කෘතිය තුළ සංගීතය වැනි කලාවන් මනස දූෂණය කරන විෂයයන් ලෙස සැලකිණි. සිංහල භාෂාවෙන් පළමු වරට ගීත ගායනා කළ ගායිකාව ලෙස සහ දක්ෂ නූර්ති නිළියක ලෙස සැලකෙන ලක්ෂ්මි බායි නමින් ප්‍රචලිත වූ අද්‍රාහීම් කයිජම්මා (1913 -1993) ගුවන්විදුලියේ තුන්පත්රටා වැඩසටහන සමග කළ සම්මුඛ සාකච්ඡාවක් මෙහිදී සිහියට නැගේ. ඇය 1927දී ගැයූ ‘උත්පලවර්ණ දෙවී කොහේදෝ’ ගීතය ස්ත්‍රී කටහඬින් පැමිණි පළමු සිංහල ගීතය ලෙසද ඇතැම් අය දක්වති. එය විවාදාත්මක වුවද ලක්ෂ්මි බායි පළමු සිංහල ගායිකාවන් අතර සිටි බව රහසක් නොවේ. ඇය එම සම්මුඛ සාකච්ඡාවේ පවසන්නේ එවකට සිංහල බෞද්ධ සමාජයේ ස්ත්‍රීන්ට ගීත ගායනය සහ රංගනය තහනම් වී තිබූ බවයි. ඇය උපන් කළුතර අලු‍ත්ගම මුස්ලිම් ජනතාව අතර සංගීතයට සහ රංගනයට එතරම් තහංචි නොතිබූ බවට ඇයගේ සහ ඇයගේ නැගණිය වන පසුකාලීනව දේවි සකුන්තලා ලෙස ජනප්‍රිය වූ උම්මා සල්වාද නිදසුන් වේ. නාද්‍යාගේ නිර්මාණය අපට පෙන්වන්නේ සියවසකට පසුව මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය උඩුයටිකුරු වී ඇති ආකාරයයි. එනම් පසුගිය සියවසක ඉතිහාසය දෙස බලන විටද බෞද්ධයන්ගේ සහ ඉස්ලාම් භක්තිකයන්ගේ සංස්කෘතික අනන්‍යතාවන් විශාල වෙනසකට බඳුන් වී තිබේ. මෙම සංස්කෘතික අනන්‍යතා සදාතනික හා ඝනීභුත ඒවා නොවන බව නිසැකය.

Minaretsහි අදහස් දක්වන ඇතැම් තරුණ මුස්ලිම්වරුන් සංගීතය සහ නර්තනය ආදී කලාවන් සදාචාරය දූෂණය කරන බව පවසද්දී එයද ඉස්ලාමීය සංස්කෘතියේ පදනම් මතයක් නොවන බව පැහැදිලි වේ. ලංකාවේ ඉතිහාසය තුළ මෙන්ම ලෝක ඉතිහාසය තුළද මුස්ලිම් සංස්කෘතිය ස්ථානගත වී තිබුණේ එවැනි තැනක නොවේ. වසර 1500ක පමණ වන ඉස්ලාමීය ශිෂ්ඨාචාරය ගෝලීය මානව සංස්කෘතිය විවිධාකාරයෙන් පෝෂණය කළ එකකි. මුස්ලිම් වෙළඳ පංතිය ධනේශ්වර කලා - සංස්කෘතික පුනරුදය සඳහා අනුග්‍රහය සැලසීය. යුරෝපයේ ක්‍රිස්තියානි මූලධර්මවාදයේ අඳුරු යුගය නිමා කිරීමෙහිලා ඉස්ලාමීය ඔටෝමාන් අධිරාජ්‍යය කළ මෙහෙය වැදගත්ය. අරාබි නිසොල්ලාසයෙන් ආරම්භ වූ විශාල සාහිත්‍ය ප්‍රබෝධයක්ද විය. අරාබි සංගීතය පසු කාලීනව උත්තර භාරතීය රාගධාරී සංගීතයේ වර්ධනයට පවා අමුද්‍රව්‍ය සැපයු විශිෂ්ඨ සංගීතයක් විය. වත්මන් රාගධාරී සංගීතයේ රාග බිහිවී ඇත්තේ ඉපැරණි ඉන්දීය රාග් සහ මෝගල් අධිරාජ්‍ය සමයේ ඉන්දියාවට පැමිණි පර්සියානු මඛාම් මුසුවීමෙනි. නමුත් මේ සියල්ල මූලධර්මවාදයේ නැගීම විසින් විනාශ කෙරිණි. ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාම් මූලධර්මවාදයක නැගීම සනිටුහන් වීමත් සමග ලංකාවේ මුස්ලිම් සමාජ විඥානයේ වෙනස්කම් සිදු වෙමින් මුස්ලිම් අනන්‍යතාව පිළිබඳ ප්‍රති අර්ථකථනය කර ගැනීමක් සිදු විය. ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් අන්තවාදයේ නැගීම අධිරාජ්‍යවාදීන් තෙල් සම්පත සහ භූ දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් මැදපෙරදිගට කළ ආක්‍රමණයට සමාන්තරය. 

1990 දශකය මුලදී සෝවියට් කඳවුර බිඳ වැටීමත් සමග සීතල යුද්ධය නිමා විය. ඉන් පසුව ෆ්‍රැන්සිස් ෆුකුයාමා ලෝක ඉතිහාසය ධනවාදයෙන් අවසන් වන බවට න්‍යායක් සිය ‘ඉතිහාසයේ අවසානය සහ අවසන් මිනිසා‘ කෘතියෙන් ඉදිරිපත් කළ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු වූ සැමුවෙල් හටින්ටන් එම අවසන් යුගය තුළ දේශපාලනයේ ගාමකය පංති ගැටුම නොව ශිෂ්ටාචාර අතර ගැටුම බව සිය ‘ශිෂ්ටාචාරයන්ගේ ගැටුම‘ කෘතියෙන් පැවසීය. එම කෘතියට අනුව ප්‍රමුඛ ගැටුම ඇති වන්නේ බටහිර යුරෝපීය ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය සහ මැද පෙරදිග ඉස්ලාම් ශිෂ්ටාචාරය අතරය. මේ අනාවැකිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේම නිර්මාණයක් බව තහවුරු වුයේ පසුව නේටෝ හමුදා තෙල් සම්පත සහ උපායමාර්ගිකව වැදගත් බිම් සොයමින් මැද පෙරදිග ඉලක්ක කරගත් මහා යුද්ධයක් සහ ආක්‍රමණයක් සිදු කිරීමත් සමගය. 

1990 දශකයේ ආරම්භක වකවානුවේ ඇරඹුණු ලංකාවේ මුස්ලිම් සමාජයේ මේ වෙනස්කම් 2000 සහශ්‍රකයේ දෙවන දශකය වනවිට යම් තීරණාත්මක මංසන්ධියක් කරා ප්‍රවේශ විය. මුහුණ පවා වසා ගන්නා බුර්කාව වැනි ඇඳුම් මුස්ලිම් සමාජයේ පැතිර යාමත්, සම්ප්‍රදායික මුස්ලිම් පල්ලියට එරෙහි විවිධ ආන්තික ආගමික ප්‍රවණතා බිහි වීමත්, සම්ප්‍රදායික දක්ෂිණාංශික මුස්ලිම් නායකත්වය කෙරෙහි විශ්වාසය හීන වී එම රික්තය ආගමික මූලධර්මවාදී දේශපාලනයකින් පිරවීමත් මේ වනවිට නිරීක්ෂණය කළ හැකි විය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සිය මැදපෙරදිග ආක්‍රමණය සාධාරණීකරණය කිරීම සඳහා පතුරුවන ලද මුස්ලිම් විරෝධී දෘෂ්ටිවාදයන්ගේ බලපෑම සහ ලංකාවේ පසුගාමී රාජ්‍ය අනුග්‍රහය ලත් ජාතිවාදී කල්ලිවල බලපෑම මත මුස්ලිම් ජනතාව මත ජාතික පීඩනය උග්‍ර විය. සිංහල ජාතිවාදීන්ගේ පීඩනයට ප්‍රතිචාර ලෙස මුස්ලිම් සමාජයේ වැඩිවැඩියෙන් ඇතුළට හැරීමක් මෑත කාල වකවානුවේදී නිරීක්ෂණය කළ හැක. මුස්ලිම් සමාජය තුළ සංගීතය, නර්තනය ඇතුළු කලාවන් කෙරෙහි වන තහංචි වර්ධනය වීම වටහා ගත යුත්තේ මෙකී සන්දර්භය තුළ මිස ඊට ප්‍රතිපක්ෂව එය හුදෙකලා කොට ගැනීමෙන් නොවේ. සිංහල - බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් විරෝධය සාධාරණීකරණය කිරීම සඳහා මුස්ලිම් සංස්කෘතියේ ඇතිවී තිබෙන ආගමිකකරණයේ පසුගාමීත්වයන් උත්කර්ෂයට නැංවීමට තැත් කළත් බොහෝවිට අමතක කෙරෙන්නේ ඔවුන්ද එම ප්‍රශ්නයේ කොටස්කරුවන් බවයි. මුස්ලිම්වරුන් පසුගාමී, ප්‍රචණ්ඩ, අර්ධ තිරිසන් සත්ව කොට්ඨාශයක් ලෙස අධිරාජ්‍යවාදීන් විසින් සිදු කෙරෙන ප්‍රචාරක යුද්ධය තුළ අමතක කරවනු ලබන්නේද එම ප්‍රවණතාවල පියවරුන් ඔවුන් බවයි.

Minarets වාර්තා චිත්‍රපටය අපට පෙන්වන්නේ මුස්ලිම්වරුන් අතර වන ආගමික සහ මූලධාර්මික සංස්කෘතික නැඹුරුව සදාතනිකව පැවතුනු එකක් නොවන බවයි. දශක කිහිපයකට පෙර ලංකාවේ මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය ලෞකික එකක් වූ බවයි. විශේෂයෙන් ස්ත්‍රීන් සංගීතය, නර්තනය ආදී කලා ක්ෂේත්‍රවල සක්‍රියව සිටි බවයි. නැගෙනහිර වෙරළේ ධීවරයන්ගේ ජනගී සම්ප්‍රදාය පිළිබඳ චිත්‍රපටයේ කෙරෙන අනාවරණයන් විසින් නිගමනය කළ හැක්කේ මුස්ලිම් වැඩකරන ජනතාව අතර සංගීත සම්ප්‍රදායක් පැවතුනු බවයි. 

චිත්‍රපටය නරඹන විට අපට වැටහෙන්නේ මුස්ලිම් ජනතාව අතර සංස්කෘතික මූලධර්මවාදයක අදහස් පද්ධතිය බලපෑම්සහගත වීමත්, මුස්ලිම් සංගීතය ආරක්ෂා කිරීම සහ වර්ධනය කිරීම සඳහා වන වගකීම රජය අතහැරීමත් (ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයට අත්වූ ඉරණම සහ පොදුවේ ගුවන්විදුලිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් උකටලීවීම ගැන වාර්තා චිත්‍රපටයේ දිගහැරෙන කරුණු සමුදාය අවධානයට ගන්න), මුස්ලිම් සමාජයෙන් බිහිවූ කලාකරුවන් මුස්ලිම් සංගීතය වර්ධනය කිරීම වෙනුවට සිංහල ජනයා ඉලක්ක කරගත් සංගීත භාවිතයකට කොටු වීමත් මෙම සංස්කෘතික සංහාරය සඳහා බලපා ඇති ආකාරය නාද්‍යා විශිෂ්ට ලෙස ප්‍රකාශයට පත් කරයි. 

Minerats තුළ අනාවරණය කෙරෙන කලකට ඉහත පැවතුනු මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය සහ වර්තමානයේ මුස්ලිම් සංස්කෘතිය ලෙස පවතින දෙය අතරින් සැබෑ මුස්ලිම් අනන්‍යතාව කුමක්ද? අප ඊනියා යන අදහස දෙන සේ උද්ධෘත කොමා සමග ‘මුස්ලිම්’ ලෙස සඳහන් කළ යුත්තේ ඒ කලින් පැවතුණු අනන්‍යතාවයද, එසේත් නැතිනම් දැන් පවතින අනන්‍යතාවද? නාද්‍යාගේ නිර්මාණය නරඹන අප අපගේ ජාතික, ආගමික, සංස්කෘතික, අනන්‍යතාවන් පිළිබඳ යළි සිතා බැලීමකට පෙළඹවෙන්නේ නිතැතිනි. 

Minarets වඩවඩාත් සමාජය තුළ කතාබහට ලක්කළ යුතුව තිබෙන්නේ එය තවත් එක් ජන ප්‍රජාවකගේ සංගීත සම්ප්‍රදායක් පිළිබඳ වියමනකට වඩා අපේ සමාජයේ සහ දේශපාලනයේ වර්තමානයත් අනාගතයත් පිළිබඳ සංවේදී පදනමක් ලිහා බැලීමක් වන හෙයිනි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?