අපි අපිවම ප්‍රශ්න කරන ප්‍රේමයේ චාරිකාව: Journey of Love 18+




අපි සමාජයේ බොහෝ අගතීන්ට විරුද්ධව කථා කරනව, ඊට විරුද්ධව සටන් කරනව. නමුත් අපි විරුද්ධ වෙන අගතීන් ආයමෙ අපි ඇතුලෙ නැද්ද? උදාහරණයකට පලස්තීන ඊශ්‍රායල් යුද්ධය දිහාවට හැරෙමු. ඒ යුද්ධයෙන් කුඩා දරුවො මිය යනවා, පීඩාවට පත්වෙනව අපි බොහොම සංවේදීව බලන් ඉන්නව. ඒ යුද්ධය විවේචනය කරනව හා එය නතර කරන්න බලකරනව. පැහැදිලිවම එය සිදුවිය යුත්තක් නමුත් අපේ රටේ යුද්ධයක් පැවති වෙලාවෙ අපි හැසිරුණේ එහෙමද? දැන් ඒ හින්ද ඒ වෙලාවෙ නිහඩව හිටි කෙනෙක්ට මේ වෙලාවෙ වෙන යුද්ධයට විරුද්ධ වෙන්න බැරිද? යම් අගතියකට විරුද්ධව හඬ නගන්න කිසිදු අගතියක් නැති පරමත්වයට පත්වෙච්ච කෙනෙක් වෙන්න ඕනෙද?

Journey of Love 18+ කියන්නෙ මලයාලම් භාෂාවෙන් නිර්මාණය වූ එක්කරා ආකාරයට රෝමාන්තික හා හාස්‍යය යන ශානරයන් මිශ්‍රවුණු චිත්‍රපටයක් වගේම එහි නොදැනුවත්වම යම් ආකාරයක දේශපාලනික කතාබහකුත් දිවෙනවා. කතාවට පදනම් වෙන්නෙ කේරළයේ කොමියුනිස්ට් පක්ෂයේ බලය පවතින ගමක් මුල් කරගෙනයි. එහි සියලු‍ම සිවිල් සමාජීය කටයුතු සිදුවෙන්නේ පක්ෂ සංවිධාන යාන්ත්‍රණය තුළයි. අදාළ ප්‍රදේශයේ පක්ෂයේ සංවිධායකවරයා වටා විශාල සිවිල් බලයක් ගොඩනැගී තිබෙනවා. මෙම සංවිධායකවරයා ඉහළ යැයි කියන කුලයකට අයත් තැනැත්තෙක්, පක්ෂයට සම්බන්ධ වී වැඩකරන පහළ යැයි කියන කුලයක තරුණයකු හා මෙම පක්ෂයේ ඉහළ නායකයාගේ දියණිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් හටගන්නාවා. ඉංදියාව පුරා පැතිරුන කුලවාදයට එරෙහිව එම ප්‍රදේශයේ දිගින් දිගටම අරගල කළ, දේශන පැවැත්වූ එම සංවිධායකවරයා එම ගැටලු‍ව තමාට පුද්ගලිකව අභිමුඛ වන මොහොතේ කුමන ආකාරයකට හැසිරෙයිද?

සමාජ අගතීන්ට එරෙහි අරගලයේ සෑම විටම ස්වරූපයන් දෙකක් පවතී. අපි විවෘතව සමාජය සමග එම අගතීන් සමග ගැටෙන විට අප අමතක නොකළ යුතු කාරණය නම් අපද එම සමාජයේම කොටසක් වන බවත් එම සමාජය වෙළාගත් අගතීන්ගෙන් අපටද පූරණ ලෙස අත්මිදිය නොහැකි බවයි. අප ජාතිවාදයට විරුද්ධ වන අතරම අප තුළද සැඟව ජාතිවාදය යක්ෂයකු සේ පැවතිය හැක. එය සැඟවී ඇති අතර අප දුරවල නොසිතන මොහොතක එය අප තුළින් මතු විය හැක. එබැවින් අපට අප තුළම ඇති අගතීන් සමගත් අරගලයක් ඇත. මෙම අරගල දෙකෙන් කිසිවක් දෙවැනි වන්නේ නැත. එනම් සරළව සමාජය වෙනස් කොට අප වෙනස් වන්නේවත්, අප වෙනස් වී සමාජය කරන්නටත් නොහැක. මේ අරගල දෙකම එකම ආකාරයට එකවිට සිදු විය යුතුයි. තනි තනි පුද්ගලයන්ට මෙන්ම සමාජ වෙනසක් වෙනුවෙන් වැඩකරන ව්‍යාපාරයන්ටද මෙය පොදුය. සමාජය සමග ගෙනයන අරගලය සමගම එම ව්‍යාපාරයන් තුළ ඇති අගතීන්ට විරුද්ධවද අරගල කරමින් එම ව්‍යාපාරයන් වඩා දියුණු ව්‍යාපාරයන් බවට පත්කරගත යුතුය.

චිත්‍රපටය තුළ එක් අතකින් වාමාංශික පක්ෂ යාන්ත්‍රණය දැඩි ලෙස ආයතන ගතවීම තුළ එහි ක්‍රියාමාර්ගයන් ඇතැම් විටෙක මිනිසුන් අවසන් අරමුණක් සඳහා වූ අරගලයක් වෙනුවෙන් පෙළගැස්වීමක් වෙනුවට ඔවුන් පීඩාවට පත්කිරීමත් ඔවුන් පක්ෂය කෙරෙහි එදිරිවාදී ආස්ථාන වෙත යොමු කිරීමත් සිදුවෙන අයුරු පෙන්වයි. නිදහසින් පසු වාමාංශික ව්‍යාපාරය මැදිහත්ව දියත් වූ අරගලය තුළද අඩු වැඩි වශයෙන් මේ සමානවූ අත්දැකීම් අපගේ ඉතිහාසය තුළ සටහන්ව ඇත. ඇතැම් තැනක ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් පක්ෂය සමග කටයුතු කරණ අවස්ථාවන්හිදී එක් ස්ථාවරයක්ද තම පෞද්ගලික ජීවිතය තුළ තවත් මතයකුත් දරණ ආකාරය මෙහි අපට හමුවෙයි. තවද පක්ෂයේම සාමාජික පවුල් දෙකක් අතර සිදුවන මෙම හබය විසඳීමට පක්ෂයද මැදිහත් වෙයි. එක් අතකින් මෙහි පක්ෂ සංවිධායකගේ දියණිය හා මිතුරුවන  අකීල් නම් තරුණයා වටා එම ප්‍රදේශයේ පක්ෂයට සම්බන්ධ තරුණයන්ද සම්බන්ධ වී ඇති බැවින් දේශපාලනිකව එයින් සිදුවන හානිකර ස්වභාවය පක්ෂය හදුනාගෙන ඇති බව අපට වටහාගත හැකිය.

වාමාංශික දේශපාලනයක යම් අයෙකු නිරතවනවා නම් කාලයත් සමග ඔහු දියුණු මිනිසෙකු බවට පත් විය යුතුය. තම ව්‍යාපාර වටා එක්වන පිරිස් එලෙස වඩා දියුණු මිනිසුන් බවට පත් කිරීම දේශපාලන ව්‍යාපාරයක කාර්යභාරයයි. මෙහි එන වාමාංශික පක්ෂයේ නායකයා අකීල් නම් තරුණයාගෙන් ගෙන් තම දියණිය වෙන් කිරීමට පක්ෂයේ තීරණයක් මත ඔහු හා තවත් සගයන් පිරිසක් විසින් සිදුකරන ලද ගිණිතැබීමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත තොරතුරු ලබාදී ඔහුව සිර කිරීමට උත්සාහ දරයි. එම ප්‍රදේශය තුළ පක්ෂයට ඇති දේශපාලන බලය යොදා ගනිමින් රජයේ ආයතනයන් හරහා මෙම තරුණයා මර්දනයටත් ඔවුන් දෙදෙනා වෙන් කිරීමටත් කටයුතු කරනුයේ වාමාංශික ව්‍යාපාරයක නායකයකු නොව සාමාන්‍යය මිනිසෙකුගේ අවම සාදාචාරාත්මක සීමාවන් පවා උල්ලංඝණය කරමින්ය.

චිත්‍රපටය නූතන මලයාලම් සිනමාවේ ආවේණික වූ සරල බව හා අනෙකුත් ලක්ෂණයන් ඒ ආකාරයෙන්ම රඳවා තබාගෙන නිපදවා ඇත. කේරළය තුළ ඇති ආගමික විවිධත්වයත් වාමාංශික දේශපාලන බලයත් මෙම බොහෝ සිනමා නිර්මාණයන් තුළ අපට දැකගත හැකිය. එසේම කතා තේමාවේ සරළ බවද මීටම අනන්‍යය. මෙහිදීද ගමක තරුණයෙකු සහ තරුණියක නිවෙස්වලින් පැන යාමේ සිදුවීමක් වටා චිත්‍රපටය ගොඩනැගී ඇත. 

චිත්‍රපටය තුළ මෙහි ප්‍රධාන චරිතය වන 'අකීල්' වීරත්වයට ඔසවා තැබීමක් නොමැත. ක්‍රියාදාම ස්වභාවයේ සටන් හෝ වෙනත් කුතුහලය දනවන අබිරහසක් චිත්‍රපටය තුළ නොමැත. එනමුදු ආරම්භයේ සිට අවසානය තෙක් අවධානය නොබිඳ චිත්‍රපටය වෙත ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීමට එයට හැකියාව ඇත. චිත්‍රපටයට Journey of Love 18+ වැනි නමක් යොදා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි අවසානයේ දැන ගැනීමට ලැබෙයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?