ඉල් මහේ කවි


 1987-89 අරගලය, මර්දනය කර සටන්කාමී විප්ලවවාදීන් ගින්නෙන් හා යකඩින් නිහඬ කරවා, ජනතාව භීතියට ඇද දැමූ පාලක ඝාතකයන් ජය පැන් බොන විට, අරගලයේ සහෘද කවියෝ ස්වකීය ආදරණීයයන්ගේ වියෝගය මෙන්ම සමස්ත සමාජයක් මුහුණ දුන් කම්පනය අකුරු බවට පත් කළහ. බියකරු සමයෙන් පසු, වසර ගණනාවක් යනතුරුම ඒ ප්‍රකම්පිත හදගැස්ම, පුවත්පත් පිටු මත කවියෙන් සටහන් කෙරුණි. 

මුදලින් හා පදක්කමින් යහමින් ගෙවනු ලැබූ දඩ බල්ලන් අරගලයේ අක්මුල් සොයා යමින් ලේ සුවඳ ඉව කරද්දී උන්ට අභියෝග කරමින් ආරූඪ නාමයන්ගෙන් පමණක් නොව සැබෑ නමින්ද පත්තර මත සිය හෘදසාක්ෂිය සටහන් කරන්නට තරම් ඒ පෑන් පහරවල් නිර්භීත විය. එයින්ද ඔබ්බට ගොස්, මානව සමාජය සුවපත් කිරීමේ උස් අරමුණු දරාගෙන ජීවිත අවදානමට මුහුණ දුන් නිසාම අනේක වධ බන්ධනයට ගොදුරු කෙරුණු, දිවි අහිමි කෙරුණු ආදරණීය විප්ලවවාදීන්ගේ පුනරාගමනයක් සන් කරන්නට පවා ඔවුහු නොපැකිළුණාහ.

දැන් දශක දෙකකට වැඩි කාලයක් ගෙවී,'ඇතැමුන්ට ඒ රුදුරු මතකයන් අමතකව ගොසිනි. එහෙත් එදා පෑන් තුඩුවලින් ජනකායකගේ වේදනාව, වීරත්වය, මානව ප්‍රේමය සටහන් කළ ඒ කවි, දිවි පිදුවන්ගේ උදාරත්වය නැවත නැවත අප හදවත්වලට මනාව සමීප කරවන්නට සමත්ය. 

ඒ අනුස්මරණීය පරිත්‍යාගයන්ට පසුව, තුන් වැනි දශකය ගෙවා දමමින් සිටින අප, මේ 34 වැනි ඉල්මහ සමරුවේ ‘රළ‘ පිටු මත සටහන් කරන්නේ එයින් කාව්‍ය නිර්මාණ ද්විත්වයකි.


තමා විසින්ම අතුරුදන් වූ සකි

 

නුඹට දන්වන නිවේදනයයි

නැවතුමක්, නවාතැන්පොළක් නැත

පිඟානෙන් වසා බත් පත

මග බලන මවක් හෝ ගෙයක් නැත


ජීවිතේ කටු අකුල

රැගෙන ඈතට ගිහින් දමන්නට

මොහොතකට

හිත නිවන කෙළි කවට පෙම් බසක්

කියන්නට හඬක් නැත


පිළි ගඳ මාළු ලෑල්ලෙන් මිදී

හුදකලා කාක්කෙක් වී

පියෙන් පිය පිය නගා

මේ කසළ පිරි බිමේ

ජීවිතේ අරමුණක් සෙවූ නුඹ

ගමට ගිය විට රවයි

බුලත් විට නොකන ගැමියන්

නිල ඇඳුම් ඉව අල්ලමින්

රාත්‍රී නින්ද තහනම් කරයි


නුඹ කොයි? අසයි යාළුවන්

නුඹ කොයි? අසමි මම ලොවෙන්


අවුල් හිස කෙස් තුළින්

මට නුඹේ රිදෙන නළලත පෙනේ

මහ සෙනග අතරේ

කඩියෙක් වගේ දුවන

නුඹෙ වෙහෙස පිරි දෑස මට පෙනේ


දකින්නට නුඹේ දුක් වත මඬල

අසන්නට සෝ තැවුල් එකට හිඳ

බුදින්නට ජීවිතේ කාඩි රස

ඉන්න තැනකින් වරෙන් සකිසඳ!


මනෝරා ප්‍රභාති තෙල්මා

රිදී නිම්නය


මධු සිඳුණු වියළි සඳ

ක්ලාන්තව හිස් නැමුනු ශිඛර අතරින් එබෙයි

අවතාර සුදු පාට වගුරුවයි

ලිජු ලිහිණි පපු කැවුතු ඇද කා දැමූ 

කලලයක් සදිසි මේ

රිදී නිම්නය මතින්

කඳුළු බිඳුවක් තබති


මුළු රටට දිය බෙදම්හ‘යි කියා

තැනින් තැන ඇටවූ

කොන්ක්‍රීට් ඇල වේලි මත

මලානික තරු එළිය නිදි කිරයි

ගං තුළානම උලා කා දැමූ

ඩෝසරේ දත් වහලු‍ නිය පහුරු

තවත් බිලි පතාගෙන විලිස්සයි


මිනී කාලම් නාද

කඳු වළල්ලේ හැපී ප්‍රතිරාව දෙයි

දිය බෙදනු වස් නිම්නයට පැමිණි

ධවල සළු පෙරෙව් කේවට්ටයන්

ගං දියත් බීපියා

පලා ගිය බව සැබැයි

මසුරමට බැඳි ලොබින

ගලේ බණ්ඩාර වැව් නුග අරණ

කැපූ තැන මල් මතින

තවම ලේ උතුරමින් ගලා යයි


ඉතිං දිය පිපාසිත දරු කැලක

තොල පොඟනු පිණිස දිය බිඳු සොයන

මිනී සීතල යදම්වලින් බැඳ

තලා කටු සැමිටියෙන

කොහේදෝ රැගෙන ගිය බව කියා

මී දේදු උලලේන නාදයෙන

රාත්‍රිය මුළුල්ලේ ඉකි බිඳියි

දොරින් දොර තිත්ත රස කඳුළු මළ බත ඉදෙයි


භෂ්ම වූ පොළෝ මත ශේෂ වී

කටු පඳුරු සේ බොහෝ දුක් දරා

උදක තරු සේ සිඳුණු දෙනෙත් ඇති

අස්ථි යම් මාත වූ රූප රැස

හිරිවැටුණු කඳුළු මල්වඩම් දෑතින් අතොර

පරවේණි මවු ළමැද පහුරු ගා දිය සොයත්

කෘර වූ අඳුර ගිනි දල්වන ලා හිරුට

පපු කැනැත්තේ සිරව කකියනා

ගිනි පුපුර පුද දෙනුව

රහසේම පෙරමුණක පෙළ ගැසෙත්


ශ්‍යාමන් රජින්ද්‍රජිත්

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?