ඉල් මහේ කවි

1987-89 අරගලය, මර්දනය කර සටන්කාමී විප්ලවවාදීන් ගින්නෙන් හා යකඩින් නිහඬ කරවා, ජනතාව භීතියට ඇද දැමූ පාලක ඝාතකයන් ජය පැන් බොන විට, අරගලයේ සහෘද කවියෝ ස්වකීය ආදරණීයයන්ගේ වියෝගය මෙන්ම සමස්ත සමාජයක් මුහුණ දුන් කම්පනය අකුරු බවට පත් කළහ. බියකරු සමයෙන් පසු, වසර ගණනාවක් යනතුරුම ඒ ප්‍රකම්පිත හදගැස්ම, පුවත්පත් පිටු මත කවියෙන් සටහන් කෙරුණි. මුදලින් හා පදක්කමින් යහමින් ගෙවනු ලැබූ දඩ බල්ලන් අරගලයේ අක්මුල් සොයා යමින් ලේ සුවඳ ඉව කරද්දී උන්ට අභියෝග කරමින් ආරූඪ නාමයන්ගෙන් පමණක් නොව සැබෑ නමින්ද පත්තර මත සිය හෘදසාක්ෂිය සටහන් කරන්නට තරම් ඒ පෑන් පහරවල් නිර්භීත විය. එයින්ද ඔබ්බට ගොස්, මානව සමාජය සුවපත් කිරීමේ උස් අරමුණු දරාගෙන ජීවිත අවදානමට මුහුණ දුන් නිසාම අනේක වධ බන්ධනයට ගොදුරු කෙරුණු, දිවි අහිමි කෙරුණු ආදරණීය විප්ලවවාදීන්ගේ පුනරාගමනයක් සන් කරන්නට පවා ඔවුහු නොපැකිළුණාහ. දැන් දශක දෙකකට වැඩි කාලයක් ගෙවී,'ඇතැමුන්ට ඒ රුදුරු මතකයන් අමතකව ගොසිනි. එහෙත් එදා පෑන් තුඩුවලින් ජනකායකගේ වේදනාව, වීරත්වය, මානව ප්‍රේමය සටහන් කළ ඒ කවි, දිවි පිදුවන්ගේ උදාරත්වය නැවත නැවත අප හදවත්වලට මනාව සමීප කරවන්නට සමත්ය. ඒ ...