කනත්ත පාර



පද - සංගීතය - ගායනය - අර්ජුමාන් ද සේරම්

කොඩි ගහ යට’ ටෙලි නාට්‍යයෙන් ප්‍රචාරය වෙච්ච මේ සින්දුව, පස්සෙ ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රිය වුණා. අපි හිතන විදියට මේ සින්දුව එහෙම ජනප්‍රිය වෙන්න හේතු කීපයක් ම බලපෑවා. 

ඒ අතරින් ප්‍රධාන හේතුව විදියට අපි දකින්නෙ මේ සින්දුවෙ මෙලඩිය. පහුගිය කාලෙ සංජීව ලෝන්ලියස්ගෙ ආගමනයත් එක්ක වැඩිපුර කතාබහට ලක් වෙච්ච ‘අමු සින්දු’ කියන ප්‍රවර්ගයට තමයි මේ සින්දුවත් ඇතුළත් වෙන්නෙ. ඔය කියන අමු සින්දු, අමු නො වන සින්දුවලින් - ඒ කියන්නෙ පැහුණු, ඉදුණු සින්දුවලින් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් එක ප්‍රධාන ලක්ෂණයක් මේ සින්දුවෙ මෙලඩියෙත් තියෙනවා. ඒ තමයි අමු සින්දුවල දකින්න ලැබෙන මඳ ගද්‍යමය ගතිය. 

ඇතැමුන් සුභාවිත ගීත ලෙස හඳුන්වන සින්දුවල තියෙන ‘සුගායනීය බව’ මේ අමු සින්දුවල තරමක් අඩු යි. ඒ අඩු බව වඩාත් අඩු සින්දුවක් විදියට අපට මේ සින්දුව හඳුන්වන්න පුළුවන්. ඒකට අපට ඕන නම් ‘නව සරල බව’ වගේ යෙදුමක් යෝජනා කරන්නත් පුළුවන්. ‘නව’ කියන විශේෂණය ඒකට යොදන්න වෙන්නෙ ශ්‍රී ලංකාවෙ ගුවන් විදුලියෙන් හඳුන්වා දුන්න පැරණි සරල ගීතයෙන් මේ සරල බව වෙනස් වෙන බව පෙන්නලා දෙන එක වැදගත් නිසා. 

මොකද, ඒ පරණ සරල බව ඇතුළෙ තිබුණ ශාස්ත්‍රීය ශික්ෂිත විනයවත් උත්තර භාරතීය ගතිය වෙනුවට මේ නව සරල බව ඇතුළෙ දක්නට ලැබෙන්නෙ කිසියම් බොහීමියානු රස්තියාදුකාර හිතුවක්කාර හිපි ගතියක්. ඒ ගතිය සිංහල සින්දුවට මුලින් ම හඳුන්වලා දෙන්නෙ අජිත් කුමාරසිරි. පස්සෙ ගීතදේව, අමිල සඳරුවන් වගේ ගායකයො මේ පාරෙ ගිහින් සාධනීය වැඩ ගණනාවක් ම කරනවා. ඒ අර්ථයෙන් බැලු‍වම සංජීව ලෝලියන්ස් අමු ගායකයෙක් කියලා කියන්න බැරි තරම්. හැබැයි අර්ජුමාන් මේ නව සරල කුලකයට ඉතා ම සරල විදියට ඇතුළු වෙච්ච නවතම ගායකයා බවට පත් වෙනවා. 

ස්ථායි සහ අන්තරා කොටස් මැද්දෙ මිනිස් කටහඬ භාවිත කරලා අර්ජුමාන් අල්ලන තාල, ලංකාවෙ සින්දුවක මීට කලින් කවදාවත් අහන්න ලැබිච්ච තාල නෙවෙයි. ඒ තාලවල මේ සින්දුවෙ පදවලටත් වඩා අර ටයිකෝට් අඳින උගත් මහත්තුරුන්ට, බියගුළු මෝඩ වැඩිහිටි පරම්පරාවට, ලෝගු, සිවුරු පොරවගත්ත ආගමික මනුෂ්‍ය ඝාතකයන්ට හා හොටු පෙරන පාලකයන්ට එරෙහිව එල්ල කරන විරෝධය ගැබ් වෙලා තියෙනවා කියල යි අපට නම් හිතෙන්නෙ. 

අනෙක් කාරණය තමයි අර්ජුමාන්ගෙ කටහඬ හා ශ්‍රැතිය. ජෝතිපාල, එම්.එස්., නිහාල් නෙල්සන්, රූකාන්ත, ෆ්‍රෙඩී, කපුගේ, විජය, අමරදේව හෝ අජිත් කුමාරසිරි යන මේ කිසිවකුගෙන් නො ඇසෙන අනන්‍ය කටහඬක් අර්ජුමාන්ගෙන් නිකුත් වෙනවා. මේ සින්දුවෙ තියෙන යෙදුමකින් ම පැහැදිලි කරනව නම් ඒ කටහඬ පල්ලියෙ ‘මංගල්‍ය කාලෙට විස්කි බෝතල්වලට කසිප්පු දාලා ගැහුව ම’ එන ජාතියෙ කටහඬක්; බටහිර මුහුදු තීරේ මුහුදට එරෙහිව කෑ ගහන විවෘත නිදහස් ආවේගශීලී කටහඬක්. ඒ නිසා ම මේ සින්දුවෙ ශ්‍රැතිය පවා අනනුකරණීය බවක් පෙන්වනවා. ඒ අනනුකරණීය බව මර්වින් පෙරේරාගේ අනනුකරණීය බවට වඩා වෙනස් එකක්. සමහර විට අර්ජුමාන්ට පවා ආපහු එයාගෙ මුල් ගැයුම අනුකරණය කරන්න බැරි වෙන්න ඉඩ තියෙන ගණයේ අනනුකරණීය බවක් මේ සින්දුවෙ ඔරිජිනල් ශ්‍රැතියෙන් ඇහෙන්න ලැබෙන බව අපට දැනෙනවා. 

සින්දුවක් කියන්නෙ ඒකෙ තේරුමට කියලා හිතාගෙන විචාර කරන යූටියුබ් විකාරකයන්ට මේ සින්දුවෙන් එල්ල කරලා තියෙන අභියෝගයත් සුළුපටු නෑ. මේ සින්දුව අල්ලගෙන මාර්කට් වෙන්න දඟලන මේ විකාරකාරයො මේ සින්දුවට අර්ථ දෙන්න ගිහිල්ලා සමාජ මාධ්‍යවල ඇඹරෙන ඇඹරිල්ල දැක්ක ම අයියො ඇත්තට ම හිනා යනවා!!! 

අමු සින්දු කියන උපශානරයේ පදවල දකින්න ලැබෙන සම්මත අලංකාර හා සුගේයවත් බව නො ඉවසන ගතිය මේ සින්දුවෙ හොඳට ම දකින්න ලැබෙනවා. අජිත්ගෙ වගේ දරුණු වචන මේ සින්දුවෙ නැති වුණත් සාමාන්‍ය සින්දුවක දකින්න නො ලැබෙන ඍජු වාචික ගතිය, අපි අර මුලින් කිව්ව ගායනයේ තියෙන ගද්‍යමය බව මතු කර ගන්න පහසු වෙලා තියෙනවා. ‘චූටි කාලෙ’, ‘බුදුඅම්මො’, ‘සන්තො’, ‘මැරෙන්ඩ හදල’, ‘අඩි හයක් යට සැපෙ’, ‘අයියො හිනා යනවනෙ’, දන්නැත්නං අහපන්කො’, ‘අස්සෙ’, ‘එන්නකො බලන්න අනේ’, ‘රෝමෙ උන්දැල’, ’කසිප්පු දාල යි ගැහුවෙ’, ‘හොටු පෙරන උදවිය’ වගේ යෙදුම්වල මේ ගතිය වැඩි යි. මේ වචන ටික උද්ධෘත කළාට මේ කියන කාරණය ඔය වචන ටිකේ විතරක් කෘත්‍රිමව ඔබ්බපු එකක් නෙමෙයි; මුළු සින්දුවෙ ම තියෙන එකක්. 

චූටි කාලෙ අපට වැස්සෙ නාන්න නො දී පරිස්සම් කරලා අපිව උගත් මහත්තුරු කරන්න මහන්සි වෙන වැඩිහිටි සමාජය ප්‍රශ්න කරන සින්දුවක් විදියට යි මේ සින්දුව අපට පේන්නෙ. ජේසුට ඇණ ගහපු පූජකයන්ට වන්දනාමාන කරගෙන හොටු පෙරන පාලක පන්තියක් අමාරුවෙන් නඩත්තු කරන අපේ රටේ වැඩිහිටියන් අපිව වැස්සෙන් ආරක්ෂා කළාට වැඩක් තියෙනවද? අන්න ඒ බරපතළ ප්‍රශ්නෙ තමයි අර්ජුමාන් කියන තරුණයා උපහාසාත්මක විදියටත් කේන්තියෙනුත් අහන්නෙ. 

වැඩිහිටියො කියන්නෙ ලෙඩ වෙන්න දෙන්නෙ නැතුව පොඩිහිටියො ටික පරිස්සම් කරන සාත්තු සේවක නඩයකට නෙවෙයි. උණ හදාගන්නෙ නැතුව හොඳට පාඩම් කරලා උගත් මහත්තුරු වෙච්ච තමන්ගෙ ළමයි ටික ටයිකෝට් ඇඳගෙන ගිනිකාෂ්ටක අව්වෙ වේළෙනව දැකලත් හීනෙන් ඇහැරෙන්නෙ නැති සමාජයකට අර්ජුමාන්ගෙ මේ උත්ප්‍රාසය යි ආවේගය යි තේරෙයි ද? 

සමහරවිට එහෙම තේරුණා නම් මේ සින්දුව මෙච්චර ජනප්‍රිය නො වෙන්නත් ඉඩ තිබුණා.

----------------

චූටි කාලෙ අපි වැස්සෙ නානකොට

බුදු අම්බෝ කියපු නැන්ද මාමලට

ආච්චි පුංචිලට මම්ම පප්පලට

ආයුබෝවන් වැන්දා සන්තෝ


අපි වැස්සෙ නෑවා තමයි

ලෙඩ උනා තමයි

මැරෙන්ට හදලයි ආවේ

මොකො එහෙ ඉන්නයි ආස

සීයා ආච්චි ළඟ

අඩි හයක් යට සැපේ


අයියෝ හිනා යනවනේ

ටයි කෝට් ඇඳගෙන ගිනි කාස්ටක අව්වේ

අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන

දන්සැල් පෝලිමේ

මල්ලි දන්නැත්තං අහපංකො

විස්තර කියපංකො

හංගන් ඉන්නෙ මොකො අස්සේ

ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා

එන්ටකෝ බලන්ට අනේ


කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල 

ඉපදුනු තැන මගේ

අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට 

කසිප්පු දාලයි ගැහුවෙ

ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්

අපෙ ළිඳෙන් තමයි නාන්නෙ

මෙහෙ ලෝගු ඇඳගත්ත රෝමේ උන්දලට 

ජේසු අයියා බය නැතේ


අයියෝ හිනා යනවනේ

ටයි කෝට් ඇඳගෙන ගිනි කාස්ටක අව්වේ

අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන

දන්සැල් පෝලිමේ

මල්ලි දන්නැත්තං අහපංකො

විස්තර කියපංකො

හංගන් ඉන්නෙ මොකො අස්සේ

ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා

එන්ටකෝ බලන්ට අනේ


එක එක කාලෙට දන්නැද්ද විවිධ 

පාට මාරු වුනා

එක එක හොටු පෙරන උදවිය 

පාලනේට ගියා

අපි දෙයියන්වහන්සෙට තියපු පඬුරු 

කෑලි කෑලි කපා

අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළඟ

භාර හාර වුණා


අයියෝ හිනා යනවනේ

ටයි කෝට් ඇඳගෙන ගිනි කාස්ටක අව්වේ

අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන

දන්සැල් පෝලිමේ

මල්ලි දන්නැත්තං අහපංකො

විස්තර කියපංකො

හංගන් ඉන්නෙ මොකො අස්සේ

ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා

එන්ටකෝ බලන්ට අනේ

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?