ZD 8
පද - කසුන් එදිරිසිංහ
සංගීතය - චරිත අත්තලගේ
ගායනය - චරිත අත්තලගේ
ලංකාවෙ සින්දු ලියන අය යි කියන අය යි අහන අය යි ඒවා රසවිඳිනවා කියන අය යි මූලික වශයෙන් පැටලිලා ඉන්න උගුලක් තමයි සින්දුවෙ ඇත්ත අත්දැකීම මතු කර ගැනීමට දක්වන උනන්දුව. ඔය ඇත්ත අත්දැකීම උලුප්පා යන එක තමයි අලුත් ‘මල් සින්දුවල’ සාහිත්‍යය පැත්තෙ දකින්න ලැබෙන ලොකු ම අර්බුදය.
‘ගී රසවින්දන’ කියන නාමකරණය යටතේ සින්දු විකුණගෙන කන පිරිසක් මේ වෙනකොට ලංකාවෙ ඉන්නවා. ඒ ගොල්ලො මේක බිස්නස් එකක් විදියට කරලා සල්ලි හම්බ කර ගන්න එක කෙසේ වෙතත් ලොකු ම ගැටලුව වෙන්නෙ රසවින්දනය හෝ විචාරය කියන්නෙ විකුණගෙන කෑම කියන එක තහවුරු කිරීම. දෙපිට කැපෙන වචන, කුණුහරුප, සැඟවුණු රහස් හා සැබෑ අත්දැකීම හෙළි කිරීම වගේ දේවල්වලින් අසන්නන්ට ආතල් දෙන එක මිසක් ඒවායේ කිසි ම හරයක් තියෙන බවක් පේන්නෙ නෑ.
අද අපි කතා කරන්නෙ මෙන්න මේ වගේ අත්දැකීම උස්සලා තියන්න සමහරු මහන්සි වෙන සින්දුවක් ගැන. සමහරු කිව්වට මේ සින්දුවෙ නිර්මාතෘවරුනුත් එහෙම දේකට උත්සාහ කරන බව වීඩියෝව නැරඹුව ම තේරෙනවා. හැබැයි, ඇත්තට ම මේ සින්දුවෙ ඔය කියන අත්දැකීම කියන්නෙ නිකං ඡායාමාත්‍රයක් විතර යි. එහෙනං බලමු අපි එහෙම කියන්නෙ ඇයි, කියලා.
’ZD8 සින්දුව ලියවිලා තියෙන්නෙ අරලගංවිල ප්‍රදේශයේ සත්‍ය අත්දැකීමක් ඇසුරින්. ඒ අත්දැකීම කෙටියෙන් කියනවා නම් සිරිල් කියලා අවුරුදු 74ක විතර ගොවි මහත්තයෙක්ගෙ බිරිඳ වකුගඩු රෝගයෙන් මියයනවා. ඊට පස්සෙ එයා තනිකම මකා ගන්නෙ ඒ පැත්තට එන්න පුරුදු වෙච්ච ඇතින්නියක් එක්ක කුළුපග වෙලා. ඒ ඇතින්නිය ටික කාලෙකින් ඇළක වැටිලා මැරෙනවා. ඒක වගකියන්න ඕන අලිවැට ඉදිකරන්නෙ නැතුව ඒ මුදල් ගසාකාපු නිලධාරීන් කියලා තීරණය කරන සිරිල් ඒ අයගෙන් ප්‍රධානියා කියලා හිතන නිලධාරියාව ඝාතනය කරලා ජීවිතාන්තය දක්වා හිරේට නියම වෙලා මැරිලා යනවා. වැඩි විස්තර දැන ගන්න මෙන්න මේ ලින්කුව පාවිච්චි කරන්න.
https://theleader.lk/hansa-wila/13623-zd8-charitha-attalage
ඒ සිද්ධිය සෑහෙන සංවේදියි තමයි. අපේ ආවේගයත් සිරිල්ගෙ ආවේගයත් එක්ක එකතු වෙනවා තමයි. ඒ වුණාට ඔබ ඒ අත්දැකීම දන්නෙ නැත්නම් මේ සින්දුවෙන් ඒ අත්දැකීම හොයා ගන්න බෑ. අපි කියන්නෙ මේ සින්දුව විඳින්න ඒ අත්දැකීම ඕනත් නෑ.
මේ සින්දුවෙ එක ම එක තැනක ඇතින්නිය ගැන සඳහන් වෙනවා. ඒ වුණාට ඒක සමස්ත සින්දුව ඇතුළෙ ස්ථානගත වෙලා තියෙන්නෙ රූපකයක් හැටියට. ‘මගෙ ඇතින්නියේ’ කියලා කියන්නෙ මියගිය බිරිඳට ම කියල යි අපිට හිතෙන්නෙ. හරියට යසෝදරා විලාපෙ දි ‘මගෙ ඇත් රජුනි හිමි අද කොතැනකද ?’ කියනවා වගේ ම තම යි ඒක ගන්න වෙන්නෙ. ඒ වගේ උදාහරණ නූතන සින්දුවෙනුත් ඕන තරම් හොයා ගන්න පුළුවන්.
සින්දුවෙ පදවලට අනුව අපට තමන්ගෙ මිය ගිය බිරිඳ ගැන ශෝකයෙන් පසු වන, ඇය මිය ගියා කියලා විශ්වාස කරන්න බැරි ගැමියෙකුගෙ වේදනාව පුපුරලා යන බව නම් දැනෙනවා. ඒ වගේ ම ඇය මිය ගිය ආකාරය පිටුපස කිසියම් අභිරහසක් තියෙන බවත් දැනෙනවා. විශේෂයෙන් ම සිල් ගැනීම යි ඇයගේ මරණය යි අතරෙ නො කියා ඇති යමක් පවතින බව අපට දැනෙනවා. සින්දුවෙ දි සිල් ගැනීමට යි ආගමට යි ලොකු ඉඩක් වෙන් කරලා තියෙනවා.
‘සුදු පාටින් ගෑ සිල් රෙදි කහ පාටට හැරිලා’
‘හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා’
‘වැඳපු දෙවිවරු නෑ අද වඬිනවා
නුඹව මඟහැරලා උන් ඉන්නවා’
ඇයගේ මරණය පිටුපස ආගමික සංස්ථාවේ බලපෑමක් ඇති බව මේ පදවලින් ඉඟි කෙරෙනවා. ඇතැම් විට ඇය දූෂණයට ලක් වූ බවක් ඉන් ගම්‍ය වෙනවා. එනිසා ඇය මහ ඇළට පැන ජීවිතය අවසන් කළ බව අපට අනුමාන කළ හැකියි. ඒ නිසා මුනිවත රකින වැරදිකරුවන් සිටිය හැක්කේ පන්සලේ හෝ දේවාලෙ විය හැකියි.
දැන් මේ ප්‍රතිකියවීමෙන් අපි අපේක්ෂා කරන්නෙ ඔබත් මේ කියවීම ම පිළිගන්න ඕන කියන එක නෙවෙයි. ඒ වගේ ස්ථාවරයක පය ගහලා ඉන්න කෙනෙකුට හෝ සංවිධානයකට කවදාවත් මේ වගේ ප්‍රතිකියවීමකට යන්න අයිතියක් නෑ. තමන්ට ප්‍රතිකියවීමට ඇති නිදහස අනෙකාටත් ඒ ලෙස ම පවතින බව අපි පිළිගන්න ඕන.
ඒ වගේ ම සින්දුවක අත්දැකීමට සීමා වීමේ අර්බුදය වගේ ම ඒකෙ පදවලට සීමා වීමේ අර්බුදයත් අපි තේරුම් ගන්න ඕන. සින්දුවක පදවල අර්ථය හෝ සාහිත්‍ය ගැන කෙරෙන සංවාදය අධිනිශ්චය වීමේ අනතුර තමයි අර උඩ කියපු වෙළෙන්දන් භුක්ති විඳිමින් ඉන්නෙ.
මේ සින්දුවෙ අත්දැකීම ග්‍රාමීය එකක් වුණාට මේ සින්දුවෙ සංගීතයයි කටහඬයි ඒ ග්‍රාමීය ගතියට යටත් නො වීම අපි දකින්නෙ සාධනීය දෙයක් විදියට. ඒ අර්ථයෙන් පදවලට විරුද්ධව මියුසික්වලින් මේ සින්දුව ඒ අත්දැකීමට අදාළ භූගෝලයෙන් ගලවනවා. පදවලින් නම් මේ අත්දැකීමේ ගැමි ගතිය ආරක්ෂා කරන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙන බව පේනවා. ඒ වෙනුවෙන් සින්දුවට ගැමි වචන ඔබ්බවපු ගතියක් දැනෙනවා.
ඒ නිසා ම සින්දුවෙ කලාත්මක පරිසමාප්තිය යම් යම් තර්ජන එල්ල වෙලා තියෙනවා කියලා අපිට හිතෙනවා. ඒකට හොඳ ම උදාහරණයක් තමයි එක තැනක යෙදිලා තියෙන ‘හාමිනෙ’ කියන යෙදුම. ඒක චරිතගෙ මොඩර්න් කටහඬින් ඇහෙන කොට නිකං ගොම බින්දුවක් වැටුණා වගේ.
ඉතිං අපි ආරාධනා කරනවා මේ සින්දුව අහලා ඔබට දැනෙන ඇත්ත හැඟීම ගැන ඔබත් එක්ක ම සංවාදයක් කර ගන්න.
"කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
උන් රෑ මගෙ තනිකම මකනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා
රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
මට ඒ බව ඉඳහිට දැනෙනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා
රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා
සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා
ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා
හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා
වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
නුඹ මඟහැරලා උන් ඉන්නවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
මම දෑස් වසාගෙන අහනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා
වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා
රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා"
Comments
Post a Comment