ජීවිතය තවත් ටෝකන් පතක් නොවන්නට Thuramukhan
මානව ශිෂ්ටාචාරය තුළ මිනිසා බොහෝ දේ අත්පත් කොටගෙන ඇත. එම සෑම ජයග්‍රහණයක් පිටුපසම පරම්පරා ගණනක මිනිසුන්ගේ ශ්‍රමය සැගවී ඇත. ඇතැම් අප මේ මොහොතේ නොසලකා හරින තරම් වූ සුලු සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ඉතිහාසය තුළ මිනිසුන් සිය ජීවිත පවා කැපකල අවස්ථාවන් ඇතිතරම් අපට හමුවෙයි. මෙම ඇතැම් කැපකිරීම් වීර කාව්‍ය ලෙස අනාගත පරම්පරාවන්ගේ මතකයේ රැඳෙන නමුදු අද දවසේ අප අත්විදින අයිතීන් වෙනුවෙන් සිය ජීවිත පවා කැප කළ බොහොමයක් වීරයන්ගේ නමක් ගමක් හෝ අප නොදනියි. නමුත් ඒ නම් නොදන්නා වීරයන්ගේ ශ්‍රමයේ ඵලයන් අනාගත පරම්පරාවන් වෙත උරුම වෙයි. අතීතයක මිනිසුන්ගේ ශ්‍රමයේ ඵලයන් අද අප අත්විදිනවා මෙන්ම අද දවසේ අප හෙලන ශ්‍රමය මත අනාගත පරම්පරාවන්ගේ ජීවිත තීරණය වනු ඇත. එබැවින් එම පරම්පරාවන්ට වඩා යහපත් ලෝකයක් උරුම කර දීම සම්බන්ධයෙන්වූ මගහැර යා නොහැකි වගකීමක් අප හමුවේ ඇත.
Chappa හෙවත් 'ටෝකන්' ක්‍රමය ඉන්දියාවේ වරායන් ආශ්‍රිතව පැවති සේවකයන් සේවයේ යෙදවීමේ ක්‍රමවේදයකි. මෙය 1930 දශකය ආරම්භයේ පමණ සිට ක්‍රියාත්මකවූ අතර කෝචි වරාය ආශ්‍රිතව මෙම ක්‍රමවේදය බොහෝ කාලයක් ඉතා දරුණුව ක්‍රියාත්මක විය. මෙහිදී වරායට පැමිණෙන නැව් වලින් භාණ්ඩ පැටවීම හා බෑම සදහා කොන්ත්‍රාත් ලබාගැනීමක් සිදුවන අතර එහිදී අදාළ කොන්ත්‍රාත් ලබාගන්නා සේවායෝජකයා (moopan නමින් හැඳින්වෙයි) එක් එක් දින උදෑසන වරායේ සේවය කිරීමට අවශ්‍යය කම්කරුවන් තෝරා ගනී. මෙහිදී සිදුවන්නේ අදාළ ව්‍යාපාරිකයා තමන්ට අවශ්‍ය සේවක ගණනට සමාන ටෝකන් ප්‍රමාණයක් රැගෙන පැමිණෙන අතර කම්කරුවන් පොදිකමින් රැස්වී සිටී. ඉන්පසු ඔහු අදාල ටෝකන් මිනිසුන් අතරට අහඹු ලෙස විසිකරන අතර මිනිස්නු එකිනෙකා සමග පොර බදිමින් අදාළ ටෝකන් ලබාගැනීමට උත්සාහ දරණු ලබයි. ටෝකන් එකක් ලබා ගන්නා තැනැත්තාට එදිනට රැකියාවක් හිමිවන අතර ටෝකන් එකක් ලබා ගැනීමට නොහැකි වන තැනැත්තන්ගේ පවුල්වලට එදින නිරාහාරව සිටීමට සිදුවෙයි.
කුමන හෝ රැකියාවක් බලාපොරෝත්තුවෙන් පැමිණි ජනතාව වරාය වටා ඇති මුඩුක්කු නිවාසවල වාසය කරයි. ඔවුන් පරම්පරා ගණනක් තිස්සේ අවම ජීවන කොන්දේසි හෝ නොමැතිව ජීවත්වෙයි. දෛනිකව බීමට අවශ්‍ය වන ජලය පවා සපයා ගැනීම ඔවුන්ට අර්බුදයක් වන අතර ඒ සදහාද එකම නල ළිඳ අසළ පොර බැදීමට සිදුවෙයි. දිනය අවසානයේ දෛනික කුළිය කම්කරුවන්ට ලබාදෙන අතර එහිදී ඔවුන්ගේ වැටුපෙන් වැඩි පංගුවක් විවිධ අයකර ගැනීම් ලෙස අසාධාරණ ලෙස කපා ගනී. ඉස්ලාම් භක්තික පවුලක් වටා මෙම චිත්‍රපටය ගොඩනැගුනද විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි විවිධ ආගමික හා ජනවාර්ගික අනන්‍යතාවයන් සහිත ජනතාවක් මෙහි වාසය කරයි. මෙම කම්කරුවන්ගෙන් වෙනුවෙන්වූ වෘත්තීය සමිති පවතින නමුත් එම සමිති කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා දෙනවා වෙනුවට කම්කරුවන් අතර ඇතිවන ආතතිය සමනය කොට ඔවුන් නැගීසිටීම වැළැක්වීමට යෙදූ පාලකයන්ගේම උපක්‍රමයන් වේ. පසුකාලීනව moopan නමින් හඳුන්වන ව්‍යාපාරික ප්‍රජාව පලවා හරිමින් වෘත්තීය සමිති අදාළ කම්කරුවන් පාලනය සියතට ගන්නා නමුත් සිදුවන්නේ moopanලාගේ ස්ථානය වෘත්තීය සමිති නායකයන් හිමිකර ගැනීම පමණි. ටෝකන් ක්‍රමය ඇතුලු සූරා කෑම වෙනත් ස්වරූපයකින් පෙර පරිදිම සිදුවෙයි.
චිත්‍රපටය දිගහැරෙන්නේ ඉන්දියාවේ වාමාංශික ව්‍යාපාරය කේරළය තුළ තම බලය පතුරමින් පැවති කාල සීමාවක් වටාය. 1953 ආරම්භවන විට වරායේ ක්‍රියාත්මකවූ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයට අයත් වෘත්තීය සමිතිය වසර ගණනාවක් තහනම්ව පැවත එම තහනම ඉවත්වීමෙන් පසු කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරීන් Chappa ක්‍රමයට එරෙහි අරගලය නැවත වටයකින් අරඹා තිබුණි. කම්කරුවන් වේගයෙන් කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ PCLU සමිතිය සමග එක්වෙන නමුත් අවම වශයෙන් වරාය පාලනාධිකාරිය සමග වන සාකච්ඡාවන්ට අනෙකුත් සියලු වෘත්තීය සමිතිවලට ආරාධනා කරන නමුත් PCLU වෙත ඉඩක් නොලැබෙයි. PCLU සාමාජිකයන් අනෙකුත් වෘත්තීය සමිති සම්බන්ධ මැරයන් සමග ගැටෙමින් තම අරගලය ඉදිරියට ගෙනයන අතර මෙහිදී විශේෂිත කාරණය වන්නේ PCLU ගෙනයන අරගලයට වඩාත්ම අභියෝග එල්ලවන්නේ පාලනාධිකාරිය වෙතින් නොව අනෙකුත් වෘත්තීය සමිති වෙතින්ය.
PCLU මගින් වැඩවර්ජනයක් කැදවන අතර එදා වේල සොයා ගනිමින් ජීවිතය ගැටගසා ගන්නා කම්කරුවන් දින කීපයකින් එම වැඩවර්ජනය අතහැර නැවත වරාය වෙත පැමිණේ යැයි පාලනාධිකාරිය සහ අනෙකුත් වෘත්තීය සමිති විශ්වාස කළද වැඩවර්ජනය මාස ගණනක් දිගින් දිගටම ඇදී යයි. PCLU මගින් කම්කරුවන්ගේ පවුල් හාමත්වීම වැළැක්වීමට ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩසටහන් වැනි සුභසාධන කටයුතුද වැඩවර්ජනය අතරතුර පවත්වාගෙන යයි. කරුණු මේ ආකාරයට සිදු වෙද්දී අවසානයේ 1953 සැප්තැම්බර් 14 වන දින පාලනාධිකාරිය PCLU වෙතද සාකච්ඡා සඳහා ආරාධනා කරන අතර කම්කරුවන් මෙම Chappa ක්‍රමය අවසන්වේ යැයි බලාපොරොත්තු සහගතව රැදී සිටී. කෙසේ නමුත් එයද පාලකයන්ගේ උගුලක් බව වටහාගන්නා PCLU නියෝජිතයා එම සාකච්ඡාවන්ගෙන් ඉවත්වී මෙම රැවටීම පිළිබඳ තම සගයන් දැනුවත් කරන අතර ඔහුව එම අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලබයි.
1953 සැප්තැම්බර් 15 කෝචි වරායට ඉතිහාසගත දිනයක් වෙයි. ඒ කෝචි හි වීරත්වයේ දිනයයි. සිය වෘත්තීය සමිති නියෝජිතයා අත්අඩංගුවට ගැනීමත්, තමන්ව රැවටීමත් නිසා කුපිත වන කම්කරුවන් අරගලය දැඩි කරයි. අවසානයේ වරායේ නොනිල මැරවරයන්ට මෙය නැවැත්වීමට නොහැකිවන අතර පොලිසිය ඇතුලු රාජ්‍ය මර්දන යාන්ත්‍රණයන් කැඳවයි. කම්කරුවන් අරක්ෂක අංශ සමග ගැටෙමින් මර්දනය හමුවේ භිය නොවෙමින් සටන් කරන අතර අවසානයේ පොලිසිය වෙඩි තැබීම් අරඹයි. මෙහිදී කම්කරුවන් තිදෙනෙක් ඝාතනය වන අතර සිය ගණනක් තුවාල ලබයි. PCLU ක්‍රියාකාරිකයන් දින ගණනක් පහරකෑම්වලට ලක්වන අතර පාලකයන් අරගලය මර්දනය වූවා යැයි සිතයි. නමුත් මෙම කම්කරුවන්ගේ ඝාතන පිළිබඳ ආරංචියත් සමග ඉන්දියාව පුරා කෝචි වරායේ කම්කරුවන්ගේ අරගලයට සහාය දක්වමින් විරෝධතා දියත්වන අතර වාමාංශික ව්‍යාපාරවල මැදිහත්වීමෙන් විදේශයන්හි පවා මෙම අරගලයට සහාය දක්වමින් සහ කම්කරුවන් ඝාතනයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ සංවිධානය වෙයි.
අරලයක් යනු සරල කාර්යයක් හෝ දවසින් දෙකෙන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් කළහැකි දෙයක් නොව, එය අවසන් ඉලක්කයට ළඟාවන තුරු උත්සාහය අත් නොහරිමින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ගමන් කළ යුතු ගමනක් බව සනාථ කරමින් මෙම Chappa ක්‍රමයට එරෙහි අරගලයේ නිශ්චිත ජයග්‍රහණයක් අපට හමුවන්නේ මෙම සිදුවීමෙන් වසර 9 කට පසු 1962 වසරේ Chappa ක්‍රමය කෝචි වරාය තුල තහනම් කිරීමත් සමගය. 1930 දශකය ආරම්භයේ පමණ සිට දියත්වූ අරගලයක් ඉන් දශක තුනකටත් අධික කාලයකට පසු දහස් ගණනක්වූ කැපකිරීම් මත ජයග්‍රහණය වෙත ගමන් කරයි.
මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දිව යන්නේ මෙම පසුබිම තුළය. Mymoo ගේ පවුල වටා මෙහි සිනමාත්මක සිත්තම අලංකාරව ගොඩනැගෙන අතර එහි පසුබිම් දේශපාලනික කතාව ඉහත අකාරයෙන් වෙයි. මෙහි ප්‍රධාන චරිත වටා ගෙතෙන සිදුවීම් ප්‍රබන්ධයන් වන නමුත් මෙම සිනමා නිර්මාණය පසුබිමේ දිගහැරෙන සිදුවීම් සියල්ල සත්‍ය සිදුවීම් මත පදනම් වෙයි. චිත්‍රපටය Rajeev Ravi අධ්‍යක්ෂණයක් වන අතර Gopan Chidambaran ගේ පිටපත් රචනයක් වන අතර ඔහුගේ පියා විසින් පෙර රඟ දැක්වූ නාට්‍යයක් ආශ්‍රයෙන් මෙම චිත්‍රපට පිටපත සැකසී ඇත. Nivin Pauly, Dharshana Rajendran, Arjun Ashokan වැනි මළයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් එක් වුවද මෙය අපේක්ෂිත ආදායම් නොලැබූ චිත්‍රපටයක් ලෙස විචාරකයන් කරුණු දක්වයි.
Comments
Post a Comment