'දෙවෙනි ඉනිම' සහ එදිරිමුනිලාගේ ගැටලුව
පහත උපුටනයක් ලෙස පළ කෙරෙන්නේ ටෙලිනාට්‍ය පිටපත් රචකයකු ලෙස ජනප්‍රියත්වයක් ලබා සිටින සමන් එදිරිමුණි විසින් 2023 මැයි 28 දින තැබූ Facebook සටහනකි. ඔහු පළ කරන මේ අදහස සම්බන්ධයෙන් ‘රළ‘ අතිරේකයේ අප තබන සටහන පහතින් පළ කෙරේ. සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියේ පළ කළ අදහසක් මෙසේ නැවත උපුටා පළ කරන්නේද ඊට අදාළ අපගේ ප්‍රතිචාරය සටහන් කෙරෙන්නේද සමන් විසින් පළ කරන අදහස හුදු ඔහු පිළිබඳ ප්‍රශ්නයකට වඩා කලාව හා නිර්මාණකරණය වෙළඳපොළ ග්‍රහණයට හසුවීම පිළිබඳ කාරණයක් ලෙස සලකමිනි.
වෙළඳපොලේදී අනන්‍යතාව
අහිමි කර ගැනීම
මේ පළ වන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු වන සමන් එදිරිමුණි ෆෙස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ අදහසකි. මෙය ධනවාදය තුළ කලාව වෙළඳ භාණ්ඩයක් වීම සහ සංස්කෘතික ක්ෂේත්රය තුළට ප්රාග්ධනය ඇතුළුවීම විසින් උද්ගතව ඇති අර්බුදයේ මනා ප්රකාශනයකි.
කලාව වෙළඳභාණ්ඩකරණය වීමත් සමග එහි සාරය අහිමි වන අතර එය තව දුරටත් කලාව නොව කලාවේ මායාමය ප්‍රතිරූපයක් පමණක් බවට පත්වේ. මේ ප්රකාශනයෙන් පැවසෙන පරිදි ටෙලිනාට්‍ය රචකයාට කතා පුවත, චරිතවල ගුණාංග සහ චරිත සංවර්ධනය පමණක් නොව, අවම වශයෙන් කතාව නතර කරන අවස්ථාව පවා තීරණය කළ නොහැක. රචකයා කතාව නතර කිරීමට තීරණය කළහොත් රූපවාහිනී නාලිකාව වෙනත් අයෙකු භාවිතා කර ටෙලි නාට්‍යය ඉදිරියට ගෙනයයි.
ටෙලිනාට්‍ය රචකයාම පවසන පරිදි මෙම තත්වය කලාව පිලිබඳ සම්ප්‍රදායික නිර්වචන වලින් වටහාගත නොහැක. ඒ ඔහුම පවසන පරිදි මෙය ලාභ අපේක්ෂාවෙන් කරන ‘බිස්නස් එකක්‘ බැවිනි. ඔහුම කියන පරිදි ව්‍යාපාර යනු ලාභාපේක්ෂාවෙන් කරන දෙයකි. එනම් කලාව වෙනුවට විනෝද කර්මාන්තයක් ආදේශ වී තිබෙන අතර ඉතිරිව සිටින්නේ කලාකරුවන් නොව වැටුප් ශ්රමිකයන්ය. සමන් එදිරිමුණි පවසන්නේ ඒකාධිකාර සමාගම්වලට කඹුරන වැටුප් ශ්‍රමිකයාගේ ප්රශ්නයයි. ඒ අනුව මේ ටෙලිනාට්‍ය අයත් වන්නේ කලාකෘති වර්ගයටද එසේත් නැතිනම් වෙළඳ භාණ්ඩ වර්ගයටද යන ප්රශ්නය මතු වේ. අනෙක් අතට මේ සටහනේ ලියා ඇති පරිදි ‘තමන් කැමති දේ බලලා, අකමැති දේ නොබලා ඉන්න පුළුවන් ලෝකෙක’ කලා විචාරයක්ද අවශ්‍ය නොවේ. මෙය ධනවාදය තුළ කලාවට අත්වන ඉරණමයි.
මේ ප්‍රාග්ධන උගුලෙන්, ලාභ අපේක්ෂා උගුලෙන් කලාවට නිදහස ලබා ගත හැක්කේ කෙසේද? ධනවාදය පරාජයට පත් කරන විප්ලවයක් අවශ්‍ය වන්නේ එහෙයිනි. දියාගෝ රිවෙරා, අන්ද්රෙ බි්රතොන් ඇතුළු පෙරටුගාමී අසම්ප්‍රදායික කලාකරුවන් එදා ප්‍රකාශ කළ සටන්පාඨය අද වඩාත් දීප්තිමත්ව බබලයි.
‘විප්ලවයේ නිදහස උදෙසා කලාව - කලාවේ පරිපූර්ණ නිදහස උදෙසා විප්ලවය!’
Comments
Post a Comment