නතාෂා සහ ICCPR


නතාෂා එදිරිසූරිය විසින් ප්‍රහසන වැඩසටහනකදී කළ ප්‍රකාශයක් බුදුන්ට කළ අපහාසයක් ලෙස ගනිමින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර ඇත. එම ප්‍රකාශය සහිත ප්‍රහසන වැඩසටහන විකාශය කළ සමාජ මාධ්‍ය හිමිකරු ලෙස බෘනෝ දිවාකරද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ගොස් ඇත.

යම් අදහසක් ප්‍රකාශ කිරීමට හා ස්ථාවරයක් දැරීමට ඇති නිදහස ස්ථාපිත කෙරුනේ ලිබරල් නිදහසේ ධජය ඔසවාගෙන ආ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය විසිනි. නිර්මාණකරුවකුට හෝ වෙනත් අයකුට තමන් ඉදිරිපත් කරන අදහස ඉදිරිපත් කිරීමේ අයිතිය අවහිර කිරීම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පැහැර ගැනීමකි. එවැනි අය පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීම්වලට මෙන්ම අධිකරණ කටයුතු හරහා සිරගත කිරීම් කරමින් මර්දනය යොදාගැනීමට අපි තරයේ විරුද්ධ වෙමු. 

යම් ප්‍රකාශයක අදහසට විරුද්ධ නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ක්‍රමවේදය වන්නේ එම අදහසට වෙනත් අදහස් මගින් ප්‍රතිචාර දැක්වීමත් අදහස් ප්‍රචාරය වීමේදී ඇතිවන බලපෑමක් විවේචනය මගින් නිවැරදි කිරීමත්ය. නිර්මාණකාරියකට ද සිය නිර්මාණාත්මක ප්‍රවේශය හරහා අදහස් පළකිරීමට සහ විවේචනයන් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය ආරක්ෂා කරන අතරම එම නිර්මාණය විවේචනය කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබිය යුතුය. 

නමුත් දැන් අප දන්නා ආකාරයට අප ජීවත්වන්නේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නොවේ. අප ජීවත්වන සමාජයේ ජනතා ගැටලු‍ විසඳන ලෙස බල කරමින් ගෙන ගිය අරගලයක් මිලිටරි බලය මගින් යටපත් කරන ලද අතර අදත් සාමකාමී විරෝධතා මැඩ පැවැත්වීමට සන්නද්ධ පොලිස් කණ්ඩායම්, කරලි මර්දන ඒකක හා යුද හමුදාව යොදාගනු ලබයි. එයින්ද නොනැවතී ව්‍යවස්ථාවේ අඩංගු ප්‍රතිපාදන පුද්ගල නිදහස මෙන්ම දේශපාලන නිදහස අවහිර කිරීමට යොදා ගනී.

නාතාෂාට හා බෘනෝට එරෙහිව චෝදනා නගා ඇත්තේ ‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය’(ICCPR) පදනම් කරගෙන පනවා ඇති ‘ICCPR පනත’ යටතේය. මෙම පනතින් සිවිල් නිදහස හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරනු වෙනුවට දිගින් දිගටම සිදුකර ඇත්තේ නිර්මාණකරුවන් අත්අඩංගුවට ගෙන පළිගැනීමය. ශක්තික සත්කුමාරගේ කෙටිකතාවක්, අහ්නාෆ් ජසීම්ගේ කවි නිසා එම නිර්මාණකරුවන් ‘ICCPR පනත‘ යටතේ චෝදනා කරමින් දිගු කලක් අසාධාරණ ලෙස සිරගත කරණ ලදී. මාලක දේවප්‍රියගේ ගුවන්විදුලි නාට්‍ය සහ පසුගිය කාලයේ ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව‘ නවකතාව හේතුවෙන් ඔවුන් දඩයමට ලක් කිරීමට ගත් උත්සාහය විරෝධය නිසා යටපත් වුවද ඒ ආගමික අන්තවාදීන්ගේ ප්‍රවේශයන් බව අනාවරණය විය. 

අතීත අත්දකීම් අතර, ටෙනිසන් පෙරේරාගේ ‘දැතිරෝදෙන් උපන් බුදුන්‘ කෘතිය සහ මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් මරියා‘ කෘතිය ආගමික අන්තවාදයේ ඉල්ලීම පිට තහනමට ලක් කෙරුණි. නමුත් අදහස්වලට හා අයිතිවාසිකම්වලට සතුරු මර්දනකාරී උත්සාහයන් මතුවන්නේ ආගමේ නාමයෙන් පමණක් නොවේ. 

කලක් මේ නිර්මාණකරුවන් මර්දනය කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවය. ඉන්පසුව රාජපක්ෂ ආණ්ඩුවේ මර්දනය ආරම්භ විය. මේ වනවිට සමාජ-ආර්ථික-දේශපාලන අර්බුදයක ගිලී සිටින සමාජයක් ලෙස අප මුහුණ දෙමින් සිටින්නේ, බලයේ සිටින රනිල්-රාජපක්ෂ කල්ලිය විසින් ජනතාවගේ දේශපාලන නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම් විවිධ ආකාරයෙන් කප්පාදු කිරීමට දරණ උත්සාහයන්ටයි. නිර්මාණකරුවන්ගේ නිදහස කප්පාදු කිරීම සිදුවන්නේ එවැනි මර්දන ඉතිහාසයක පසුබිමේ බව අමතක කළ නොහැකිය. ඒ නිසා ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නටත් නිදහස පුලු‍ල් කරගන්නටත් ඒ ආකාරයෙන් මර්දනයට ලක්වන සියලු‍ සමාජ කණ්ඩායම් ඒකාබද්ධ අරගලයකට පිවිසිය යුතු බව අපගේ අදහසයි. එසේ නොමැතිව එක් එක් මර්දනකාරී සිදුවීම්වලදී පමණක් නින්දෙන් අවදිවූවා මෙන් ක්‍රියාත්මක වීමෙන් පවතින අත්තනෝමතික මර්දනකාරී පාලනයෙන් නිදහස් විය නොහැකි බව අවධාරණය කරමු.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?