වසා දමන ලද ජීවිතයට එදිරිව ඇය - Burqa
ආගම් හා ඒ මත ගොඩනැගුනු සංස්කෘතීන් අපගේ ජීවිත උපතේ සිට මරණය දක්වා පාලනය කරනවා. බිළිදෙකුගේ රන්කිරි කටගෑමේ සිට මතක වස්ත්‍ර පූජාව දක්වා සියල්ල මෙම සංස්කෘතීන් තුළින් අපව හැඩගැස්වීමේ උපාංගයන් බවට පත්වෙනවා. පෙර පැවති සංස්කෘතීන්ගේ පැවති සියලු සිරිත් හා හරයන් එකම නිරවශේෂයක් ලෙස බැහැර කිරීමට අපට හැකියාවක් නොමැති නමුත් එම සංස්කෘතික හරයන් ඒ ලෙසින්ම කරගසා ගෙන යාම අපව සමාජමය අර්බුදයක් කරා ගෙනයයි. අප ජීවත්වන වන ආසියානු අප්‍රිකානු කලාපයෙ මෙම සංස්කෘතික පසුගාමීත්වය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර ආර්ථික දරිද්‍රතාවය වැනි කරුණු ඒ සදහා පදනම් වී ඇත.
කෙසේ නමුත් මෙම සංස්කෘතික රාමූන් තුළ පොදුවේ සියලු දෙනා පීඩා විදින අතරම කාන්තාවන් විශේෂයෙන් පීඩා විදින බවක් පැහැදිලිව හඳුනාගත හැකිය. ඛේදවාචකය නම් එම පීඩාව පීඩාවක් ලෙසින් හෝ හදුනාගැනීමට බොහෝ කාන්තාවන් අසමත්වීමයි. ඇතැම් විටක ඇය මෙම සංස්කෘතික බාධක පීඩාවක් ලෙස හඳුනාගන්නා නමුදු ඇයම ඇයව රවටා ගනිමින් ඊට පිළිතුරු සෙවීම මගහැර යයි. ඇයට එම සංස්කෘතික සීමාවන් අභිබවන ජීවිතයක් පිළිබදව උපකල්පනය හෝ කළ නොහැකි වාතාවරණයක එවැනි ජීවන භාවිතාවකට එළැඹීමටත් ඉන්පසු සමාජයෙන් එල්ලවන අභියෝගයන්ට මුහුණ දීමටත් අවැසි ධෛර්ය නොමැතිකමින් එම කාන්තාවන් එම සංස්කෘතික සිරකූඩුවෙන් පලා යාමට කිසිදු උත්සාහයක් නොදරමින් එහිම තම ජීවිතය දියකර හරී.
‘නජ්මා’ සිය විවාහයෙන් සතියක් ගෙවෙන්නටත් පෙර හදිසි අනතුරකින් සිය සැමියා අහිමිවූ තරුණියකි. චාරිත්‍රානුකූලව ඇය ‘ඉද්දාත්’ සමය ගතකරමින් සිටී. එනම් සැමියාගේ මරණයෙන් පසු බිරිඳක් මාස හතරක කාලයක් සමාජයෙන් හුදෙකලාව දුක් වෙමින් ගත කළ යුතුය. කිසිදු පිරිමියෙකු සමග කථාබස් කිරීම පවා තහනම් ක්‍රියාවකි. ‘සූර්යා’ සමාජයෙන් නොසළකා හරින ලද පාදඩ සමාජ ස්ථරයකින් පැමිණි තරුණයෙකි. විවිධ නීතිවිරෝධී ක්‍රියාවන් මගින් තම ජීවිකාව සොයා ගන්නෙකි. ඒ චෙන්නායි නගරය ආශ්‍රිතව විවිධ ගැටුම් වර්ජන ආදිය දියත්වෙමින් ඇති කාලයකි. සූර්යයාද මුදල් සම්බන්ධ ගැටුමකට සම්බන්ධවන අතර එහිදී ඔහුට පිහි ඇණුමක් එල්ලවෙයි. මාරාන්තික තුවාලයක්ද සහිතව පොලිසියෙන් පලායමින් සිටින සූර්යා උපකාර ඉල්ලමින් නජ්මා තනිව සිටින නිවාසය වෙත පැමිණෙයි. චිත්‍රපටය ආරම්භවන්නේ එතැනිනි. තම සංස්කෘතික සීමා බිදදමමින් නජ්මා සූර්යාගේ ජීවිතය බේරාගනී.
වැන්දඹු කාන්තාවක් හුදකලා කොට තිබෙන නිවසකින් පිරිමි අයෙක් පිටවෙනවා දුටුවහොත් එය විශාල ගැටලුවක ආරම්භය වනු ඇත. එබැවින් සූර්යාට මෙම නිවසින් පිටවීමට රාත්‍රිය උදාවී පසුදා පාන්දර වනතුරු සිටීමට සිදුවෙයි. එම පැය කිහිපය තුළ නජීමා හා සූර්යා අතර ගොඩනැගෙන සම්බන්ධය චිත්‍රපටය පුරාවට දිගහැරෙයි. තත්පර කිහිපයක දර්ශනයන් හැරෙන්නට සමස්ථ චිත්‍රපටයම දිවයන්නේ එකම පසුතලයක චරිත දෙකක් වටාය. ආරම්භයේ සිට අවසානය දක්වාම චිත්‍රපටය එකම රිද්මයකින් ගලායයි. මෙබදු චිත්‍රපටයක ප්‍රේක්ෂකයා එයට බැද තබා ගැනීම ඉතා අපහසුය. නමුත් මෙහි කිසිදු අමතර ආයාසයක් නොයොදා ප්‍රේක්ෂකයාටද සෙමින් සෙමින් චිත්‍රපටය සමග ඉදිරියට ගලායාමට සිනමාකරු අවස්ථාව ලබාදෙයි.
නජීමා අනුගමනය කරණ චාරිත්‍ර ගැන සූර්යා දිගින් දිගටම ප්‍රශ්න කරන අතර බොහෝ විට සිදුවන්නේ නජීමා කෝපයට පත්වීම වන අතර සෑම විටම ඇයගේ උත්තරය වන්නේ ඇය පිළිතුරක් නොදන්නා බවයි. නමුත් එම නොදන්නා බව පැවසීම තුළම ඇය දන්නා බවත් නමුත් එම යථාර්ථය පිළිගැනීමට ඇයට ශක්තියක් නොමැති බවත් අඟවයි. නජීමාගේ මුලු ජීවිතයම ගෙවී ඇත්තේ මෙම සංස්කෘතික ප්‍රාකාරය තුළය. ඇයට ඉන් ඔබ්බෙහි ජීවිතයක් පිළිබඳ කිසිදු අදහසක් නොමැත. නමුත් සූර්යා නම් මෙම සම්මත සංස්කෘතියෙන් ඔබ්බෙහි ජීවත්වන තරුණයා ඇයට ජීවිතය ගැන නැවත සිතා බැලීමට වෙනත් කලාපයක් විවර කරදෙයි.
නජීමා විවාහයට පෙර හෙදියක් වීමට පුහුණු වූ තරුණියකි. නමුත් සාම්ප්‍රදායික විවාහය තුළ ඇය මෙම නිවසට සිරවෙයි. සිය ස්වාමිපුරුෂයාගේ මුහුණ ඇය මුල්වරට නිසි පරිදි දකින්නේද විවාහය සිදුවන දිනයේදීය. එයින් සතියක් යාමට මත්තෙන් ඔහු මිය යයි. ඔහුව නිසි පරිදි හදුනාගැනීමට හෝ පෙර ඇයට ඔහු අහිමි වෙයි. නිවසේ සියල්ලන් ඔහුගේ මරණය ගැන දිගින් දිගටම දුක්වන අතර ඇයට ඇත්තේ ඇගේ අනාගතය පිළිබද අවිනිශ්චිතතාවයකි. මාස හතරක් චාරිත්‍රානුකූලව ඔහු වෙනුවෙන් දුක්වන ලෙස නෑදෑයන් පවසන නමුත් ඔහු වෙනුවෙන් දුක්වෙන්නට තරම් ඇය ඔහුව හඳුනන්නේ නැත. ඇය සූර්යාට පවසන්නේ සූර්යා මෙන්ම සිය සැමියාද ඇයට ආගන්තුකයෙකු වන බවය.
නජීමා හා සූර්යා අතර යම් ප්‍රේමයක් හටගෙන ඇති බව අපට ඇඟවෙයි. නමුත් ඒ දෙදෙනාම එය විවෘතව කතා කරන්නේ නැත. ඔවුන් දෙදෙනා තනිවූ මෙම නිවසින් පිට සමාජයේ ඔවුන් දෙදෙනාට ඇත්තේ වෙනස් මාවත් දෙකක් බව ඔවුන් හදුනාගෙන සිටිනවා වැනිය. කෙසේ වෙතත් පසුදා පාන්දර මෙම දෙදෙනා සමුගන්නා මොහොතේ ඔවුන් වෙත එම සමුගැනීම පිළිබඳ එතරම් වේදනාවක් ඇති බවක් නොහැඟෙයි. එම හමුවීම දෙදෙනාගේම ජීවිත වෙත නව මාවත් විවිර කර ඇති අතර ඔවුන් එම මාවත් දිගේ ගමන් කරනු ඇත.
චිත්‍රපටය පුරා සූර්යා හමුවේ නජීමා සිය මුහුණ වසාගෙන සිටී. ඔහු පවසන්නේ ඇය සිය ජීවිතයම එය තුළ සගවාගෙන ඇති බවයි. කෙසේ නමුත් සූර්යා සමුගන්නා අවසන් මොහොතේ නජීමා සිය බුර්කාව ගලවා ඔහුට සිය සිනාමුසු මුහුණ පෙන්වයි. එම බලාපොරොත්තුවේ සිනහවත් සමගින් චිත්‍රපටය අවසන් වෙයි. සංස්කෘතික පවුරු බිඳගෙන ඉන් ඔබ්බට නිවහල් ජීවිතයක් වෙත ගමන් කිරීම පහසු කාර්යක් නොවන අතර එය තනි තනි පුද්ගලයන් ලෙස කිරීම වඩාත් අපහසු හා සුවිසල් ධෛර්යක් අවශ්‍යය කාර්යක් වෙයි. ඉතිහාසය තුළ මුලු සමාජයක් විරුද්ධව නැගී සිටියදී එම ධෛර්යෙන් නැගී සිටි මිනිසුන් එම සමාජ වෙනස්කම් වෙනුවෙන් අරගලය අවුලවාලන ගිණි පුපුරු බවට පත් විය.
Comments
Post a Comment