ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා වූ ප්‍රකාශනය
මෙවර අප ‘රළ‘ කලාපයේ පළ කෙරෙන පහත ලේඛනය, ස්වාධීන විප්ලවවාදී කලාවක් අරමුණු කරගෙන දියාගෝ රිවේරා සහ අන්ද්‍රෙ බ්‍රෙටන් විසින් අත්සන් කර පළ කරන ලද ඓතිහාසික ලේඛනයකි. මෙම ලේඛනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එම ප්‍රතිපත්තිමය එකඟතා ක්‍රියාත්මක කිරීම පිණිස 1938 දී පිහිටුවන ලද සංවිධානය ‘ස්වාධීන විප්ලවවාදී කලාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය’ (FIARI) ලෙස හැඳින්වේ. පවතින ධනපති සමාජයේ කලාව පිළිබඳ ආස්ථානයන් ප්‍රතික්ෂේප කරමින් ස්වකීය විප්ලවවාදී දේශපාලන හා සංස්කෘතික ස්ථාවරයන් මත පදනම්ව කෙටුම්පත් කළ මෙම ප්‍රකාශනය අන්ද්‍රෙ බ්‍රෙටන් සහ දියාගෝ රිවේරා විසින් නිල වශයෙන් අත්සන් කළා වුවද එය ලියොන් ට්‍රොට්ස්කි විසින් අන්ද්‍රෙ සමග බවට සැලකේ.
1938 අප්‍රේල් මාසයේදී අන්ද්‍රෙ බ්‍රෙටන් ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවශ්‍යතාවක් මත මෙක්සිකෝවට ගිය අවස්ථාවේදී, ඔහු ලියොන් ට්‍රොට්ස්කි දැන හඳුනාගෙන විප්ලවවාදී කලා භාවිතයක් වෙනුවෙන් සිය මූලික අදහස් ලේඛනගත කළහ. එකී අදහස් සහිත ප්‍රකාශනය තුළින් ‘ස්වාධීන විප්ලවවාදී කලාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයක් පිහිටුවීම ඉල්ලා සිටිකු ලැබීය. බ්‍රෙටන් නැවත ප්‍රංශයට පැමිණි පසු, ඔහු එකී අවශ්‍යතාව සපුරනු පිණිස ‘ස්වාධීන විප්ලවවාදී කලාව පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය’ පිහිටුවමින් පැරිස්, ලන්ඩන් සහ නිව්යෝර්ක් මෙන්ම මෙක්සිකෝවේ ශාඛා පිහිටුවීය. මෙම සංවිධානයට බෙන්ජමින් පෙරට්, යවෙස් ටැංගයි, අන්ද්‍රෙ මැසන්, වික්ටර් සර්ජ්, මර්සල් මාටිනට්, ඉග්නාසියෝ සිලොනෙ ආදී සමකාලීන කලාකරුවන්ගේ අනුග්‍රහය හිමි විය. පසුව, ඉංග්‍රීසි සාහිත්‍යකරු ජෝර්ජ් ඕවල්ගේ සහය ද දිනාගනු ලැබිණි. කෙසේ වෙතත්, යුරෝපය පුරා ගැඹුරුවන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ඇති වූ ප්‍රායෝගික අවහිරතා හේතුවෙන් මෙම 1939 පමණ සම්මේලනයේ ක්‍රියාකාරිත්වය අහෝසි විය.
වසර 85ක් පැරණි වුවද මේ ලේඛනය විප්ලවවාදී කලා ස්ථාවරයන් නිරවුල්ව ප්‍රකාශයට පත් කරන්නක් ලෙස අපගේ අවධානයට ලක් වේ.
ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා වූ ප්‍රකාශනය
අතිශයෝක්තියකින් තොරව අපට කිව හැක්කේ ශිෂ්ටාචාරය අද තරම් අන් කිසිදාක මේ තරම් බරපතල ලෙස තර්ජනයට ලක්වී නැති බවය. ම්ලේච්ඡ හා සාපේක්ෂව අකාර්යක්ෂම උපකරණ රැගත් ‘වැන්ඩල්වරු‘ යුරෝපයේ එක් කෙළවරක පෞරාණික සංස්කෘතිය මකා දැමූහ. නමුත් අද අපි දකින්නේ ලෝක ශිෂ්ටාචාරය, නවීන තාක්‍ෂණයේ සමස්ත අවි ගබඩාවකින්ම සන්නද්ධ ප්‍රතිගාමී බලවේගවල පහරවල්වලට හසුව පසුබාමින් වුවද ස්වකීය ඓතිහාසික ඉරණමට මුහුණ දෙමින් සිටින ආකාරයයි. අප මෙයින් අදහස් කරන්නේ, ළං වන ලෝක යුද්ධය ගැන පමණක් නොවේ. ‘සාමය’ සහිත කාලවලදී පවා කලාවේ සහ විද්‍යාවේ පැවැත්ම පවතින්නේ කිසිලෙසකින්වත් ඉවසා දැරිය හැකි තත්ත්වයක නොවේ.
පුද්ගල මට්ටමෙන් ආරම්භ වන තාක් දුරට, සංස්කෘතියේ වෛෂයික සාරවත් බවක් ඇති කරන යමක් නිර්මාණය කිරීමට ආත්මීය කුසලතා ක්‍රියාත්මක වන තාක් දුරට, ඕනෑම දාර්ශනික, සමාජ විද්‍යාත්මක, විද්‍යාත්මක හෝ කලාත්මක නිමැවුමක්, අනර්ඝ එහෙත් අහම්බයක් ලෙස පෙනේ. එනම්, එවැනි නිර්මාණයක් පෙනෙනුයේ අඩු වැඩි වශයෙන් ස්වයංසිද්ධව මතුවන අවශ්‍යතාවේ පලයක් ලෙසය. සාමාන්‍ය දැනුමේ (පවතින ලෝකය අර්ථකථනය කරන) හෝ විප්ලවීය දැනුමේ (ලෝකය වඩා යහපත් අතට වෙනස් කිරීමට නම්, එහි චලනය පාලනය කරන නියාමයන් පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක් ඉල්ලා සිටින) හෝ ආස්ථානයෙන් එවැනි නිර්මාණ සුළු කොට තැකිය නොහැක. නිශ්චිතවම, නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සිදු වන බුද්ධිමය තත්වයන් ගැන අපට නොසැලකිලිමත් විය නොහැක. එසේම, එකී බුද්ධිමය නිර්මාණකරණය හසුරැවන්නා වූ විශේෂිත නියාමයන්ට ගරු කිරීමට අප අසමත් නොවිය යුතුය.
සමකාලීන ලෝකය තුළ බුද්ධිමය නිර්මානය කළ හැකි එම තත්වයන් විනාශයට පත් කරන ක්‍රියාවලියක් ව්‍යාප්ත වන බව අප හඳුනාගත යුතුය. මෙයින් ඇතිවන අනිවාර්ය ප්‍රතිපලය ලෙස කලා කෘති පමණක් නොව විශේෂයෙන් ‘කලාත්මක’ පෞරුෂයේ සිදුවන පරිහානිය ද වඩ වඩාත් පැහැදිලිය. හිට්ලර්ගේ පාලන තන්ත‍්‍රය විසින් දැන් නිදහස සම්බන්ධ යම් හෝ හැඟීමක් දක්වන කලාකරුවන් ජර්මනියෙන් ඉවත් කර ඇත. එහෙත්, මතුපිටින් බැලුවද, තවමත් පෑන හෝ පින්සල අතට ගැනීමට එකඟ වන කලාකරුවන් පාලන බලයේ ගෘහ සේවකයන්ගේ තත්වයට පහත දමා ඇත. ඔවුන්ට සිදුව ඇත්තේ තිබිය හැකි නරකම සෞන්දර්යාත්මක සම්මුතීන්ට අනුව යමින් පාලන බලය උත්කර්ෂයට නැංවීමටයි. වාර්තා විශ්වාස කළ හැකි නම්, මේ වනවිට තර්මිඩෝරියානු(නිලධාරිවාදී) ප්‍රතිගාමිත්වය එහි උච්චතම අවස්ථාවට ළඟා වෙමින් පවතින සෝවියට් සංගමයේ ද තත්වය එසේම වේ.
‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ අතීතයේ ඉරිතැලී ගිය නටබුන් මත එල්ලී සිටින, ගතානුගතික හා බියට පත්, පිලිස්තීන්වනුගේ අදහස්වලට ගැළපෙන, ‘ෆැසිස්ට්වාදයත් එපා, කොමියුනිස්ට්වාදයත් එපා’ යන වර්තමාන විලාසිතාවට අයත් ජනප්‍රිය පාඨයන් සමග අප එකඟ නොවන බව නොකියාම බැරිය. සැබෑ කලාව, පෙර සූදානම් කළ ආකෘතිවල වෙනස්කම් සහිත ඉදිරිපත් කිරීම්වලින් සෑහීමකට පත් නොවන අතර ඒ වෙනුවට, මිනිසාගේ සහ මානව වර්ගයාගේ කාලීන අභ්‍යන්තර අවශ්‍යතා අවධාරනයෙන් ප්‍රකාශයට පත් කරයි. සමාජයේ සම්පූර්ණ හා රැඩිකල් ප්‍රතිනිර්මාණය කිරීමක අපේක්ෂා නියෝජනය නොකරන තාක් සැබෑ කලාව විප්ලවීය වන්නේ නැත. එය කළ යුත්තේ, බුද්ධිමය නිර්මාණය බැඳ තබන දම්වැල්වලින් මුදා ගැනීමේත් අතීතයේ හුදකලා ප්‍රතිභාපූර්ණයන් පමණක් අත්කරගත් එම උච්චස්ථානයට සියලු මනුෂ්‍ය වර්ගයාට නැගී සිටීමට ඉඩ සැලසීම සඳහා පමණි. නව සංස්කෘතියක් සඳහා මාවත හෙලි පෙහෙළි කළ හැක්කේ සමාජ විප්ලවයට පමණක් බව අපි හඳුනා ගනිමු. කෙසේ වෙතත්, අප දැන් සෝවියට් සංගමය පාලනය කරන වත්මන් නිලධාරී තන්ත්‍රය සමඟ කිසිදු සහයෝගීතාවක් ප්‍රතික්ෂේප කරන්නේ අපට නිසැකව පෙනී යන ආකාරයට එය නියෝජනය කරන්නේ කොමියුනිස්ට්වාදය නොව එහි වඩාත්ම ද්‍රෝහී හා භයානක සතුරා වන බැවිනි.
සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ආඥාදායක පාලන තන්ත්‍රය, තමන් විසින් පාලනය කරන ඊනියා සංස්කෘතික සංවිධාන හරහා වෙනත් රටවල කටයුතු කරමින්, සෑම ආකාරයකම අධ්‍යාත්මික වටිනාකම් වලට සතුරු සන්ධ්‍යා අඳුරක් මුළු ලෝකය පුරාම ව්‍යාප්ත කර ඇත. බුද්ධිමතුන් හා කලාකරුවන් ලෙස වෙස්වලාගෙන සිටින මිනිස්සු, මේ නින්දිත ලේ වැකි සන්ධ්‍යාව තුළ, වහල් සේවය වෘත්තියක් කරගත්, වැටුපට බේගල් කීම සිරිතක් කරගත්, අපරාධ වසන් කිරීමෙන් සතුටු වෙති. ඉතිහාසයේ කිසිදු නිදසුනක් නැති තරම් නිර්ලජ්ජිතභාවයකින් යුතු ස්ටැලින්වාදයේ නිල කලාව, තම කුලී සේවාවට යහපත් මුහුණුවරක් ඇති කිරීමට ඔවුන් දරන උත්සාහය පිළිබිඹු කරයි.
කලාවේ මූලධර්ම සම්බන්ධයෙන් මේ ලැජ්ජා සහගත නිෂේධනය, කලාත්මක ලෝකය තුළ පිළිකුලක් ඇති කරන වහල් රාජ්‍යයන් පවා ගෙන යාමට එඩිතර නොවූ තත්වයකි. මේ පිළිබඳ ක්‍රියාකාරී, සම්මුති විරහිත විරෝධයක් ගොඩනැඟිය යුතුය. උදාරත්වය පිළිබඳ සියලු හැඟීම් මෙන්ම සහ මානව ගරුත්වය පවා විනාශ කරන පාලන තන්ත්‍රයන් අපකීර්තියට ගර්හාවට පත්කර පෙරළා දැමීමේදී සහ යහපත් ලෝකයක් වෙනුවෙන් නිර්ධන පංතියට ඇති අපේක්ෂාවන්ටද, ප්‍රයෝජනවත් ලෙස දායක විය හැකි එක් බලවේගයක් වන්නේ සහ ලේඛකයන්ගේ සහ කලාකරුවන්ගේ මෙම විරෝධයයි.
කොමියුනිස්ට් විප්ලවය කලාව කෙරෙහි භීතියක් දරන්නේ නැත. පිරිහුණු ධනේශ්වර සමාජයක කලාකරුවාගේ භූමිකාව තීරණය වන්නේ පුද්ගලයා සහ පුද්ගලයාට සතුරු විවිධ සමාජ ස්වරූපයන් අතර ගැටුම මත බව එය වටහා ගනී. මෙම කාරණා මත පමණක්ම, මේ තත්වය පිළිබඳ සවිඥානික වන තාක් දුරට, කලාකරුවා විප්ලවයේ ස්වභාවික කොටස්රුවකු බවට පත් කරයි. මනෝවිශ්ලේෂණයෙන් විස්තර කෙරෙන ආකාරයට අභ්‍යන්තර වශයෙන් ‘ego’ සහ එය ප්‍රතික්ෂේප කරන බාහිර තත්වය අතර බිඳී ගිය සමතුලිතතාවය යථා තත්වයට පත් කිරීමට ‘උත්කර්ෂණය’ (sublimation) විසින් උත්සාහ කරයි. සියලුම පුද්ගලයන්ට පොදු කරුණක් ලෙස, දරාගත නොහැකි, පවතින යථාර්ථයට එරෙහිව, අභ්‍යන්තරික ලෙස පුබුදුවන සහ වර්ධනය කරවන ‘id’ හි සියලු ශක්තීන් මෙහෙයවමින් මෙම ප්‍රතිෂ්ඨාපන ක්‍රියාවලිය සිදුන්නේ, ‘ස්වීය පරමාදර්ශය’ උදෙසාය. පුද්ගල ආත්මයට දැනෙන මෙකී විමුක්ති අවශ්‍යතාව, සපුරාලිය හැක්කේ එහි ස්වභාවික ගමන්මග ඔස්සේ යමින් අතිමූලික අවශ්‍යතාවක් වන මිනිස් වර්ගයාගේ විමුක්තිය නමැති ප්‍රවාහය හා සම්මිශ්‍රණය කිරීමෙන් පමණි.
මෙහිදී මාක්ස් විසින් තරුණ කාලයේ සකස් කරන ලද ලේඛකයාගේ කාර්යභාරය පිළිබඳ සංකල්පය මතකයට ගනිමු. ඔහු කීවේ මෙවැන්නකි.
“ජීවත්වීම සහ ලිවීම සඳහා ලේඛකයා මුදල් ඉපයිය යුතු නමුත්, ඔහු කිසිදු තත්වයක් යටතේ ජීවත් වීම හා මුදල් ඉපැයීම සඳහා ලිවීම නොකළ යුතුය... ලේඛකයා කිසිසේත්ම ඔහුගේ කෘති දෙස බලන්නේ යැපීමේ මාධ්‍යයක් ලෙස නොවේ. කෘතියප පරමාර්ථ වශයෙන් එම කෘතිය ලෙසම පවතී. ඔහුගේත් අන්‍යයන්ගේත් ඇසින් කෘතිය පැවැත්මක් ලෙස අදාළ වන්නේ ඉතා අල්ප වශයෙනි. මාධ්‍ය නිදහසේ පළමු කොන්දේසිය වන්නේ එය ව්‍යාපාරික ක්‍රියාවලියක් නොවීමයි. ‘
රාජ්‍ය විසින් මවන ව්‍යාජ හේතුන්වලට මුවා වී බුද්ධිමය ක්‍රියාකාරකම් ඊටම නොගැළපෙන දිසාවන්ට මෙහෙයවන, කලාවට තේමාවන් නියම කරන අයට එරෙහිව මෙම ප්‍රකාශය යොදා ගැනීම, අන් කවරදාටත් වඩා වරතමානයේදී සුදුසු ය. නිර්මාණකරණයේදී තේමාවන් නිදහසේ තේරීම සහ ඔහුගේ ක්‍රියාකාරී පරාසයේ සියලු සීමාවන් නොමැති වීම කලාකරුවාට හිමි ඛිසිවකුට පැහැර ගත නොහැකි අයිතියක් ඇති වේ. කලාත්මක නිර්මාණ ක්ෂේත්‍රය තුළ, පරිකල්පනය සියලු බාධාවන්ගෙන් නිදහස් කළ යුතු අතර කිසිදු කඩතුරාවක් යටතේ එය බැඳීම්වලට යටත් කිරීමට ඉඩ නොදිය යුතුය. අද දවසේ හෝ හෙට වෙනුවෙන් කලාව එහි ස්වභාවයට කිසිසේත්ම නොගැලපෙන විනයකට යටත් විය යුතු බවට බල කරන අය, අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ‘කලාව සඳහා පූර්ණ නිදහස’ වෙනුවෙන් අපි පෙනී සිටිමු.
මෙය විද්‍යාවේ හෝ කලාවේ ධජයෙන් වසා දමන විට පවා ධනේශ්වරයේ ප්‍රතිප්‍රහාරයෙන් ආරක්ෂා වීමට විප්ලවවාදී රාජ්‍යයට අයිතියක් ඇති බව අපි පිළිගනිමු. එහෙත් විප්ලවවාදී ආත්මාරක්ෂාව සඳහා තාවකාලිකව ගනු ලබන එවැනි පියවර සහ සහ බුද්ධිමය නිර්මාණ සඳහා අණ දීමට කරණ මවා පෑම් අතර ගැඹුරු අගාධයක් පවතී. ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගවල වඩා හොඳ වර්ධනයක් සඳහා, විප්ලවය විසින් මධ්‍යගත පාලනයක් සහිත සමාජවාදී පාලනයක් ගොඩනැගිය යුතු නම්, බුද්ධිමය නිර්මාණ වර්ධනය කිරීම සඳහා පුද්ගල නිදහස උදෙසා වූ අරාජකවාදී පාලන තන්ත්‍රයක් පළමුවෙන් ස්ථාපිත කළ යුතුය. අධිකාරීත්වයක් එපා, නියෝග පැනවීමක් එපා, ඉහළින් නියෝග නිකුත් කරන අවම කිසිවක් එපා! ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා දුරදිග පැවැත්මක් සඳහා, විද්වතුන්ට සහ කලාකරුවන්ට තම කාර්යභාරය ඉටු කිරීමට හැකිවන්නේ බාහිර බාධාවකින් තොර මිත්‍රශීලී සහයෝගීතා පදනමක් මත පමණි.
චින්තනයේ නිදහස ආරක්ෂා කිරීමේදී දේශපාලන උදාසීනත්වය සාධාරණිකකරණය කිරීමට අපට කිසිදු අදහසක් නැති බවත්, පොදුවේ අතිශය ජරාජීර්ණ ප්‍රතිගාමී අන්තයන්ට සේවය කරන ඊනියා නිර්මල කලාවක් යළි පණ ගැන්වීම අපගේ අභිලාෂයෙන් බොහෝ දුරස් බවත් මේ ලෙස පැහැදිලි විය යුතුය. සමාජ ඉරණම කෙරෙහි කලාවේ බලපෑම ප්‍රතික්ෂේප කිරීමට නොහැකි තරමට කලාවේ භූමිකාව පිළිබඳ අපගේ සංකල්පනය ඉහළ ය. අපගේ යුගයේ කලාවේ උත්තරීතර කර්තව්‍යය වන්නේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාකාරීව සහ දැනුවත්ව සහභාගී වීම බව අපි විශ්වාස කරමු. නමුත් කලාකරුවා තමන්ගේ සමාජ අන්තර්ගතය ආත්මීයව උකහා ගන්නේ නම් මිස, එහි අර්ථය සහ ක්‍රියාකාරිත්වය ඔහුගේ ස්නායුවලටම දැනෙන්නේ නම් සහ ඔහුගේ කලාව තුළ තමාගේම අභ්‍යන්තර යමක් ලබා දීමට ස්වාධීන ලෙස උත්සාහ කරන්නේ නම් මිස කලාකරුවාට නිදහස් අරගලයට සේවය කළ නොහැක.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම ෆැසිස්ට්වාදී ධනවාදයේ, මරණීය වේදනාව සහිත වර්තමාන කාලපරිච්ඡේදය තුළ, තම ජීවත්වීමේ අයිතිය මෙන්ම දිගටම වැඩ කිරීමට ඇති අයිතිය අහිමිවීමේ තර්ජනයක් කලාකරුවා හමුවේ ඇත. බිඳවැටෙන ධනේශ්වරයේ සුන්බුන් වලින් සන්නිවේදනයේ සියලු මාර්ග අවහිර වී ඇති බව ඔහු දකී. ඔහුගේ හුදකලාවෙන් ගැලවීම සඳහා ස්ටැලින්වාදී සංවිධාන වෙත යොමුවීම ස්වභාවිකය. නමුත් සම්පූර්ණ අකර්මණ්‍යභාවය, අධෛර්යමත් වීම වළක්වා ගැනීමට නම්, ඔහුට එහි රැඳී සිටිය නොහැක. මන්ද එහිලා ඔහුගේම පණිවිඩය ලබා දීමට ඇති නොහැකියාව සහ යම් ද්‍රව්‍යමය වාසි වෙනුවෙන් මෙම සංවිධාන විසින් ඔහුගෙන් ලබා ගන්නා බාල ගනයේ මෙහෙවර නිසාය. ඔහුගේ ස්ථානය වෙනත් තැනක බව එනම්, විප්ලවයේ සහ මානව වර්ගයාගේ අරමුණ පාවා දෙන අය අතර නොව, විප්ලවය කෙරෙහි නොසැලෙන විශ්වාසයක් සහිත අය අතර බව ඔහු තේරුම් ගත යුතුය. මේ හේතුව නිසා, ඔහුට ඇත්තේ සියලු ආකාරයේ මානව ප්‍රතිභාවන් අවසාන වශයෙන් නිදහස් ප්‍රකාශනය කෙරෙන, විප්ලවය මල්පල ගැන්වීමේ යෙදෙනවුන් අතර ස්ථානයකි.
මෙම ආයාචනයේ අරමුණ වන්නේ තම කලාවෙන් විප්ලවයට වඩා හොඳින් සේවය කිරීම සහ විප්ලවය කොල්ලකන්නන්ට එරෙහිව එම කලාවේ නිදහස ආරක්ෂා කිරීම අරමුනු කරගත් සියලු විප්ලවවාදී ලේඛකයන්ට සහ කලාකරුවන්ට එක්විය හැකි පොදු පදනමක් සොයා ගැනීමයි. විධත්වය සහිත සෞන්දර්යාත්මක, දාර්ශනික සහ දේශපාලනික ප්‍රවණතාවන් උදෙසා පොදු පදනමක් මෙහි සොයාගත හැකි බව අපි විශ්වාස කරමු. ‘ජෝසප් ස්ටාලින්’ සහ ඔහුගේ ගැත්තකුවන ‘ගාර්සියා ඔලිවර්’ නියෝජනය කරන ප්‍රතිගාමී පොලිස් මුර සංචාර සම්මුති විරහිතව ප්‍රතික්ෂේප කරන්නේ නම්, මාක්ස්වාදීන්ට සහ අරාජකවාදීන්ට එක්ව ගමන් කළ හැකිය.
හුදකලා වූ චින්තකයන් සහ කලාකරුවන් දහස් ගණනක් අද ලොව පුරා විසිරී සිටින බව අපි හොඳින් දනිමු. ඔවුන්ගේ කටහඬ සංවිධානය වූ බොරුකාරයන්ගේ උස් හඬ අතර නෑසී යයි. තරුණ බලවේග එකතු කිරීමට උත්සාහ කරන කුඩා දේශීය සඟරා සිය ගණනක් සොයන්නේ නව මං පෙත් මිස සහනාධාර නොවේ. කලාවේ සෑම ප්‍රගතිශීලී ප්‍රවණතාවක්ම, ෆැසිස්ට්වාදය විසින් ‘පිරිහීම්‘ ලෙස හංවඩු ගසමින් විනාශ කරයි. සෑම නිදහස් නිර්මාණයක්ම ස්ටැලින්වාදීන් විසින් ‘ෆැසිස්ට්’ ලෙස හඳුන්වයි. ස්වාධීන විප්ලවවාදී කලාව සින් දැන් ප‍්‍රතිගාමී හිංසාවට එරෙහි අරගලය සඳහා තම සියලු බලවේග ඒකරාශි කළ යුතුය. පැවැත්මේ අයිතිය උස් හඬින් ප්‍රකාශයට පත් කළ යුතුය. කාලීන අවශ්‍යතාවක් ලෙස,එවැනි බලවේග එකමුතු කරන ‘ ජාත්‍යන්තර ස්වාධීන විප්ලවවාදී කලා සම්මේලනයක්’ පිහිටුවීමට අවශ්‍ය යැයි අපි විශ්වාස කරමු.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති සෑම අදහසක්ම යායුතු දිශාවේ පළමු පියවර ලෙස අප විසින් සළකන අතර අවසන් නිගමන ලෙස අපි කිසිසේත් අවධාරනය නොකරමු. මෙම ආයාචනයේ අවශ්‍යතාවය අවබෝධ කර ගන්නා සෑම මිතුරෙකුගෙන්ම සහ කලාවේ ආරක්ෂකයෙකුගෙන්ම අපි ඉල්ලා සිටින්නේ ඉක්මනින් තම හඬ අවදිකරන ලෙසයි. ජාත්‍යන්තර සම්මමේලනය නිර්මාණය කිරීමට සහභාගී වීමට, එහි ක්‍රියාකාරිත්වය සහ ක්‍රියාකාරී ක්‍රම සලකා බැලීමට සූදානම්ව සිටින වමේ සියලුම ප්‍රකාශනවලට අපි මෙම ආයාචනය යොමු කරමු.
පුවත්පත් මගින් සහ ලිපි හුවමාරුවෙන් මූලික ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගත් විට, අපි සාමාන්‍ය පරිමාණයෙන් ප්‍රාදේශීය හා ජාතික සම්මේලන සංවිධානය කිරීමට ඉදිරියට යමු. අවසාන පියවර වනු ඇත්තේ ජාත්‍යන්තර සම්මේලනයේ පදනම නිල වශයෙන් සනිටුහන් කරන ලෝක සම්මේලනයක් රැස්වීමයි.
අපගේ අරමුණු:
කලාවේ ස්වාධීනත්වය - විප්ලවය සඳහා. විප්ලවය - කලාවේ පූර්ණ ස්වාධීනත්වය සඳහා!
අත්සන් කළේ -
අන්ද්‍රෙ බ්‍රෙටන් සහ දියාගෝ රිවේරා
Comments
Post a Comment