''මාස්ටර් සර්''





මුල් ඉංග්‍රීසි ගායනය - නෙවිල් ප්‍රනාන්දු / සැන්ඩ්‍රා එඩෙමා  

නීලා වික්‍රමසිංහගේ ගායනය

https://youtu.be/JCs4GTCq3aU

නිමල් මෙන්ඩිස් සිංහල ගායනය

https://youtu.be/6CGJggppqcw


සංගීතය - නිමල් මෙන්ඩිස්

පද රචනය - නිමල් මෙන්ඩිස් (ඉංග්‍රීසි)

සිංහල ගීතය

ගායනය - නීලා වික්‍රමසිංහ

 සංගීතය - නිමල් මෙන්ඩිස් 

පරිවර්තනය - කරුණාරත්න අබේසේකර

ඊනියා නිදහස ලබලා අවුරුදු හැත්තෑපහකට පස්සෙ ලංකාව ඇතුළෙ නිදහස කියන සංකල්පය රැඩිකල් විදියට ප්‍රශ්න කරන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ. නිදහස ගැන මේ වෙනකං වර නඟමින් තිබූ අධිපති අදහස මේ අවුරුද්දෙ දි අභියෝගයට ලක් වුණා. පෙබරවාරි 04 වෙනිදා ලැබුණු නිදහස කියන්නෙ මේ රටේ ප්‍රභූ සුළුතරයකට මිසක් නිර්ප්‍රභූ බහුතරයට හිමි වෙච්ච එකක් නො වන බවයි, මේ පාර නිදහස් දිනය සමරන දවසෙ රටේ මහජනතාව දක්වපු ප්‍රතිචාරවලින් පෙණුනෙ. 

ඒ යථාර්ථය රටේ පොදු ජන විඤ්ඤාණය විදියට පරාවර්තනය වෙන්න අවුරුදු හැත්තෑපහක් ගියාට නිමල් මෙන්ඩිස් වගේ කලාකාරයෙක් ඒ අදහස මීට අවුරුදු 45ටත් කලින් සින්දුවකින් ලියලා නෙවිල් ප්‍රනාන්දුට කියලා ගායනා කරලා තිබුණා. පස්සෙ විවිධ ස්වරූපවලින් මේ සින්දුව නැවත නැවත ගායනා වෙන්නක් බවට පත් වුණා. ඒ තමයි ”මාස්ටර් සර්” කියන සින්දුව. 

මේ සින්දුව සිංහලයට නැඟුවෙ කරුණාරත්න අබේසේකර වුණාට මේ සින්දුවට පදනම් වෙන අත්දැකීම ඇත්තට ම ලබන්නෙ ඉංග්‍රීසියෙන් මේ සින්දුව ලිව්ව නිමල් මෙන්ඩිස්. 

එයා බි්‍රතාන්‍යයේ ජීවත් වෙන කාලෙක සුදු ජාතිකයන් කිහිප දෙනෙකුගේ පහර කෑමකට ලක් වුණා. ඊට පස්සෙ කාලෙක එයා ලංකාවට ඇවිල්ලා නෝටන්බි්‍රජ්වල වගාවකට සම්බන්ධ වෙනවා. එතන දි තමයි එයා මේ සින්දුව ලියන්න ආභාෂය ලබන්නෙ. මෙන්න එයා ඒක විස්තර කරල තියෙන හැටි: 

“ඒත් ටික දවසකින් මං එංගලන්තෙ අතෑරලා ඇවිත් නෝටන්බි්‍රජ්වලින් අක්කර 10 ක් අරගෙන වගා කරන්න ගත්තා. ඒ දෙමළ මිනිස්සු මට කතා කළේ ‘මාස්ටර්’ කියලා. දෙමළ අය තමන්ගෙ ස්වාමියාට කතා කරන්නෙ එහෙමයි. සිංහල මිනිස්සු කිව්වෙ ‘සර්’ කියලා. මට තේරුණා, එංගලන්තෙ වුණත් මෙහෙ වුණත් තියෙන වර්ග - වර්ණ භේදය ගැන.” (http://geeyakawathagotha.blogspot.com/2013/09/panam-aten-master-sir.html)

මේ සින්දුව ලියවිලා තියෙන්නෙ සුද්දා අපිව අතඇරලා ගියාට පස්සෙත් තමන්ගෙ අභිමානය දිනා ගන්න බැරි වෙච්ච කම්කරුවෙක් කථකයා විදියට අරගෙන. නීලා මේ සින්දුව කියද්දි කථකයා ඉබේ ම කම්කරු ස්ත්‍රියක් වෙනවා. 

සුද්දා යටතේ සම්පූර්ණ වහල්භාවයට ඇද වැටිලා හිටිය කම්කරුවා නිදහසෙන් පස්සෙ පොඩි හුස්මක් අරගන්නවා. එයාගෙ වැටුපත් ටිකක් වැඩි වෙලා තියෙනවා. දරුවට බත් මිටක් කවා ගන්න දැන් පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම අස්සෙ තව ම තමන්ට හිමි නො වුණු යමක් තියෙන බව මේ කම්කරුවට දැනෙනවා. 

‘මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ

අනේ සර් අනුකම්පා නොසිතේදෝ’

මේ කම්කරුවා ඉල්ලා සිටින්නේ තමන්ට අහිමි කරන ලද අභිමානය, ගෞරවය හා ආදරය. පෙබරවාරි 04 වෙනි දා පාරට බැහැපු මිනිස්සුත් ඉල්ලුවෙ ඒක. 

ඒත් අද වෙනකොට ඉන්න පීඩිතයා මේ සින්දුවෙ ඉන්න පීඩිතයට වඩා සෑහෙන දියුණු යි. මොකද, යම් ප්‍රමාණයකට හරි අද පීඩිතයා තේරුම් ගනිමින් ඉන්නවා තමන්ට ‘හිමි තැන’ පීඩකයාගෙන් ඉල්ලල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒ වගේ ම අද පීඩිතයා, පීඩකයාගෙන් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ‘අනේ’ වගේ සුසුම් පද කොහොමත් අද ඇහෙන්නෙ නෑ. 

ඒත් මේ සින්දුවෙ ලස්සන ප්‍රාර්ථනාවක් තියෙනවා. 

‘අනේ සර් අපි මිතුරන් වෙයිදෝ

එදා දවස උදාවේවිදෝ’

මේ ප්‍රාර්ථනාව ලස්සන වෙන්නෙ ඒකෙ තියෙන කොමියුනිස්ට් ගතිය නිසා. පීඩිත - පීඩක ලෙස බෙදෙන සමාජයක් වෙනුවට මිතුරන් - මිතුරන් ලෙස එක් වන සමාජයක් පිළිබඳ උස් වූ බලාපොරොත්තු දල්වා ගැනීම සමාජ සංවර්ධනයට අත්‍යවශ්‍යය යි. මොකද, පරමාදර්ශ අහිමි වෙච්ච සමාජයකට අනාගතයකුත් නෑ. 

හැබැයි ‘එදා දවස’ ගැන හීනයක්වත් නැති ‘අද දවසේ’ දේශපාලනයකින් යැපෙන ලාංකේය සන්දර්භයක තමයි මේ සින්දුව නැවත නැවත ගායනා වෙලා තියෙන්නෙ කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා මේ සින්දුවෙන් - ඒ කියන්නෙ ගායනයෙන් වගේ ම සංගීතයෙනුත් ඔය කියන ‘එදා දවස’ ගැන මහ ලොකු බලාපොරොත්තුවක් දැනෙන්නෙ නෑ. ඇත්තට ම නම් එහෙම කිසියම් බලාපොරොත්තුවක් තිබ්බ කාලෙක ගායනා වෙච්ච මුල් ගීතයෙත් ඔය කියන ‘එදා දවස’ ගැන ඒ හැටි බලාපොරොත්තුවක් දැනෙන්නෙ නෑ. 

ඒ නිසා අපි හිතනවා මේ සින්දුව තවත් ආකාරයක ගායනයක් ඉල්ලා හිටිනවා කියලා. ඒත් ඒ අලුත් ආකාරය මහ පොළොවෙ සිද්ධ වෙන දේශපාලන පරිවර්තනයන්ට අනුව මිස ඔහේ ස්වාභාවිකව ස්වයංසිද්ධව සිදු වන්නක් නො වන බවත් මේ එක්ක ම සටහන් කර තබන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.

පණම් අටෙන් මට වැඩිකර දුන්න

හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න

මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ

අනේ සර් අනුකම්පා නොසිතේදෝ


අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ

නිම වෙන්නට කල් ගත වෙයිදෝ

අනේ සර් අපි මිතුරන් වෙයිදෝ

එදා දවස උදාවේවිදෝ


මට මතක්වෙනවා සුද්දා තැලූ පෙලූ හැටී

අපි කතා කළේ පණ ගැහිගැහි දණින් වැටී

මාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්න

අනේ සර් කරුණාවෙන් සලකන්න


අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ

නිම වෙන්නට කල් ගත වෙයිදෝ

අනේ සර්, අපි මිතුරන් වෙයිදෝ

එදා දවස උදා වේවිදෝ

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

දෘෂ්ටිවාදය භෞතික බලයක් සේ සංවිධානය වීම - (‘2019 ජූලි මාසයේ දවසක්’ නාට්‍ය පිළිබඳ විචාර සටහනක් )

28 - අර්බුදයේ අවබෝධය සහ පටලැවිල්ල අතර