හෘදසාක්ෂිය, මිනිසෙකුගේ මාලිමාවයි !
හෘදසාක්ෂිය, මිනිසෙකුගේ මාලිමාවයි !
- වින්සන්ට් වැන් ගෝ -
චිත්‍ර කලාවේ නියුතු කලා ශිල්පීන් දෙපළකගේ නිර්මාණ පසුගිය පෙබරවාරියෙ කොළඹ නගරයේ කලාගාර දෙකක ප්‍රදර්ශනය කෙරුණා. ඉන් එක්කෙනක් සුජිත් රත්නායක.
මේ සමග පළ වෙන්නෙ කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ ‘කැඩපත සහ ලොකප්’ නම් වූ ස්ථාපන කෘතියක් සමඟ සුජිත් රත්නායක පෙනී සිටින සේයාරුවක්. ඉහත සටහන්වන වින්සන්ට් වැන් ගෝගෙ ප්‍රකාශය(Conscience is a man's compass!) සටහන් කරමින් ඔහු නිර්මාණය කර තිබුණේ පොලිස් සිර මැදිරි දොරටුවක්. එම සිරමැදිරි දොරටුව වෙත යන විටම ඒ ඉදිරිපස ඇති කැඩපතෙන් (මෙහි පෙනෙන ආකාරයටම) අපට පෙනෙන්නේ අප සිරමැදිරියක සිට පිටත බලා සිටින දර්ශනයක්.
‘අර්බුදය හා අරගලය’ ලෙස නම්කළ සුජිත්ගෙ සමස්ත ප්‍රදර්ශණයෙම තිබුණේ ස්ථාපන කලාකෘති 10කට ආසන්න ගණනක්. නමුත් ඒ සියල්ලම තේමා කරගෙන තිබුණෙ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ විසින් ජන සමාජයක් ලෙස අප වෙත එල්ල කර ඇති බිහිසුණු ඉරණමයි. 1979 උතුරේ තමිල් තරුණයන්ගේ සන්නද්ධ නැගිටීම මර්දනය කිරීමට යැයි කියමින් තාවකාලික පනතක් ලෙස හඳුන්වා දුන් මෙම මානව විරෝධී නීතිය, උතුරේත් දකුණේත් ලක්ෂ ගණනක් මරාදමා හෝ අතුරුදන්කර තිබෙනවා. තවදුරටත් අප සමාජයේ අදහස් ප්‍රකාශ කිරීමේ, දේශපාලනය කිරීමේ හා චින්තනයේ නිදහස පාගා දමමින් පාලකයන් මෙම නීතිය මර්දනකාරී ලෙස පවත්වා ගෙන යමින් සිටින බව සුජිත් සිය නිර්මාණ තුළින් නිරූපණය කළා.
කෙසේවුවත් මේ යුගයේ කලාවත්, ප්‍රාග්ධන උගුලක හසුවන බව සත්‍යයක්. මුල් යුගයේ ධනවාදය තුළ විකිණිය හැකි සියල්ල අලෙවියට තබනු ලැබුණා. නමුත් නවලිබරල් ධනවාදය විසින් විකිණිය යුතු නැතැයි කියූ දේ පවා විකිණීමට වෙළඳපොළ සකස් කරනු ලබන බව කිව හොත් නිවැරදියි. මේ වනවිට ප්‍රාග්ධනය විසින් මානව සමාජය ගොදුරු කරගෙන තිබෙන ආකාරය නිසා එක් පැත්තකින් ධනවාදය විසින් නිපදවන පරිභෝජන භාණ්ඩ වෙනුවෙන් පාරිභෝගිකයකු නිර්මාණය කිරීමටත් අනෙක් පැත්තෙන් ධනපති ක්‍රමයේ වානිජවාදයෙන් කලා නිර්මාණ හරහා රසිකභාවය පවා මුදලට ගනු ලබනවා.
සුජිත්ගේ සිරමැදිරි දොරටුව හරහා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අර්ථකථනයකට ගෙන එමින් අප හැම දෙනාම පාලකයන්ගේ මර්දනයේ සිරකරුවන්ව ඇති ආකාරය ප්‍රතිනිර්මාණය කිරීමට සුජිත් කලාගාරයට එන අපව කලා කෘතියේ කොටසක් බවට පත් කරනු ලැබුවා.
නමුත් මෙහි අප දුටුවෙ, කලාගාරයට පැමිණි බොහෝ දෙනා පිස්සුවෙන් වගේ මේ සිරකුටි දොරටුව වෙත යමින් තමන්ගේ ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය තුළ පළ කිරීමක්. සෙල්ෆි ගැසීමෙන් මෙම කලාකෘතියේ අර්ථය කණපිට පෙරලී යාම අප ජීවත්වන පරිභෝජනවාදී සමාජයේ ඇත්ත නිරූපණය කරන්නක් වුණා. ‘තමන් රාජ්‍යයේ සිරකරුවන් බවත් මර්දනයේ ගොදුරු බවත් නිරූපණය කළ කලා නිර්මාණයම ඒ මර්දනය මැද ජීවත්වන රසිකයාගේ පරිභෝජන වස්තුවක් බවට පත්වීම’ ගැන මොකද හිතෙන්නෙ?
Comments
Post a Comment