අරගලය මගනොහැරෙන්නට නිරන්තරව අවදියෙන් ඉන්න! Train to Pakistan

 



තනි තනි ජීවන අත්දැකීම් මෙන්ම සමාජ අත්දැකීම් ප්‍රතිනිර්මාණයවන කලාව තුළ සමාජයීය ඉතිහාසයක් මෙන්ම සමාජ පරිවර්තනයන්ගේ රටාවත් නිරූපණය වෙයි.

ඉන්දියාව යටත් විජිතභාවයෙන් නිදහස ලැබීමේ ක්‍රියාවලියේදී පාකිස්තානය වෙන්ව යාම හා සම්බන්ධ ප්‍රචණ්ඩ ඉතිහාසය හා මිනිස් ජීවිත වෙත කළ බලපෑම නිරූපිත Train to Pakistan සිනමා නිර්මාණය වෙත අප අවධානය යොමු කරන්නේ  සමාජ අරමුණු සාක්ෂාත් කරගැනීමේදී මිනිස් මැදිහත්වීම කොතරම් තීරණාත්මකද යන්න කෘතිය ඔස්සේ විමසා බැලීමටය.


නවකතාකරු කුෂ්වන්ත් සිං සහ සිනමා අධ්‍යක්ෂිකා පැමලා රූක්ස්

ඉතිහාසය පුරාත් වර්තමානයේත් අනාගතයේත් සමාජයේ බොහෝ සංසිද්ධීන් සිදුවෙයි. නමුත් එමගින් අනාගත ලෝකය හැඩගැස්වීමට වන බලපෑම තීරණය වන්නේ එම සිදුවීම්වලට මුහුණ දෙන මිනිසුන් එයට මැදිහත්වන අකාරය අනුවය. මෙහිදී එම සමාජමය සිදුවීම් නිවැරදිව කියවා ගැනීමත් ඊට නිසි වේලාවේ නිසි පරිදි මැදිහත්වීමත් වාමාංශික ව්‍යාපාර ඇතුලු සමාජ වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාරයන්ට ඉතා වැදගත්ය. 

පසුගිය සමයේ සහ මේ වනවිටත් අප මුහුණ දෙන සමාජ අර්බුදය හා ඊට එරෙහිව සමාජය තුළින්ම නැගී ආ අරගලයත් මෙම තත්වය හදුනාගැනීමට ලැබෙන අසමසමවූ අවස්ථාවකි. සැබෑ ලෙසම මුලු මහත් සමාජයම වෙලාගත් අර්බුදය හමුවේ ජනතාව සමස්තයක් වශයෙන් අරගලය විශ්වාස කරන මොහොතක හෝ ඊට නායකත්වය දීමට වාමාංශික වයාපාරයන්ට නොහැකි විය. ඇතැම් දේශපාලන ව්‍යාපාර එම අරගලයන් තම න්‍යාය පත්‍රයන්ට හා අනුමානයන්ට පිටින් පැන නැගුන බැවින් නාමමාත්‍රිකව හැර අදාල අරගලය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පෙනී නොසිටින ලදී. අරගලකාරීත්වය සමනය වී සමාජය යළිත් යථා තත්වයට පත්වීම පාලක ස්ථරයන්ගේ මෙන්ම ඔවුන්ගේද අවශ්‍යතාව විය. මන්දයත් ඔවුන්ගේ න්‍යයපත්‍රයන් හා උපක්‍රමයන් සකස් වී තිබුණේ එවන් සාමාන්‍ය වාතාවරණයක් යටතේ සිදුකරණ මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන භාවිතාවක් උදෙසාය. සමාජය වෙනස් කිරීමට බලාපොරොත්තුවන වන ව්‍යාපාරයන් මෙවන් සමාජ වාතාවරණයන් තුළ ඊට හැකි උපරිමය මැදිහත්වී සමාජ වෙනසක් වෙනුවෙන් එම නැගී සිටි ජනතාව පෙළගැස්වීමට කටයුතු කළ යුතුය. මෙම කුණාටුව අවසන් වන තුරු තම යාත්‍රාවේ නැංගුරම් ලා බලා සිටින ව්‍යාපාරයන් තුළින් සමාජ වෙනසක් බලාපොරොත්තු විය නොහැකිවන අතර ඊට පටහැනිව එම කුණාටුව තුලින් ගොඩබිම සොයා යාත්‍රා කරන යාත්‍රිකයන් වීම අව්‍යයය. 

කෙසේ නමුත් විවිධ වාමාංශික කණ්ඩායම් මෙම ජනතා අරගලය සමග විවිධ පරිමාණයන්ගෙන් අත්වැල් බැදගත් නමුත් එය සමාජ වෙනසක් දක්වා ඔසවා තබන්නට මෙතෙක් ප්‍රමාණවත් නොවුණි. එසේම එවන් ජනතා නැගිටීමක් සදහා අවශ්‍ය ප්‍රමාණවත් සූදානමක් හෝ සංවිධාන යාන්ත්‍රණයන්ද එම ව්‍යාපාරයන් සතුව නොතිබුණි. එසේම එවන් මොහොතක නායකත්වය ලබාගැනීමට අවශ්‍යවූ විශ්වාසයක් සමාජය තුළ දිනාගැනීමටද වාමාංශික ව්‍යාපාර අසමත් වී තිබුණි.

Train to Pakisthan යනු නිදහස ලබාගැනීමෙන් අනතුරුව පකිස්ථානය වෙනම රටක් වශයෙන් ඉන්දියාවෙන් වෙන්වෙන කාල සීමාවේ උතුරු ඉන්දියාවේ හුදෙකලා කුඩා නගරයක් වන Mano Majra වටා ගොඩනැගුනු චිත්‍රපටයකි. එම දේශාපාලනික චලනය මෙම ග්‍රාමීය නගරවාසීන් වෙත බලාපාන ආකාරය මෙහිදී දිග හැරේ. මෙය, කුෂ්වන්ත් සිං(Khushwant Singh) ගේ නවකතාවක් ආශ්‍රයෙන් අධ්‍යක්ෂිකා පැමලා රූක්ස් (Pamela Rooks)විසින් කළ සිනමා නිර්මාණයකි.

හුදෙකලා නගරයක් වන Mano Majra බාහිර ලෝකය හා සම්බන්ධවන්නේ නගරයේ ඇති දුම්රිය නැවතුම්පල හරහාය. බාහිර ලෝකය හා මෙම නගරය සම්බන්ධ කරණ පෙකණි වැල දුම්රිය මාර්ගයයි. මෙම නගරයට ජාතිවාදී ආතතිය පැමිණෙන්නේ හින්දු ජාතිකයන්ගේ මළමිනී පිරුණු දුම්රියක් පැමිණීමත් සමගය. දිල්ලි අග නගරයේ සිට කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයා පැමිණෙන්නේද දුම්රියෙනි. අවසානයේ කතාවේ කූටප්‍රාප්තිය වන නගරයේ සිටි මුස්ලිම් ජාතිකයන් පාකිස්තානයට පැනයන්නේද දුම්රියෙනි.

Mano Majra සික් ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් ඉතා සාමයෙන් වාසය කරන නගරයකි. හුදෙකලා බව නිසාම ඉන්දියාවට නිදහස ලැබීම, පකිස්ථානය වෙන්වීම වැනි සිදුවීම් ඔවුන් වෙත එතරම් බලපෑමක් නොකරන අතර ඔවුන්ගේ ජීවිත ඒකකාරීව ගලායයි. නමුත් එම දේශපාලන චලනයන්ගේ ප්‍රතිඵල වලින් මිදී සිටීමට මෙවැනි හුදෙකලා ගම්මානයකට හෝ හැකියාවක් නොමැත. සික් ජාතිකයන් හා මුස්ලිම් ජාතිකයන් කෙතරම් සාමකාමීව වාසය කළද ආගම හා ජාතිය මතවූ බෙදීමක් නිරන්තරයෙන් ඔවුන් අතර විය. ඔවුන් වෙන් වෙන්ව තම තමන්ගේ වර්ගයාගේ රැස්වීම් සංවිධානය කරයි. මෙහි ප්‍රධාන චරිතය වන ජග්ගු නම් සික් ජාතිකයා හා මුස්ලිම් ජාතික තරුණිය අතරවූ ආදර සබදතාව රහසිගතව සිදුවන්නක් වන්නේද එම හේතුවෙන්මය. මතුපිටින් සාමකාමීවුවද මෙම බෙදුම් රේඛා ඕනෑම මොහොතක එක ගිණි පුළිඟුවක් මත ඇවිලිය හැකි වෙඩි බෙහෙත් වැනිය. කොහෙන් හෝ එක් ගිණි පුළිඟුවක් පැමිණීම ප්‍රමාණවත් වන අතර එය මහා ගින්නකට හොදටම ප්‍රමාණවත්ය.

ඉක්බාල් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය Mano Majra ගම තුළ ක්‍රියාවට නැංවීම පිණිස පැමිණියද ඔහුට හෝ පක්ෂයට මෙම ජනතාවගේ සමාජ චලිතය පිළිබඳව අදහසක් නොමැතිවූ අතර පෙර තනාගත් වට්ටෝරුවකට අනුව උපායමාර්ග තේරීමට ඔවුන් පෙළඹේ. කෙසේ නමුත් එම සුපුරුදු ක්‍රියාමාර්ග Mano Majra වෙත නොගැළපෙන බව ඉක්බාල් විසින් පක්ෂය වෙත දන්වා යවයි. ඉක්බාල් අපේක්ෂා කරනවාට වඩා වේගයෙන් තත්වයන් වෙනස් වන අතර හින්දු ජාතිකයන්ගේ මළමිනී රැගත් දුම්රියක් Mano Majra වෙත පැමිණීමත් සමග සියල්ල උඩුයටිකුරුවීම ඇරඹෙයි. මේ අතර නගරයේ සිදුවන මිනීමැරුමකට සැකපිට ඉක්බාල් හා ජග්ගු අත්අඩංගුවට පත්වන අතර ඉක්බාල් ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ අයෙකු ලෙස නම්කරමින් රදවා තබා ගනු ලැබෙයි. මෙය සිහි ගන්වන්නේ 1983 ජාතිවාදී කෝළාහල පිටින් දමා වාමාංශික පක්ෂ තහනම් කිරීමේ ක්‍රියාවයි. කෙසේ නමුත් ඉක්බාල් සිර මැදිරියට වී තම නිදහස වෙනුවෙන් කටයුතු කරන අතර Mano Majra නගරය මෙතෙක් නොතිබූ ජාතිවාදී ගින්නකින් ගිණියම් වෙයි.

ඉක්බාල් ට නොදැනෙන එම අනතුර එම නගරයේ වෙසෙන ජග්ගුට දැනෙයි. ඔහු කළබල වන අතර ඔහු ඔහුගේ දැනුමට හා ශක්ති ප්‍රමාණයට අනුව ඊට එරෙහිව ක්‍රියාමාර්ග තෝරයි. ජග්ගු මුස්ලිම් ජාතිකයන් රැගෙන යන දුම්රියට එරෙහි ප්‍රහාරය වැළැක්වීමට යන අවස්ථාවේ පවා ඉක්බාල් නින්දේ පසුවීම මෙහිදී ඉතා සංකේතාත්මකය. මෙහිදී ජග්ගුට සවන් දීමක් හෝ ඉක්බාල් වෙතින් සිදුනොවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉක්බාල් නිදා සිටින විට සියල්ල සිදුවෙයි.

සමාජ වෙනසක් වෙනුවෙන් ක්‍රියාකරන ව්‍යාපාර ඉතිහාසය තුළ නිදා සිට එම සමාජ වෙනස අත්කරගත නොහැකිවන අතර සමාජයේ සිදුවන චලනයන් අධ්‍යයනය කරමින් එයින් ඉගෙනගනිමින් තමන්වද වෙනස්කර ගනිමින් එම සමාජ චලිතයන් සමග ඉදිරියට යමින් වඩා යහපත් වූ සමාජයක් වෙත ජනතාවට නායකත්වය ලබාදිය යුතුය.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?