අරගලය සහ සතුට කවියකුගේ ඇසින්


දුරෙයි ෂන්මුගම්

තත්වයන්ගේ වෙනස්වීම, තත්වයන් වෙනස් කිරීම සම්බන්ධ මිනිස් මැදිහත්වීමේ ස්වරූපය කවරේද? තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන මැදිහත්කාරක ව්‍යාපාරයන්ගේ ස්වභාවය, තත්වයන් වෙනස්කිරීම කෙරෙහි බලපාන්නේ කෙසේද? සැබැවින්ම, මෙය න්‍යායික ප්‍රශ්නයකට වඩා ව්‍යවහාරික ප්‍රශ්නයක් බව මාක්ස්වාදයේ දැක්වෙන අදහසයි. එහෙත් කිසිවිටකත් න්‍යාය හා ව්‍යවහාරය යන දෙකෙන් එක් පාර්ශ්වයක්, පමණක් අධි අවධාරණයට ලක් කිරීමෙන් මිනිස් ක්‍රියකාරිත්වයේ ඒකාබද්ධතාව අහෝසි වෙයි. එහෙයින් තත්වයන් වෙනස් කිරීමට මැදිහත්වන ව්‍යාපාර මේ අංශ දෙක පිළිබඳවම අවධානය යොමු කිරීම වැදගත්ය. එක් අතකින් න්‍යාය යනුම ව්‍යවහාරයේම සාමාන්‍යකරණයකි. අනෙක් අතින් න්‍යාය යනු, ව්‍යවහාරයේම ඉදිරි දැක්මකි. සමාජ විප්ලවයකදී විප්ලවවාදී ව්‍යාපාරයන්ගේ කාර්යය නම්, මේ ඉදිරි දැක්ම ඔස්සේ සමාජය සංවිධානය කිරීමය. පසුකාලීනව, මාක්ස්වාදී දාර්ශනික කතිකාව තුළ ආර්ථික, දේශපාලන, ආධිපත්‍යයට බුද්ධිමය හා සදාචාරාත්මක ආධිපතයයක් පිළිබඳ කතිකාවක් ඈඳුනේද මේ නිසාම විය හැක. සත්‍ය වශයෙන්ම සමාජ වෙනස එහි ස්වයංසිද්ධ සීමාවලින් එහාට වර්ධනය කළ හැක්කේ සවිඥාණික මැදිහත්වීමකිනි. 

දුරෙයි ෂන්මුගම් නමැති ද්‍රවිඩ භාසීය සාහිත්‍යධරයාගේ කවියක් ඇසුරින් සිංහල භාෂාවට පරිවර්තනය වූ ‘මුඩු බිමක බිම් නැගුම’ නම් කාව්‍යය මෙවර ‘රළ’ කලාපයේ සාකච්ඡාවට ගැනෙනුයේ සමාජ ව්‍යාපාරයන්ගේ දේශපාලනික පරිණතභාවය, පන්ති බලවේග මත එහි මුල් ඇදී ගිය ස්වභාවය හා පැරණි සමාජයේ අගතීන් පිසදා හැරීමට සදාචාරාත්මක, ආචාරධාර්මික හා බුද්ධිමය පෘථුලභාවය, සමබරතාව පිළිබඳ සාකච්ඡාවක් මතුකර ගැනීම සඳහාය. මාක්ස්වාදයේ මුල් කර්තෘවරුන්ට අනුව, ‘පක්ෂය අනාගත සමාජයේ කළල රූපය’ වනුයේ මේ අර්ථයෙනි.  අරගලයේ ස්වයංසිද්ධභාවය ගැඹුරු සමාජයීය විපර්යාසයක් කරා මෙහෙයවිය හැක්කේ මෙවන් ව්‍යාපාරයකටය, මෙවන් ව්‍යවහාරයකටය.

“මේ ඇත්තමයි

ප්‍රේක්ෂක සංගම් බිහි වෙයි

විප්ලවයට පවා”

මහා ජන ක්‍රියාකාරිත්වයන්ගෙන් වියෝ වෙමින් දේශපාලන ක්‍රියාකාරිත්වය ‘අතේ දුරින් තබා ගැනීමට උත්සාහ කරන’ නවලිබරල් ‘නැරඹුම්කාමය‘ට එරෙහිව මහා ජන සමූහයන් සමග ස්වකීය පැවැත්ම සමපාත කිරීමේ විපර්යාසකාරී ක්‍රියාමාර්ගය’ කවියා දකිනුයේ මෙලෙසෙිනි. 

“සියලු ප්‍රීතිමත් දෑ

සාමාන්‍යකරණය වෙයි

කොමියුනිස්ට්වාදියකුව 

දිවි ගෙවීමේ සතුටට”

කවියා සඳහන් කරන මෙකී සතුට යනු මානව සංහතියේ එක් සාමාජිකයකු ලෙස, තම වර්ගයාගේ උවමනා එපාකම් සමග ගැට ගැසීමේ සතුටයි. මිනිසා නිර්මානශීලී කරනුයේද, ඒකාකාරී ශ්‍රමයෙන් මුදවා ගනු ලබන්නේද මෙසේ මානව සමාජයේම අවශ්‍යතා සමග ගැට ගැසීමෙනි. කොමියුනිස්ට්වාදියකුව දිවි ගෙවීමේ සතුට නම් එයයි. එය නිදහසේ ගැඹුරුම අත්විඳීමකි. එකී නිදහස යනු හුදු පුද්ගල ලිබරල් නිදහසක් නොව, සමාජයීය සහජීවනයෙන් උපදින නිදහසකි. එහිදී 

“සියලු දුක් දෝමනස්සයන් 

සාමාන්‍යකරණය වෙයි”

එනම් පුද්ගලයා ඉතිහාසයේ සැබෑ කර්තෘවරයකු ලෙසින් ස්වකීය කාර්යයට උරදෙන මොහොතයි. එකී කර්තෘකාරකත්වය යනු අපගේ යුගයේදී හුදු වියුක්තයක් නොව, නිශ්චිත ස්වරූපයක් ගනු ලබන්නකි. අප කලින්ද සඳහන් කළ සමාජය යළි මානුෂිකවාදී ලෙස සංවිධානය කිරීම යන්න අපගේ යුගයේ විප්ලවවාදිත්වයට තිබෙන අර්ථයයි. 

“සියල්ලට සූදානම්ව 

කවද්ද විප්ලවය?

වැසි වැටෙන්නේ කෙදිනද?

විමසමින් ඈනුම් යවති”

සත්‍ය ලෙසම මහපොළොව අලුත් කරන වැසි වැටෙන්නේ මෙසේ විප්ලවවාදී දේශපාලන පක්ෂය සමාජය මත පැළපදියම්වන පමණටය. එය ස්වයංසිද්ධව සිදු නොවේ. අප කලින්ද සඳහන් කළ පරිදි ආර්ථික ක්‍රමයේ, දේශපාලන ක්‍රමයේ හා බුද්ධිමය හා ආචාරධාර්මික තලයේ දැනුවත් භාවිතාවකින් තොරව එය සිදු නොවේ. 

“අහස පමණක් මඳ වේ

වැසි වැටෙන්නට

පොළොව මතද ක්‍රියාවලියක් ඇත.”

කවියා පවසනුයේ ‘වෙහෙස වීමෙන් තොරව ඒ දිනය උදා නොවනු ඇත‘ කියාය. ඒ කෙබඳු ආකාරයේ වෙනසක්ද? ආර්ථික තලයේ ආධිපත්‍ය ලබා ගැනීමට දේශපාලන තලයේ ආධිපත්‍ය ලබා ගැනීමට හා හා බුද්ධිමය සාදාචාර, සංස්කෘතික තලයේ ආධිපත්‍ය ලබා ගැනීමට ආදී නන් විධ ක්‍රියාවලියකින් තොරව, ඒ දිනය උදා නොවනු ඇත. එය, බිඳවැට්ටවීමේ ක්‍රියාවලියක් පමණක් නොව, ගොඩනැංවීමේද ක්‍රියාවලියකි. එකී ගොඩනැංවීමේ ක්‍රියාවලියට නිර්මාණශීලීව උරදෙන ව්‍යාපාරයට මාක්ස්වාදී බොල්ෂෙවික් පක්ෂයක් ලෙස තමන් හඳනාගැනීමේ හැකියාව ඇත. කලින්ද සඳහන් කළ පරිදි ‘පක්ෂය අනාගත සමාජයේ කළල රූපය’ ලෙස සැළකෙනුයේ මේ නිසාය. 

එකී අනාගත සමාජය ගොඩනංවීමට අප කෙතරම් සූදානම්ද? මෙන්න මේ කාර්යයට අප කෙතරම් සමත්වන්නේද යන්න අප සංස්කෘතික බුද්ධිමය ආචාරධාර්මික හා දේශපාලනික ආදී සෑම තලයකදීම ඔප්පු කළ යුතුව ඇත. 

අප පැරණි සමාජ අගතීන්ට එරෙහිව, කොන්දේසි විරහිතව සටන් වදින මිනිසුන් විය යුතුය. අපගේ සටන මුලුමහත් සමාජයම නව සමාජ පද්ධතියකින් ආදේශාත්මකව පෙරළා දැමීමේ ක්‍රියාවලියකි. ඒ සඳහා මානව ජීවිතයේ සකලවිධ අංශ, ක්ෂේත්‍ර පිළිබඳ සියුම් සංවේදීතාවක් හා නිර්මාණාත්මක භාවිතාවක්, ඇතිවුන් විය යුතුය. මාකාස් සඳහන් කළ පරිදි ‘තත්වයන් වෙනස් කිරීම හා මිනිස් ක්‍රියාකාරිත්වයේ සමපාතනය’ අපට සාක්ෂාත් කළ හැක්කේ එමගින් පමණි. මෙවන් කතිකාවකට දුරෙයි ෂන්මුගම් ගේ ‘මුඩුබිමක බිම් නැගුම‘ කවිය හොඳ නිමිත්තක් ලෙස අප දකිමු. 


මුඩුබිමක බිම් නැගුම


මේ ඇත්තමයි!

ප්‍රේක්ෂක සංගම් බිහි වෙයි

විප්ලවයට පවා

අපි ටිකක් දැඩිව හිතමු


මා ගයන්නෙ මොන කවිය ද

ඇස දකින මල ගැන ද

පය රිදවන කටු ගැන ද

සාහිත්‍යය රසවතුන්හට නම් 

අප ළඟ කිසිත් නැත!


පළමුව 

තුවාල කරමු කවිය

එහි ගලන්නේ 

රුධිරයද ඕජස් ද කිව මැන

රහස දැනගත හැකිය


උවමනාවක් වේ නම්

ගවයකු වුවද කවියක් වේ

වචන ඇති විට 

පමණකුදු නොව

ජීවිතය සොළවන විට

පල දරයි අලුත් කවි!


සියලු ප්‍රීතිමත් දේවල් 

සාමාන්‍යකරණය වේ

කොකොමියුනිස්ට්වාදියකුව

දිවි ගෙවීමේ සතුටට


සියලු දුක් දෝමනස්සයන්

සාමාන්‍යකරණය වේ

හරය නොමැති විට එහි

ඇත්තේ වේදනාවකි


සමාජවාදය අගනේය

පක්ෂය අගයක් නැත

මී වදය වටනේය

බිඟුන්ගේ වටිනාකමක් නැත


සියල්ලට සූදානම්ව

කවදද විප්ලවය

වැසි වැටෙන්නේ කෙදිනක ද?

විමසමින් ඈනුම් යවති


අහස පමණක් මද වේ

වැසි වැටෙන්නට නම්

පොළොව මත ක්‍රියාවලියක් ඇත

ජීවිතයේ නටඹුන් නොව

වෙහෙස වීමෙන් තොර

ඒ දිනය එළඹෙනු නැත!


දුරෙයි ෂන්මුගම්, 

“පුදිය කලාචාරම්” ඉන්දියානු සඟරාව / 2000 ජනවාරි කලාපය

පරිවර්තනය - ඩබ්ලිව්. ශ්‍රීධරන්  2000 පෙබරවාරි, සිතිජය

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?