සත්‍ය හා බොරුව අතර මැද අපේ ජීවිත නොහොත් Jana Gana Mana



'ලෝකය රඟමඩලක් අපි එහි නළුවෝ වෙමු’ යන්න අපිට අසා පුරුදු කතාවයි. නමුත් සත්‍ය ලෙසම ලෝකය රඟමඩලක් අපි එහි නරඹන්නෝ වෙමු යන්න වඩා නිවැරදිය. සත්‍ය ලෙසට අප ලෝකය ලෙස දකින්නේ සැබෑව නොව අපට ලෝකය මේ යැයි පාලකයන්ට පෙන්වීමට අවශ්‍යය ලෝකයයි. කුඩා කාලයේ සිට අපේ ආසාවන් සිහින වැනි අපි අපේම යැයි සිතා සිටින දේවල් පවා තීරණය කරන මාධ්‍ය ආයතනයන්ද ඇතුළත් ශක්තිමත් සංවිධාන ව්‍යූහයක් පවතී. අපේ ආසාවල් සිහින පවා අනුන්ගේ වුන සමාජ ක්‍රමයක ඇත්තටම අපව වෙනම රැවටීමට දෙයක් නොමැති අතර ජීවිතය යැයි අප දකිනා දෙයම රැවටීමකි. 

විටින් විට සමාජයේ දැඩි කතා බහට ලක්වෙන අපරාධ සිදුවන අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය යම් යම් පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අතර මාධ්‍ය සහ සමාජය එක්ව එම සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ඔවුන් විසින්ම වරදකරුවන් බවට තීරණය කරයි. ඇතැම් මාධ්‍ය වලින් එම සිදුවීම වාර්තා කරන ආකාරයට එම පුද්ගලයාටමවුවද තමා මෙය සිදුකල බව හැගෙන තරම් ස්ථිරව අදාල පුද්ගලයාට විරුද්ධව චෝදනා ගොඩනංවයි. සේයා සදෙව්මිණී ඝාතන සිදුවීම, කහවත්ත ඝාතන ආදී සිදුවීම් වල අප මාධ්‍ය හරහා අපට හදුන්වා දුන් පුද්ගලයන් වරදකරුවන් කළ අතර ඔවුන්ගේ පෙර හැසිරීම් ආදී එසේ සිතීමට උදව්වන සියලු දේ අප හමුවේ තැබිණි. නමුත් පසුව එම සැකකරුවන් අපරාධකරුවවන් නොවන බව තහවුරු විය. ඒ සදහා ගතවන කාලය තුල එම සැකකරුට හා ඔහුගේ පවුලේ පිරිසට වෙන හානිය පීඩාව ගැන මාධ්‍ය්‍ය හෝ අප හෝ කිසිවෙකු වගනොකියයි. බොහෝ විට අපරාධය සිදුවූ අලුත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රධාන පුවත් ලෙසින් වාර්තාවුවද ඉන් මාස ගණනකට පසුව අදාල සිදුවීමේ උණුසුම මැකී ගොස් ඇති වාතාවරණයක එම සැකකරු නිදොස්වූ වග මාධ්‍ය තුල වාර්තා වන්නේ නැත. ඒ අනුව අධිකරණයෙන් ඔහු නිදොස් කලද සමාජය තුල ඔහු සදාකාලික වරදකරුවෙකු බවට පත්වෙයි. මේ ආකාරයට සිදුවූ පීඩාව දරාගත නොහැකිව නිදහස්ව නිවසට පැමිණි පසු සියදිවි නසාගත් සැකකරුවවන් පිළිබදවද සමාජයේ අවධානයක් නොමැති පුවත් වාර්තා විය. දැන් එය සියදිවි නසාගැනීමක්ද නැතිනම් මාධ්‍ය හා සමාජයක් විදිහට අප එක්ව සිදුකල ඝාතනයක්ද?

සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් ඔවුන් සගවා තැබූ ආයුධ වලින් පොලිසියට වෙඩි තැබීමට තැත්කොට පොලිස් වෙඩිපහරින් මියයාම, පොලිස් අත්අඩංගුවෙන් පැනයාමට මාංචු පිටින් ගංගාවන්ට පැන මියයාම වැනි අතිශය ප්‍රාථමික නිර්මාණාත්මක නාට්‍යය අපට කළින් කළට අසන්නට ලැබෙයි. එම ඝාතනයට ලක්වන්නන් සිදුකරන ලදැයි කියන අපරාධ ලැයිස්තූන්ද ප්‍රසිද්ධියට පත්කෙරෙයි. අප යුක්තිය ඉටුවුනා යැයි සතුටු වෙයි. නමුත් මාකදුරේ මධූෂ් වැනි එවැනි ආන්දෝලනාත්මක ඝාතන පිටුපස ඇති සත්‍යනම් ඔවුන් කරායැයි කියන අපරාධ පිටුපස සිටින සැබෑ අපරාධකරුවන් හෙළිවීම වැළැක්වීමට මධූෂ්ලා වැනි බළල් අත් ඝාතනයට ලක්වන බවය. අප අද අවධානය යොමුකරන චිත්‍රපටයේ Aravind නම් නීතීඥවරයා මෙය හදුන්වන්නේ Instant Noodles මෙන් Instant Justice කියාය. ක්ෂණික යුක්තිය සැබෑ යුක්තියද?

එයින්ම පැන නැගෙන තවත් සංවාදයක් වන්නේ පොලීසිය වැනි ජනතා බදු මුදලින් නඩත්තුවන ආයතන දේශපාලනීකරණය වීම පිළිබද කාරණයයි. පසුගිය කාලයේ දිගහැරුණු අරගලය මර්දනයට හා මේ දක්වා දිගහැරෙන අන්තරේ වසන්ත හා සිරිධම්ම හිමි අනීතිකව රදවා තබා ගැනීම ආදී සිදුවීම් තුල ඇතැම් පොලීසියේ ඉහළ නිළධාරීන්ගේ හැසිරීම නිශ්චිතව රජකාරිය ඉක්මවා යමින් පාලකයන්ගේ දේශපාලන අභිලාෂයන් ඉටුකිරීමේ කොන්ත්‍රාත්තුවක් බව මැනවින් පැහැදිලිවිය. මෙහි අනිත් ප්‍රතිඵලය වන්නේ නිවැරදිව රාජකාරීන් ඉටුකරන නිළධාරීන් එම දූෂිත යාන්ත්‍රණය තුල පීඩාවට පත්වීමත් විශේෂයෙන් උසස්වීම් ආදියේදී ඔවුන් වෙනස්කොට සැළකීමට භාජනයවීමත්ය. 

මැතිවරණයක් ආසන්න වෙනවා යනු බොහෝ නාට්‍ය දිගහැරෙන කාල සීමාවකි. බොහෝ වීරයින් බිහිවෙයි. ඇතැම් විටෙක එම වීරයා නිපදවීම වසර ගණනාවක සිට කෙරෙන ව්‍යාපෘතියකි. ඇතැම් විටෙක එවන් නාට්‍යයන් සදහා අපට ගෙවන්න වන මිළ ඉතා අධිකය. කුමන නිර්වචන ගොනු කළද පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම්ද මෙම බල අරගලයේම කොටස් බව අපට පැහැදිලිය. සමාජමාධ්‍ය ආදිය බලවත් සමාජයක මිනිසුන්ට දෛනිකව කතාබහ කිරීමට මාතෘකාවන් අවශ්‍යයයි. එහිදී මිනිසුන් තමන් සංවාද කළ යුතු හා අවධානය යොමුකළ යුතු සැබෑ ප්‍රශ්න මගඇරවීමට නිරන්තරයෙන් සිදුවීම් නිර්මාණය වෙයි. ස්පාඥ්ඥ ගොන් පොර පිටියක හරකා අනෙක් සියල්ල මගහැර තරගකරුවා වනන රතු කොඩිය වෙතම දිවඑන්නා සේ අපද එලෙස කලින් කලට ඉහලට එන විවිධ මාතෘකා ගැන කතා කරමින් කාලය ගත කරයි. එහිදී අප අපගේ සැබෑ ගැටලු හෝ අපේ ජීවිතය පිළිබදව සංවාදයකට පැමිණියහොත් එය පාලකයන්ගේ දේශපාලන බලයට සුභ දායක නැත. මිනිසුන් එලෙස තමන්ගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් සිටගත් කල පාලකයන්ට සිදුවන දෙය අප පසුගිය කාලයේ අත්වින්දෙමු. එමනිසා නිළියකගේ අනියම් සම්බන්ධයක් හෝ කෙහේ හෝ තිබෙන අපගේ අවධානය බිදින සිදුවීමක් උල්කාපාතයක් ලෙස සමාජමාධ්‍ය ඇතුලු අවකාශයන්ට කඩාවදී.

Saba නම් තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් හදිසියේ ඉතා කෲර අයුරින් ඝාතනය වන අතර ඇගේ ඝාතනය සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවෙයි. විශේෂයෙන්ම ඇගේ ඝාතනයට යුක්තිය ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් ගෙන යන අරගලයත් ඊට එරෙහිව දියතුවූ දරුණු මර්දනයත් මෙම ගැටලුව තව තවත් තීව්‍ර කරයි. මේ අතර ASP Sajjan Kumar නම් නිළධාරියා මෙම ඝාතනයේ විමර්ශන සදහා පත්වෙන අතර චිත්‍රපටයේ වැඩි කාලයක් වෙන්වන්නේ ඔහු මෙම ඝාතනයේ අපරාධකරුවන් ලුහුබදින ආකාරය පෙන්වීමටයි. චිත්‍රපටයේ අවසන් භාගය Court Room Drama ශානරයෙන් දිගහැරෙයි. චිත්‍රපටය තුල අපට වීරයා හා දුෂ්ඨයා පැටලෙවන අතර චිත්‍රපටය පුරාවට අප Sajjan Kumar නම් වීරයාගේ කෝණයෙන් චිත්‍රපටය නරඹන අතර අවසන ඔහු මෙහි වීරයා නොව දුෂ්ඨයා බවට පෙරළීමෙන් ඒ වන විට එම වීරයාගේ රසිකයන් වී සිටින අප අර්බුදයට පත්වෙයි. කෙසේ නමුත් චිත්‍රපටය අවසන් වන්නේ නැවත ඔහුව යම් ආකාරයක වීරත්වයක් කරා ඔසවා තැබීමෙනි.

මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ කුලබේදය, අපරාධ යුක්ති පසදිලීමේ ක්‍රියාවලිය, රාජ්‍ය නිළධාරීන් අධිපති දේශපාලන යාන්ත්‍රණයේ අතකොලු වීම ආදී බොහෝ පැතිකඩයන් වෙත මෙහිදී අවධානය යොමුකරවයි. ඒ සියල්ල මැද සාපේක්ෂව සාර්ථක අයුරින් කුතුහලය හා සිනමාත්මක භාවයද රැකගෙන චිත්‍රපටයට ගලායෑමට අවකාශයක් ගොඩනගයි. මේ මොහොතේ වසගය තුළින් වහල්භායට අප පත්කරනා දේශාපාලනය තුල සමාජයේ සිදුවන සෑම සිදුවීමක් පිටුපසම දිගහැරෙන කුමන්ත්‍රණයන් පිළිබදව අවධියෙන් සිටීමට මෙහිදී අපව පොළඹවයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?