FIFA! උන්මාදයට අමතක වූ මරණය!
උද්වේගයෙන් හා විනෝදයෙන් ‘ෆිෆා’ බලන අපට පෙනෙන්නේ ක්‍රීඩා තරුය. ඔවුන්ගේ විවිධ ඉරියව් ටෙලිවිෂන් තිරයේ නරඹමින් අප පාපන්දු සැණකෙළියේ ප්‍රේක්ෂකයන් වන විට අපට නොපෙන්වන දේ තිබේ. ඒ ෆිෆා සැණකෙළිය අප වෙත ගෙන ඒමේ දීර්ඝ ක්‍රියාදාමය තුළ අනාරක්ෂිතව සේවයේ යෙදවීමෙන් මිය ගිය ඉදිකිරීම් කම්කරුවන් ගැන, ඔවුන්ගේ මරණ. සදාකාලික අකර්මණ්‍යභාවය ගැන අපට තිරයේ දිස්වන්නේ නැත. නමුත් ක්‍රීඩා සැණකෙළියේ වෙළඳ ප්‍රචාරයන් සමග ක්‍රීඩා සැණකෙළිය පැවැත්වෙන අතර අනුග්‍රාහක සමාගම්වලට ඩොලර් මිලියන ගණන් අලෙවි වාර්තාවල ජයග්‍රහණ මෙන්ම තවත් ඩොලර් මිලියන ගණන් වටිනා වෙළඳ ප්‍රචාරක වාසියද හිමි වේ.
ඒ සත්‍ය වටහාගත් විට අපට නිදහසේ ක්‍රීඩාව විඳීමේ තෘප්තිය අහිමි වේ. ධනවාදයේ ලාභ ඉපදවීමේ ක්‍රියාවලිය හරහා ක්‍රීඩාව විඳින්නට සිදුවීමේ ප්‍රතිපලයක් ලෙස මිනිස් ජීවිත අවදානමේ හෙළා අප වෙත එන්නේ ක්‍රීඩාවේ විනොදාස්වාදය පමණක් නොවේ. අඩු වැටුපට ජීවිත කාලයම වැඩ කරමින් දුෂ්කර කොන්දේසි නිසා මරණය සමග සටන් කරමින් ධනවාදී සමාගම්වල ලේබලයෙන් එන විවිධ නිෂ්පාදන හා සේවා වෙළඳපොළේ තිබේ. අප ඒවා අපගේ අවශ්‍යතා වෙනුවෙන් මිලයට ගන්නා විට එය නිපදවන්නට ජීවිත කීයක් වෙහෙස වී ඇත්දැයි හෝ ජීවිත කීයක් අහිමි කර ඇත්දැයි නොසිතමු.
ක්‍රීඩාව යනු මිනිස් ඉතිහාසයේ සාමුහික අරමුණු වෙනුවෙන් නිර්මාණය කරගත් සංස්කෘතිකාංගයක් වුවද අද එහි පැවැත්ම රැඳී ඇත්තේ ධෛර්ය, දරාගැනීමේ ශක්තිය, අධිෂ්ඨානය, ඉලක්ක හඹායාම, ජය පරාජය ඉවසීම වැනි මනුෂ්‍ය ගුණාංගයන්ට ඔබ්බහෙි වන වානිජ වටිනාකම් මතය. ඒ නිසා ක්‍රීඩකයෝ ඩොලර් මිලියන ගණනින් අලෙවි කෙරෙනවා පමණක් නොව, නරඹන අපද අලෙවිකරණයට ලක්වෙමින් ක්‍රීඩාවට සම්බන්ධ දැවැන්ත ලෝක පරිමාණ වාණිජ ජාලයක් ක්‍රියාත්මක වේ. එහිදී මිනිස් ජීවිත පාවිච්චි වන්නේ අළු දූවිලි ගණනටය. මෙකී යථා ස්වභාවය දැනගන්නා කිසිවකුට උත්කර්ෂවත් ක්‍රීඩා අවස්ථා රසවිඳීමේදී පවා විනෝදය ඉක්මවමින් උපදින්නේ වරදකාරිත්වයකි.
කටාර්හි ලෝක පාපන්දු ශූරතා සැනකෙළිය වෙනුවෙන් වසර ගණනාවක් ඉදි කෙරුණු මනරම් ක්‍රීඩාංගන හා වෙනත් යටිතල පහසුකම් වෙනුවෙන් දහස් ගණනක් ජීවිත අකාලයේ මරුමුවට පත්ව ඇති බව වාර්තා වුවද කටාර් රාජ්‍යයෙන් කළ නිල විමසීම්වලදී පවා ඒ සම්බන්ධ කිසිදු නිල තොරතුරක් අනාවරණය කර නැත. අධික අව්රශ්මිය මැද ඉදිකිරීම් ඉලක්ක සපුරාලන්නට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු සේවක පිරිසක් යෙදවීමේ ලාභය මූලික තීන්දු නිසා වෙහෙසට පත්ව මිය ගියවුන් විසින් අත්පත් කරගන්නේ පාපන්දු ක්‍රීඩාවේ කුමන ජයග්‍රහණයක්ද?
කටාර්හිදී මිය ගිය ලාංකිකයන් ගණන පමණක් පන්සිය ගණනක් බව අනාවරණය වී ඇත. මේ ලෙස වැඩබිම්වලදී මිය ගොස් ඇත්තේ අත්‍යවශ්‍ය ආරක්ෂිත ක්‍රම නොමැතිව සේවයේ යෙදවීම නිසා වුවද සමාගම්වලට නීතියේ රැකවරණ හිමි වේ. සමාගම්වලට මරණයට ගොදුරුවූවන්ගේ සමීපතමයන්ට ගෙවන වන්දියෙන් ගැලවී ගන්නට හැකිය. නමුත් වියෝගයෙන් පසුව, කම්කරුවාගේ යැපෙනවුන්ට, සමීපතමයන්ට කුමක් සිදුවේදැයි අපි දනිමු. ඔහුගේ මව්පියන්ට ඉතිරිවන්නේ වේදනාව පමණකි, සහකාරියට සහකරුවා අහිමි වීමේ අඩුව පුරවා ගන්නටද පියා අහිමි වූ දරුවන්ට ජීවිත කාලයක් අහිමි වීමේ ප්‍රතිවිපාක භුක්ති විඳින්නට ද සිදු වේ.
ක්‍රීඩාව තවදුරටත් ක්‍රීඩාවේ සීමාවෙන් පිට පන්නවා ලාභ උපදවන ව්‍යාපාරයක් වන නිසා ඇත්ත ක්‍රීඩා තරග සහ ඇත්ත ක්‍රීඩා විනෝදය තිබෙනු ඇත්තේ මීට වඩා වෙනස් සමාජයකදී බව පැහැදිලිය. ක්‍රීඩාව පමණක් නොව, ජීවිතයම අවමානුෂිකකරණයට ලක් වූ මේ සමාජ ක්‍රමයෙන් සමු ගෙන සැබෑ මනුෂ්‍ය සමාජයක් වෙනුවෙන් වැඩ කරන්නට, ජව සම්පන්න ක්‍රීඩකයන්ට මෙන්ම විනෝදකාමී ප්‍රේක්ෂකයන්ට ධෛර්ය ලැබේවා!

Comments
Post a Comment