ඉතිහාසය විසින් කතුවරයා දඩයම් කිරීම - 'ප්‍රේමානිශංස'


සිංහල යව්වනයෙකුගේත් දමිළ යව්වනියකගේත් දෛවෝපගත හමුවීම, ජාතික ගැටලුව ප්‍රස්තුත කරගත් සිංහල නවකතාව විෂයෙහි සුලබ ආඛ්‍යාන උපායකි.එවැනි නවකතා අනුදත් වට්ටෝරුගත සන්දර්භයෙන් ‘ප්‍රේමානිශංස’ මිදී ඇත්තේ කතුවරයාගේ තියුණු චරිත වරණයන් ගේ පංති පසුබිම නිසාය.මෙතෙක් මෙබඳු නවකතා ඇසුරේ පාඨකයාට සම්මුඛ වු පීඩිත පාංතික හෝ පහල මැද පාංතික චරිත වෙනුවට මෙහිදී අප හමුවන්නේ ප්‍රභූ තරුණයෙකි. තරුණියකි. චරිතයන් හි මෙකී පංතිමය ස්වරූපය නිසා කතුවරයාට ලැබී ඇති අමතර වාසිය නම්, මෙතෙක් කිසිවෙකු අත නොගැසූ නොඉදුල් කලාපයකට පාඨකයා කැදවාගෙන යාමට සමත් වීමය.

සිංහල දෙමල වර්ගීකරණයකින් තොරව අපගේ යුගයේ යව්වනයට මුහුණ පාන්නට සිදු වී ඇති ආර්ථිකමය ව්‍යසනයේ පීඩාකාරීත්වයෙන් මේ දෙපළ නිදහස්ය. එනිසාම අධ්‍යාත්මික අවශ්‍යතා සහ අනන්‍යතා ගවේෂණය කිරීමේ ඉස්පාසුව ඔවුන් සතු ය. සයුරුටත් නිරූටත් පුරාවිද්‍යාව පිළිබදව වන ප්‍රබෝධය ඉතිහාසය අරභයා වන ලාලසාවම නොවේ. ඔවුහු කිසිවක් සොයා යති. සිය පරිපූර්ණත්වය සාක්ෂාත් කර ගත හැකි යැයි ඔවුහු දැනට අනුමාන කරන යමකි ඒ.

ඉතිහාසය පෑරීමෙන් සයුරු සොයා ගන්නා අනභිබවනීය උරුමයක් නැත.ඔහු වනාහී දේශීය කොම්ප්‍රදෝරු ධනේෂ්වරයේ නූතන නියෝජිතයා ය. එහෙත් ඊට උරුම වූ ලුම්පන් ලකුණින් සයුරු කැළැල් වී ඇත්තේ අඩුවෙනි. ඔහු ගේ පියා ගේ සංකේතීය අවශ්‍යතා හා ඔහු ගේ හෘද සාක්ෂිය අතර පියවිය නොහැකි ප්‍රතිවිරෝධතාවයක් පැන නගින්නේ එබැවිනි. ඔහු ඔහු ගේ පංතිමය සීමා තුළ ඊට එරෙහි විරෝධයක් ගොනු කළ ද එය සියල්ල පුපුරුවා හරින කැරල්ලක් නොව හුදු මුරණ්ඩුකමකි. එහෙත් මුරණ්ඩුකමක ස්වරූපයෙන් හෝ පැන නගින්නේ ක්‍රම විරෝධී බවමය.

“තාත්තා හා ලොකු හාමුදුරුවන් එක්වර පැමිණ දොර ඇරියේ මා අත දුම්වැටිය තිබිය දී ම ය. පෙරහැරේ සාර්ථකත්වය ගැන උද්දාමයෙන් සිටින ඔවුන් ගේ මුහුණුවල ඇඳුණු පූර්ණ ප්‍රහර්ෂය මගේ ඉරියව්ව නිසා එකවර මුකුලිත වනු මට පෙනිණි. සිගරැට්ටුව බිම දැමූ විට පාවහන් රහිත නග්න දෙපයින් එය පාගා දැමුවේ සන්නාලියාය. ශුද්ධමය අවස්ථාවක දුම් ඉරීම වරදක් බව මට කියා දිය යුත්තේ තාත්තා මිස තමා නොවන බව ලොකු හාමුදුරුවන් වටහා ගත් නිසා දෝ උන්වහන්සේ කරබාගෙන සිටියේය. තාත්තා කිසිත් නොකීය.තමාගෙන් පළි ගැනීමේ ක්‍රියාදාමයේ පළමුවැන්න මෙය විය හැකි යැයි ඔහු සිතුවා වැන්න.”

(පි 207)

සයුරුගේ අර්ධ වැඩවසම් පෙෘරුෂය හා සසදන විට නිරූ වනාහී ලිබරල් වටිනාකම් සිය ජීවන විලාසය කර ගත් යුවතියකි. ඒ ආලෝකයේ දිදුලන ප්‍රභවය ඇත්තේ කුමාරස්වාමි පරම්පරා වංශකතාව තුළ ය. කුමාරස්වාමි ලා ගේ කලාත්මක සංස්කෘතික සහ ශාස්ත්‍රීයමය ශ්‍රමය කතුවරයා විවරණය කරන්නේ දිදුලන අභිරුචියකිනි. ඊට සාපේක්ෂව දේශීය ධනේශ්වරයේ අතීත මූලාශ්‍ර අවමන්සහගතය. කවුරු කැමති වුවද,අකැමැති වුවද දෙන ලද ⁣ඓතිහාසික මොහොතේ යථාර්තය එය බැවින් මග හැර යාමට පුලුවන් කමක් නැත.

“මා අයත් වන්නේ ගැහැනු දඩයම් කළ අතීතයක් හිමි පරම්පරාවකටය. නිරූ අයත් වන්නේ ගැහැනු ආකර්ෂණය කර ගත් අතීතයක් හිමි පරම්පරාවකටය. අපට අයත් උඩරට වතු අධිරාජ්‍යවල උඩරට දුගී ගැහැනුන් අපේ ලේ ඇති පැටවුන් වදා, ලොකු මහත් කර, තම ජාත භූමියේ දී ම ඔවුන්ට අනේක අවනම්බු දරන්නට සිදු විය. අපේ මුත්තාගේ මහ බි්‍රතාන්‍ය නම්බු නාම පැළඳි කළු කෝට් එක ඇඳ,කලිසමත් ඊට උඩින් සරමත් ඇඳ, දිලිසෙන පාවහන් පැලඳ, ගැට ගැසූ කොණ්ඩයත්, ඒ ඉහළින් නැමි පනාවත් සහිතව උජාරු ලීලාවෙන් සිටින විශාල මඟුල් පින්තූරය අපේ මහ ගෙදර ගරු ගාම්භීර තැනක එල්ලා තිබේ. අමතරව ඔහු අත කැටයම් සහිත බස්තමකි. එහෙත් ඒ අසල සිටින්නී බියෙන් තැතිගෙනය. සිය සැමියාගේ තේජසට ඉඩ දී ඈ සිටගෙන සිටින්නේ තරමක් කුදු ගැසී ගෙනය. එහෙත් අපේ මුත්තාගේ මුහුණේ තේජස අබිබවා මිනිහෙක් වෙන්නට ඔහු විඳි දුක් කන්දරාව ද නොමැකෙන ලෙස එහි සටහන්ව තිබේ.”

(පි 69)

මේ දුක් කන්දරාවට ”මුහුදු වතුරේ කරුංකා පල් කිරීමේ” සිට ”රේන්ද කෙරුවාව” දක්වා වූ සියලු වීර්යවන්තබාවයන් අයිතිය.අධිරාජ්‍යයක ප්‍රබල බල පරාක්‍රමය හමුවේ එකල වීර්යවන්තයන්ට ඉතිරිව තිබුණේ විකල්ප දෙකකි.එක්කෝ අධිරාජ්‍යය ට එරෙහිව පෙරමුණේ සටන් කොට රණ ශූරයෙකු සේ මැරී යා යුතුය.එහෙම මැරී යන්නත් හරි හමන් සටන් පෙරමුණක් නැත්නම් කෙනෙකු කළ යුතුව තිබුණේ නව තත්වයන්ට නම්‍යශීලී වීමය.එනිසාම සයුරු ගේ මුත්තා තීරණය කරන්නේ නව වණික් ව්‍යූහයට තමාව අවශෝෂණය කර ගැනීමට ඉඩ දීමය.ඒ ඉඩ දීම අදීනව සිදු නොවන අතර දීන කමේ පාපයට කර ගසන්නට සයුරුට ද සිදු වේ.

”ඇයි ඔයා ඔච්චර හිනාවෙන්නේ”

කලිසමට උඩින් රෙද්ද ඇඳි,නැමි පනාව පැළැඳි මගේ මුත්තා ගේ පින්තූරය බලා නිරූ සිනා සේ.මනාව සකස් කළ ඔහුගේ ඝන බුරුසු උඩු රැවුල ඇගේ සිනා ඉලක්කයයි.

”වීරප්පන් වගේ”

”කට වහගන්නවා”

(පි 11)

යම් නිශ්චිත වකවානුවක දේශීය ධනපති පංතියට මග හැරී ගිය ‘ශ්‍රී විභූතිය” සහ ‘සාඩම්බරය‘ ඔවුන් යළි සොයා ගන්නේ ජාතිකවාදී දේශපාලනය ඇසුරේය. එහි ලා ඔවුන් ගේ සුරතාන්ත නිමේෂය හමුවන්නේ 2009 දී නන්දිකඩාල් කලපුවෙනි. සිංහල බෙෘද්ධ ස්වෝත්තමවාදය ඉන් පෙර නොතිබූ ගැම්මකින් ජවයකින් සහ අහංකාර පරවශ ලීලාවකින් සුළු ජන වර්ගයන් කෙරෙහි කඩාපාත් වන්නේ ඒ මොහොතේය. එය නවකතාව තුළ රූපාකාර්ථයෙන් සන්නිවේදනය වන්නේ විල්මුලගේ හැසිරීම තුළ ය.

“මේ දෙමළිච්චි ළඟදි උඹට අම්ම අප්පත් එපා වුණාද බොල...”

(පි 185)

නිරූ කෝප වන්නේ ඇයට ‘දෙමළිච්චි’ යැයි පැවසීම නිසා නොව දෙමළ වීම අවමානයට කාරණයක් යැයි විල්මුලගේ සිතන නිසාවෙනි. එතෙක් සැහැල්ලු ජීවන විලාසයක හිඳිමින් ලෝකය කියවාගත් නිරූ පවා නන්දිකඩාල් නිමේෂයේදී ව්‍යාකූලත්වයට ගොදුරු වේ. එසේ වන්නේ ප්‍රභාකරන් යනු දෙමළ ජනතාවගේ නියෝජිතයා යැයි ඇය ද විශ්වාස කළ නිසා ද? විශ්වීය මනුෂ්‍යත්වය ක් පිළිබඳ විශ්වාස කළ ද  ඕනෑම ලිබරල් චින්තන කලාපයක් තුළ සිය ජන වර්ගය කෙරෙහි වූ අවිඥාණික පක්ෂපාතීත්වයක් ඇත් ද? එය ඉක්මවා මිනිස් සංහතිය විශ්වීය මනුෂ්‍යත්වයක් සොයා ගන්නේ ලිබරල් චින්තන සීමා පවා පුපුරුවා හරින කිසියම් අනාගත යුග නිමේෂයකදී ද? කෙසේ වෙතත් නන්දිකඩාල් නිමේෂය නිරූ සසල කරනුයේ, ප්‍රභාකරන් නමැති භෙෘතික සිරුර නොමැති යථාර්තය ක දී දකුණේ ජාතිවාදී දේශපාලනයේ පීඩනය දරා උසුලාගන්නට දෙමළ සමාජයට සවි සක්තිය නැතැයි ඇය ඉවකින් මෙන් පුරෝකතනය කරන නිසා ද?

විලමුලගේ ගේ ආක්‍රමණක හැසිරීමෙන් පසු ඇනෙක්සිය හැර යන නිරූ ආ ගිය අතක් සොයා ගන්නට බැරි ලෙස අතුරුදහන් වේ. ඇයගෙන් යළි හෝඩුවාවක් හෝ ලැබෙන්නේ කෙදර්නාත් ගංවතුරෙන් ඉක්බිතිය. නන්දිකඩාල් නිමේෂයත් කෙදර්නාත් ගංවතුරත් එකවරම සිදු වීම නවකතාව තුළ රූපාකාර්ථ දනවන සෙයකි. දෙමළ සමාජය මත උන් හිටි හැටියේ පතිත් අන්තරායත් ගංවතුරක් සේම ව්‍යසනකාරී නොවෙද? විනාශය ඉතිරි කොට ගංවතුර බැස යයි. ඒ ගංවතුරේ ගසා යන්නේ නිරූ ගේ ප්‍රභූ දෙමළ අනන්‍යතාවයේ අවසාන නටබුන් ය.

විලමුල ගේ සිංහල බෙෘද්ධ ස්වෝත්තමවාදයේ සුජාත පුත්‍රයෙකු වීමට යත්න දරන්නේ සිය ඓතිහාසික උෘණතාවය සපුරා ගැනීමටය. ඊට සාපේක්ෂව නිරූ සොයා යන්නේ මුලු මහත් ලාංකේය ජාතියටම තිබුනාට කම් නැති ප්‍රභූ සංස්කෘතික කලා උරුමයකි. ඇය පුරවා දමන සාරාර්ථය ඇත්තේ එහි ය.

මනිපායි හි කුමාරස්වාමි පරම්පරාවේ මඳ අදුරු අහුමුළුවලදී ඇගේ අභ්‍යන්තරයේ සිදු වන විපර්යාසය ඇය සොයා යන අනන්‍යතාවය කුමක්දැයි පසක් කරන මොහොතයි.

“මේ සොඳුරු අඳුරත්, අතීතයේ සිට ගලා එන තල තෙල් පිළිස්සෙන සුවදත්, නිරූ ගේ මුත්තාවරුන් ගයන වේද ගීතිකා හඩත්, මට මෙන්ම නිරූටත් දැනෙන්නට ඇසන්නට ඇති. ඒ සියල්ලෙන් මුසපත් වූ අපි ආකස්මිකව එකට ළං වූයෙමු. ඒ සමීප වීම විරාගික ආරම්භයකින් සරාගී අන්තයකට ගමන් කරමින් තිබුණි......

බොහෝ ගණනක් මෘදංග හඩවල් වලව්වෙන් පිටත රැව් දුන්නේ නිරූ ගේ මුත්තාවරු ගයන වේද ගීතවලට අනුප්‍රාණ වශයෙනි. දෙමළ බෙරය හඩ දුන්නේ දුර්ගා මෑනියන් වෙනුවෙන් පිදෙන රුද්‍ර පූජාවේ කොටසක් ලෙසිනි.”

මනිපායි වලව්වේ ඉපැරණි අදුර මධ්‍යයේ ඇසෙන මෘදංග බෙරය සයුරු ගේ අධ්‍යාත්මය ද විපිලිසර කරයි. ඔහුට මෘදංග බෙරය ගැන ඇති අදහස දෙමළ සංස්කෘතික උරුමයන් අරභයා පොදු වේ දකුණට ඇති හැඟීමද?

රාජකීය ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේ දී ‘වල් අබයා’ විසින් වාර්ෂිකව කැඳවා ගෙන එන මෘදංගකරුවන් හා හොරණෑකරුවන් දෙමළ බයිලා වාදනය කරන විට අප ඒ පිටුපස නටමින් ගිය යුගය වෙතය. ඔවුන්ටත් මත් පැන් පොවමින් අපි ද මත්පැන් බොමින් කළ කටයුතු මගේ මතකයට නැගුණේ යම් වරදකාරී හැගීමකින් යුතුවය. දවසක් පුරා මෘදංග වාදනය කරමින් මහත් වෙහෙසකාරී කටයුත්තක යෙදෙන ඔවුහු දවස පුරා ටිකෙන් ටික පානය කරන මත් පැනින් කෙලින් සිටින්නට බැරි තරමට වෙරි වෙති.

“අඩි එන්නඩි රාකම්මා පල්ලාකී නෙරපූ...එන්රක්කූ එන්මුක්කූ.. සිරි කන්නා වූ මෝකුත්තූ මානික්ක සීවප්පූ...”

(පි 165)

එහෙත් යුගයේ යථාර්තය අප කිසිවෙකු ගේ ප්‍රාර්ථනා තරම් මටසිලිටි නැත. නන්දිකඩාල් මොහොතින් පසු උත්කර්ෂයට නැගෙන්නේ රණකාමයයි. එය කිසිදු ජන වර්ගයක සංස්කෘතික වෙනස්කම් ඉවසා දරා සිටින්නේ නැත. එහෙත් ආදරය ගොඩ නැගෙන්නේ සංස්කෘතික විවිධත්වය ඉවසා දරා හිදින ලෝකයක ය. නේපාල සංචාරයේ දී ඇයට හමුවන්නේ එවන් ආදර ලෝකයක කුඩා නියැදියකි.

එහෙත් ඒ ආදර ලෝකයටත් පංති භේදයක් තිබේ.

”ධර්මශාලා හි ගැවසෙන බොහෝ සුදු ජාතිකයෝ ඇමරිකාවෙන්, කැනඩාවෙන්, ස්කැන්ඩිනේවියානු රටවලින් හෝ දියුණු යුරෝපා රටවලින් පැමිණියවුන් බව බැලූ බැල්මටම වටහා ගත හැකිය. සොෆියා කැනඩාවෙනි. ඒ රටවල් පොහොසත් හෙයින් ඔවුන් දුක් නො විඳිති.”

(පි 339)

මේ ආදර ලෝකයට සාපේක්ෂව සයුරුත් නිරූත් ලංකාවේ දී මුහුණ දෙන ගාම්‍ය ගොරහැඩිබාවය කැපී පෙනේ. දඹුල්ලේ දී ඔවුන් දෙදෙනාගේ ප්‍රේමාලිංගනය හොරෙන් බලා සිටින තරුණ භික්ෂුව හරහා කතුවරයා නිරුවත් කරන්නේ ථෙරවාදය අශ්ලීල වී ඇති තරමයි. එහෙත් ආදරයේ පරමාදර්ශ ලෝකය නිමවෙන්නේ තන්ත්‍රයානික ඇවතුම් පැවතුම් ඇසුරේ ද?

කතුවරයා හා අපගේ විසංවාදය ගොඩ නැගෙන දේශපාලනික ලක්ෂ්‍යය එයයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?