"මුදු වදන් පවසලා"



පද - ධනුෂ්ක ෆර්නෑන්ඩු

සංගීතය - අරුණ ගුණවර්ධන

ගායනය - ශෂිකා නිසංසලා, මිහිඳු ආරියරත්න

ආදරය කිරීම කියන්නෙ විෂයක් විදියට ප්‍රගුණ කළ යුත්තක් කියලා අවබෝධ කර ගත්තෙ නැති සමාජයක ප්‍රේමය සම්බන්ධයෙන් පැන නඟින අතිමූලික ගැටලුවක් වෙන්නේ ආදරය හා ආත්මාර්ථය අතර තියෙන බෙදුම් රේඛාව අපහැදිලි වී යාම යි. මේ කලාපයෙන් අපි සංවාදයට ලක් කරන්න බලාපොරොත්තු වෙන සින්දුවෙන් අසන්නිය වෙත ගෙන එන්නෙ අන්න ඒ තේමාව කියල යි අපිට හිතෙන්නෙ. 

මේ ගැටලුව වෙත ප්‍රවේශ වෙද්දී අවධානය යොමු කරන්න සිද්ධ වෙන ප්‍රධාන සාධකයක් වෙන්නෙ සරාගී ආදරය යි ලිංගික ආශාව යි අතර තියෙන වෙනස මොකක්ද, කියන එක. ලිංගික බැඳීමක් සම්බන්ධයෙන් වන ආශාව ආදරය මඟින් උද්දීපනය කළ හැකි වුණත් මේ ක්ෂේත්‍ර දෙක අතර පවතින පරතරය හඳුනා නො ගැනීමෙන් ඇද වැටෙන අගාධයෙන් මිනිසාට ලෙහෙසියෙන් නම් ගොඩ ඒමට හැකි වෙන්නේ නැහැ. එරික් ෆ්‍රොම් ආදරය ගැන රචනා කරපු විශිෂ්ට ග්‍රන්ථය වන The Art of Love - An Enquiry into the Nature of Love (Erich Fromm)  කියන පොතේ දි ඒ ගැන මෙහෙම සටහනක් තියනවා. 

“කායිකව හමු වන මොහොතේ දී සමීප බැඳීමක් පවතින්නේය යන මායාව ලිංගික ආකර්ෂණය ම්ඟින් ඇති කරයි.නමුත් කායික හමුව ආදරයකින් තොරව සිදු වීමෙන් ඇති වන ප්‍රතිඵලය වන්නේ ඔවුන් ඊට පෙර සිටියාටත් වඩා අමුත්තන් බවට පත් වීම ය. සමහර විට ඔවුන් එකිනෙකා ලැජ්ජාවට පත් වීමට හෝ එකිනෙකාට ද්වේෂ කිරීමට පවා එය හේතු විය හැකිය.ඊට හේතුව මිත්‍යාව පහව ගිය පසු ඔවුන් අතර පැවති විරසකය පෙරටත් වඩා තීව්‍ර ලෙස යළි මතු විය හැකි හෙයිනි.” 

තත්ත්වය වඩාත් බරපතළ වෙන්නේ මේ කාරණය ගැන අවබෝධයෙන් තොර දෙදෙනෙකු විවාහ ජීවිතයකට ද ඇතුළු වූ පසු යි. මේ සින්දුවෙහි දී  අපට හමු වෙන්නේ ඒ විදියේ යුවළක්. ඔවුන් දෙදෙනා මේ සැබැවින් ම සිදු කරන්නේ ගීතයක් ගැයීම නො ව එකිනෙකාට ලැජ්ජා කර ගැනීම ය; ද්වේෂ කර ගැනීම ය. 

“සියුම් තැන් රතු වෙලා

ගතේ සුම් හිර වෙලා

හැඟුම් වැගිරී සැතපිලා

කොතැනකම හෝ වැරදිලා 


මුදු වදන් පවසලා

සුමට හිත සනසලා

හීන දම් පටලලා

සිරගෙයක අද රඳවලා” 

අතීතය හා වර්තමානය සම්බන්ධයෙන් මේ දෙදෙනා මේ සිදු කරන්නේ එකිනෙකාට චෝදනා කර ගැනීම යි. තමන් රැවටීමට ලක් වී ඇති බවත් තමන්ට කොතැනක හෝ වැරදී ඇති බවත් ඒ චෝදනාවල හරය වෙයි. ඊටත් වඩා ලැජ්ජාවක් කොහි ද ? 

පළමු අන්තරා කොටසෙහි දී මේ චෝදනාවේ බරපතළ ම අඩංගුව අසන්නියට අසන්නට ලැබෙනවා. මේ බලන්න, 

“නෙත ගැටුණු, වහ වැටුණු 

කෙටි කාලයේ

ස්පර්ශයට හිරි වැටුණු 

අනුරාගයේ

උමතුවී කෙළවරට ගෙන ගියේ

කිව මැනේ ආදරේ ” 

මෙතන මේ සින්දුවෙ තියෙන විශේෂත්වය තමයි මේ අන්තරා කොටස් දෙදෙනාගේ ම සහභාගීත්වයෙන්  ගායනා වීම. ඒ කියන්නෙ මේ චෝදනාව එල්ල වෙන්නෙ එක් පැත්තකට විතරක් නෙවෙයි කියන එක. 

සරාගී ආදරය කියන්නෙ ආකස්මිකව මුණ ගැසුණු දෙන්නෙකු බාධක බිඳගෙන හදිසියෙන් ඇති කර ගන්නා ආදර සම්බන්ධතාවයක් නො වන බව යි මේ සින්දුවෙන් අපට යෝජනා කරන්නෙ. ඇත්තට ම ඒ වගේ හදිසි ආදර සම්බන්ධයක දි සිද්ධ වෙන්නෙ ජීවිතාන්තය තෙක් පැවතිය යුතු ආදරයකට එරෙහිව බාධාවක් නිර්මාණය කර ගැනීම බව සිතෙන්නේ ඉතා ම සුළු පිරිසකට. උමතු වීමෙන් කෙළවර වී ඇත්තේ එ උතුම් ප්‍රේමය යි. 

හුදු ලිංගික සම්බන්ධයකින් අප එකිනෙකා හඳුනා ගැනීමට දරන උත්සාහය කෙළවර වෙන්නේ  එකිනෙකා ආකර්ෂණය කරවන්නට තවදුරටත් හේතු නැති කරලා. බාධාව බිඳ වැටුණට පස්සෙ තවදුරටත් අපට අනෙකාගේ හඳුනා ගැනීමට  තරම් පෞරුෂයක් ඉතිරී නැති බව දැනෙන්න ගන්නව. අනෙකාව සම්පූර්ණයෙන් ම දැන හඳුනා ගැනීමෙන් සිද්ධ වෙන්නෙ මින් පෙර දැන නො සිටි පුද්ගලයෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇති කර ගන්න අපව පොළඹවන එක. එම අලුත් ආදර සම්බන්ධය ද කාලයත් එක්ක තීව්‍රතාවයෙන් අඩු වෙන නිසා අපට සිදු වෙන්නේ, දිගින් දිගට ම අලුතින් ඇති කර ගන්නා ආදරය කලින් පැවති ආදරයට වඩා වෙනස් එකක් ය කියන මිත්‍යාවේ ගැලී මේ චක්‍රය දිගට ම නඩත්තු කරන්න. කාලය රළු කෙමක් බවත් පැතිරුණේ මහ විසක් බවත් මේ සින්දුවෙ ඉන්න චරිතවලට දැනෙන්නෙ ඒ නිසා. 

“කාලයේ රළු කෙමක්

පැතිරුනෙ මහ විසක්

අපේ ලොවේ ජීවිතේ...” 

ගැහැනු - පිරිමි ප්‍රේමය, විවාහ ජීවිතය වගේ ප්‍රස්තුත අරගෙන අතිශය ග්‍රාම්‍ය සින්දු කරන කාලෙක අපි මේ කතා කරන සින්දුව සෑහෙන දියුණු සංවාදයකට මුල පුරනවා කියලා කියන්න පුළුවන් මෙන්න  මේ නිසා. සමන් ලෙනින් වගේ මහත්මයෙක්ගෙ “ගෑනු ගෑනු ම තමයි අප්පා” වගේ බංකොළොත් නිර්මාණයක් එක්ක තියා ගෙන මේ සින්දුව වින්දොත් ඔබට මේ අපි කියන වෙනස හොඳට ම තේරුම් ගන්න පුළුවන්. “අමුඩෙ 2 ” කියලා නාමකරණය කරලා තමන්ගෙ රසිකයො රවට්ටලා කීයක් හරි හොයා ගන්න සින්දු කරන එක මහ පීචං වැඩක් කියලත් මේ එක්ක ම කියලා දාන්න ඕන. 

දැන් ආපහු අපේ සින්දුවට එමු. වැදගත් ම දේ තමයි මේ සින්දුවෙ මේ අර්බුදය ගායනා කරන දෙන්නා තමන් ඇද වැටී තියෙන ආදර මර උගුල තේරුම් ගැනීමට උත්සාහ දරන දෙන්නෙක් විදියට නිරූපණය කරලා තිබීම. ඒක පද රචනයෙන් විතරක් නෙවෙයි ගායනයෙනුත් නිරූපණය කරන්න ගන්න උත්සාහය අගය කරන්න ඕන. 

ඒ විතරක් නෙවෙයි මේ මර උගුලෙන් ගැළවීමේ අවශ්‍යතාවය ද මේ සින්දුව දරා උසුලා සිටින බවක් පේනවා. ඒ දරා උසුලා සිටීම සම්බන්ධයෙන් නම් සම්පූර්ණ ගෞරවය මේ සින්දුවෙ සංගීත රචකයන්ටයි ගායනයටයි ලබා දෙන්න පද රචකයා වුණත් දෙපාරක් හිතන එකක් නෑ කියලා අපට හිතෙනවා. අර්බුදය ම කියලා සින්දුව ඉවර වුණත් අපට සරාගී ප්‍රේමය ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගන්න කියලා ඒ දෙන්නා කරන ආරාධනය ඇහෙනවා ඇහෙනවා වගේ.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?