අර්ථයක් සොයමින් වැළපෙන නීතිය 'Article 15'


සමානාත්මතාවය විවිධ ස්වරූපයන්ගෙන් වසර දහස් ගණනාවක් පුරා මානව ශිෂ්ටාචාරයේ සෑම අස්සක මුල්ලකම පැවති දහස් සංඛ්‍යාත අරගලයන්ගේ පදනමයි. දහස් ගණනක්ගේ ලෙයින් තෙත් වී දහස් ගණනක් ජයග‍්‍රහණ දහස් ගණනක් පරාජයන් හමුවේ ඉදිරියට ඇදුනු අරගලයක්. සියලූ වෙනස්වීම් මැද අදද විවිධ ස්වරූපයන්ගෙන් සමානාත්මතාව වෙනුවෙන් වූ අරගලය ඉදිරියට ඇදෙයි. ඉරාන කාන්තාවන් තම කෙස් වැටිය කපා දමිමින් බුර්කා පුලූස්සමින් සිදුකරන්නේද, ඇමරිකාවේ ජෝජ් ෆ්ලොයිඞ් ඝාතනයට එරෙහි අරගලය, ලංකාවේ සංක‍්‍රාන්ති ලිංගික ප‍්‍රජාවන්ගේ සමානාත්මතාව වෙනුවෙන් වන අරගලය ආදී දහසකුත් අරගල මේ මොහොතේද ජීවමානය.

කුලය, ආගම, ජාතිය, ලිංගිකත්වය ආදී ලෙස වෙනස්කොට සැලකීමට පදනම් වන කරුණු රාශියකි. ඇතැම් රටක නිවසින් එළියට බැසීමට හෝ අවම අයිතියක් ලබාගැනීම වෙනුවෙන් දිවෙන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලය වඩා දියුණු සාමාජයක ඉන් බොහෝ ඉදිරියට ගිය අයිතිවාසිකම් වෙනුවෙන් දියත්වෙයි. කෙසේ නමුත් අරගලය සෑම විටම ජීවමානව පැවතෙයි.

ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සදහා වෙනම වගන්තීන් තුළින් ඒවා සුරක්ෂිත කොට ඇත. නමුත් සත්‍ය ලෙසම ව්‍යවස්ථාවක් වැනි ලියවිලිවල එවැනි සුන්දර වැකි සදහන්ව තිබුණද සැබෑ ලෙස එම අයිතිවාසිකම් ක‍්‍රියාත්මකවන්නේ කෙසේද යන්න අප පසුගිය කාලය පුරාවට මැනවින් අත්වින්දෙමු. කෙසේ නමුත් එවැනි කඩදාසි මතට හෝ එම අයිතිවාසිකම් පැමිණියේ  ඕපපාතිකව නොවන බවද අප අවධානයට ගත යුතුය. එලෙස නීතිමය වගන්ති තුල ඇතැම් අයිතිවාසිකම් සුරක්ෂිතවීම තුළ එම අයිතිවාසිකම් උදෙසා වන අරගලය වෙනත් තලයක් කරා ඔසවා තැබෙයි. ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය තුළින් ජාතිය, ආගම ලිංගිකත්වය ආදී කරුණු මත වෙනස් කොට සැළකීමෙන් ආරක්ෂාවීම සුරක්ෂිත කොට ඇත. නමුත් ඉංදියානු සමාජයේ සැබෑ ලෙසම එම අයිතිවාසිකම් සුරක්ෂිත වී ඇත්දැයි යන්න විමසා බැලෙන සිනමා නිර්මාණයකි 'Article 15'.

Ayan Ranjan යනු මෙම ප‍්‍රදේශය භාරව නව පත්වීමක් ලැබ පැමිණෙන නවක නිලධාරියෙකි. එම ප‍්‍රදේශය විවිධ කුල කිහිපයක් ජීවත්වන එම හේතුවෙන්ම යම් ආකාරයක ආතතිකාරී වාතාවරණයක් පවතින ප‍්‍රදේශයක් වන අතර පහළ යැයි කියන කුලවල ඇතැම් තරුණයන් මේ වන විට යම් අකාරයකට රහසිගතව සන්නද්ධ වෙමින්ද සිටී. අප සාමාන්‍යයෙන් හ`දුනාගන්නා කුලවලට අමතරව චිත‍්‍රපටය තුළ පැවසෙන පරිදි එකම කුලය තුළද අනු කුල රාශියක් පවතී. මෙම නිළධාරියා මෙම ප‍්‍රදේශයට පැමිණෙන අතරතුර මාර්ගය අසළ කඩයකින් වතුර බෝතලයක් මිලට ගැනීමට සූදානම්වන අවස්ථාවේ ඔහුගේ රියදුරා පවසනුයේ මෙම ගමෙහි සිටිනුයේ ඌරන් ඇතිකරන ‘පහළ කුලයේ’ පිරිස් වන බවත් ඔවුන්ගෙන් තමන් කිසිදු විටක ජලය හෝ ආහාර ලබා නොගන්නා බවත්ය. එමගින් මෙම ප‍්‍රදේශයේ පවතින කුල භේදය පිළිබ`ද හැගීමක් අපට ලබාදෙයි. කතාව ආරම්භවන්නේම ‘පහළ කුලයේ’ තරුණියන් තිදෙනෙකුගේ අතුරුදන්වීමත් සමගය. ඒ පිළිබ`ද පැමිණිලි කිරීමට ඔවුන්ගේ දෙමාපියන් පැමිණි විට පොලීසියේ ස්ථාවරය වන්නේ එම තරුණියන් කවුරුන් හෝ තරුණයන් සමග පැනගොස් ඇතැයි යන්නය. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ කොළඹ පැල්පත් නිවාස ආශි‍්‍රතව හෝ වතු ලැයිම් ආශි‍්‍රතව මෙවැනි පැමිණිල්ලක් පැමිණියද පළමු ප‍්‍රවේශය වන්නේ මෙයයි.

කෙසේ නමුත් මෙම තරුණියන් තිදෙනාගෙන් දෙදෙනෙකු එම පහත් යැයි සම්මත කුලයේ ගම්මානය අසළ ගසක ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවක් සොයා ගන්නා අතර පසුව හෙළිවන්නේ ඔවුන් ඝාතනය කර එල්ලා ඇති බවයි. පිටස්තර තරුණයෙකු සමග පැන යාමට උත්සහ කිරීම නිසා ඔවුන්ගේ පවුලේ අය විසින් මෙම ඝාතනයන් සිදුකොට ඇති බවට වූ ව්‍යාජ නිගමනයකට අදාළ සාක්ෂි නිර්මාණය කෙරෙන අතර ඔවුන්ගේ පියවරුන් විසින් එම ඝාතන කළ බවට පාපොච්චාරණයන් සිදුකරයි. කෙසේ නමුත් අතුරුදන්වූ අනෙක් තරුණියට සිදුවූයේ කුමද්ද? නවක පොලිස් නිළධාරියා විසින් එම සත්‍ය සොයා යන ගමන චිත‍්‍රපටය පුරා නිරූපිතය.

චිත‍්‍රපටය තුළ ප‍්‍රධාන කතාව වටා සිදුවන අනෙකුත් සිදුවීම් වෙතද අවධානය යොමු කළ යුුතුය. මෙහිදී කුල භේදය අවසන් කිරීමේ අරමුණෙන් ‘ඉහළ කුලයේ’ දේශපාලඥයෙකුගේ මැදිහත්වීමෙන් මෙම සිදුවීම්වලට සමකාලීනව ජන රැුලියක් සංවිධානය වෙමින් පවතින අතර ඔහු ‘පහළ කුලයේ’ අය සමග එක්ව ආහාර ගනිමින් කුලභේදයට එරෙහිව විවිධ ක‍්‍රියාකාරකම්වල නිරත වෙයි. නමුත් සැබෑ ලෙසම එය හුදෙක් මීළ`ග මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුවන්නක් වන අතර මාධ්‍ය ඉදිරියේ ‘පහත් කුලයේ’ පිරිස් සමග එක්ව ආහාර ගැනීමේදී පවා ඔහුගේ ආහාර ඔහුගේ නිවසින් වෙනම රැුගෙන පැමිණ ඇත. කුලවාදය මෙන්ම ඊට එරෙහිවීමත් ප‍්‍රධාන දේශපාලන දහරාවන් ව්‍යාජ ලෙස තම දේශපාලන ව්‍යාපෘතීන් තුළට උරාගෙන ඇත.

Nishad ඇතුළු තරුණයන් විසින් ගෙන යන රහසිගත රැුඩිකල් දේශපාලන ව්‍යාපාරයද මෙහි අතුරු කතාවක් වන අතර චිත‍්‍රපටය අවසානයේ ව්‍යාජ මහජන රැුළිය සාර්ථක වන අතර අත්අඩංගුවට පත්වන Nishad ඝාතනයට ලක්වෙයි. කෙසේ නමුත් එම රැුළියට පහර දෙන්නට පැමිණෙන Nishad ගේ අනුගාමිකයන් Nishad මරා දැමුවද ඔහු විසින් නියෝජනය කරන ලද දේශපාලන අභිලාෂය තවමත් පවතින බවට අපට අ`ගවයි.

තවද මෙම කතාව අතරතුර ‘පහළ කුලයේ’ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් වැඩවර්ජනයක නිරත වන අතර ඔවුන්ගේ සේවය මොනතරම් මෙම ප‍්‍රදේශයට වැදගත් වන්නේද යන්න පැහැදිලිවන්නේ එවිටය. වැසිකිළි පිරිසිදු කිරීම ඇතුළු සියලූ කටයුතු ඇණ හිටින අතර පොලිස් ස්ථානයේ කාණු පද්ධතිය උතුරා එහි කටයුතුද අකර්මන්‍ය වෙයි. 

පොලිස් නිළධාරීන්ද කුල සාධකය මත ඉතා තදින් බැදී සිටින බවත් ඔවුන් දැනුවත්ව හා නොදැනුවත්ව කුල සාධකය මත මිනිසුන්ට වෙනස් කොට සළකන බව හඳුනා ගන්නා ්හ්බ ඍ්බව්බ විසින් ඉංදියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කොට සැලකීමට එරෙහි අයිතිවාසිකම් සම්බන්ධ 15 වන වගන්තියේ පිටපතක් පොලිස් ස්ථානයේ දැන්වීම් පුවරුවේ ඇලවීම සංකේතීය සිදුවීමකි.

එම ප‍්‍රදේශයේ කුලවතෙකුට අයත් කම්හලක සේවයේ නිරත මෙම තරුණියන් තිදෙනා සුළු පඩි වැඩිවීමක් ඉල්ලීම මෙම ඝාතනයන්ට හේතුවන බව පසුව අනාවරණය වෙයි. කුලය හුදෙක් සාමාජීය කාරණයක් පමණක් නොවන අතර ඒ හා බැදි ආර්ථිකමය කාරණාවන්ද පවතී. මෙම ඝාතනය වූ තරුණියන්ගේ වෛද්‍ය වාර්තා හා ඒ සම්බන්ධ විමර්ශන වෙනතකට යොමුකිරීමට ඔවුන්ගේ ආර්ථික හා දේශපාලනික බලය භාවිතා කරන ආකාරයත් සත්‍ය හෙළිදරව් කිරීම වෙනුවෙන් පෙනී සිටින ්හ්බ ඍ්බව්බ හා අදාළ මරණ පරීක්ෂණය සිදුකරන ලද වෛද්‍යවරිය මෙම බලපෑම් හමුවේ පත්වන පීඩනයත් මෙම චිත‍්‍රපටය තුළ නිරූපිතය.

Anubhav Sinha  ගේ අධ්‍යක්ෂණයක් වන,  Ayushmann Khurrana හා Sumbul Touqeer ඇතුළු නළු නිළියන්ගේ දායකත්වයෙන් නිපදවෙන මෙම සිනමා නිර්මාණය ආදායම් අතින්ද සාර්ථකත්වයට පත්වූවකි. සාමාන්‍යය බොලිවුඞ් නිර්මාණයන්ගේ අනන්‍යතාවයක් වන යම් ආකාරයක ෆැන්ටසිමය ස්වභාවයෙන් වෙනස්ව යථාර්ථවාදී ශානරයක මෙම චිත‍්‍රපටය නිර්මාණය වී ඇත. 



Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?