ජීවිතයෙන් පෙත්තක් අත් හරිනු රිසි "හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්"
(ප්‍රගීතිකා ජයසේකරගේ "හත් පෙති මලෙන් අත්හැරුණු පෙත්තක්" කාව්‍ය සංග්‍රහය පිළිබඳ විමසුමක්)
සේකර ට “ගම අමතකයි” කියා ලියන්නට සිදු වූවේ අග නගරයට සේන්දු වූ පසුවය. එක අතකට කිසිසේත්ම කාර්මික නොවූ කොදෙව්වක ගම අමතක යැයි ලිවීම විහිළුවකි. ලංකාවම ගම්මානයක් බැවිනි. අපේ පරම්පරාවේ බොහෝ කවි කිවිඳියන්ට කෘෂි ගම්මානය කෙරෙහි වෛරයක් හෝ පිළිකුළක් නැත. ඇත්තේ ආලයකි. ඇතැමකු ඒ ආලය රොමෑන්තිකකරණය කරමින් ගම කල්පිතයකට පෙරලන අතර තවෙකෙකු අතීතයෙන් ශේෂ වූ මතක සාංකාවක දැවටෙති. ප්‍රගීතිකා අයත් වන්නේ මෙන්න මේ දෙවන කොටසටය.
කරල් ඇහිලූ පැටි ගිරා විය
හා පිනුම් ඉපනැලි පවන් රොද
සිනිඳු වුව කෙළි නැටුම් කෙළවර
රිදුම් දුන් කාටුවකි මතකය
(තෘණ මල් මතකය, පි,22)
ජීවිතය නම් සන්තතිය ඉසියුම් ස්මරණයන්ගෙන් නොතොර තැනක් නොවේ. එවන් ස්මරණයන් තුළ හැම විටම ගැබ් වන්නේ ඉසියුම් සංවේදනා රැසකි. මේ වනාහී “අතීතකාමය” නම් රෝගී තත්වයයැයි සිතා නිග්‍රහ කළ යුත්තක් නොවේ. ප්‍රගීතිකා ජයසේකරගේ කවි තුළ අපට මුණ ගැසෙන්නේ අතීතය පිළිබද ආසාවකට වඩා අතීතය පිළිබඳව සාංකාවකි. ඒ සාංකාව වඩාත් තීව්‍ර වන්නේ සියුම් ඉමිහිරිතා කිසිවකට වර්තමාන සංකීර්ණ සමාජ මොහොත විසින් අවකාශ නොසලසා ඇති බැවිනි.
මගේ සුරංගනා කතාව
නල රැලි වලාකුළු
දෙණිපෙත් සමග දොඩමලු
දැරියකි
වියළි කොළ මල් පෙති
ගවුම් සාක්කුවේ පුරවා ගත්...
සුබ පැතුම් නෙක රටා මැවූ
නිධානය තමයි ඒ...
සිත රිදුණු මොහොතක
සින්ඩරෙල්ලා වී
රන් මිරිවැඩි ආයිත්තම් නොව
කඳුළු පිසිනා දෑසක් පතා
ඇට්ටෝනියා ගස යට හිඳ
සුරඟන මවට ඇමතූ...
අතුපතර විහිදා
කාලය වැවී උස් වී
නොමළ දැරි සිත් ඇති
ගැහැනියක ඉපදී ඇත...
ගිනි අඟුරු
සිදුරු පොල් කටුවකින් ගෙන යන..
නෙක රකුස් පිරිවර
බාබයිගලා එන මග...
නිල් කොළ බුදින යන්තර
විස්මලන්තෙන තනි වුණ
පැරණි තුරුපත් රටා පිරිමැද
නිලන හැඟුමක් පලඳින
කුමර දෙතොලින් නොව
සීනු නාදයට ඇහැරෙන
මායාකාරියකි
තම්බන කවන සෝදන
සුබ පැතුම් අමතක වුණ...
(පි, 19,20)
අතීතයට එකතු වීමෙන් ඉක්බිති කුඩා අනු කුඩා සෑම සිදුවීමකටම අමතර ඇගයීමක් හිමි වේ. අතීතයේ ඉතාම නොවැදගත් මොහොතක් පවා වර්තමානය ඇසුරේ නව අරුත් මවන්නේ ඉන්ද්‍රජාලයක් නිසා නොවේ. ජීවිතය කියවා ගැනීමේ හෝඩිය කාලය ඇසුරේ වේදයක් සේ මුහුකුරා යන බැවිනි.
ඒ අතරේ මතක් වෙයි
අම්මා එක්ක
කොහේ හෝ ගිය දවසක
ඇගෙ ඇසේ කඳුලක්
“අම්මේ ඇයි අඬන්නේ?”
පැනයක්..
“පිස්සුද ළමයො, මේ වැහි බින්දු”
පිළිතුරක්..
හිස ඔසවා බැලුවෙමි
කුඩයේ ඇද්ද සිදුරක්...
(වස්සාන සංවේදනා, පි,34)
එහෙත් ප්‍රගීතිකාම තැනක ලියන පරිදි අතීතය යළි අල්ලා ගන්නට කාලයට පසුපස ආරක් නැත. එහෙම නම් යථාර්තය ට අවනත වෙමින් අප වර්තමානය ට ගොඩ විය යුතුව ඇත්තෙමු. එනමුදු එය පිරී තිබෙන්නේ දෛනික කලබලකාරීත්වයෙන් හා ඊට එරෙහි කෙඳිරිල්ලෙනි. ඒ තුළ පවා ජීවනයේ රම්‍යාරණ්‍යයක් තනා ගන්නට ඇය වෙර දරන්නීය. එය ආත්මාර්ථය ද? මන්ද එළියෙහි ඇත්තේ යළි යළිත් ගරා වැටෙන්නට නියමිත ලෝකය බැවිනි.
විරිතක් නැති රිදුමක්
සිහිනයක වත් නොරැදුණු
ඔබෙ රුව දැක්ම පතමින්
මෙහෙවර පිණිස නික්මෙත
මග දිගට ඇඳි නෙක රූ
විසිතුරු නොවේ හැම විට
විරහින් පෑරෙනා තරමට
වඩා පාරා හද ගැබ
ඇස්වල ඇනෙයි ගැඹුරට
ඔබ නැති සොවෙහි
මිහිරක් මුසුයි
එහෙත් මේ රිදුම
ඒ වගෙ නොවෙයි
සුව නොවුණු වණයක්
විලසින් පෙළයි
යට ගිලුණු ඇස් ඇති
කෙසඟ මනු රූ
එහෙ මෙහෙ වැනෙන
අත් පා ඉපල් ඉරටු
මියෙන් වැගිරෙන කෙළ
වළක්වා ගත නුහුණුව
වෙව්ලන ගැහෙන සිරුරු
කිලිටි කඩමලු අතරින්
පෙරෙන මුදු තරු කැට ඇස්
රිද්දයි පෙළයි මා සිත
ඔබ නැති දුකට වැඩියෙන්
ඛේදවාචකය එතැනින් අවසන් වන්නේත් නැත. “එමිළි එළි” යනුවෙන් ලියමින් ඇය අප දන්නා ප්‍රකට ඇමරිකානු කිවිඳියට ආමන්ත්‍රණය කරයි. ඒ ගජමන් නෝනා ගේ පටන් කමලාදාස් දක්වා වූ ගැහැණුන් ගේ සාතිශය පීඩනය බෙදාගන්නටය. ඔවුනොවුන් එකිනෙකා හා ආත්මීයව ගැට ගසන රැහැන නම්, ගැහැනිය ලිංගික මෙවලමකට උෘණනය කරන පසුගාමී පිරිමි චින්තනයම පමණි.
කවියට නිමිති වූයේ කවුදැයි අසන
සළු ගිලිහුණු ඉසව් පිළිබඳ පිළිවිසින
කවියෙහි විතර නොව කය ලකුණුම සොයන
ලොවකුත් වී ද ඇති තතු නොදැන විනිසන
(එමිළි එළි, පි,37)
පෙන්වා ඉන්ද්‍රජාලික සිහින
බිමට වට්ටන තබා කඳු මුදුන
වචන ඇත හීනෙනුත් බය කරන
නිදසුන් ය ‘ආදරය‘, ‘ලස්සන‘!
කිවිඳිය ප්‍රතික්ෂේප කරන්නේ නග්න ලිංගික සූරා කෑම මිස පිරිමියා නොවේ. ස්ත්‍රී පුරුෂ ආලයේ විනීත සෙෘන්දර්යය ට සේම අනුරාගයේ මධුර උන්මාදයට ද ඇය ප්‍රිය ය. වැදගත් ම දේ ඇගේ උන්මාදය ව්‍යාජ රැඩිකල්කරණයෙන් දූෂණය නොවීමය. ශෘංගාර අසිරිය හුදු කුණුහරුප බවට පිරිහෙලමින් තිබෙන සුලබ සයිබර් කවි ප්‍රයත්නයන් අතර ප්‍රගීතිකා ගේ මෘදු බව සිත් ගන්නා සුළුය.
නට නට හැඟුම් උතුරන
කෙමියෙන් සියුම් උණුසුම්
තුනු විත පිරී ඉතිරෙන
මොහොත ද මධුර අන්තය
ඉමක් විය හැකි ද එය
මට නම් එය අනන්තය
(හාදු රොන් නදිය, පි,28)
හසුන් මත යොහොඹු සුසුම්
විඳ ඔබෙ ලවන්
මිමිණූ රහස් ගීතය
දොවා මධු දියෙන්
දවා පසෙක ලිය හැකි
ඔබටමය නොලසින්
(හසුන් ළසොවිනි, පි,53)
ඇය ආදරයෙන් අනුරාගයටද, අනුරාගයෙන් විරහවටද නිබඳ සරමින් සිටින්නීය. ඇය පරමාදර්ශී කිසිවක් පතන බව පෙනේ. පරිපූර්ණත්වයක් සොයතැයි හැඟේ. එහෙත් ඒ වූ කලී කිසිදා හමු නොවන්නකි. මෙතෙක් හමු වී ඇති උත්කෘෂ්ඨම පෙම් බැඳුම පවා කඩතොලුවලින් ගහනය. විරහවේ මග හළ නොහැකි රසු දැල නිර්මාණය වන්නේ ඒ නො හමුවීම තුළය. ප්‍රකටවම පෙනෙන පරිදි ඇයට විරහව හා ආරෝවක් නැත. ඇය භුක්ති විඳිමින් සිටින්නී විරහව ස්වභාවිකකරණය කොට ගැනීමේ රහසිගත දොම්නසය. සොම්නසය. ඒ වූ කලී සංස්කෘතික ගැහැණියකට ලාංකීය සන්දර්භය තුළ අත් කර ගත හැකි ප්‍රේමයේ උපරිම චමත්කාරයය.
සරාගික සේ හැඟෙන දෙතොලෙහි
සැබෑ වෙව්ලුම
සිනාසෙන දෑසෙහි
හැලි වළං පැලුණු ඉගැඹර
ඒ අතර මිය නොගිය
ළදරු සිහිනාලාප දුටොත් ඔබ
අතින් අල්ලා ගෙන මා
රැගෙන යනු ඇති
වන ගුල්ම තැනිතලා
වලාකුළු සමුදුරු දිය වෙත
ඉවසා සිටිනු ඇත ඔබ
බිම වැතිර තරු ගණින තෙක් මම..
(හමු නොවී හමුවීම, පි,32)
ගැලවුම්කාර භූමිකාවෙහි ලා ප්‍රේමය සතු ඉන්ද්‍රජාලික ගුණ මිලින වී යන සමාජයක, පැවැත්ම උදෙසා වූ දෛනික වතාවත වඩා කටුකය. එක්කෝ සිනා සිඳී ගිය මහන්සි මුහුණුය. නැතහොත් ව්‍යාජත්වය පැළදගත් හසරැල් වෙස් මුහුණුය. ඒ කිසිවක් මනුෂ්‍යත්වය ට පණ දෙන ජීව සූපය කිවිඳියට තනා දෙන්නේ නැත. කිවිඳිය එය සොයා ගන්නේ සාහිත්‍යය ඇසුරේය. එහිදී ද වඩාත් උද්දාමයෙන් යුතුව ඇය කුළුපග වන්නේ පරාජිතයන්ට වීම කිසිසේත්ම අහම්බයක් නොවේ. ජයග්‍රහණය නුහුරු ආත්මයකට පරාජය පවා රමණීය වේ.
අපූ ගේ සිතුවිල්ලක්
පියාඹා අවුත්
ගව් ගණන් දුර
මා ඔබේ දේසෙට කැටුව ගිය
මගෙ ගීය එදෙස බාසෙන් ගැයුව
කිරිල්ලයි ඔබ
නිශ්චින්දි පුරේ
සෝනාඩංගා තැනිතලාවේ
වන රොදේ අසිරි මට පෙන්නුව
මගේ සොයුරිය
සිහි කරන්නී නුඹ මට
වන රොදකට බැදුණු ඇය
බසකට ඇලුම් කළ ඔබ
දුම්රියක් දැකීමේ සිහිනයක
දෑස් පියවා සැතපුණ
ඈ තරම් කලියෙන් නොවුණට
ඔබ ගිහින් තියෙන්නෙත් ඉක්මනට
දැන් ඉතින් ඈ සමග
ඔබ ද සිහි වේ මට
හද පත්ල කොනහන
සියුම් රිදුමක් සමගින්
බලන් මේ අරුමය
ස්ත්‍රී බව ද සාපය
ඇගේ නම දුර්ගා ය
ඔබේ නම චින්තා ය
ඇය ජීවිතය හදාරන්නේ විරාගයේ අරවින්ද ගෙනි. කොළරා කාලේ ෆර්මිනා දාසා ගෙනි. අරීසා ගෙනි. ළදරු සිහිනාලාපයක මර්යූෂ්කා ගෙනි. එහෙත් ප්‍රබන්ධ යථාර්තයෙන් එළියට බසින විට, ඇය පිලිගන්නට බලා සිටින්නේ ඊට ද වඩා සෝබර ලෝකයකි. ඒ ලෝකය ජීවිතය පිළිබද ඇගේ පරිඥාණය තීව්‍ර කරයි.
කොණ්ඩ කරල්
දිගු වරල් සිකි පිල්
හීන දුටු කාලෙක
හිමිදිරි පාන්දර
කොණ්ඩ කරල් ගොතන්නට
ඉවරයක් තිබුණෙ නෑ අම්මට
කුළුදුලේ අක්කාගෙ දෑතිනි
ගෙතුණේ කරල් දෙකකට
අපේ ආදරේ
මුල් දවස්වල
අන් නෙතක රසඳුනක් වූවැයි
නොරිසි විය ඔබ
ගෙතූ වරලට...
කලකදි තුනී විය
ඔබේ ඒ අදහස
ඉතින් යළි ගෙතුවෙමි
කෙහෙරැල් සරැල්...
කෙමෙන් කාලය ලිහී
බැඳුම් දුර වෙද්දි
කෙස්වලත් දොස්
ඇතැයි වූයෙමි සසල
ඔබ වට නිබඳ ගැවසෙන
ළඳුන් කෙහෙ මෝස්තර
විලසින් මඳක් කෙටි කර
ලිහිල් කෙරුවෙමි මුහුළස...
අනේ මගෙ බොළඳ හිත!
මංමුළා වැල් පැටලී
ආයෙත් අවුල් හැර
අවදි වූයෙමි සිහිනයෙන්
රෝ දුකින් මුහුළස
අහිමි යෙහෙළිය දැක
පිදූයෙමි කපා කෙටි කොට
නන්නාඳුනන කෙනෙකුට
නරකෙසින් ආකුල
ගෙතුමට තරම් නොතරම්
දැන් ඒ වරල්
නොම දේ තැවුල්
ගොතා දුන් දිවි අරුත්
ඊට වැඩියෙන් මනකල්....
කිවිඳිය විෂයේ ජීවිතය යනු අබිරහසක් හෝ අබිදහමක් නොවේ. දාර්ශනික කුළු ගෙඩි ප්‍රහාරයන් වෙනුවට සුසිනිඳු කුසුම් පියවිලි ඇය අප වෙත පා කරන්නීය. එහෙත් ඒ පෙති මත ඇත්තේ මන බදින රු සිරිය හෝ මන්මත් කරන සුගන්ධය පමණක් නොවීම ප්‍රශංසනීයය. නො රිදවන සුළු භාෂාවකින් ඇය යළි යළිත් වර නගන්නේ ස්ත්‍රීත්වටය්ම ගැහැටය.
නොකල් කුසුම් සුසුම්
මල් නොපත් තුරක ද
දේදුනු පැහැය තවරන
අරුමැසි අරුත ඔබ
ඉඳුරුදැලි පෙම්වත
ඔබේ පැහැනද හද
පරසතු කුසුම් සුවඳැති
නංවා මැජික් පලසක
සුර විමනකට කැඳවන
සොබා දම එළා දුන්
සිනිඳු තණ පලස මත
තරව මා වැලඳ ගත්
ඔබෙ දෑත
ඉමුදු ය
තණ පලස සේ මය
කඩා වැටෙනා තරු කැට
ඔව්! ඒ මගේ හිත
අබිමන් අහස අත් හළ
ඒ වුණත්
පත් ගිලිහෙනා සෘතුවක
එළිපත්ත මත
ළපලු නංවන්නට
ළයේ උණුසුම මිස
මට මැජික් පහනක් නැත
හත් පෙති මලෙන් අත් හැරී ඇත්තේ ජීවිතයේම පෙත්තකි. එහි ලා අපට සම්මුඛ වන්නේ සංස්කෘතික වනිතාවකගේ ජීවන පුරාණය පමණක් නොවේ. නව ලිබරල් ධනේෂ්වර යුගයක ස්ත්‍රීත්වයේ විකසිත වීමට එරෙහි සියලු දුෂ්ට කොන්දේසි එහි අඩංගුය. ඒ පිළිබඳ කිවිඳියගේ සවිඥාණිකභාවය ඉතා පැහැදිලිය. විමුක්තිය උදෙසා වූ පළමු කොන්දේසිය ද එයම නොවේ ද?
Comments
Post a Comment