සොරකම් කළ ජීවිතය සොයන සොරුන්ගේ කතාව Shoplifters

 





අපි මේ ගතකරමින් සිටිනුයේ දෙදහස් පන්සිය වසරක මොකක්දෝ අභිමානයක් කර ගසාගෙන, ඒ අභිමානවත් රටින් තොලොන්චි වී යාමට මිනිසුන් දස අතේ මං සොයන සමයකයි. තෙල් පෝලිම් ගෑස් පෝලිම් පමණක් නොව පාස්පෝට් පෝලිම්ද දැන් අපට හමුවෙයි. මේ ‘පිං බිමෙන්’ යන්නට ලැබෙනවා නම් බෝට්ටුවකින් සෝමාලියාවට හෝ කම් නැති බව මිනිසුන්ගේ මතයයි. මේ රට හැර යාමට මගක් හොයන තරුණයන්ගේ සිහින ගමනාන්තයන් අතරින් මුල් පෙළේ රැඳෙනා රටකි ජපානය. ලොව ‘කඩිසරම’, ‘හැම විටම සිනා මුසු මුහුණින් සිටින’ මිනිසුන්ගෙන් පිරි ලොව ‘සංවර්ධිතම’ රටක් ලෙස සැලකෙන ජපානයට පැන ගැනීමට හැකි නම් ජීවිතයේ සියලු ගැටලු විසඳේවි යැයි අපි විශ්වාස කරන්නෙමු. ඒ පිවිතුරු ජපන් සිහිනය හැඩිකරන චිත්‍රපටයකි, සොරකම් කළ ජීවිතය සොයන සොරුන්ගේ කතාව Shoplifters.

සමාජයේ ඕනෑම දෙයක ජනප්‍රිය මතය හෝ අප මතුපිටින් දකිනා දෙය බොහෝ විට යථාර්ථයෙන් ඉදුරාම වෙනස් වෙයි. එම යථාර්ථය බොහෝ විට අප දැකීමට අකමැති දෙය වෙයි. නමුත් අපට මගහැර යා නොහැකි දේ වන්නේද එයමය. එය කෙබඳුද යත් කහ ඇඳුම් ඇඳන් ක්‍රිකට් මැච් බැලීමට ගියත් තෙල් පෝලිමේ සිටීමට සිදුවෙනවා වැනිය. කලාව හෝ සිනමාව මගින් සිදුකල යුත්තේ මෙයයි හෝ සිදුකරනුයේ මෙයයි ලෙසින් හතර මායිම් ගැසීමමට හැකියාවක් නොමැතිමුත්, අප මගහැර යන යථාර්තයට අපව අභිමුඛ කරන්නට අප මවාගෙන සිටිනා ව්‍යාජයන් අපගේ දෑස් හමුවේ කඩා බිද දමන්නට කලාවට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. එම හැකියාව විෂද කරන සිනමා නිර්මාණයකි සොරකම් කළ ජීවිතය සොයන සොරුන්ගේ කතාව Shoplifters.

 විසල් නගර, දැවැන්ත සුපිරි වෙලද පලවල් මිනිස් ජීවිත වල සෙභාග්‍යවත් බව පෙන්නුම් කරන බවක් අප විශ්වාස කලද ඒ ඇස් නිලංකාර වන විදුලි එළි පිටුපස භයානක අන්ධකාරයක් සැගව ඇත. මේ බව අත්විදින්නට අපට ජපානයට යාමට අවැසි නැත. ලංකාවේ විශාලතම වානිජ නගරය වන කොළඹ අදුරු හුදෙකලා මංමාවත් දිගේ රාත්‍රියේ ඇවිද යාමම ප්‍රමාණවත් වෙයි. නෙලුම් කුළුණේ ලස්සන එය පෙනෙන මානයේ, පිටකොටුවේ බෝ ගහ අවට ගණුදෙනුකරුවන් සොයා ඇවිදින වීදි ගණිකාවකගේ ජීවිතය තුළ නොමැත, දවල් දවස තිස්සේ පිටකොටුවේ නාටාමි රස්සාව කොට හෙට උදයේ සිට නැවත එම වෙහෙසකර රැකියාව අරඹන්නට කුමක්හෝ මත්ද්‍රව්‍යයකින් පියවි සිහියෙන් දරාගත නොහැකි ජීවිතය මගහැර මදුරුවන් සමග කොටුවෙ පේමන්ට් එකේ නිදා සිටින මිනිසෙකුගේ ජීවිතය තුළ නොමැත.

චිත්‍රපටය දිවයන්නේ Osamu Shibata ගේ පවුල වටාය. Shibata ඉදිකිරීම් කම්කරුවෙකු වන අතර බිරිඳ වන Nobuyo ලොන්ඩරියක සේවය කරයි. Nobuyoගේ සොයුරිය වන Sayaka  විනෝදාස්වාදය සපයන්නියක ලෙස කටයුතු කරයි. ඔවුන් Nobuyoගේ මවගේ නිවසේ ඇය සමග ජීවත්වන අතර ඇයගේ විශ්‍රාම වැටුපද පවුලේ ආර්ථිකය සවිමත් කරයි. මීට අමතරව Osamuගේ ලාබාල පුත්‍රයාද මෙම කුඩා නිවසේ ජීවත්වෙයි. මෙලෙස සියල්ලන් ආදායම් ඉපයුවද එය එදා වේල පිරිමසා ගැනීමට හෝ ප්‍රමාණවත් නොවෙයි. එබැවින් ඔවුන්ගේ ජීවිකාව රැකෙන්නේ වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම මගින්ය. Osamu හා පුතා වෘත්තීමය ආකාරයෙන් සූක්ශ්‍ම එම භාණ්ඩ සොරකම් කිරීම සිදුකරයි. චිත්‍රපටය අවසානයේ පොලිස් නිළධාරියෙක් Osamuගෙන් තමන්ගේ පුතාට සොරකම් කරන්නට ඉගැන්නුවා නේද යැයි ප්‍රශ්න කරන අතර Osamuගේ පිළිතුර වන්නේ මම ඔහුට ඉගැන්වීමට වෙනත් කිසිදු දෙයක් නොදන්නා බවයි.

මේ ආකාරයට වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කොට නැවත පැමිණෙන අතර තුර Yuri නම් කුඩා දැරිය මොවුන්ට හමුවීමත් සමග මෙම චිත්‍රපටයේ ගලායාම ආරම්භ වෙයි. එම කුඩා දැරියට එක් දිනක් නිවසේ නවාතැන් දීමට Osamu විසින් රැගෙන එන අතර පසුව ඔවුන්ට අනාවරණය වන්නේ එම දැරිය ඇගේ දෙමව්පියන් අතින් අපහරණයට ලක්ව ඇති බවය. ඒ අනුව ඇයව තම පවුලට එක්කර ගැනීමට ඔවුන් තීරණය කරයි. ජීවත්වීම සදහා ඔවුන් ගෙන යන අරගලය චිත්‍රපටය පුරාවට විස්තර වෙයි. මෙම පවුල හැරෙන්නට මෙම චිත්‍රපටයේ විටින් විට හමුවන අනෙක් චරිතයන් හරහාද ජීවිත මුහුණ දෙන අර්බුදය නිරූපණය වෙයි.Shota හා Yuri රසකැවිලි සොරකම් කළ නිවස අසල කුඩා වෙළඳසැල චිත්‍රපටය අවසන් වන විට බංකොලොත් වී වසා දමයි. කිසිදු දෙබසක් නොමැතිව මහාබර වේදනාවක් කරගසාගෙන සිටින බව ඇගවෙන Sakaya ගේ සේවාදායකයා ආදී සියලු චරිත හරහා ජපානයේ දියුණුවේ මායාව යට සැඟවුන වරප්‍රසාද අහිමි ජනතාවගේ ජීවන ඛේදවාචකය මෙහි නිරූපිතය.

ආර්ථිකය අර්බුදයන් උග්‍රවන්නට වන්නට, තමන්ගේ එදාවේල සොයා ගැනීම පවා අර්බුදයට යන්නට යන්නට මිනිසුන්ට තමන් රැකි මානුෂීය ආචාර්ය ධර්මයන්ට පවා පටහැනිව කටයුතු කරන්නට සිදුවෙයි. දරිද්‍රතාවයේ පතුලටම ගිලිනු ප්‍රජාවන් තුළින් අපරාධ වැනි දෑ ඉහල යන්නටද හේතුවන්නේ මෙයයි. තෙල් අර්බුදය පැමිණි මුල් සමයේ තෙල් පෝලිම්වල ගීත ගයමින් සිටි මිනිසුන් අර්බුදය තම එදිනෙදා ජීවිතය ගිල ගනිද්දී ඉන්ධන හල් අසළ එකිනෙකා මරාගන්නා තත්වයක් ඇතිවිය. Nobuyo හා ඇගේ මිතුරියන් ලොන්ඩරියේ ඉතා සමීපව සේවය කරයි. කෙසේ නමුත් ක්‍රම ක්‍රමයෙන් අදාළ ආයතනය බිදවැටී සේවා මුර ක්‍රමයට සේවකයින් සේවයට කැඳවයි. අවසන කළමණාකාරවරයා Nobuyo හා ඇගේ මිතුරියක කැදවා දෙදනාවම සේවයේ තබාගත නොහැකි බවත් එක් අයෙකු ඉවත් කළ යුතු බවත් දන්වා ඉවත්කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔවුන්ට භාර කරයි. මෙහිදී මිතුරිය මේවන විට මාධ්‍ය මගින්ද අතුරුදන්වී ඇති බවට පුලුල් ආවරණයක් ලැබී ඇති Yuri, Nobuyo  සමග සිටිනා බව තමන් දන්නා බවත් Nobuyo අස්වී ඇයට සේවයේ රැඳී සිටීමට අස්ථාව ලබානොදුනහොත් එය පොලිසියට එළිකරන බවට තර්ජනය කරයි. වෙනත් විකල්පයක් නොවූ බැවින් Nobuyo ඊට එකගවෙයි.

චිත්‍රපටය අවසානයේ Nobuyo යනු Osamu ගේ බිරිඳද? Sakayaයනු Nobuyo ගේ සොයුරියද? Hatsue යනු ඔවුන්ගේ මවද? Shota යනු කවුද? ආදී ලෙස මෙම සියලු අයගේ අනන්‍යතාවයන් හා සබඳතාවයන් පිළිබඳ ගැටලුවක් ඇතිවෙයි. මේ සියලු සබඳකම්  හුදෙක් පැවැත්ම වෙනුවෙන් ගොඩනගාගන්නා ලදදේද යන ගැටලුවද ඇතිවේ. අනිත් අතට සබඳකම් යනු හුදෙක් ලේ බැදීම් මතම ඇතිවන්නක්ද යන ප්‍රශ්නය ඇතිකරයි. සැබෑ දෙමව්පියන් වෙතින් අපහරණයට ලක්වන Yuri පසුව Osamu ගේ පවුල තුළින් ආදරය රැකවරණය ලබයි. 

Shoplifters වර්ණවත් ජපන් ජන සමාජයේ අදුරු අහුමුලු වෙත අපව නිරාවරණය කරයි. චිත්‍රපටය පුරාවට ජපානය යනු සුරපුරයක් නොවන බව නැවත නැවත මොර දෙයි. අකමැති අපහසු යථ දකින්නට අපට ආරාධනා කරයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?