"පිට දීප දේශ ජය ගත්තා"
ගායනය - ලක්ෂ්මී බායි
පද - ඩබ්.ඩී. මර්සිලීන් ඇල්බට්
මේ සැරේ අපි කතා කරන්න තෝර ගත්තෙ ටිකක් පරණ සින්දුවක්. ටිකක් කිව්වට මේ සින්දුව තැටි ගත වෙලා තියෙන්නෙ 1939. ඒ සින්දුව නිර්මාණය වෙන්නෙ 1937 තිර ගත වෙච්ච ‘චින්තාමණි’ කියන ද්‍රවිඩ චිත්‍රපටයේ ‘අස්වත්තම්මා’ විසින් රඟමින් ගයන ‘දිවා දර්ශනම්’ කියන සින්දුවේ තනුව ඇසුරින්. ඉහළ නම් දක්වලා තියෙන තැන ‘සංගීතය’ කියලා දක්වලා නැත්තෙ ඒ නිසා. සින්දුව ඇතුළත් ග්‍රැමෆෝන් තැටියෙ ලේබලයේ පවා මේ සින්දු හඳුන්වලා තියෙන්නෙ ‘චින්තාමණි රාගයක’ ඇසුරින් කළ සින්දුවක් විදියට. පහළ තියෙන්නෙ ලේබලයේ තිබුණ සටහන.
“සිංහල වේදිකාවේ චින්තාමණි ලෙස ජනතාවගෙන් නොයෙක්වර ප්‍රශංසා ලැබූ ලක්ෂ්මි බායි නෝනා මහත්මී විසින් ගයන චින්තාමණි රාගතාල ඇසුරින් නිපදවූ අලුත්ම සින්දු දෙකක් ඔබතුමන්ලා සියලුදෙනා විසින් ඇසිය යුතුමය.”
ලංකාව අධිරාජ්‍යවාදී පාලනයකට ඍජුව යටත් වෙලා තිබ්බ කාලෙ මේ වගේ අදහස් තියෙන රචනා සෑහෙන බිහි වෙලා තියෙනවා. කොළඹ යුගයේ පළමු තරංගය නියෝජනය කළ කවීන් අතින් බහුලව ම ලියවුණේ මේ වගේ කවි. මේ වගේ කවිවල තිබ්බ පොදු ලක්ෂණයක් තමයි අතීත ලංකාවෙ පැවති ශ්‍රී විභූතිය හා සශ්‍රීකත්වය වර්ණනා කරමින් සමකාලීන සිංහලයාගේ අනුකාරක වහල් ස්වභාවය විවේචනයට ලක් කිරීම.
මේ සින්දුවෙ ස්ථායි කොටස වෙන් කරලා තියෙන්නෙ අර අපි කිව්ව ‘අතීතය’ අධිවචනයට නැඟීම වෙනුවෙන්. අතීත සිංහලුන් විදේශයන් ආක්‍රමණය කර ජය ගත් බවත් අපනයන වෙළඳාමෙන් විදේශ විනිමය ඉපැයූ බවත් එහි ඍජු ලෙස ම සඳහන් වෙනවා. ඇත්තට ම ඔය කියන තරම් සිංහලයා අතීතයේ සමෘද්ධිමත් ජීවිතයක් ගත කළ බව ඔප්පු කරන්න සාධක හොයා ගන්න නෑ. ඉතිහාසය ගැන හදලා තියෙන ප්‍රබන්ධ ටික හලල දැම්මම අපිට හම්බ වෙන්නෙ ප්‍රාදේශීය රජවරු ටිකකු යි රදළයො ටිකකු යි භික්ෂු සංස්ථාව යි එකතු වෙලා සූරා කාපු යටත්වැසියන් ටිකක් ජීවත් වෙච්ච රටක්.
‘පිටරට කාසිය මෙහි ඇද්දා’ කියලා කියන එක වෙන ම ගත්තත් සෑහෙන ප්‍රතිවිරෝධතා තියෙන ප්‍රකාශයක්. මෙරට වෙළෙන්දො විදේශයන් එක්ක ගනුදෙනු කරල තිබ්බට ලංකාව සැබෑ ලෙස ම අපනයන වෙළඳාමට සම්බන්ධ වෙන්නෙ බි්‍රතාන්‍ය පාලනය යටතේ කියන එක සාමාන්‍ය පෙළ දරුවෙක් පවා දන්න කාරණයක්. අනෙක තමයි තිබ්බ වෙළඳාම පවා භාණ්ඩ හුවමාරුව එක්ක සම්බන්ධ වෙච්ච එකක්. මුදල් භාවිතය සුලබ වෙන්නෙත් යුරෝපීය ආක්‍රමණවලින් පස්සෙ. හරි... කලින් එහෙම වෙළඳාමක් තිබුණ ම යි කියමු. එහෙම නම් ඒ හැකියාව තිබ්බෙ සිටු පවුල් කිහිපයකට මිසක් සාමාන්‍ය ජනයාට නෙවෙයි. අනෙක් ප්‍රශ්නෙ තමයි ස්වයංපෝෂිත ජාතියක් පිටරට කාසි මෙහි ඇද්දා ගන්නේ මොකටද, කියන එක.
අන්තරා කොටස්වලින් තමයි සින්දුව සමකාලිකත්වය රසිකයා ඉදිරියට ගෙන එන්නෙ. බි්‍රතාන්‍ය පාලනය විසින් සිතාමතා මේ රටේ නිර්මාණය කළ දේශීය කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තියේ වහල් දීන අනුකාරක ස්වභාවය තමයි මේ අන්තරා කොටස්වලින් විවේචනයට ලක් වෙලා තියෙන්නෙ(හෙරලි බතල ටික නුපුරුදු අම්මා). මේ පන්තියේ මේ ලක්ෂණය ආනන්ද රාජකරුණා, ඇස්. මහින්ද හිමි, ජී.එච්.පෙරේරා වගේ කවීන් අතිනුත් දැඩි ප්‍රහාරයකට ලක් වුණා. අධිරාජ්‍ය නියෝජිතයන්ටත් වඩා අධිරාජ්‍යයට පක්ෂපාතී වෙච්ච මේ දේශීය ඉහළ මැද පන්තිය ඒ වගේ කාලෙක විවේචනයට ලක් වෙන එක සාමාන්‍ය දෙයක්.
හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මේ සින්දුවෙ පදවලින් අතිශය සීමාන්තික ජාතිකවාදයකට රසිකයාව පල්ලම් බැස්සවීම. ‘ස්වයංපෝෂිත රාජ්‍ය’ කියන්නෙ තනි වුණ ජාතියක් සිද්ද කර ගන්න පරිකල්පනයක් මිස යථාර්ථයක් නෙවෙයි. අවට ලෝකය ගැනත් එහි ජීවිතය ගැනත් නො දන්නා තරමට අපට, අප ස්වයංපෝෂිත බව සිතමින් සතුටු වෙන්න පුළුවන්.
අද වගේ කාලෙක කොහොමත් මේ සින්දුව අතිශය මෙවළම්වාදී (Instrumentalist) ප්‍රවේශයකින් භාවිත වෙන්න පුළුවන්. ඒ නිසා මේ සින්දුවෙ තියෙන ජාතිකවාදී අදහස මේ සින්දුවෙන් ම නිශේධනය කරන එක වැදගත්. මුල දි ම මේ සින්දුවට අදාළ පසුබිම් කතාව කිව්වෙ ඒ හින්දා.
ඒ කියන්නෙ මේ සින්දුව පවා ලංකාවෙ ම එකක් නෙවෙයි කියන එක.කොටින් ම ‘චින්තාමණි’ දෙමළ චිත්‍රපටියෙ ඇහෙන මුල් ගීත පවා හින්දි චිත්‍රපට හා හින්දි භජන් තනු අනුකරණය කරමින් හදා ගත්තු ඒවා.අපි කතා කරන සින්දුව නිර්මාණය වෙලා තියෙන්නෙ හින්දුස්ථානී රාගධාරී සංගීතයේ කාෆි රාගයේ ලක්ෂණ ඉස්මතු වෙන විදියට. තාලය කෙහෙර්වා.
‘දිවා දර්ශනම්’ කියන මුල් දෙමළ ගීතයට පවා මුල් වෙච්ච හින්දි ගීතය පටිගත කරලා තියෙන්නෙ 1936. ගයලා තියෙන්නෙ කුමාරි ජුතිකා රෝයි. සංගීතය කමලා දාස් ගුප්තාගෙ. ඒ නිසා ස්වයංපෝෂිත ජාතික රාජ්‍යයක් ගැන සිහින දකින මේ සින්දුවෙ පවා මුල් අයිතිය උත්තර භාරතයට හිමි වන ඉන්දියානු සාගරය පැත්තට දත නියවමින් හරි කියන්න වෙලා තියෙනවා.
ලක්ෂ්මි බායි ගයන ගීතය නරඹන්න,
https://youtu.be/zYi9M5pMXrYY
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා
තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඇද්දා //
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා
පිටරට සිරිතට දිව දික් කරනා
අද සිංහල කළු සුද්දා //
කන්ට අදින්ටා පිට රටින් එන තුරු මුහුදට දත නියවන්නා //
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා
හෙරලි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා //
කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවො මරන්නා //
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා
පිටරට හාලේ බත් ටික නැතිනම් බඩ ගින්නේ සිංහලයා //
අන්තිමේදී නිදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා //
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා
(ඩබ්.ඩී. මර්සිලීන් ඇල්බට්)
Comments
Post a Comment