සාංදෘෂ්ටිකවාදය ඇසුරින් ‘මුක්ති’ නවකතාව කියවීමක්
“ඔබ ඔබගේ සියලු ආවේණික ලක්ෂණ, සියලු නියත අවශ්‍යතා, රුචිකත්වයන් සහ විශ්වාස පසෙක ලූ විට ඉතිරි වන්නේ, විෂයයි. විෂය යනු පෞද්ගලික සහ ඔබට ආවේණික හැඩගැන්වීම් කරන සාරයට එරෙහි ඔබගේ විඥානයේ මාදිලියයි.”
- ස්ලැවොජ් ජිජැක්
විෂය මග ගනුදෙනු කිරීමේදී සාහිත්‍යකරුවන් හැසිරෙන ආකාර හා ප්‍රාකාර අතර සංදෘෂ්ටිකවාදී (Existentialist)
ගනුදෙනුව පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍ය කරනුයේ නියත වශයෙන්ම සෝමරත්න බාලසූරියගේ ‘මුක්ති’ නවකතාව (2020 පළමු මුද්‍රණය) එබඳු ගනුදෙනුවක ප්‍රතිඵලයක් වන බැවිනි.
සාංදෘෂ්ටිකවාදී සාහිත්‍ය (භවසත්තාවාදී සාහිත්‍ය / අස්තිත්වවාදී සාහිත්‍ය)
හඳුනාගැනීමේ මූලික ප්‍රවේශයක් ලෙස විහිදී කේ.කේ. සමන් කුමාරගේ ‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට’ යන සිද්ධාන්ත කෝෂය භාවිත කළ හැකිය.
“සාරයක් ආදේශ කිරීම කෙරෙහි නැඹුරුවීම් ද දක්නට හැකිය. එසේ නොවේ නම් පැවැත්ම සාරයට ප්‍රාථමික බව උපේක්ෂාසහගතව පසක් කරයි. යථාර්ථවාදයේ ආ තත්ත්ව ස්වාරෝපිත ඒකීය චරිත නිරූපණය, සහේතුක විකාශනය හා මොවුන්ගේ පරාරෝපිත චරිත, අරමුණු වටිනාකම් හරයන්ගෙන් තොර පැවැත්ම විෂයකොට ගැනීම ක්ෂණ භංගුර සිදුවීම්, හේතූන්ගේ අහේතුක බව නොගැළපිණි.”
(කේ.කේ. සමන් කුමාර, නූතනවාදය හා ඉන් ඔබ්බට, 26 පිටුව)
සාංදෘෂ්ටිකවාදී චින්තනයෙහි සාහිත්‍යාත්මක විලාසිතාභාවය සමන්ගේ විග්‍රහයට බඳුන් වෙයි. එය සමාජයේ බිඳීම්, බෙදීම්, ක්ෂණ භංගුරත්වය, පැවැත්ම :ඉැසබට* සාරයට :ැිැබජැ* වඩා ප්‍රමුඛ කොට ගැනීම බඳු, දෙන ලද තත්වයන් යටතේ විෂය ග්‍රහණය කොට ගැනීමට ලේඛකයාට සිදු වූ ආකාරය විග්‍රහ කරයි. එහෙත් සංදෘෂ්ටිකවාදී සාහිත්‍ය ප්‍රවණතාවයෙහි සමාජයීය හා දේශපාලනික මූල මණ්ඩල එහිදී නිරීක්ෂණය නොකෙරෙයි.
සාංදෘෂ්ටිකවාදී ප්‍රවණතාවේ මූල මණ්ඩල
ලෝකය හඳුනාගැනීමටත් එය වෙනස් කිරීමටත් භාවිත කළ හැකි දියුණුම දේශපාලන චින්තනය භූ දේශපාලනය තුළ එය නියෝජනය කෙරුවන් අපේක්ෂාභංගත්වයට පත් කළ ඉතිහාසයක් තුළ (ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය) මිනිස් විෂය හඳුනාගැනීම සඳහා එම චින්තනයෙහි අසාර්ථකත්වය විවිධ ප්‍රශ්න කිරීම්වලට බඳුන් විය. නොමැතිනම් පැවැත්ම හා සම්බන්ධ අනුමානිත ක්‍රියාවලියේදී එහි කිසියම් අඩුවක් (Lack) දර්ශනය විය. මෙය පහත ආකාරයේ ජිජැකියානු අදහසකට මග පෙන්වීමකි.
ඒ වනාහි ‘ලෝකයේ අංශුමාත්‍රයක් අවබෝධ කරගත හැක්කේ සියල්ල අවබෝධ කරගැනීමෙන් පමණක් ය’ යන චින්තනයයි. එය සමස්තතාව යනුවෙන් ජිජැක් නම් කළේය. තවදුරටත් ඔහු ප්‍රකාශ කරනුයේ ප්‍රතිවිරෝධය යනු සෑම අනන්‍යතාවකම අභ්‍යන්තර තත්ත්වයක් වන බවත් සෑම අදහසක්ම අඩුවක් මගින් ව්‍යාකූල කරන බව හා එම අදහසෙහි මූලික පැවැත්මට එම අඩුව අත්‍යවශ්‍ය වන බවත් ය.
දෙන ලද තත්වයන් යටතේ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය වඩාත් ස්ථාවර තැනක සිටියදී පවා ෂෝන් පෝල් සාත්‍ර වැනි දාර්ශනික සාහිත්‍යකරුවකු, කොමියුනිස්ට්වාදය සැලකුවේ ආකර්ෂණය මූලාශ්‍රයක් ලෙසින් මෙන්ම බලාපොරොත්තු සුන් වීමේ මූලාශ්‍රයක් ලෙසිනි. ඔහුට කොමියුනිස්ට්වාදය සමඟ එකඟතා මෙන්ම නොඑකඟතාද වූ අතර එහි ප්‍රධාන විවේචනයක් පහත ලෙසිනි.
“මාක්ස්වාදය පුද්ගල මනෝවිද්‍යාව සහ විඥානය පැහැදිලි කරන්නට සම්ප්‍රදායානුකූලව අපොහොසත් වූ බව නිරතුරු පසක් කර ඇත. ඔහු තර්ක කළේ ඕනෑම සත්‍ය භෞතික විශ්ලේෂණයකින් විඥානය ධාරිතාව බාහිර ලෝකයේ සොයා ප්‍රවෘත්ති ක්‍රියාවකට සීමා විය යුතු බවය.”
‘සාහිත්‍ය යනු කුමක්ද?’ - ෂෝන් පෝල් සාත්‍ර, පරිවර්තනය- මහාචාර්ය සෝමරත්න බාලසූරිය/ සෝමපාල අරන්දර
මෙම නොහැකියාව, එනම් අඩුව පුරවාලීම සඳහා සාංදෘෂ්ටිකවාදීන් විඥානවාදී දර්ශනයක් වෙත නැඹුරු වූහ. වඩාත් වැදගත් වනුයේ එම සත්‍යාවේශනතාවයෙන් ඔවුන් තනාගත් සාහිත්‍යයක මූලධර්මයයි. මෙහි දී සාත්‍ර ලියූ ‘පැවැත්ම හා ශුන්‍යත්වය’ (1943) ග්‍රන්ථයේ එන විවරණිකාව කෙටියෙන් ලියා දක්වමි.
1 විඥානයේ රටා තුනක් පවතින බව (එය තුළ පැවතීම/ ඒ උදෙසා පැවැත්වීම/ අන්‍යයන් උදෙසා පැවතීම)
2 ඒ උදෙසා පැවතීම යනු මිනිසා සිය වස්තුවෙන් දුරස්ථව තබන ‘අනන්‍යතාව’යි
3 එය ස්වාධීන වීමක් වන්නා සේම හිස් බවක් මෙන් ම වේදනාවක් ද වෙයි
4 මිනිසාට ලෝකය වස්තුවක් වන්නාසේම ලෝකයටද මිනිසා වස්තුවකි
5 මෙම දුරස් බවේ සන්තාපයට මිනිසා ප්‍රතිචාර දක්වන්නේ දක්වන්නේ එක අවංකව ය, නොමැතිනම් නරක චේතනාවෙනි, නොමැතිනම් පැන යාමෙනි.
6 එවිට අප ඒ තුළ පවත්නා බවත් අප පරිපූර්ණ බවත් අපගෙන් අනෙක් මිනිසුන්ට බලපෑමක් නැති බවත් බොරුවට අඟවන්නට පුළුවන.
7 නොමැතිනම් ස්වාධීනත්වයේ වගකීම මගහැරිය හැකි මගක් තිබේ. එනම් අනෙකා වෙනුවෙන් පවතින අයකුගේ අනන්‍යභාවය ආරූඪ කර ගැනීමෙනි.
දැන් අප මෙම සාකච්ඡාවේ ප්‍රස්තුත කාරණයට එනම්, ‘මුක්ති‘ නවකතාව වෙත එළඹෙමු.
සෝමරත්න බාලසූරියගේ මුක්ති
‘මුක්ති‘ නවකතාව රචනා වන්නේ දේශපාලනික වාර්තාකරණයක් කරණ කොටගෙන රාජ්‍ය ආරක්ෂක අංශ වලින් අංශ වලින් සැඟවී සිටින ප්‍රමුඛ පෙළ ජනමාධ්‍යවේදියකුගේ ඇසිනි. ඔහුට මෙම රහස් පැවැත්ම සඳහා උදව් කරනුයේ දැනට රටින් පිටව සිටින ස්වර්ණා නම් වන නළඟනකි.
වඩාත් වැදගත් වන්නේ නවකතාවේ ආඛ්‍යාන ශෛලිය මෙලෙස ගොඩනැගීමෙන් සමාජ නිරීක්ෂකයෙකුගේ කාර්යභාරය නවකතාකරුවා බාර ගැනීමය. මෙම උපක්‍රමයෙන් සාඵල්‍යතාව වනුයේ නිරීක්ෂණයන් වෙනුවෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම මිස, නිගමන වෙනුවෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම නොවේ.
සමාජයීය සබඳතා මෙන්ම අධ්‍යාත්මික සබඳතා නමැති විග්‍රහයේ බල රටාවන් මෙහිදී නිරීක්ෂණයට හසු කෙරෙයි. වඩා වැදගත් වැදගත් කාරණාව වන්නේ මෙම සබඳතා තුළ ව්‍යුහය තනි කේවල මිනිසාට වඩා බලවත් වීම හා එනිසාම පීඩිත වීම ය. පවුල ආගම පාසල නීතිය අධිකරණය බඳු ගොඩනැංවීම් මෙන්ම ප්‍රේමය බඳු ගොඩනැංවීම් පවා මෙහිදී සමීප හා සියුම් නිරීක්ෂණයට බදුන් වන්නේය. වැදගත් කාරණය වන්නේ බාහිර ආයතනගත ආකෘති වෙනුවෙන් මිනිසා අධ්‍යාත්මික ආකෘති නිපදවා ගනිමින් ප්‍රතිචාර දැක්වීමට යාමේදී ඇති වන පරාරෝපණය අනාවරණය වීමය. මෙකී නිරීක්ෂණයන් වඩාත් සමාජය ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා උත්සාහ කරන බලවේගවලට වැදගත් වන්නේ මෙම අර්ථයෙනි. පහත උපුටා දැක්වෙනුයේ එබඳු නිරීක්ෂණ කීපයකි.
“ගෑනුන්ගේ එක හොඳක් තියෙනවා ඔවුන් මා ගැඹුරට හිතලා කතා කරනවට තර්ක කරනවට වඩා ඔබේ සිත සනසන්න හදනවා කෙටි පාරවල් කියලා දෙනවා. කිසිම ගෑනියෙක් ඔබ දුකෙන් ඉන්න කොට සැර පරුෂ වන්නේ නෑ. තනය ඉල්ලුවොත් ටිකක් ලැජ්ජා ගතියක් පෙන්නලා කටට දෙනවා. පිරිමි එක්කලා සංසන්දනය කළොත් ගැහැණුන් සුන්දරයි. ශරීරයෙන් ලස්සන අඩු වුණත් හිතේ හරි සුන්දරත්වයක් තියෙනවා. එහෙම ගතිගුණ ගතිගුණ ලක්ෂණ පිහිටලා තියෙන්නේ පැවැත්මට.” (පිටුව 19)
“හුඟ දෙනා හිතන්නේ සුන්දරත්වය තියෙන්නෙ පරිසරයේ කියලා හෝ ගැහැනිය ළඟ කියලා. එක්කෝ මල් වල කියලා. පොළොව මත ඇති සියල්ල සුන්දරත්වයක් තියෙනවා. ඒක විඳින උල්කොට කටු ඇති මිනීමස් කන කිඹුලෙකුගේ වුණත් සුන්දරත්වයක් දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. සෑහෙන්න වතුර අඩු වුණ වැවක කොක්කු දෙන්නා තුන්දෙනා පිටේ තියාගෙන ඌ පීනනවා.” ( පිටුව 83)
“පන්සලේ පිරිත් සජ්ඣායනය ආරම්භ වුණේ වුණේ ඊළඟට. ඒක පටි වාදනයක්. පටිය හොඳටම ඇදිලා සාවධානව පිරිත අහන්ඩ ඒක බාධාවක්. පටිය වාදනය කරන කොල්ලට නැත්නම් පොඩි හාමුදුරුවන්ට තියෙන්නේ ඒක ක්‍රියා කරන එක. බොහෝ දෙනා නිදි නිසා පටියෙ අඩුපාඩුව ගැන පැමිණිලි කරන කෙනෙක් නැතුව ඇති. . මේක බොහෝ දෙනෙකුට ශබ්දයක් පමණයි. වෙන දෙයක් කරන්නේ නැති නිසා පාලි වචන ගැට ගහමින් සිංහල තේරුම ගන්න මං උත්සාහ කළා.” ( පිටුව 03)
මෙන්න මෙතනදී නැවත ගැටලුවක් ගොඩනැගෙයි. එනම් මෙලෙස කරන නිරීක්ෂණයන් ඔස්සේ ආත්මයක් නිෂ්පාදනය වීම විෂය සිය ආත්මය ගලවා දුරස්ථීකරණය කොට නිරීක්ෂණය කිරීමට යාමෙන් නොදැනුවත්වම ඒ ආත්මය ප්‍රතිනිෂ්පාදනය වීමය.
“මේ දවස්වල ආයෙත් අර රෝග හැදිලා. උදේ පහ වෙනකොට දාඩියෙන් ඇණ තෙමිලයි ඇහැරෙන්නේ. ඒත් ටික වෙලාවකින් ආයෙ සීතලක් දැනෙනවා. එතකොට කමිසයක් දාගන්නවා. මේක රෝග ලක්ෂණයක් හැටියට හිතන්න උවමනා නෑ. නමුත් මේක මහා අපහසුවක්. ඊට පස්සේ වියළි කැස්සක් එනවා. ඒත් ශබ්ද නගා කහින්න අයිතියක් නෑ. කැස්ස බලෙන් නවත්ත ගත්තොත් ඔක්කාරෙට එනවා. රාත්‍රියේ දුටු හීන ශරීරයට කැවිලා ඒවායේ පිළිකුල උදේම එළියට දමන්න වෙනවා. ඊට පස්සේ. බිරිඳක් හෝ දරුවන් නොසිටීම කොච්චර දෙයක්ද? හිටියා නම් මං හින්දා ඔවුන්ට කොච්චර දුක් වැළඳ ගන්ඩ වෙනවද? මං නිසා කවුරුත් දුක් කරදර වෙනවට මං කැමති නෑ. ස්වර්ණා වුණත් මං වෙනුවෙන් වෙහෙසෙන වට වෙහෙසෙනවාට මං කැමති නෑ. මං නිසා ස්වර්ණා නිසා අසල්වාසීන් විඳවනවා. මේක හරියට චක්‍රයක් වගේ.”
(පිටුව 51)
සාංදෘෂ්ටිකවාදී ලේඛනයෙහි දාර්ශනික අවුල වන්නේ ද මෙයමය. නිරීක්ෂණයට පෙර නොපැවති ආත්මයක් නිෂ්පාදනය වීමය. ඒ තවදුරටත් අනාගතයට සිය නිරීක්ෂණය දිගු නොකරන අතීතයට පසු බසින ආත්මයක් වීමය. මේ වනාහි සාංදෘෂ්ටිකවාදී සාහිත්‍යකරණයෙහි පවතින අඩුව (Lack) ය.
“මට මතක් වෙනවා වැව් වලින් නාලා තන මතට රෙදි ඇඳගෙන ඔළුවේ වතුර කළේ තියාගෙන වැට පැන යන ගැහැණු. ඒ පිටුපසින් පිටුපසින් ඉදිරියෙන් ගාටමින් යන ගව පට්ටි. පිටුපසින් ගාටන බලු කුක්කන්. වෙල් යායවල පේලියට හරකුන්ගෙන් සීසාන මිනිසුන්. පෙරලෙන පිඩලිවලින් පණුවන් අහුලාගන්නා ගන්නා කොකුන්. වෑ දියට උස් ගස් අතු වල සිට පනින ළමුන්. මා යා යුත්තේ ඔවුන් අතරට ය. ස්වර්ණා, ඔබට තෙරුවන් සරණයි” ( පිටුව 192)
එය නැවත විවේචනය කොට සකස් කළ යුත්තේ ද තියුණු සමාජ විද්‍යාවකින් හා මනෝවිශ්ලේෂණයකිනි. ඒ වෙනුවෙන් මාක්ස් විද්‍යාව අත්‍යවශ්‍ය ලෙසට පදනම වන අතර ඉහත කාර්යය සඳහා එහි එන අඩුව(Lack) මනෝවිශ්ලේෂණය බඳු පශ්චාත් මාක්සියානු දැනුම් කලාපයන්ගෙන් ආවරණය කොට ගත යුතුය.
(මේ සඳහා අපූරු මැදිහත්වීමක් සඳහා ‘සමකාලීන සාහිත්‍ය විචාර: සුචරිත, දීප්ති, සමන්‘ කෘතිය නිදසුන්ය.)
Comments
Post a Comment