'පල් හොරුනි'



පද - මංජුල වෙඩිවර්ධන

ගායනය/සංගීතය - ඉන්දිකා උපමාලි 

මංජුල වෙඩිවර්ධන මේ සින්දුවට මුල් වෙච්ච කෙටි කවිය ලියන්නෙ 1997ට ආසන්න කාලෙ. ඒ අවුරුද්දෙ පළ වෙච්ච “නිරුත්තර සමාධිය” කියන පොතේ තමයි මේ කවිය මුල් වතාවට පළ වෙන්නෙ. එතන තිබුණෙ මෙහෙම; 

“පල් හොරුනි මල් නො වන මගේ කවි

ගල්වගේ දමා ගසනෙමි තොපට

පල් වෙච්ච මඩ වලක් කෙරුවාට

මල් සුවඳ හමා ගිය මගේ රට” 

මේ පද සින්දුවක් වෙනකොට  ‘මඩ වලක්’ කියන කොටස යි ‘මල් සුවඳ ගලා ගිය’ කියන කොටසයි අයින් වෙනවා. ඒ කොටස් ඉවත් නො කෙරුවත් සින්දුවෙ සුගායනීය භාවය යි රිද්මයයි පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නයක් නො වෙන්නෙ සින්දුවෙ ස්ථායි කොටසෙන්  ඒවා ඉවත් කෙරුවට අන්තරා කොටස්වලින් ඒ සංඥා පූර්ණය වෙලා තියෙන නිසා. 

අන්තරා කොටස් ගැන කතා කළාට මව් කවියෙ තියෙන්නෙ අර ඉහළ දක්වලා තියෙන කොටස විතර යි. අන්තරා කොටස් රචනා වෙන්නෙ ම මේ කවිය සින්දුවක් කිරීමට ඇති වෙච්ච අවශ්‍යතාවය නිසා. කවිය ලියැවිලා අවම වශයෙන් අවුරුදු 25කට පස්සෙ මේ කවිය ගායනා කරන්න කෙනෙකුට හිතුණ නම් වෙඩ්ඩා ඒ වෙනුවෙන් අමුතුවෙන් අන්තරා කොටස් ලිවුව ම මොනව වෙනව ද ? 

වැදගත් වෙන්නෙ සින්දුව ඇතුළෙ ලියලා තියෙන අන්තරා කොටස් මොනවද, කියන එක මිසක් කවිය ඇතුළෙ අන්තරා කොටස් තිබුණ ද, නැද්ද, කියන එක නෙවෙයි. ඒ අර්ථයෙන් බැලුව ම මේ අන්තරා කොටස්වල දැක ගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණය තමයි මනුෂ්‍යත්වයට අදාළ අතිමූලික ද්වී විභේදිත(ඉසබ්රහ) අක්ෂ දෙකක් මුහුණට මුහුණ ගැටෙන්නට සැලැස්සීම. එහෙම වුණා කියලා කවියා ඒ පක්ෂ දෙක දැක්වීමෙන් නතර වෙන්නෙ නෑ.කවියාට නිශ්චිතව ම මේ අතරින් මනුෂ්‍යත්වයට පක්ෂ පාර්ශ්වය තෝරා ගැනීමට සිද්ද වෙනවා. 

මුලින් ම එහෙම දෙපසින් තබන අක්ෂ දෙක වෙන්නෙ ‘කල්පාන්තය” යි ‘කල් බලන කවිය’ යි. සෙල්ලමට පව් කරන පව්කාරයන් නැමදීම වෙනුවට කල් බලන කවියකට ඉඩ දිය යුතු බව කවියාටත් වඩා ඉහළින් ගායිකාව ගයනවා.එය සිදු කර ගත හැක්කේ කොහොමද, කියන එකත් ‘අන්ධකාරය වැළඳ නින්ද පතුලක නො ඉඳ’ කියන කොටසින් කවියා යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නෙ කවියා ඇතුළු මෙහි සියලු නිර්මාපකයින් මේ නිර්මාණයේ දී නිශ්චිතව ම මනුෂ්‍යත්වයේ පැත්ත ගන්නවා. අවුරුදු 25කට පස්සෙ පත්තු වෙන කවියක් ලියපු වෙඩ්ඩට ‘කල් බලන කවියකට ඉඩ දෙමු ද ?’ කියලා අහන්න කොයි තරම් නම් සුදුසුකමක් තියෙනවද ? මේ අපේ සමාජය වේගයෙන් කල්පාන්තය කරා යන්නෙ ඒ වගේ කල් බලන කවිවලට ඉඩ දුන්නෙ නැති නිසා නේද ? 

දෙවෙනි අන්තරා කොටසෙත් එහෙම ම යි. එතන මුණ ගස්වලා තියෙන්නෙ ‘වෘකයන්’ කියන එක යි ‘සුන්දර ම මල් සුවඳ’ කියන එක යි. එතන දිත් නිර්මාපකයන් ‘සුන්දර ම මල් සුවඳ’ එක්ක හිට ගන්නවා. ‘කළ යුත්තේ කුමක් ද ?’ කියන වාමාංශිකයන්ගේ අතිමූලික ගැටලුවට වෙඩ්ඩා, වෙඩ්ඩාගේ ම විදියකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. හැබැයි මෙතන දි වෙඩ්ඩා ‘පන්තිය’ කියන සාධකය වෙනුවට ‘රට’ කියන සාධකය පෙරට ගන්නවා. 

දැන් මතු වෙන ප්‍රශ්නයක් තමයි මේ මල් සුවඳ හමා ගිය රට කාගෙද, කියන එක.මේ අරගල අවස්ථාවෙ ඒ රට, ශ්‍රී ලංකාව වගේ දැණුනට මේ සින්දුවෙන් කියන ‘රට’ ලෝකෙට ම පොදු එකක්. මොකද,ධනේශ්වර ක්‍රමය ඇතුළෙ හැම රටක් ම වගේ.

අඩු වැඩි වශයෙන් පල් වෙච්ච මඩ වළක් වෙලා තියෙන නිසා. ඒ නිසා මේ සින්දුව ඊනියා ජාතිකවාදී රාමුවෙ නතර වෙනවා කියලා කියන්න බෑ. 

අනෙක් ප්‍රශ්නය තමයි මේ සින්දුවෙ ‘පල් හොරුනි’ කියන්නෙ කාටද, කියන එක. සමහර විට මේ සින්දුව අහන ගොඩක් දෙනෙකුට ඒක ප්‍රශ්නයක් නො වෙන්න පුළුවන්. මොකද, සින්දුවෙ ස්ථායි කොටස ඉවර වෙද්දි ම මේ කියන්නෙ නිශ්චිතව ම දේශපාලකයන් ගැන කියලා අදහසක් අපි හදාගන්න නිසා. වෙඩ්ඩගෙ වුණත් ඉලක්කය ඒක ම වෙන්න පුළුවන්. 

ඒත් අපට ඊට වඩා ටිකක් වෙනස් විදියට මෙහෙම හිතෙනවා. 

“ඔය පල් හොරුනි කියලා කියන්නෙ අපට; මට; අපි ඔක්කොට ම.” 

මේ ක්‍රමය ඇතුළෙ දේශපාලකයො විතරක් නෙවෙයි. අපි ඔක්කොම හොරු වෙලා නැද්ද? මේ විනාශයට අපි ඔක්කොම වගකියන්න ඕන නැද්ද ? ලංකාවට අදාළව ගත්තොත් අවුරුදු 74ක් තිස්සෙ මාරුවෙන් මාරුවට හොරුන්ව පාලකයො කර ගන්න අපි කැමති වුණේ අපි ඇතුළෙත් අවිඤ්ඤාණක ලෙස ක්‍රියාත්මක වෙන පල් හොරෙක් ඉන්න නිසා නෙවෙයි ද ? උතුරෙ දකුණෙ තරුණයන් මරා දාද්දි ඒවට සහයෝගය දීපු කිරිබත් කාපු අපි පල් මිනීමරුවො නෙවෙයි ද? තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු මිනිස්සු වෙඩි තියලා මරනකොට නිහඬව බලා හිටපු අපි පල් තක්කඩි නෙවෙයි ද ? පාතාලෙ සාමාජිකයන, බන්ධනාගාර රැඳවියන් අනීතික විදියට මරලා දාද්දි යටි හිතෙන් සතුටු වෙච්ච අපි පල් නරුමයන් නෙවෙයි ද ? 

මේ සින්දුවෙන් අපි කම්පනයට පත් වෙන්න ඕන ඒ නිසා නෙවෙයිද ?

----------------------------------------------------------------

මල් නොවන මගේ කවි

ගල් වගේ දමා ගසනෙමි තොපට

පල් වළක් කෙරුවාට මගේ රට‍f


සෙල්ලමට පව්කරන පව්කාරයින් නමැද 

කල්පාන්තය උදා කර ගමුද

අන්ධකාරය වැළඳ නින්ද පතුළක නොඉඳ 

කල්බලන කවියකට කන්දෙමුද


මව්බිමක මව් ළමැද රිද්දමින් සපා කන 

වෘකයින් හට කිරුළු පලඳමුද 

වල් වැදුණු මදහසට ඇස් අතර පිපෙන්නට 

සුන්දරම මල් සුවඳ අතුරමුද


( 1997 - නිරුත්තර සමාධිය - මංජුල වෙඩිවර්ධන) 

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?