ජෙට් එකේ දී සමන්සිරිට හමුවන්නේ ප්‍රතිසංස්කෘතික කවියෙක් ද?
(ටිම්රාන් කීර්තිගේ ‘ඒ ජෙට් එකේ ගියේ සමන්සිරිමයි’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ විමසුමකි)
“ජෙට් එක” ටිම්රාන් ගේ සිවුවැනි කාව්‍ය සංග්‍රහයයි. කවි පොත් හතරකට පසු, රාජ්‍ය සම්මාන දෙකක් ද රජත පුස්තක සම්මානයක් ද, ගොඩගේ සම්මානයක් ද, විද්‍යෝදය සම්මානයක් ද අතැතිව ටිම්රාන් ‘නිල’ කවියකු බවට පත් වී සිටී. එහෙත් වැදගත්ම කාරණය වන්නේ ඔහු වටා ගොනු වෙමින් සිටින රසිකාගාරය ය. ජනප්‍රිය ම තරුණ කවියා වැනි සම්මානයක් ද වේ නම්, බන්දුජීව හා තියුණු තරගයකට පසුව, එය ද හිමි කර ගැනීමේ විභවතාවක් ටිම්රාන් සතුය. මේ වන විටත් කවියට ඇතුලු වෙමින් සිටින නව රසිකාගාරය තුළ ටිම්රාන් සුරුවමක් බවට පත් වෙමින් සිටී.
ඔහු වටා ගොනු වෙමින් සිටින මේ රසිකාගාරය වනාහී, ඔහුගේ කවිය ස්ථානගත වී ඇත්තේ කොතැනදැයි පිළිබිඹු කෙරෙන විශ්වාසවන්ත කැඩපතක් වැනිය.
තරුණ රසිකාගාරය තුළ ටිමා ජනප්‍රිය වන ලක්ෂ්‍ය වනාහී ප්‍රවීණ යා පරල වූ තැනමය.ටිමා ගේ කවිය විසේකාරය. රස්තියාදුකාර ය. එහි ඇත්තේ ලක්ෂාන්ත අතුකෝරලගේ කවියේ වන ශාන්ත දාන්ත බව නොවේ. මස්ඉඹුල ගේ කවියේ වන ඇස් බොඳ කරන සුළු අවිහිංසක බව ද එහි නොවේ. ටිමා ගේ කවිතාව හා සමාන්තරව දිවෙන්නේ නමුත් බන්දුජීව ගේ කවිය සරාගී නැත. (බන්දුජීව ගේ මෑත කාලීන කවි බොහොමයක් ‘කංසාමය ප්‍රහර්ෂයක’ ධ්‍යානගතව ඇත).
ටිමා ‘සැහැල්ලුව’ වැනි කවියක් ලියද්දී, එහි වන ‘කොලුකමේ සරාගයට’ සංවේදී නොවී සිටින්නට යව්වන සහෘදයෙකුට අපහසුය.
උඩ මළුව හරියෙ දි
මගේ අතැඟිලි
කොතන හරි රැඳුණා
පුන් ළමැද මට
උඩමළුව සේ දැනුණා
(පි 16)
මේ වනාහී නව්‍ය උපමාවකි.ඉතිහාසයක් පුරා ගැහැණුන් ගේ තනමඩල වර්ණනා කරන්නට කවියන්ට තිබුණේ එකම උපමාවකි. රණ හංසයන් වෙනුවට ජපන් බැලුම් ආදේශ කළ කොළඹ කවියා ට බැණුම් අසන්නට සිදු වූවේ එහි වු අනුචිත බව නිසාය.ඊට ම මුසු වූ ග්‍රාම්‍ය බවක් ද එහි විය. එහෙත් ටිමා සොයාගන්නා උපමාව අදාල සන්දර්භය තුළ රණ හංසයන්ටත් වඩා කාව්‍යාත්මකය. රණහංස උපමාවේ වන අතිශයෝක්තියෙන් ද බැහැරය. මින් වහනය වන්නේ ලිංගික සෙෘන්දර්යයක වඩා සංස්කෘතික වූ උණුසුමකි. ලිංගිකය දුසිරිතකැයි සිතන සුචරිතවාදීන් මෙකී උණුසුමින් දහදිය දමන්නට නියමිතය.
ටිමා ගේ නව්‍ය උපමා ගවේෂණ අතර උත්ප්‍රාසය සහ උපහාසය උපරිමයෙන් කැටි කර ගත් තවත් රැඩිකල් උපමාවක් ‘මගෙ ළමයින්ගේ අම්මා’ කවියේ ද දැකිය හැකිය.
සංසලා සුදුයි
පන්සලක් වගෙයි
කට ඇරියොත්
සල්ලිමයි
(පි 34)
මෙකී උපමා ඇසුරේ ‘දේවදත්තලා ට” ප්‍රතිසංස්කෘතික කවිතා සැපතක් අත් විදිත හැකි මුත් යට කී උදවිය කලබල වේ. ඔවුන්ගේ කලබලය ස්වභාවික වුවත් එපමණටම භයානකය. වර්තමාන සමාජයෙන් උදාර ගුණ දම් පිරිහී යතැයි තැති ගැනීමෙන් ඉක්බිති ඔවුහු කුඩා කුඩා තලේබාන් සංවිධාන අටවා ගනිති. ඒ තලේබාන් ලා විශාඛා සමිතියක ස්වරූපයෙන් ද කඩා පැනීමෙ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට ඉඩ තිබේ.
“මොක්පුරය ඉක්ම වූ
වල් ගෑනු සිත් තොසින
‘වේස මඩුවක්’ වීය එකල ගම් පළාතේ
භාෂාව ඉරාගෙන ආශාව මුදුන් වේ
අක්කල ද නංගි ල ද සුළලිතම මුහුණූ
දැක්ක තැන හිනා වෙන ‘ගෑනු නම් ගෑනූ’
ඒ ගෙදර ගෙදරක්ය දොර ජනෙල් ඇරුණූ
නිදහස් ම කුරුල්ලන් ඇවිත් තටු ගසපූ
දික් රැවුල්,අක්බඹර කෙස් කැරළි කැරළී
උන් තමයි මං දැකපු ලස්සනම පිරිමී
දුම් වළල්ලක් රාගි සිනාවෙන් මහත් වේ
බැඳුම් සුවදින් අගුල් ඇරෙනවා සුවර්ගේ
....................................
“වෙසඟනුනි නික්මියව් අකුළගෙන ගම් දොරින
විසාකා සමිතියෙන් රතු නිවේදන ලැබිණ
මන බඳින තොස වඩන ලළන රූ රස දැහැන
පොලීසිය පැමිණි දා සමාධිය බිඳ වැටිණ
වෙසඟනුන් කොකුමඟර හළා ගිය රස පොළව
විසාකාවියන් ගේ දහම් මැදුරකි පසුව
හැන්දෑවෙ ඈඟුලින් ඝන්ටාර හඩවමින
හංගලා ඇති දෙයක් වගේ හොයනව නිවන”
(පි 52/53)
රටක් වනාහී රස පොළව දිව ගෑම පාපයකැයි සිතන විශාඛාවියන් ගේ දහම් පාසලක් නොවේ. එහෙත් අප ජීවත්වන මේ කලියුයේ දී බහු විධ ලෝකෝත්තර සංකල්පනා විසින් ලෙෘකිකත්වයට හිමි පටු ඉඩ හසර පවා ආක්‍රමණය කරමින් තිබේ. පසිඳුරන් සන්තර්පණය කිරීම මිනිස් ආත්මය ට නිගාවක්යැයි සිතෙන අන්දමේ දහමි පාඨ සතර අත රැව් නැගෙමින් ඇත. එව මොනතරම් ඔඩු දුවා ඇත්දැයි යත්, පුරුෂයා ලවා තේ එකක් සාදා ගැනීම පවා බිරිදකට අපාගත වීමට තරම් අකුශල කර්මයකැයි කියන අලුත් දේශනා ද පහළ වෙමින් තිබේ.
ටිමා මේ කියන වේසා මඩුව දියුණු රාජ්‍යයන් හි ඇතැයි කියන, රෙඩ් සිටියක කුඩා අනුරුවක් මෙනි. එහෙත් රෙඩ් සිටියක පවා ඇත්තේ සබඳතා නොවේ. ගනුදෙනුය. වේසා මඩුවේ ගනුදෙනු වූ වගට ඉඟියක් කවියේ කොතනකවත් නැත. එහි තිබී ඇත්තේ විචිත්‍ර මනුෂ්‍ය අනුරාගයකි. අදට වඩා විවෘත ලිංගික සංස්කෘතියක් අතීතයේ මෙහි විණැයි ඇතැම්හු කියති. ඉසුරුමුණි පෙම්වතියන් ගේ පියයුරු වසන්නට ගල් සැට්ටයක් සොයා ගන්නැයි එරික් ඉලයප්ආරච්චි වඩාත් උත්ප්‍රාසයෙන් යුතුව යෝජනා කළේ ඔහු කාරණා කාරණා ගැන හොදින් දැනුම් තේරුම් ඇති කවියෙකු නිසා විය යුතුය.
එරික්ට පසු වඩාත් උද්යෝගයෙන් යුතුව මේ ‘වහා ඇවිලෙන සුළු කලාපයට‘ අත ගසා ඇත්තේ ටිමා ය.
‘රන් පෑ පත’ යනුවෙන් ඔහු ලියන කවිය ආගමික සංස්ථාවේ නිසරු පැවැත්ම නිර්දය ලෙස නිරාවරණය කිරීමකි.
රන් පෑ පත
නිමිත්ත: අවසන ඇගේ පැතුම සපල වී ගමෙන් නික්ම “සංඝමිත්තා බාලිකාවට” ගියාය.
නිල්වන් බෝධිය වඳිනා අතරේ
රන්වන් කෙල්ලක් මං දැක්කා
අල්ලන් බෝ අත්තක් බෝ සැදැහෙන්
වැඳ වැටුණා කොඩියක් එල්ලා
සන්සුන් සුද මා මත පත් කරමින
සංවර ගමනින් පිය මැන්නා
සංකර මා සිත අංකුර නගමින
රන්වන් පාටින් දළු දැම්මා
සඟමිත් තෙරණිය ගෙන ආ බෝධිය
මිග දෑසක් තුළ මං දැක්කා
මහ මෙව්නාවෙන් ගෙන ආ සාරියෙ
පොට හද හද අම්මෙක් රැව්වා
“සමාව දී මගෙ පව් අරවනවා!”
බැගෑපත් ම බැල්මක් දල්ලා
රන්වන් දෙපයට පෑගුණ බෝ පත්
මළුවේ ඇවිදින්නට ගත්තා
“සඟමිත් පාසල මට හිමි වේවා!”
ඇගේ පැතුම කොඩියක ලියලා
බෝ රජුනේ අවසර දෙනු කෝමද
රන් පෑ පත මළුවෙන් මුදවා
..............................
සඝමිත්තා යළි ගෙන ගිය බෝ පත
නිලට හැරෙයි රන්වන මැකිලා
මං මේ මළුවට යන එන හැම වර
බෝගහ ඇත කොඩියක එල්ලා
බෝ රජුනේ මට අවසර දෙනවා
රන් පෑ පතකට මං පෑගෙනවා
සමාව දී මගෙ පව් අරවනවා
දැන් මං ළඟ ළඟ රන්පත් බොනවා
(පි 21/22)
ආගම, එය නිර්මාණය වන මොහොතේ ශාස්තෲවරයාට වූ සියලු අභිලාෂයන් ට පටහැණිව මේ වන විට පරිපූර්ණ වශයෙන්ම එහි ප්‍රතිපක්ෂය බවට පත් වී තිබේ. “බෝ ගහ ඇත කොඩියක එල්ලා” යනුවෙන් ටිමා ලියන විට, එහි වන උත්ප්‍රාසය අතිශයින්ම දේශපාලනිකය. ටිමා ගේ ප්‍රතිභාව වන්නේ තියුණු දේශපාලනිකයත්, දියුණු දාර්ශනික සත්තාවත්, මියුරු සරාගයත්, තුරුණු විසේකාරකමත්, බුහුටි ශිල්පීය සුරුහුරුකමත් නිසි අනුපාතයට පදම් කිරීමෙහිය.දේශපාලනය ද,දර්ශනය ද, සරාගයද, සැහැල්ලුව ද, බුහුටි බවද යන මේවා වෙන වෙනම පෙරා ගත නොහැකි අතර වින්දනයේ පරමානන්දය විකසිත වන්නේ අදාළ මිශ්‍රණය විසින් විහිදුවා හරින ධ්වනියෙනි.
අප කලින් ලියූ ‘සැහැල්ලුව’ කවියේ දී පවා තරුණ රසිකාගාරය මුළුමනින්ම මන්මත් කරන්නේ එහි ප්‍රකටව පෙනෙන සරාගයම නොවේ. ඊට ඔබ්බෙන් ජීවිතය නම් අපූර්ව ප්‍රහේළිකාව ද හමුවීමට නියමිතය. එය පුරවා ලිය යුතු අසිරිමත් වාග් කෝෂය ඇත්තේ දර්ශනය නම් අඩවියේය.
ජීවිතයේ වන ඇතැම් අංශුමාත්‍රික නිමේෂයන් එළිය කරන්නට හයිකුවම උවමනා නොවන බවද ටිමා අපට පැහැදිලි කර දේ.
“වාඩියේ මැස්ස මත දිගෑදෙන හැම රෑම
බීඩියේ දඹු කඩමි ගෑනු සුවදක යාව
ගෑනියේ නාඳුනන කොතන හිටියම මොකද
මං දකින තනි තරුව ඔතෙන්ටත් පේනව ද?”
මේ වූ කලී ටිම්රාන් ගේ කවියේ පෙර නොවූ විරූ ලක්ෂණයකි. කාව්‍ය සමාජයේ අවධානය ඉහලින්ම තමන් වෙත නතු කර ගත් ”යන්නං චන්දරේ” කෘතියේ දී ද ටිමා පීඩිතයන්ගේ ජීවිතය ගැන ලියූ වග ඇත්තකි. එහෙත් ජෙට් එකේ දී ටිමා උත්සාහ කරන්නේ ජීවිත කතාවක් ලියන්නට නොවේ. ජීවිතයෙන් පෙත්තක් ඉඹින්නටය. ඒ පෙත්ත හැම විටම පළුද්දක් සහිත වීම, ටිමා ට සරන්නට සිදු වී ඇති ජීවන අවකාශයේ ස්වභාවය මිස කෘතීම මානව දයාව නොවේ.
‘සස දා දෙවත’ එහි තේමාත්මක ස්පර්ශය අතින් මෙන් ම කාව්‍යමය සංරචනය පැත්තෙන් ද අති විශිෂ්ඨ කවියකි. ‘සස දා දෙවත’ සසදාවත තරම් සුරම්‍ය අත්දැකීමක් ද නොවන්නේ ටිමා ට අභිමුඛ වන ජීවන නිමේෂය රොමෑන්තික අද්භූතයක් නොවන හෙයිනි. සෞන්දර්යය පිලිබදව අර්ථකතනයන් පැන නැගෙන්නේ මිනිසා ගේ අනවරත ජීවන අරගලයේ ප්‍රතිපලයක් ලෙස මිස ඕපපාතික මනෝ භ්‍රාන්තිය ක් විදියට නොවේ. කෙනෙකු ට සුන්දර ලලනා මුහුණක් සේ පෙනී යා හැකි සදමඩල කථකයාගේ බිරිදට පෙනෙන්නේ තවත් එක් රවුමක් ලෙස පමණි.
“කිරි දෙනව කිව්වා
පැණි දෙනව කිව්වා
පුංචි කාලෙදි දාපු වෙට්ටුව
රෑ ගණන් බඩගින්නෙ හිටියා
හඳ දිහා බලලම තෙහෙට්ටුව
අම්ම එල්ලිල මැරුණ දවසේ
හඳ මුදුන හිටියේ පැලට කිට්ටුව
මම කට අරින් නෑ කතා කෙරුවොත්
මට නෙවෙයි හඳටයි සවුත්තුව...”
(පි 33)
කවියේ ශිල්පීය සංරචනය කෙටි චිත්‍රපටයක රූප රාමු කීපයක් මෙනි. සඳ දෙසටත් මව දෙසටත් බිරිඳ දෙසටත් ඡේදනය වන සමීප රූප එකිනෙක හා සමෝධානය වීමෙන් නව අරුත් පැන නැගෙන අතර සහෘදයාට එක විටම පාඨකයකු වීමටත් ප්‍රේක්ෂකයෙකු වීමටත් පුළුවන්කම ලැබේ.
කවියේ ඇතැම් තැනක් හයිකුමය නිමේෂයකි.
බටපඳුර යට පුටුවක් තියාගෙන
මධුවිතක් ගද්දී තට්ට තනියම
හඳ ජබොහ් ගාලා ඇවිත් පැන්නා
පුරවගත් වීදුරුවෙ පතුලට
(පි 33)
එහෙත් ‘මහත් සඳ පිනි බිදක’ දැකීමෙන් අත් කර ගත හැකි ඉසියුම් සෞන්දර්යය ලාභය මෙහි නැත. මෙහි දී සඳටද වන්නේ දුෂ්ඨයෙකුගේ භූමිකාවකි.
කවිය සහ කවියා අතර පරතරය තුනී වීම කවියේ අකලංක නිර්ව්‍යාජබාවවට හේතුවෙතැයි යන්න සිද්ධාන්තයක් තරම් ප්‍රකට කරුණකි. මෙකී සයිබර් යුගයේ දී කිසිම නිරුමාණකරුවෙකුට යටි බිම් ගත ගරිල්ලා මාදිලියක වසන් විය නොහැකි අතර නිර්මානය තරම් ම නිර්මාණ කරුවාද සමාජයට නිරාවරණය වේ. එහි දී නිර්මානයේ අන්තර්ගතයට නිර්මානකරුවා මොනතරම් දුරට වග කියන්නේදැයි යන කාරණය ද නිර්මානයේ ප්‍රශස්තබව සහ පෙෘරුෂය තීන්දු කරන ප්‍රබල සාධකයක් බවට පත් වීම නියතියකි. එහි දී බොහෝ දෙනෙකු අලකලංචියකට මුහුණ දීමට නියමිත අතර ටිමා ට සැලසී ඇත්තේ වාසියකි. පරිකල්පනය ඕනේම නැතැයි සිතෙන තරමට ටිමා ගේ කවි ජීවිතයට කිට්ටුය.
“වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
ඔහොම පපුවක් දකින්න ඕනෙ ඔක්කොම
රන්මාල හරි බරයි ගලවලා සෙස්සම
සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම”
(පි 64)
මෙවැනි කවියක් ලියූ පසු ටිමා ම ස්වේච්චාවෙන් ඉදිරිපත් වී ‘මෙව්වා පරිකල්පනයෙන් ලියූ කවි’ යැයි අම්මා මුත්තා පල්ලා දිව්රමින් කීවත්, කථකයාගෙන් ටිමාගේ මුහුණ දුරස් කිරීම දුෂ්කරය.
සියලු මිනිස් ක්‍රියාකාරකම් නිෂ්ක්‍රිය වන්නේ නම්, ශිෂ්ඨාචාරය කියා යමක් ඉතිරි වන්නේ නැත. අපගේ මනාප අමනාපකම් වලට ඔබ්බෙන් ඇද ගැසුණු, වක ගැසුණු රේඛා දිගේ පාරක් කපා ගත් ශිෂ්ටාචාරය අද අපි මේ අත් දකිමින් සිටින ඉමට පැමිණ සිටී. ඒ ඉම වනාහී සියලු සත්වයෝ නිදුකින් නිරෝගීව වෙසෙන පාරාදිසයක් නොවීම වෙනම කරුණකි. එහෙත් අප අමතක නොකළ යුත්තේ ඉදිරියට පිනූ හැම යොදුනක්ම පසු කළ සෑම යොදුනකටම වඩා ඉදිරිගාමී වගය. සුවපහසු වගය. ශිෂ්ඨාචාරය ට නතර වන්නට විධාන කළ පසු ඉරට හදට ඇලට දොලට ගහට කොලට පවා තේරුමක් නැත.
“වරෙල්ලා ප්‍රිය මිතුරනි
බොඳ කරමු
නිල් අහස
කිලිටි කරපල්ලා
නදී ලැසි ගමන
හෝන් ගහපල්ලා
ට්‍රැෆික් කරපල්ලා
මහපාර...
මිනිසුන් වැඩ කරන්නට ඕනා
නොනැවතී තම ගමන යන්නම ඕනා
මල් පිපෙනවා කියා
නතර වී ඉන්නට බැරිය
පෘථිවිය කැරකිලා ගත යුතුයි
කනේ වැලි ගෑවෙන්නම
ඊළඟ වටය”
‘පෘථිවිය කණේ වැලි ගෑවෙන්නම” ඊලග වටය ගන්නේ නම්, එවිට හමුවන්නේ අලුත් යොදුන්ය. ඒ යොදුන් වඩා අරුමැසි වන වග නිසැකය. මේ වනාහී අද හෙට කල්ප විනාශය සිදු වෙතැයි කම්මුලේ අත ගසා ගන්නා අසුබවාදයට වඩා හාත්පසින්ම වෙනස් සුබවාදයකි.
අතෝරයක් දෝමනස්සයන් අතර ද, මිහිරක් ශේෂ වී තිබෙන නිසා, අවශ්‍ය නම් කවියෙකුට එකී මිහිරියාව පමණක් ප්‍රමුඛ ජීවන ආරම්මණය කරගන්නට බැරි කමක් නැත. එහෙත් සතර අතින් ගිලන් වූ සමාජයක වසමින්, “කඳු කැන්වසේ සිනමා සනීපේ” පමණක් විදින්නේ නම්, “වළාකුලෙන් එන සැමරුම් කුඩු පොදෙහි රන් ස්වරය පමණක් අසන්නේ නම්” එබඳු කවියෙකුගේ හෘදය සාක්ෂිය චැනල් කළ යුතුය.
“ඔබ ලිවිය යුතුය කවියක්
දහවලේ පැමිණ ඉර යට”
(පි 48)
ටිමා මෙසේ ලියද්දී එය කිසිසේත්ම ඉපැරණි ජනතාවාදයට අත වැනීම නොවේ. කවියෙකුට සිය සමාජ මෙහෙවර සිහි ගැන්වීමේ ප්‍රවණතාත්මක විධානයක් ද නොවේ. සොබාවිකත්වයේ අචේතනික ප්‍රපංචයන් කෙරෙහි දිශාභිමුඛ වූ දයාව මිනිස් ජීවිත විෂයෙහි ද ප්‍රක්ෂේපනය කළාට පව් නැතැයි යන්න මතක් කර දීමක් පමණකි. ඉරට හඳට ඇලට දොළට ගහට කොලට සේ නොව මිනිස් වගට ඇළුම් කිරීම පහසු නැත.
එහෙත් මිනිසුන්ට ඇළුම් කිරීමේ අභ්‍යාසය ප්‍රගුණ කරන්නට කවියෙකුට හැකි නම්, රන් පියාපත අමතක වූ ක්ෂුද්‍ර මිනිස් ප්‍රාණීන් පිළිබද හෘදයාංගම හැගීම් ධාරාවන්ගෙන් අප ගේ හෘද සාක්ෂිය ද වෙව්ලා යනු ඇත. සමාජය වඩා යහපත් කිරීමේ දේශපාලනයක් ඇත් නම්, ඊට අනුප්‍රාණය සපයන්නේ එබඳු කම්පන තරංග මිස රාජපක්ෂලා ගේ වංචා දූෂණ පිළිබඳ ඉලක්කම් සටහන් පමණක් නොවේ.
Comments
Post a Comment