Song Zone - උතුරු මැද කඳුළු වතුර - (North Central Tear Drops)


පද - සාවිත්‍රී උදයංගී දිසානායක

ගායනය/සංගීතය - තිළිණ බ්ලිස්

තිළිණ බ්ලිස් - ඌ ලංකාවෙ අනෙක් ගායකයන්ගෙ සින්දු අහන්නෙ නැති ගායකයෙක්. ඇත්තට ම ලංකාවෙ අහන්න කියලත් ඒ හැටි සින්දුවක් බිහි නො වෙන එකේ එහෙම ඉන්න එක හොඳ යි කියලා අපිටත් හිතෙනවා. අඩු ම තරමෙ ඒකෙන් උගෙ කන පරිස්සම් වෙනවා. ඒ නිසා තමයි අපි අද කතා කරන සින්දුව වගේ මියුසික් වැඩක් ඌට කර ගන්න පුළුවන් වෙන්නෙ. 

අපි අද කතා කරන්නෙ තිළිණ, 2021 අවුරුද්දෙ කරපු Tales of a Failed Public (පරාජිත ජනතාවකගේ කතා) කියන සින්දු තුනක් තියෙන යූ ටියුබ් ඇල්බම් එකේ මුලින් ම ඇහෙන ‘උතුරු මැද කඳුළු වතුර’ කියන සින්දුව ගැන. මේක සාවිත්‍රී උදයංගී දිසානායක, 2019 අවුරුද්දෙ පළ කරපු ‘අලිවැට’ කියන කවි පොතෙන් ගත්ත කවියක්. කතා කරන්නෙ මේ වෙනකොට ටිකක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ගැන. 

උතුරු මැදට විශේෂයෙනුත් ලංකාවෙ අනෙක් පැතිවලට පොදුවේත් බලපාන වකුගඩු ප්‍රශ්නෙ ගැන මේ වෙනකොට ලංකාවෙ සෑහෙන තරම් නිර්මාණ බිහිවෙලා තියෙනවා. විශේෂයෙන් කවි.ඒ කවි ගොඩක දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි අධිසංවේදී බව. අතිශය භාවාත්මක හෘදයග්‍රාහී බව. අඬවන්න හදන ගතිය. මරණය. ඒ සියලූ ලක්ෂණ මේ කවියෙත් තියෙනවා. වකුගඩු අමාරුව හැදිලා මියගිය පියෙකුගෙන් ප්‍රශ්න අහන පොඩි පුතෙකුගේ උත්තම පුරුෂ ඒක වචන දෘෂ්ටිකෝණය තෝරා ගැනීමෙන් ම ඒ භාවවේගී බව මේ කවියට ලැබෙනවා.කවියෙ මාතෘකාවෙ පවා ‘කඳුළු’ තියෙනවා. 

ඒ වුණාට තිළිණ ඒක සින්දුවක් කරද්දි ඒකෙන් කඳුළු ගලවනවා. තිළිණ ලංකාවෙ අනෙක් සින්දු අහන්නෙ නැති එක හොඳයි කියලා අපි හිතන්නෙ මෙන්න මේ නිසා. නැත්නම් ගොඩක් වෙලාවට වෙන්න තිබ්බෙ මේ සින්දුවත් අර අතිභාවාත්ම වැළපුම් සින්දුවක් බවට පත් වෙන එක.

මැරිච්ච අම්මලා තාත්තලා ගැන  තියෙන අතීතකාමයෙන් ගොඩ යන බලාපොරොත්තුවක් මේ සින්දුව හදපු අයට තිබිලා නෑ. 

මියුසික් පටන් ගන්න පළමු තත්පරේ ඉඳලා දුක වෙනුවට තිළිණ මතු කරන්නෙ ආවේගය. අත්දැකීමේ ඉන්න පොඩි පුතාගෙ ආත්මයට තිළිණ යට වෙන්නෙ නෑ. තිළිණ ඒ පොඩි පුතාගෙ හඬට වෙනත් අර්ථකථනයක් දෙනවා. විශේෂයෙන් ම මේ අත්දැකීම උතුරු මැද පහළ මැද නැත්නම් ග්‍රාමීය නිර්ධන පාංතික එකක් වුණාට තිළිණ මතු කරන්නෙ ඒ දිහා බලන් ඉන්න නාගරික මධ්‍යම පාන්තික තරුණ කලාකාරයෙකුගෙ හඬ. අර ප්‍රේක්ෂකයා අඬවන ව්‍යාජ මානව ප්‍රේමයට වඩා මේ හඬ අවංක යි කියලා අපිට හිතෙනවා. 

ගායනය පටන් ගන්නත් කලින් ඉඳලා ඇහෙන්න ගන්න දෙබස් ‘ට්‍රැක්’ එක ගැනත් දෙයක් කියන්න ඕන. ඒ දෙබස් සංයෝජනය කරලා තියෙන්නෙම පැහැදිලිව ශ්‍රවණය නො වන විදියට කියලා ඔබට තේරෙයි මේ සින්දුව ඇහුවම. හැබැයි කණ ටිකක් තව ටියුන් කර ගත්තොත් ඔබට ඇහෙයි ඒ ඇහෙන්නෙ වකුගඩු ප්‍රශ්නෙ ගැන කරුණු පැහැදිලි  කරන රූපවාහිනී, අන්තර්ජාල වීඩියෝවලින් ගත්ත සාකච්ඡා, සංවාදවල කොටස් කියලා. විද්‍යාඥයො, මහාචාර්යයො, දේශපාලඥයො, විප්ලවවාදියො මේ ගැන කොච්චර නම් සංවාද කරල තියෙනව ද නේද ? හැබැයි ප්‍රශ්නෙ එහෙම ම යි. තිළිණ ඔය කියන්නෙ ඒක. 

සින්දුවට අදාළ දේශපාලනය තිළිණ මියුසික්වලින් ගේන්නෙ එහෙම. සින්දුව අහලා අපි අඬන්නෙ නැත්තෙ අන්න ඒ දේශපාලනය නිසා. ඒ වෙනුවට අපිට නම් ඇති වෙන්නෙ තරහවක්. 

‘කොතනින්ද අප්පච්චි

අපට මග වැරදුණේ ? ’ 

‘සංකේතීය අප්පච්චිලයි’ ‘භෞතික අප්පච්චිලයි’ දෙගොල්ලො ම එකතු වෙලා මඟ වරද්දනකොට දැනුම් තේරුම් තියෙන නාගරික පුතෙකුට අඬ අඬ ඉන්න බෑ කියල තිළිණ එයාගෙ මියුසික්වලිනුයි ගායනයෙනුයි කියනවා.

-----------------------------------------------

(මේ ඒ ගීතයේ පදවැල්  ලියා ඇත්තෙ, සාවිත්‍රී උදයංගි දිසානායක 2019 ඇය පළ කළ ‘උතුරු මැද කඳුළු වතුර’ කාව්‍ය සංග්‍රහයට එකතු කළ කවියක්, 'අලි වැට', කියන මාතෘතාවෙන් ) 


හිටි හැටියෙ ඉදිමිච්ච

මඩ සුවඳ නුඹෙ දෙපා

ලේ මාරු කරන තැන

ඇහුණ දුක්බර කතා

කන්නේ බොන්නේ නැති අම්මා

අඬනවා හිත හිතා

බය හිතුනෙ අප්පච්චි

මං හින්දා පොඩි පුතා


රෝ ප්ලාන්ට් එක ළඟ

අද තමයි උත්සවේ

උදේ ඉඳලම ඇහුණා

වකුගඩුවෙ විස්තරේ

ග්ලයිපොසේට් කැඩ්මියම්

විස ගැනලු ටෙස්ට් කරේ

වතුරෙන්ද අප්පච්චි

වකුගඩුව දිය කරේ


සීනි ඇට දෙක තුනයි

තේ එකට දිය වුණේ

අහලවත් තිබුණේ නෑ

අධි රුධිර පීඩනේ

මධු විතක් තොල නොගෑ

අය අතර මුලසුනේ

කොතනින්ද අප්පච්චි

අපට මඟ වැරදුනේ


වකුගඩුව රකින්නට

කරවටක් ණය වුණා

පැල්කොටේ නිදි පැදුර

තනියෙන්ම මියැදුනා

පන් දාහේ ලිස්ට් එකේ

එක නමක් අඩු වුණා

අප්පච්චි සිනා සී

බිත්තියේ එල්ලුනා


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?