නංගියේ
ගායනය - සුවිනි සුදර්ශනී
පද - සශික සදීප්
සංගීතය - දීපති ජයසූරිය
පෞද්ගලික දේපළ නිර්මාණය වීමෙන් පසු පවුල සැබැවින්ම ඒකභාර්යා ස්වරූපයකින් දිස්වුවද එය එසේ නොවුණු බව ෆෙඞ්රික් එංගල්ස් සිය ‘පවුල පෞද්ගලික දේපළ සහ රජය ඇතිවූ සැටි’ නමැති ග‍්‍රන්ථයේ පෙන්වා දෙයි. මේ ගීතයෙන් අපට ඇසෙනුයේ ඒ කුටුම්භය තුළ සිරගත වූ ගැහැණියගේ විලාපයයි. යසෝධරා විලාපය මෙයින් විෂම වනුයේ මෙහි එන ස්වාමිපුරුෂයා හඹා ගොස් ඇත්තේ බුද්ධත්වය නොවන බැවිනි. තම පළමු බිරිඳ දික්කසාදකර දමා ඔහු තරුණ මනමාලියක කැදවාගෙනපැමිණ ඇත. ‘නංගියේ‘ යනුවෙන් ඒ නව මනාලිය අමතමින් පළමු බිරිඳ රචනා කරන ලිපියක ස්වරූපයෙන් ගීතය ඉදිරිපත් වෙයි. ඒ අනුව මෙහි ඇසෙන කටහඬ අයත්වනුයේ ඒ පළමු බිරිඳටය.
ගීතය ආරම්භයේදීම ඇසෙන ගද්‍යමය කොටස ගීතය ඇසීම සදහා වන ශ‍්‍රාවක ධෛර්ය බිද දැමුවද එය ඉවසා සිටියහොත් ඔබට මේ සම්බන්ධයෙන් වෙනස් චින්තනයක් විෂදවන නිර්මාණයක් රස විදීමේ අවස්ථාව උදාවනු ඇත. විශේෂයෙන්ම මේ වර්ගයේ රචනයකදී නිර්මාණකරුවකු ඇද වැටිය හැකි අන්ත දෙකක් පවතී. ඒ අනවශ්‍ය තරමේ සංයමය හෝ ආවේගශීලිත්වයයි. මේ රචනයේදී රචකයා ඒ අන්ත දෙකටම ඇද නොවැටී සිටීමට උත්සාහ දරයි.
තමන් හැර ගිය මිනිසා කෙරෙහි සුවිශේෂ වෛරයක් හෝ ව්‍යාජ අනුගම්පාවක් මෙහි දක්නට නැත. ‘අහගනිං හැම දේම උගේ උගෙ උඹ නොදන්න’ යන්න ඇසෙත්ම ඇය විවේචනයකට සැරසෙන බව දිස්වුවද එබන්දක් සිදු නොවේ. එමෙන්ම ඔහුගේ ගුණ වයනා ‘වරදට සමාව දෙන’ පරාජිත ගැහැණියකගේ චරිතයද මින් නිරුපණය නොවේ. ‘වැද්දෙකුට බෑ යළිත් මී වදෙ බඳින්න’ යන යෙදුමෙහි ඇයගේ ඍජු විවේචනය ඔහු කෙරෙහි යොමු වේ. එහෙත් ඔහු කෙරෙහි ඇයගේ පේ‍්‍රමය මේ නීතිමය වෙන් කිරීමෙන් අවසන් නොවන බවද කියැවේ.
‘නීතියත් යටයි බං ආදරෙ මරන්න’
‘ඉදහිටක වතාවක් දියන් මට බලන්න’
එබදු පේ‍්‍රමයකින් යුක්ත වුවද ඇය ශසිකා නිසංසලා ගයන වර්ගයේ ගැහැණියක නොවේ. ශසිකා ගයන ‘ඇස් දෙක පුරා’ නමැති ගීතයේ වෙසෙන නිෂ්ක‍්‍රිය ගැහැණිය මෙහිදී හමු නොවේ. රචිතා වාකිෂ්ට රචනා කර ඇති එම ගීතයේ පහත පද සමස්ත ස්ත‍්‍රී වර්ගයාටම සිදු කළ බරපතළ නින්දාව කොතරම්ද යන්න ඔවුන්ට පවා අවබෝධ වී නැත.
‘යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා’
යන්න කියන විට යන, එන්න කියන විට එන ගැහැණිය වෙනුවට මෙහි හමුවන ගැහැණිය සිය ස්වච්ඡුන්දතාව පිරිමියා ඉදිරියේ පාවා නොදෙන්නියකි. පිරිමියාගෙන් තොරව තනිව ජීවිතයට මුහුණ දීමට ශක්තියක් නොමැති ගැහැණු අතර ඇය නියෝජනය කරනුයේ පරමාදර්ශී ස්ත‍්‍රීත්වයකි. ඒ අර්ථයෙන් ඇය මේ පවසන පරාජය යනු අදාළ සබදතාවට පමණක් වලංගු වූවකි. සැබැවින්ම බැලූවොත් එම සබ දතාවෙහිදී පවා ඇය පරාජිත වී නැත.
‘පරාදයි මම ඉතින් වෙනවමයි හැරෙන්න’
තම පුරුෂයා හා තමන් අතරට පැමිණි ගැහැණිය සම්බන්ධයෙන්ද මේ ස්ත‍්‍රිය පළ කරනුයේ මධ්‍යස්ථ දෘෂ්ටියකි. ව්‍යාජ ලෙස ඇය හුරතල් කිරීමට මෙන්ම ආන්තික ලෙස ඇය විවේචනය කිරීමටද මේ ගැහැණිය කටයුතු කරන්නේ නැත. තම පිරිමියා සම්බන්ධයෙන් අතිශය භාවාත්මක වන ගැහැණුන් අතර ඇය මේ නව බිරිඳට කියන්නේ ‘ ඕන නම් තියා ගනිං’ කියාය. ‘තියාගෙන ඉඹ ගනින්’ කියාය. තමන්ට වඩා විශේෂ වැදගත්කමක් ඇය කෙරෙහි ආරෝපණය කරන්නට හෝ ඇය අපහාසයට ලක් කිරීමට මෙහි එන ගැහැණිය යොමුවන්නේ ද නැත. එහෙත් මේ ගැහැණිය බුදු බව පතන බෝධිසත්වයකු සේ හැසිරෙන්නේද නැත. ඊර්ෂියාව මෙන්ම කරුණාවද ඇය සතුය.
‘විසේ ඇති ඔය ළපටි තොල්වල පිපිරෙන්න
මට වඩා හොඳට හැකි වෙයි බොට ඉඹින්න’
‘දැඟලූවත් තටු අපා ගමන් පියඹන්න
උඹට තව කල් යාවි අහසම දකින්න’
මෙබඳු සාධනීය අංග ගණනාවකින් යුක්ත වුවද මේ ගේය පද විසින් ඉල්ලා සිටින කටහඬ වරණය සාර්ථක ලෙස සිදු වී නැති බව දැක්විය යුතුය. පද රචනයෙහි වන ‘අමු‘ ගතිය සංස්පර්ශ කිරීමට සමත් කටහඬක් මෙන්ම ආවේගයක්ද ගායනයෙහි පැවතිය යුතුය.
අනෙක් බරපතළ කාරණය වනුයේ පුරුෂාධිපති සංස්ථාපිතයන්, භාවිත හා වටිනාකම් වෙනත් වටයකින් තහවුරුවීම විනා ඒවා ඉරා ගෙන ඉදිරියට යාමට අවශ්‍ය ශක්තියක් මින් සම්පාදනය නොවීමය. නව බිරිඳ කෙරෙහි ලබා දෙන උපදෙස් සීරුවට පීරුවහොත් අපට හමුවනුයේ ‘කීකරු යහපත් බිරිඳක් වන්නේ කෙසේද?’ යන ප‍්‍රශ්නය වෙනුවෙන් සම්පාදනය කළ පිළිතුරු මාලාවකි.
යථාර්ථය එය නමුත් එම යථාර්ථය ඥානනය කිරීම මෙන්ම එය අභිභවා යෑමද එක සේ වැදගත්ය. මේ ගීතය තුළින් එබදු අභිභවනයක් සිදුවී නැත. මේ විචාරය විසින් පිරවීමට උත්සාහ කරන ලද්දේ එකී අඩුවය.
Comments
Post a Comment