ගලන්නේ ගඟ මිස ජීවිතය නොවේ!
'ත‍්‍රිවේණි සංගමම්' කාව්‍ය සංග‍්‍රහයේ පසු කවරයේ ලා ධනුෂ්කා නිෂාදි කුලරත්න කිවිඳිය මෙබඳු සඳහනක් කරන්නීය.
"බටහිර හිමාලයේ ගංගෝත‍්‍රී ග්ලැසියරයේ සිට ගලන ගංගා නම් ගංගාවත්, යමුනෝත‍්‍රී ග්ලැසියරයේ සිට ගලා එන යමුනාවත් හමුවන තැන 'අදිසි' සරස්වතී ගංගාවේ ආගමනයෙන් අසිරිමත් 'ත‍්‍රිවේණි සංගමම්' බිහිවේ."
ඇය ලියන්නේ භෙෘතික ලෝකයේ කොතැන හෝ දකින්නට ලැබෙන භූ රූපයක් පිළිබ`ද ය. අප සොයන්නේ එය නොවේ. භෞතික රූපයක් රූපකයක් ලෙස ක‍්‍රියාකාරී වන විට ඇයට මුණගැසෙන ලෝකය මොනතරම් අසිරිමත් ද යන්නය.
ඇගේ කාව්‍ය ව්‍යාපාරයෙහි ලා 'අසිරිමත්' යන වචනයට ඇත්තේ අප දන්නා ගතානුගතික අර්ථ ධ්වනිය නොවේ. ධනුෂ්කා කෘතිය අරඹන්නේ ශුෂ්ක ව‍්‍රතය නමැති පැදියෙනි.
"සඳක් නම් සාවුනුත් තුරුල් කරගෙන
කුඹුක්කන් ඔයටම පනින්නට තිබුණා
අනිත්තේ වග තුග කියාගෙන
කුමන උයනෙන්-මැරුණු ඉර මහ මුහුදෙ ගිලූණා
වසන්තෙදි ලූණුගලින් බැහැගෙන
රැළි නගා පාඩුවේ ගැලූවා
මොනර, කොරවක්, කණ කෙකිණි ඇස්
කලාපේ නැති තෙතින් බැලූවා
ශුෂ්ක වූ පේ‍්‍රමයක පාමුල
තිත් පොළොං දළ වැදී තිබුණා
එදා නුඹ බිම වැටී හුන් තැන
දූට ගත් හැඩ අකුරු තිබුණා"
ශුෂ්ක බවක අසිරියක් කොහිද? අසිරියක් වේ නම් එය තිබිය යුත්තේ සශ‍්‍රීකත්වයෙහි නොවේද?වසන්තයේ ආරම්භක දවස් හි දීම වැන්දඹු ගැමි ලියකට අනිත්‍යය මෙනෙහි කරන්නට සිදු වේ. එය රාජ්‍යයේ ධාර්මික නැඹුරුව පිළිබ`ද සාක්ෂියක් නොවේ. ඇයට හිමි ජීවන අසිරිය නම් ශුෂ්ක බව හා ඔට්ටු වීමය. සාවුනුත් තුරුල් කරගෙන කුඹුක්කන් ඔයට පනින්නට ඇය 'සඳ සාවියක' නොවේ.
'ගලන ගඟකි ජීවිතේ' යැයි ලිවීම කල් ඉකුත් වූ උපමාවකි. අපගේ යුගයේ දී ජීවිතය කොතැනකටවත් ගලා යන්නේ නැත. ඊට බල කෙරී ඇත්තේ ගලා යන්නට නොව ගල් ගැසෙන්නටය. 'නගර ව‍්‍රතය' එබඳු පාෂාණිභූත වීමක අති සමීප රූපයකි.
'දොඩම් කපා ඇඹුල් තනා-නාන්න දුවනා ගමනක
මග වැරදුණු 'සවස' වැටෙයි-රේල්ලුවෙන් මහ පොළොවට'
සොබාවිකත්වය විසින් ප‍්‍රදානය කර ඇත්තේ විචිත‍්‍ර සන්ධ්‍යාවක් වුවද, අර්ථ ක‍්‍රමය විසින් ඇඟේ ගසා ඇත්තේ ආතතිය ය. අවිවේකය ය.
'එද ඒ නුවරම වෙරළක- බිඳෙයි ගිටාරයක සුතත්
ලවණ මුසුව ගෙන පියපත්-ඉගිලෙයි සහසක් මධු සිත්'
මේ කියන්නේ නගරයේම තවත් කොටසකට විශ‍්‍රාමය හෝ ප‍්‍රශස්ත සංස්කෘතික ජීවනය උරුමව ඇති වග ද? වරදවා වටහා ගත යුතු නැත. ඒ වනාහී දෛනික ආතතිය පිටු දැකීමේ තවත් තාවකාලික රූපාකාරයක් පමණි.
'කෞතුක ව‍්‍රතය' මෙහි එන තවත් වෙසෙස් කවකි. කාව්‍ය ශරීරයේ පැණෙන සියලූ ජනප‍්‍රිය ලක්ෂණ තිබියදී වුවද වඩාත් සිත් ගන්නේ ජනප‍්‍රිය ලක්ෂණ දෙපළු කරමින් මතු වන තේමාත්මක ගැඹුරය.
'රකින සිකියුරිටි'මි කටු ගෙය බැති සිතිනා'
'ප‍්‍රතිමාවකට වුව අත පය සිරස නැතී
කටු ගෙදරකදී දුටු දුටු දන වෙනව ගැතී'
ඇත්තකි. වාච්‍යාර්ථයෙන් ගත් කළ මෙය සිකියුරිටි කෙනෙකු ගැන කතාවකි. එහෙත් දුරකට සිතද්දී හැඟෙන්නේ අප සියලු දෙනාම අඩු වැඩි වශයෙන් සිකියුරිටි ලා වගය. හැමෝටම රකින්නට කටු ගෙයක් තිබේ. මුර දේවතාවන් වීමේ උත්කර්ෂයවත් දැනට ඉතිරිව නැත. ඉරණම සිකියුරිටි ලා වීමය.
යථාර්ථය තුළ සියල්ල ගල් ගැසෙන්නට නියමිත නම් ගලන සුළු ගංගාධාරයක් සම්මුඛ වන්නේ කොතුනකදි ද? රොමැන්තිකයේය. විමලරත්න කුමාරගම 'යන්නට එපා' යැයි කී නිල් සිහින ලෝකයට කිවිඳිය පිය නගන්නීය. එහි දී ඇයට හමුවන ලෝකය සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකයට වෙනස් නැත.
"නිල් අහස් නයන කදුළු පෙරන අද වන් දවසක
හිත එඩි ගත් කෙඳි වළාකුලක බැඳෙන්න මුදු සඳ.."
"බඳ බදා හිඳින ලලිත ලතා දාසක හද බිඳ
මේ සිහිල් සුළං රඟ මඬලට එන්නට කැමතිද?"
නිල් සිහින ලෝකයක සරතත් කිවිඳිය සිටින්නී නිසි සිහියෙනි. පේ‍්‍රමයේ ප‍්‍රහර්ෂය වනන්නට භාෂාවේ ලස්සනම වචන අවශ්‍ය නැත. අවශ්‍ය නිල් සිහින ලෝකයෙන් ගලවා මහ පොළොවට විසි කරන සංකල්ප රූප ස්වල්පයක් පමණි. එහෙත් කිවිදියගේ 'මාදං මතකය' නම් සිහින ලෝකයෙන් ගලවා ගන්නා ලද්දක් නොවේ. අතීතයෙන් ඉදිරූවකි.
අතීතයෙන් සහ ආත්මයෙන් ඉදිරූ කවි ඉඳුරාම ළතෙත්ය. එහි තේරුම ආත්මයට වග නොකියන කවියක් ඇති බව නොවේ. ඇතැම් කවියක් ළතෙත් බව බිඳකිනිදු සිඳ නොගනිමින්ම පුළුල් සමාජ පර්යාවලෝකයක පිහිටුවිය හැකිය. මේ බලන්න.
හසිත ව‍්‍රතය
"විදුලියේ
හන්දි ගැලවෙන හැම වර
ඇඬෙයි - මැකෙයි - සුදිලෙයි
කරගම්පිටිය උළු ගෙදර
සයිමන් සීයාගේ සිනහව
පසුබිමෙන් ඉදෙයි මහ කිරි කොස
බැදෙයි කරවල
කවි කියන විට අඩ සඳ
පොඩි චිමිනි තුන හතරකට"
මෙහි එන විදුලිය විශාල ඓතිහාසික කලාපයක් ආවරණය කරන බහුකාර්ය රූපකයක් ලෙස ගත නොහැකිද? සීයා ලා ආච්චිලා වෙනුවට කතාන්දර කියනු වස් රූපවාහිනිය පෙරට පැමිණියේ දුරාතීතයක නොවේ. නව සංස්කෘතික පෙරමුණක් හමුවේ තව සංස්කෘතික පෙරමුණක් පෙරමුණක් බෙලසුන් වී තිබේ. එය නව දේ ට ඉඩ දෙමින් පැරණි දේ අභාවයට යාම ද?
ලෝකය ර`ගම`ඩලක් වගත් අප එහි නළු නිළියන් වගත් කීවේ ෂේක්ස්පියර්ය. 'සිපිරි ව‍්‍රතයේ'ලා ධනුෂ්කා කියන්නේ ලෝකය සිපිරි ගෙදරක් වගද?අප එහි ගිරා පෝතකයන් සේ අනාථ වී ඇති වග ද?
රතු කූඩුවේ සිටී ගිරවා
"ඒ තුළ
හතර අත
ලේ රත
අවට නිල් අහස
නිල් වියන
නිලෙන් කළ අමානෝ සෙවිලි තල
පොකුණු වතුරෙත් නිල
නිලෙන් නිලැඳුම් අඳිති
නිවැසි ළමෝ
මිතුරනි
වෙනස් නැත
මේ කතාවෙත් පෙරපර
විස්වාස කළ නොහැකිය
වාසනාවේ මොහොත
අගුල කැරකී ඇත
දොරටු විවරව ඇත
ඉතින් තරණයට සැරසෙන්
නොනිම් නිලඹර දස අත
එතැන් සිට
සුවිසාල
නිල් කූඩුවේ සිටී ගිරවා"
මේ වනාහී ලෝකය පිළිබදව එක්තරා අසුබවාදයකි. අන්තෝ ජටා බහි ජටා පන්නයේ ආගමික මතිභ‍්‍රම කවියේ න්‍යාය බවට පෙරලා ගැනීමකි.
ජීවන ලාලසාව වඩවන සුබවාදය කැපී පෙනෙන්නේ 'රශ්මි ව‍්‍රතයේ'දීය. 'යටි වියන'ට ගලා නොයන ඉර කිරණක් ගැන කාලාන්තරයකට ඉහත දී ලක්ෂාන්ත අතුකෝරළ ලිවීය. ධනුෂ්කා ලියන්නී ඒ යටි වියන ට මතු නොව හැම බිම් අ`ගලකටම ගලා හැලෙන ඉර කිරණක් ගැනය.
රශ්මි ව‍්‍රතය
"මිදුණු කල්හි නිල් අහසින්
ස්වාධීනයි මේ හිරු රැුස්
එකක් යයි වන පෙතට
තව එකක් තැනි බිමට
අහම්බෙන් පොකුණු පත්ලට
වෙනෙ'කක් පෙරී පත් අතරින්
ගසක් යට අලස නින්දට
වෙරළට
ගඟේ ඉවුරට
සානුවට
පටුමගට
මලක කෙමියක් ඇතුළට
කඳුකර හිතවතිය තුරුලට
සූර්ය කෝෂයක ඇසුරට
පොඩි උන් අකුරු ලියනා තැනකට
කඩපිලට
සුසානයකට
බතක් වෙන ගොයම් පතකට"
මේ වනාහී ලෝකය පිළිබඳ අත්‍යන්ත සුබවාදයයි. ජීවිතය පිළිබඳ අනල්ප ආදරයයි.
Comments
Post a Comment