අවිචාර සමහයක මානව ප්‍රහසනය


(චූලානන්ද සමරනායක විසින් පරිවර්තිත, සදාත් හසන් මන්ටෝගේ කෙටිකතා ඇතුළත් ‘දෙපළු කරන ලද හදවතක චෝදනා පත්‍රය’ කෘතිය පිළිබඳ විමසුමක්)


සදාත් හසන් මන්ටෝ, වරින්වර ලංකාවේ පරිවර්තකයන් විසින් සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් ලේඛකයෙකි. 

1912 දී බ්‍රිතාන්‍ යටත්ය විජිතයක්ව තිබුණු ඉන්දියාවේ පන්ජාබයෙහි උපත ලද මන්ටෝ, 1947 පාකිස්තානය බිහිවීමෙන් පසු එරටට සංක්‍රමණය විය. උර්දු බසින් ලේඛනයේ නියැලූණු මන්ටෝ නවකතාවක්ද, කෙටි කතා සංග්‍රහ විසි දෙකක්ද, ගුවන්විදුලි නාටක සංග්‍රහ පහක්ද පමණ රචනා කොට ඇත. 

එරික් ඉලයප්ආරච්චි විසින් මන්ටෝ සම්බන්ධ විචාර ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කර ඇති අතර චූලානන්ද සමරනායක විසින් පරිවර්තිත ඔහුගේ කෙටි කතා රැගත් කෘතියක් මේ වන විට සිංහල පාඨකයන් වෙත පිරි නමා ඇත. ලොව ප්‍රමුඛ පෙළේ කෙටිකතා රචකයකු ලෙස මේ වනවිට ලංකාවේ අවධානයට ලක්ව සිටින ඔහු, පුවත්පත් කලාවේදියෙකු, චිත්‍රපට තිරනාටක රචකයෙකු හා ගුවන්විදුලි වැඩසටහන් රචකයකු ලෙසද කටයුතු කර ඇත. 

ඉන්දියාව දෙකඩවීම සහ පාකිස්තානය බිහිවීම යන හේතුවෙන් මිනිසුන්ට විඳින්නට සිදු වූ දුක් ගැහැට විවිධ පැතිකඩ ඔස්සේ  සිය කෙටිකතාවලට වස්තු විෂය කර ගත් මන්ටෝ, කියැවීමට මෙම කෙටිකතා පරිවර්තනයෙන් වඩාත් පහසුවක් ලැබෙනු ඇත.

------------------------------------------------------------

කෙටිකතා 61න් සංගෘහිත වූ චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කරන ලද, සදාත් හසන් මන්ටෝගේ ‘දෙපළු කරන ලද හදවතක චෝදනා පත්‍රය’ පිළිබඳ පුවත්පත් පිටු අතර සටහනක් තැබීමේ අභියෝගයට මුහුණ පා සිටිමු. අමුතු ආකෘතික ආලවට්ටම් නොමැති, ඇතැම්විට කතන්දර ආකෘතියට ළඟ නෑ කම් කියන මෙම කෙටිකතා ගොන්න කියවන විට එක්වරම සිත කීරි ගැසී යයි. මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වූ'දා සිට වර්තමානය දක්වා (මෙම කෙටිකතා ලියැවී ඇත්තේ 1912 - 1955 අතර කාලයේය) අප අත්පත් කරගත් ශිෂ්ටාචාර දියුණුව කුමක්ද? ඉන්දියාව, පාකිස්තානය ලෙස බෙදී යන කාලවකවානුව අදාළ කොට ගනිමින් මන්ටෝ, අප හමුවේ තබන චිත්‍රය අපෙන් විමසා සිටින්නේ එම පැනයයි.

පොදු විචාරක මතය අනුව මන්ටෝ තම කෙටිකතාවලට හැකිතරම් අවංක වූ ලේඛකයෙකි. එය සත්‍යයකි. සාහිත්‍ය සම්බන්ධ න්‍යායික රීතින් ශානරයන් ඔහුට වැදගත් වූයේ නැත.  ඔහු වඩාත් අත්දැකීම් ලැබුවේ සමාජ පරිධියේ වූ'සමාජ ස්ථරයන්ගෙනි. මන්ටෝ කරන්නේ එම සමාජ ස්ථරයන් පදාස පිටින් ඉරා කොලාජ් චිත්‍රයක් (කෙටිකතාවක්) නි්මාණය කිරීමයි. ඇත්ත, යමක් කෙටිකතාවක් ලෙස රාමුගත කිරීමේදී රාමුවක් හා ඉන් පිටතක් බිහි වෙයි. ගැටළුව වන්නේ මන්ටෝගේ ‘රාමුව’ කෙටිකතාව (කෘතිය) තුළ පෙනී නොපෙනී'යාමයි. එනයින්ම රාමුවේ ඇතුළත හා පිටත වෙනස දියාරු වී යයි.

උක්ත කෙටිකතා සංග්‍රහය අනුව මන්ටෝගේ කලා භාවිතාව අප තේරුම්ග. යුත්තේ කෙසේද? ඔහු කොලාජ් ආකාරයට සමාජය ඉරා යළි අලවා තම කෘතිය සම්පූර්ණ කරන වග ඉහත කීවෙමු. ඒ බාහිර රාමුව අපැහැදිලි බවද සඳහන් කළෙමු.

“වර්තමාන පසුබිමක් ඇතිව ලියන ලද නවකතාව මනා සේ ගලපන ලද කතා වස්තුවකින් සමන්විත විය යුතු බවත් ඒ තුළ එක්තරා පරස්පර අවිරෝධීතාවක් තිබීම අත්‍යවශ්‍ය බවත් ලේඛකයා විසින් මවා පාන ලෝකය හා සැබෑ ලෝකය අතර එක්තරා ප්‍රමාණයක සැසඳීමක් තිබිය යුතු බවත් පැවසූ සරච්චන්ද්‍ර තාත්විකත්වය පිළිබඳ මූලධර්මය....”

(එරික් ඉලයප්ආරච්චි - විචාර පත්‍රිකා - පිට 98)

මේ අර්ථකථනයට අනුව නම් මන්ටෝ තාත්විකවාදය ගුරුකොට ලියන ලද්දක් බව බැලූ බැල්මට පෙනී යයි. නමුත් මේ කෙටිකතා සංග්‍රහය සීරුවට කියවන විට පෙනී'යන්නේ, ලේඛකයා මවා පාන ලෝකය හා සැබෑ ලෝකය අතර එක්තරා ප්‍රමාණයක සැසඳීමක් තිබිය යුතුය යන්නෙහි ‘එක්තරා ප්‍රමාණය’ මන්ටෝ කොතරම් ප්‍රසාරණය කරනවාද යන්නය. ඒ එක්තරා ප්‍රමාණය තාත්විකවාදය තර්ජනයට ලක්කරවන සුළුය. බෙදී වෙන්ව ගිය ඉන්දීය/පාකිස්තාන පෙම්වතුන්ගේ භාවාතිශය ගීයක් මන්ටෝගේ කෙටිකතා තුළ හමු නොවන්නේ එබැවිනි. යුද්ධයේ බිහිසුණු බව බොහෝ යථාර්ථවාදීන් ලියන විට, යුද්ධයේ විකාර සහගත හා විහිළු සහගත බව මන්ටෝ ලියයි. මන්ටෝගේ ප්‍රබන්ධ තුළ ගණිකාවෝ ප්‍රේම කරති. තමා උදක්ම රැවටෙන බව දැන දැනම ප්‍රේම කරති. පිම්පියෝ තම හීන පෞරුෂය ගණිකාවන් මත්තෙහි, ඒ සබඳතා තුළම, වර්ධනය කර ගැනීමට උත්සාහ කරති. බොම්බයි ලුණු ගෙඩියක් පෙති ගසන සේ ගැහැනුන්ගේ බෙලි කැපෙයි. එය සාමාන්‍ය සිද්ධියකි. කිසිදු සදාචාර දහමක් නොසළකන ගැහැනියක් තව ගැහැනියකගේ  ජීවිතය වෙනුවෙන් තම අනතුර නිරාවරණය කර ගනී. යුද්ධයේ, බෙදී'වෙන්වීමේ, දරිද්‍රතාවයේ, ස්ත්‍රී පීඩනයේ, ඛේදවාචකය වෙනුවට සාංදෘෂ්ටික ජීවිත නිමේශයන් පසුකරන මිනිස් ප්‍රාණීන් මන්ටෝ අපට ඉදිරිපත් කරයි.

“යථාර්ථවාදය යනු රචකයකු තමා ජීවත්වන යුගය සමීපව, සාවධානව, බුද්ධිමත්ව නිරීක්ෂණය කොට, මිනිසාගේ සමාජීය අංශය හා භාවමය අංශය පිළිබඳ සම්පූර්ණ සත්‍ය අඩංගුවන සේ සත්‍ය හා සෞන්දර්ය කැටි කොට කරණ ප්‍රතිනිර්මාණයකි. ”

(අමුතු කතාව, ලියනගේ අමරකීර්ති - පිට 54)

එම අර්ථකථනය අනුව මන්ටෝ ස්ථානගත කළ හැකිද? සමාජීය අංශය හා භාවමය අංශය (වැඩිමනත් භාවමය අංශය) පිළිබඳ මන්ටෝ ලියූ බව සැබෑය. එහි සෞන්දර්යයක්ද භාෂාත්මක අලංකාරයන්ද තිබෙන බව සැබෑය. නමුත් සත්‍ය හා අසත්‍ය නිර්ණය වන බෙදුම් රේඛාව මත මන්ටෝගේ උභතෝකෝටිකය වැටී ඇත. සත්‍ය වශයෙන්ම ‘සත්‍ය’ යනු කුමක්ද? 

මන්ටෝනියානු අවකාශය බිහි වන්නේ මෙන්න මේ සත්‍ය අසත්‍ය බෙදුම් රේඛාව මත හිඳ ඔහු කරන ක්‍රීඩාව මතය. මන්ටෝ, ජනතාවාදයෙන් හා සමාජ සත්තා යථාර්ථවාදයෙන් ගැලවෙන්නේ මෙතැනිනි. පන්ති සමාජය තුළ නිර්ධනයා, පීඩිතයා, ස්ත්‍රිය ඔහු නිරූපනය කරන බව සැබැවි. නමුත්, ඒ පීඩිතයා, නිර්ධනයා, ස්ත්‍රිය කිසි විටෙක පන්ති සමාජය නමැති ලෝදිය හැලියේ පැසෙන ජීවින් බවට මන්ටෝ පත් නොකරයි. ඒ වෙනුවට ඔවුන්ට ඔවුන්ගේම ජීවන ලාලාසාවන්, පැවැත්මක්, ප්‍රාර්ථනා දුෂ්ටකම් ආදිය ඇති බව ගෙන හැර දක්වයි. ඔවුන්ද තමන්ගේම ජීවන විලාශයක් ජීවිත දර්ශනයක් ඇති ජීවයෙන් දිදුලන මනුෂ්‍යයන් කොටසක් බවට පත් කරයි.

පැරණි ඉන්දියාව, ඉන්දියාව/පාකිස්තානය ලෙස බෙදා වෙන් කිරීම අධිරාජ්‍යවාදී උවමනාවක් වුවද, එයට උත්ප්‍රේරකයක් වන සමාජ බල රටා ඉන්දියාව තුළ නොතිබුණාද නොවේ. විශේෂයෙන්ම කුල ධුරාවලිය තදින්ම ක්‍රියාත්මක වූ ඉන්දියාවේ බ්‍රාහ්මණ උන්නතිකාමය තුළ අනෙකුත් ලබ්ධිකයන් කෙනෙහිලිකම්වලට පාත්‍ර විය. අධිරාජ්‍යවාදීන් කළේ මෙම නිලයට නියමිත නියමිත මාත්‍රාවෙන් තම ඖෂධය එන්නත් කිරීමය. එය සාර්ථක විය. මෙය ‌ඓතිහාසික ක්‍රියාවලියක් විනා එක් මොහොතක සිදු වූ'‘ආශ්චර්යයක්’ නොවේ. නමුත් මන්ටෝගේ සාහිත්‍ය මේ ‌ඓතිහාසික ක්‍රියාවලියට එතරම් බරක් නොදේ. ඔහුගේ සාහිත්‍ය තුළ මෙම යුගයේ මිනිස් සබඳතා නිරූපණය වන්නේ ක්ෂතිමය අත්දැකීමකදී මිනිසා ක්‍රියාකරන ආකාරයටය. එනම් එකවරම සිදුවන අනපේක්ෂිත අත්දැකීමකින් කම්පිත ජන පිරිසක් ඔහු නිරූපනය කරයි. 

සුළු සුළු පවුල් ආරවුල් සහිත නිවසක් ගැන සිතන්න. හදිසි භූ කම්පනයකින් පෘතුවිය  දෙකඩ වී උක්ත නිවස නිවැසියන් සමග දෙපසකට වෙයි. ඒ නිවැසියන්ගේ මනෝභාවය කුමක්ද? එය ක්ෂත්‍රමය අත්දැකීමකි. එය මන්ටෝගේ දර්ශීය පාත්‍ර වර්ගයාට සමානය. ඔවුහු සැමවිටම උත්සාහ කරන්නේ සිදුවූ'ඛේදවාචකයට හේතුව හෝ පිළියම් හෝ යෝජනා කිරීමට, නිරූපණය කිරීමට  නොව ඒ ඛේදවාචකයේ පාත්‍ර වර්ගයාගේ මානව සබඳතා ඒ සබඳතා බිඳවැටීම, නව සබඳතා ගොඩනැංවීම් ආදිය තුළ ඇති වූ'ආත්මීය කම්පනය විශද කර දැක්වීමටය. ඒකීය ඉන්දියාව බෙදා වෙන් කිරීමට උඩගෙඩි දුන් ආගමික වහන්තරා හඳුනාගැනීමට මන්ටෝ සමත් වෙයි. නමුත් එම වහන්තරා මතින් මෙහෙයවන මිනිසුන් ඔහුගේ ගර්හාවට පාත්‍ර නොවෙති. ඔවුන් ආගමේ නාමයෙන් සද්ජනයන් ලෙස නිරූපණයට මන්ටෝ විවෘතය. ඔහු ආගමික අදහන්නන් වෙත තම විරෝධය එල්ල කරනවා වෙනුවට නිවැරදිව එකිනෙක ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වල පරස්පරතා, ප්‍රතිවිරෝධතා, ප්‍රහසනාත්මකව තම සාහිත්‍යයේ යටි පෙළ තුළ රඳවයි. 

අවිචාර සමයකදී සමාජ පරිධියේ වූවන්ගේ ස්ත්‍රී පුරුෂ සබඳතා කුමන අයුරුද එහිදී කාන්තාවගේ සමාජීය, ආත්මීය ඉරණම කුමක්ද? ලිංගික සබඳතාවන්ගේ ගති සොබා කවරේද, කතිකාමය අවකාශයක ගොඩනඟා ලිංගික අනන්‍යතාවන්ගේ විහිලූ සහගත බව (හර්නාම් කවුර් පිටුව 555) ආදී'කලාපවලට මන්ටෝ නොබියව ඇතුළු වෙයි. එහිදී'ඇත්තේ ඔහුගේම සදාචාරයකට අනුව වන ලිවීමකි. මන්යෝ, මිනිසාගේ ලිංගික ආශය, ලිබිඩෝව ප්‍රබල ගාමක බලවේගයක් ලෙස සලකයි. එය මූලික අවශ්‍යතාවකි. එසේම සමාජයේ පරිධියේ වූවන්ට ජීවිතයේ පරම ආශ්වාදයක් ලැබීමට (අවම මිලක් ගෙන) තමන් තුළම වූයේ ලිංගික ආශය වන්නට පුළුවන. වාරණය හා දණ්ඩනය ඔහු පසුපස හඹා ආවේ (නොබෙදුන ඉන්දියාව තුළ මෙන්ම බෙදුන ඉන්දියාව තුළ) මෙම කලාපයේදීය. එතරම්ම උපායශීලි වූ'ඔහු තම ලිවීම කරගෙන ගියේය. ‘තෙතබරිත සැන්දෑවක්’ වැනි කතාවකදී'ලිංගිකව පරිණතවන යෞවනත්වය පිළිබඳ සිත් කාවදිනසුළු සෞන්දර්යයකින් ඉදිරිපත් කළේය. මානවයා සතු මේ දිව්‍යමය සුවය කොන්දේසි විරහිතව මානවයාට ලැබිය යුතු බව ඔහු විශ්වාස කළේය. ඒ වෙනුවෙන් ලිවීය. ගණිකාවද පිම්පියාද සේවාදායකයාද ව්‍යාජ පෙම්වතුන්ද වසඟකාරී ස්ත්‍රියද ඔහු නිරූපණය කළේ ඒ ඒ අයගේ ලිංගික භූමිකාව, ලිංගික සංස්කෘතිය වෙත නිසි ගෞරවය පුද කරමින්ය. 

නූතන ස්ත්‍රීවාදීන්ගේ දෝෂ දර්ශනයට ලක්විය හැකි වුවත්, වර්ගවාදය, ආගම්වාදය, පුරුෂෝත්තමවාදය ඉදිරියේ පීඩිත ඉන්දිය ස්ත්‍රියට තමන්ගේම ආත්මයක් ඇති මන්ටෝ ලිවීය. හින්දු-මුස්ලිම් කලකෝලාහලවලදී එකිනෙකාගේ ගෞරවය වෙනුවෙන් ස්ත්‍රිය දූෂණයට ලක් කිරීම, පැහැර ගෙන යාම ආදිය මන්ටෝ ලියන්නේ ස්ත්‍රිය යනු තවත් දේපලක්, භාණ්ඩයක් ලෙස වුවත් එය අධිරාජ්‍යයකු හිස රැඳි ඔටුන්න තරම් වටිනාකම් දරණ යමක් බව මන්ටෝ පසක් කර දෙයි. හින්දු-බ්‍රාහ්මණ ආගම තුළ දේව කතා තුළ ශෘංගාරයට, සංගීතයට, කාම භෝගී ජීවිතයට යම් ඉඩ කඩක් විවර විය. ධනවාදයේ නැගීම, යටත්විජිතකරණය, කාර්මිකකරණය, පන්ති විෂමතාව, වික්ටෝරියානු සදාචාරය නිසා මිනිසාගේ ලිංගික ලිබිඩෝවට වන ප්‍රතිරෝධය පිළිබඳ මන්ටෝ සියුම්ව සිය කතා තුළ යටිපෙළක් ලෙස සැඟවීය. රණකාමී අධිරාජ්‍යයකට අවශ්‍ය පරිදි හීළෑ කරගත් දහමකින් සංස්කෘතිගත වුණු ජපන් සමාජය, යුද්ධයේදී ලත් පරාජයන් නිසා, තම සියලු සංස්කෘතික මානයන් අහිමිව නන්නත්තාර වූ'බවත්, ඉන් ජපන් කාම කතා රැල්ල බිහි වූ'බවත් මාර්ටින් වික්‍රමසිංහ තර්ක කරයි. (සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවනැල්ල)

ඊට ප්‍රතිපක්ෂව ඉන්දියාව තුළ සිදු වුයේ කුමක්ද ? නාගරික සමාජය බිහිවීම, කාර්මිකකරණය, සිනමා කර්මාන්තයේ වර්ධනය, ගමෙන් නගරයට අසීමිත ලෙස මිනිසුන් ඇදී'ඒම, පිළිවෙළ හා නීතිය යම් තරමකට දියාරු වීම ආදිය හරහා වඩා ස්වාධීන, ලිබරල් ලිංගිකත්වයකට මාවත විවර වීමය. ඉන්දීය දේවකතා වල එන ලෞකික ජීවිතය තුළින්ම බ්‍රහ්මන් තත්වයට ළඟාවීම සඳහා ඉඩ හසර ඇති සමාජ අවකාශයකි එය. නමුත් ඒ තුළම ප්‍රතිරෝධීතාව ඇත. දරිද්‍රතාව, තදබදය, අඩු සෞඛ්‍ය පහසුකම්, ලෙඩ රෝග, අවිනිශ්චිතභාවය, මේ පරමානන්දයට බාධාවකි. මන්ටෝ මේ ගැටලුව සීරුවෙන් ලියයි. ඒ තුළද ඒ ගැහැනුන්ගේ, පිරිමින්ගේ, පිම්පියන්ගේ ලිංගික ප්‍රහර්ෂය, මාත්සර්යය, අතිශයෝක්තියටද ගර්හාවටද ව්‍යාජ සදාචාරයකටද ව්‍යාජ ශෘංගාරයකටද වික්ටර් හියුගෝ වර්ගයේ මානුෂවාදයකටද ලඝු නොකොට තමන්ගේම සියුම් රාමුවක රඳවා ලිවීමට මන්ටෝ උත්සාහ දරා ඇත.

මන්ටෝගේ කෙටිකතා තුළ නිරූපණය වන්නේ අවුල් වියවුල්, දේශපාලන කලකෝලාහල ආදී'සිදුවීම්ද සමාජ විපර්යාසයන් සිදුවන සමාජ නිමේශයකි. සාමාන්‍යයෙන් නිසල සමාජ මොහොතකට වඩා මිනිසාගේ සවිඥානක, අවිඥානක මෙන්ම තාර්කික අතාර්කික අන්තර්ක්‍රියා බහුල වන්නේ මෙවන් අවිචාර සමයකදීය. බොහෝ විට මෙහිදී'ශිෂ්ටත්වය පරදා අශිෂ්ටත්වය ජය ගනු දැකිය හැකිය. මන්ටෝගේ චරිතයන් මේ කලබැගෑනියේ නිරූපණයන්ය. බෙදී වෙන් වීමේ වේදනාව ඔහු සමීප රූපයකට ගෙන පෙන්වයි. ලාබ පෙම් පළහිලව්, ජාතීන් අතර ආගම් අතර මනෝරාජික අත්වැල් බැඳ ගැනීම් ලියනු වෙනුවට, මන්ටෝ එවන් සමාජ මොහොතක ‘මිනිස් ඉඳීම’ විස්තර කරයි. ඔහු මේ මොහොත දකින්නේ ඛේදවාචකයට, අනිවාර්යතාවකට, ‌ඓතිහාසිකත්වයකට දේශපාලන සංසිද්ධියකට එහා ගිය ප්‍රහසනයක් ලෙසිනි. විකාරරූපි ලෙසිනි. ‘සෝබා මෙන් සිං’ (විෂය) එහි ප්‍රතිඵලයකි. පිළිවෙළ හා නීතිය  වෙනත් පිළිවෙළක් හා නීතියක් වෙත මාරු වන සංක්‍රාන්ති සමයක මානව සබඳතා මත වැටෙන යක්ෂයාගේ බලය පිළිබඳ මන්ටෝ ලියයි. වැදගත් වන්නේ එවැනි ගොහොරුවකින් පිපෙනා අරවින්දයක් බඳු මිනිසුන් මන්ටෝට හමු නොවීමයි.

මිනිසා දේශපාලන ආර්ථික සත්වයකු බව සැබෑය. ඒ මත ගොඩනැඟෙන සංස්කෘතික දෘෂ්ටිවාදයකින් ඔහු පාලනය වන බවද සැබෑය. 

නමුත් මන්ටෝ පුන පුනා කියන්නේ කුමක්ද? එවන් මොහොතක (අවිචාර සමයක) වඩා ක්‍රියාකාරී වන ආත්මීය කොටසකුත් මිනිසා සතු බවය. ඇතැම් විට එය වඩා තීරණාත්මක වන බවයි. අවිචාර මොහොතක අපට බාහිර සතුරා සමග මෙන්ම අභ්‍යන්තර සතුරා සමගද සටන් වැදිය යුතු බව ‘දෙපළු කරන ලද හදවතක චෝදනා පත්‍රය’ අපට සන් කරයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?