යථාර්තය හිස මත කඩාවැටෙන තුරු - Don’t Look Up


වසංගතය හා ආර්ථික අර්බුදය සංකීර්ණවන මේ දවස්වල මෙරට සිදුවන බොහෝ දේ ප‍්‍රහසනයන් බවට පත්ව ඇත. රාතී‍්‍ර ප‍්‍රවෘත්ති විකාශය විකට චිත‍්‍රපටයක් නරඹනවා මෙන් සිනහ වෙමින් නැරඹිය හැක. නමුත් ඒ සිනහවන් පිටුපස ඇත්තේ ඛේදවාචකයකි. බලය සදහා පාලක ස්ථරයේ තරගය මාධ්‍යයන් හමුවේ නාටකීය ලෙස දිගහැරෙන අතර එම නාටකයන්ගේ පිටපත් රචනා කරන ධනපති පැලැන්තියේ ලාභය සඳහා වූ තරගය සීතල යුද්ධයක් මෙන් මේ සියල්ල පසුපසින් දිවයයි. රට සංවර්ධනය කිරීම, දුප්පත්කම දුරලීම ආදී අලංකාර තේමා පාඨ ප‍්‍රදර්ශනය කළද මේ සියල්ල පිටුපස නැවත නැවතත් දිවයන්නේ එකම අරමුණකි, තේමාවකි. එයනම් ලාභයයි. 

ගංවතුරක්, සුනාමියක් හෝ වසංගතයක් වැනි ව්‍යසනයක්වුව ඔවුන්ගේ ලාභ ඉපැයීමේ ව්‍යාපෘතීන්ට බාධාවක් නොවෙයි. පසුගිය වසංගත සමයෙහි මෙරට මිනිසුන් ආදායම් අහිමිව ජීවිත ඛේදවාචක බවට පත්වන පසුබිමක මෙරට ප‍්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් රාශියක් සිය ව්‍යාපාර ඉතිහාසයේ ඉහළම ලාභ ලැබූ වසර බවට පසුගිය වසර පත් විය. එතැනින් නොනැවත වසංගතය සමාජය බිලි ගන්නා මොහොතක දැවැන්ත සමාගම් එන්නත්, ඇන්ටිජන් කට්ටල ආදියෙන්ද ඉහළ ලාභ ඉපැයීය. එය අපගේ කලාපයට එන විට දූෂිත දේශපාලන යාන්ත‍්‍රණයන් තුල කොමිස් හා අනෙකුත් අනීතික හා අශිෂ්ට ක‍්‍රමයන් මගින්ද විශාල ලාභයන් ගොඩගැසීය. ඒ අනුව ඉතිහාස නැවත නැවතත් තහවුරු කරනුයේ ව්‍යසනයන් පවා ඔවුන්ට තවත් ලාභ ඉපැයීමේ මාර්ගයක් විනා අන් යමක් නොවන බවයි. 

මේ යථාර්ථය වෙනස් ආකෘතියක් තුල අප හමුවට ගෙන එන්නකි Don’t Look Up චිත‍්‍රපටය. Randall Mindy හා  Kate Dibiasky යනු රාජකාරියේ නියුක්ත ප‍්‍රාදේශීය විද්‍යාඥයන් දෙදෙනෙකි. ඔවුන් අභ්‍යාවකාශයේ සිට පෘථිවිය දෙසට ඇදෙන වල්ගා තරුවක් හ`දුනා ගන්නා අතර ඔවුන්ගේ ගණන් බැලීම් අනුව එය මාස හයක කාලයකින් පෘථිවියේ ගැටීමට නියමිතය. ඔවුන් එම ව්‍යසනයෙන් ලොව බේරා ගැනීමට දරණ ප‍්‍රයත්නය ප‍්‍රහසනමය ආකාරයෙන් මෙම චිත‍්‍රපටය තුළ නිරූපණය වෙයි. මේ සම්බන්ධයෙන් මොවුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට ධවල මන්දිරය වෙත යන අතර ජනාධිපතිවරියට සියල්ලට වඩා තම බලය තහවුරු කර ගැනීම වැදගත් වන අතර කාර්යාලයේ පැවැත්වෙන කුඩා උපන්දින සාදයක් පවා මෙම රැුස්වීමට වඩා වැදගත් වන අතර ඔවුන්ගේ හමුවීම ඊළග දිනට කල් යයි. මානව වර්ගයාගේ පැවැත්ම සම්බන්ධ මෙම සංවේදී කාරණයට මෙවන් නොසැළකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් එම විද්‍යාඥයන් මවිත වන අතර ඔවුන් අසරණ වෙයි. අපද කොරෝනා වසංගතය ආරම්භයේ ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපෘතියත් සමග රට වසා නොදමමින් නාමයෝජනා කැඳවමින් ගෙන ගිය කි‍්‍රයාවලිය තුළ මෙවැන්නක්ම අත්දකින ලදී. ඇතැම් විෂය ප‍්‍රවීනයන් ආණ්ඩුවේ හැසිරීම පිළිබඳ සිය මවිතය හා කණස්සල්ල පළ කරනු අපි මේ ආකාරයටම දුටුවෙමු.

මෙම විද්‍යාඥයන් රූපවාහිනී නාළිකා වෙතද යමින් මෙම කාරණය ජනතාව වෙත ගෙනයාමට වෙර දරණ නමුත් ජනපි‍්‍රය ගායිකාවකගේ පේ‍්‍රමයේ දෙදරා යාමක් සම්බන්ධ  ඕපාදූපයන්ට සමාජ ජාල හා ප‍්‍රධාන මාධ්‍ය තුළ මීට වඩා ඉඩ විවර වෙයි. කෙසේ නමුත් ලොව පුරා තවත් විද්‍යාඥයන්ද මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරියට මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට සිදුවන අතරම මේ වන විට ඇයට විරුද්ධව ගොඩනැගී ඇති සියලූ චෝදනා අවධානයෙන් බැහැර කිරීමට මෙම වල්ගා තරුව පිළිබ`ද භීතිය භාවිතා කිරීමටත් එය විනාශ කිරීම තුළ තමන් වීරත්වයට පත්වීමේත් දේශපාලනික ව්‍යාපෘතිය දියත්වන අතර අදාළ වැඩපිළිවළ සාර්ථක කරගැනීමට වඩා එයට ලබාදෙන ප‍්‍රචාරය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සැළකිලිමත් වෙයි. මෙය අපට සිහිගන්වන්නේ පළමු හා දෙවන රැුලිවලදී ආණ්ඩුව ගෙන ගිය කොරෝනා මර්දන වැඩපිළිවළයි.

අදාළ වල්ගා තරුව විනාශ කිරීම සදහා න්‍යෂ්ටික මිසයිල භාවිතා කරණ අතර ස්වයංක‍්‍රීයව එය සිදු කළ හැකි නමුත් ඒ සඳහා වියපත් හමුදා නිලධාරියෙක් සිය දිවි කැපකිරීම ස`දහා යොදා ගන්නා අතර එමගින් වීරයෙක් සෑදීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. මෙය අපට සිහිගන්වන්නේ පසුගිය කාලයේ පැවති යුද්ධයත් එයින් කළ එළි බස්සවන ලද වීරයන්වත්ය. කෙසේ නමුත් අදාළ න්‍යෂ්ටික මිසයිල මඳ දුරක් ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත පොළවට ගොඩබානු ලබයි. කෙසේ නමුත් පසුව දැනගැනීමට ලැබෙන්නේ එය Sir Peter Isher නම් ලොව ධනවත්ම පුද්ගලයාගේ යෝජනාවක් වන බවය. එම උල්කාපාතය තවත් පොළවට ආසන්න වන්නට ඉඩදී එය කුඩා කොටස් වලට කැඩෙන්නට සළස්වා එහි ඇති වටිනා පාෂාණ හා ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම ඔහුගේ යෝජනාවයි. මෙහිදී ඒ සම්බන්ධයෙන් දැනුම ඇති විද්‍යාඥයන් මෙහි ඇති අවදානම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු දක්වන නමුත් තීන්දු තීරණ ගැනෙන්නේ අදාළ ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාවය අනුවය. නැවතත් පසුගිය වසංගත සමයේ රට වැසීම ආදිය පිළිබ`ද තීන්දු තීරණ ගත් ආකාරය අපට සිහි කැඳවයි.

මෙහිදී Randall Mindy ද ජනපතිවරියගේ ව්‍යාපෘතිය  හා එක්ව එය ප‍්‍රචාරය කිරීමට දායක වන අතර පසුව එයින් ඉවත්ව එය විවේචනය කරනුයේ අපට ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් සිහිගන්වමින්ය. මේ අතර මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මැදිහත්වන්නන් C.I.A. සංවිධානය මගින් මර්දනය කිරීමටද කටයුතු කරයි. මේ අතර මෙම වල්ගා තරුව විනාශ නොකර එහි ඛනිජ ලබා ගැනීමේ ව්‍යාපෘතියට පක්ෂව හා විපක්ෂව ක`දවුරු දෙකක් ගොඩනැගෙයි. ක‍්‍රමක් ක‍්‍රමයෙන් එම උල්කාපාතය පොළවට ලංවෙන අතර එය අහසේ දිස්වෙන්නට ගනී. එම ව්‍යාපෘතියට විරුද්ධ Randall Mindy හා Kate Dibiasky  ප‍්‍රමුඛ කඳවුර Look Up ලෙස ඊට එරෙහිව නමින් ප‍්‍රචාරක ව්‍යාපෘතියක් අරඹන අතර ජනපතිවරියගේ කදවුර ඊට එරෙහිවDon’t Look Up නමින් ප‍්‍රචාරක ව්‍යාපෘතියක් අරඹයි.

මෙයද අපට නුපුරුදු කි‍්‍රයාවක් නොවෙයි. නිරන්තරයෙන්ම අපව යථාර්තයට අභිමුඛවීම වැලැක්වීමට පාලකයින් විවිධ ව්‍යාපෘතීන් ගෙන එයි. වරෙක වෙනත් ජාතියක් හෝ ආගමක් සතුරකු කරයි. තවත් විටෙක තමන්ට වඩාත් හානිකර විරෝධයක් යට යැවීමට විවිධ ගැටලූ අර්බුද හෝ ප‍්‍රහසනයන් ඔවුන් විසින්ම ගොඩනගයි. කෙසේ නමුත් මෙම ව්‍යාපාරිකයන්ගේ ලාබ වෙනුවෙන් වන්දි ගෙවන්නේ පහළ පාන්තික සාමාන්‍යය මිනිසුන්ය. පාලකයන් හා එම ව්‍යාපාරිකයන් ව්‍යසනයන් පවා වින්දන කරණවා හැරෙන්නට ඔවුනට එයින් සිදුවන හානියක් නොමැත. 

දේශපාලනික ප‍්‍රහසන ශානරයේ චිත‍්‍රපටයක් වන Don’t Look Up, හි  Mindy ලෙසින් Leonard DeCaprio හා Kate ලෙසින්  Jennifer Lawrence ගේ රංගනයෙන් දායකවන අතර අතිවිශිෂ්ට යැයි කිව නොහැකි වුවද සිනමාත්මක භාවිතය අතින්ද දියුණු චිත‍්‍රපටයකි. මෙහිදී පෙර දක්වා ඇති පරිදි ඛේදවාචකයක් අභිමුව වුවද ධනපති පාලක ස්ථරය සිය ලාභ අරමුණු උදෙසාම කටයුතු කරන අතර දේශපාලනික නායකයන්ගේ මුහුණු අප දුටුවද ඒ පිටුපස සිට තීන්දු තීරණ ගනු ලබන්නේ ධනවත් ව්‍යාපාරික පැලැන්තියක් වන බව පෙන්වා දෙයි. මෙහි ඇති වැදගත්ම කාරණය නම් මෙම චිත‍්‍රපටයේ සියලූ සිදුවීම් මෑත කාලීනව අප මෙරට අත්විඳින ලද අත්දැකීම් සමග සමපාත වීමයි. ඒ අනුව අප අත්වි`දින මෙම ඛේදනීය අත්දැකීම් හුදෙක් ගෝඨාභයගේ හෝ මහින්දගේ අවුලක්ම පමණක් ලෙස මෙම දුපතේ හතර සීමාවේ සිරවී අප පහසුවට සිදුකරණ කියවා ගැනීම, අප ඉතිහාසය තුළ නැවත නැවතත් සිදුකරන ඓතිහාසික වැරැුද්දක් වනු ඇත. මෙම අර්බුදය ඇමරිකාව වැනි ධනේෂ්වරයේ මහගෙවල් තුළ පවා නිර්ධනයන් මත දිග හැරෙන්නේ මෙලෙසටමය. බහුතරය වන ඔවුන් තීන්දු තීරණ ගැනීමේදී නොසළකා හැරෙන අතර ලාභයම පදනම් වෙයි. මෙය නිසි ලෙස කියවා නොගත හොත් මීළ`ග මැතිවරණයකින් පසුව යළි යළිත් සිදුවන්නේ හෝටලයට වෙනත් කෝකියෙකු ගෙන්වා වෙන පාට ඇ`දුමක් ඇද පරණ මිශ‍්‍රණයේම කෑම පිසීමයි.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?