කවුරුවත් එන්නේ නැතිනම් අපි කුමක් කරමුද?
(අමාලි දීපිකා දහනායකගේ ‘කවුරුවත් එන්නෙ නෑ’ නාට්‍ය නිර්මාණය පිළිබඳ විවරණයක්)
පතිරාජ එල්. එස්. දයානන්ද විසින් රචනා කරන ලද පිටපතකට අනුව අමාලි දීපිකා දහනායක විසින් නිර්මාණය කරන ලද ''කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය ජනවාරි 28 වැනිදා බොරැුල්ල නාමෙල්-මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගත විය. එහි ප‍්‍රධාන චරිත දෙක චමින්ද බටුකොටුව සහ චතුරි ලොකුගේ විසින් නිරූපණය කරනු ලැබීය. මෙම නාට්‍යය පතිරාජ එල්. එස්. දයානන්ද විසින් මුල් වරට වේදිකාගත කරනු ලැබුවේ 1969 වසරේදීය. මුල් නාට්‍යයේ ප‍්‍රධාන චරිත දෙක නිරූපණය කරනු ලැබුවේ විමල් කුමාර ද කොස්තා සහ මර්සි එදිරිසිංහ විසිනි.
මෙවර අප දුටුවේ අමාලි දීපිකා විසින් එම පිටපතට අනුව කරන ලද නව නිෂ්පාදනයයි. නාට්‍යයේ කතාව මෙබඳුය. අඹු සැමි යුවළක් තම විවාහ දිවියේ පනස් වසර සැමරීමේ උත්සවයට තම විවාහ මංගල්‍යයට පැමිණි අයට ආරාධනා කරති. අඹුසැමි යුවළ ඔවුන්ගේ පැමිණීම ගැන බලාපාරොත්තු සහගතව සිටියත් කිසිවෙක් නොපැමිණෙති. මේ අතර සිය අපේක්ෂිත අමුත්තන් සඳහා මහලූ යුවල ආසන පනවන අතර එම ආසන වල සිටිතැයි අපේක්ෂා කරන අදෘශ්‍යමාන අමුත්තන් සමග ඔවුහු කතා බස් කරති. අවසානයේදී මහලූ මිනිසා මිය යන අතර ගැහැණිය තනි වෙයි.
මේ නාට්‍යය නරඹන අපට සිහිපත් වන්නේ රුමේනියානු සම්භවයකින් යුත්, ප‍්‍රංශ නාට්‍යකරු ඉයුජින් අයනෙස්කෝ (Eugene Ionesco) ගේ ‘පුටු‘ (The Chairs) නාට්‍යයයි. අයනෙස්කෝ එම නාට්‍යය මුලින්ම පෙන්වුයේ 1952 වසරේ වන අතර එය 1972 වසරේදී ධර්මසේන පතිරාජ විසින් සිංහල භාෂාවෙන් වේදිකාගත කරනු ලැබීය. ධර්මසේන පතිරාජ විසින් The Chairs සිංහලට පරිවර්තනය කරනුයේ 1971 දීය. 1972 වසරේ ජාතික නාට්‍ය උළෙලේදී එය රංගගතවූ අතර, හොඳම නාට්‍ය පරිවර්තනය සඳහා සම්මානය ද දිනා ගත්තේය. ‘පුටු‘ නාට්‍යයෙහි එන චරිත තුන නිරූපණය කළේ විමල් කුමාර් ද කොස්තා, මාලනී වීරමුණි සහ දයා තෙන්නකෝන් ය. ”... මුදල් නොමැතිවීම නිසාවෙන් නාට්‍යය ප‍්‍රදර්ශනය වාර 3 කට සීමා විය. මේ විකාරරූපී නාට්‍යය පේ‍්‍රක්ෂකයිනට තබා විචාරකයන්ට ද එකල නිසි ලෙස ග‍්‍රහණය නොවීය.” යැයි 2017දී මුද්‍රණයෙන් නිකුත් වූ එම නාට්‍ය පිටපත සහිත පොතේ පෙරවදනේ ධර්මසේන පතිරාජ පවසයි.
මෙම නාට්‍යයද මහලූ මිනිසා සහ මහලූ කාන්තාව නම් චරිත දෙකක් වටා ගොඩ නැගේ. මහලූ මිනිසා ජීවිතයේ අරුත ගැන යම් අභිරහසක් සොයාගෙන ඇති අතර එය අනාවරණය කිරීමට කථිකයෙකු පැමිණේ. එම සොයාගැනීම කුමක්දැයි කිසිවිටෙකත් පැහැදිලිව ප‍්‍රකාශයට පත් නොවේ. නමුත් එම කතිකයාගේ අනාවරණය ඇසීමට අමුත්තන් විශාල ප‍්‍රමාණයකට ආරාධනා කර ඇති අතර ඔවුන් සඳහා අසුන් පැනවීමට පුටු සූදානම් කෙරේ. අමුත්තන්ට ''සියල්ලන්” ඇතුළත් වේ යැයි කියනු ලැබේ, එය ලෝකයේ සිටින සියල්ලන් ඇඟවුම් කරයි; මෙය පශ්චාත් එළිදරව් ලෝකයක් බවට තවත් ඇඟවුම් තිබේ. නිදසුනක් වශයෙන්, මහලූ මිනිසා පැරිසියේ විනාශය ගැන කතා කරයි. අමුත්තන් සියලූ දෙනා අදෘශ්‍යමානය. මහලූ යුවළ කතා කරන්නේ පේ‍්‍රක්ෂකයාට නොපෙනෙන අදෘශ්‍යමාන අමුත්තන් සමගය. එයින් ඇඟවෙන්නේ මහලූ මිනිසා සහ මහලූ කාන්තාව පෘථිවියේ අවසාන පුද්ගලයන් දෙදෙනා බව ඇතැම් විචාරකයන් පවසයි. අදෘශ්‍යමාන ''අමුත්තන්” පැමිණෙන විට, මහලූ චරිත දෙක ඔවුන් සමඟ කතා කරන අතර ඔවුන්ගේ ගෙවුණු ජීවිතය ගැන ගුප්ත ලෙස සිහිපත් කරයි. නාට්‍යයෙහි ව්‍යුහය තේරුම් ගැනීමට එක් මඟක් වන්නේ වරින් වර වේදිකාව මත රැුස්වන හිස් පුටු පිළිබඳ අරුත වටහා ගැනීමට උත්සාහ කිරීමය. නාට්‍ය ඇරඹෙන විට වේදිකාව මත දිස්වන්නේ පුටු දෙකක් වුව ද, පසුව අදෘශ්‍යමාන චරිත විසින් රැුගෙන එනු ලබන පුටුවලින් එහි ඉඩකඩ ඇහිරෙයි. මහලූ යුවළ පවා ඒ මේ අත යන්නේ අපහසුවෙනි. අමුත්තන් සඳහා පුටු එන ප‍්‍රමාණය වැඩි වත්ම මහලූ යුවළ අතර පරතරයද වැඩිවේ. අවසානයේදී මේ උත්සවයේ කූටප‍්‍රාප්තිය සනිටුහන් කරමින් අදෘශ්‍යමාන අධිරාජයා පැමිණෙයි. අධිරාජයාගේ පැමිණීම නිසා මහලූ යුවළගේ සතුට ඉහළම ස්ථානයට ළඟා වේ. අවසානයේ රැුස්ව සිටි පිරිසට තම දේශනය දීමට කථිකයා පැමිණෙයි. එම කථිකයා පේ‍්‍රක්ෂකයන්ටද භෞතිකව පෙනෙන සැබෑ නළුවෙකි. කථිකයාගේ භෞතික පැවැත්ම නාට්‍යයේ පූර්වයේ ඉදිරිපත් වූ පෘථිවියේ අවසන් මිනිසුන් දෙදෙනා පිළිබඳ අදහසද ඛණ්ඩනය වේ. මහලූ මිනිසාගේ විශ්මය ජනක හෙළිදරව්ව මුළු ලෝකයටම ඇසීමට ආසන්න බැවින් මේ මොහොතේ ජීවිතයේ අරමුණක් ඉතිරිව නොමැති බව පවසමින් මහලූ යුවළ ජනේලයෙන් සාගරයට පැන සිය දිවි නසා ගනී. කථිකයා කාමරයට රැුස් වූ නොපෙනෙන සෙනඟ අමතා කතා කිරීමට පටන් ගනී. ඔහුගේ මුවින් කිසිම වචනයක් පිට නොවේ. අවසානයේදී රංග ශාලාවේ සිටින පේ‍්‍රක්ෂකයන් වටහා ගන්නේ කථිකයා බිහිරකු හා ගොළුවෙකු බවයි. ජීවිතයේ යතාර්ථය වචනයට නැංවිය නොහැක. යථාර්ථයේ සංකීර්ණත්වය ඉදිරියේ භාෂාව අසමත් වේ. නාට්‍යය අවසානයේ අදෘශ්‍යමාන අමුත්තන්ගේ හඬ ක‍්‍රමයෙන් මැකී යයි. මෙම ශබ්දය නාට්‍යයේ වැදගත්ම අවස්ථාව බව අයනෙස්කෝ පවසා තිබේ. ”නාට්‍යයේ අවසාන තීරණාත්මක මොහොත වන්නේ කිසිවෙකුත් නොපැමිණීම” බව ඔහු පවසයි. ඉයුජින් අයනෙස්කෝගේ මුල් නාට්‍යය එබඳුය.
”කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය නරඹන අපට එය අයනෙස්කෝගේ නාට්‍යයේ අනුවර්තනයක් බව හැෙඟ්. නාට්‍ය දෙකේ පෙළ එතරම් සමීපය. නමුත් විශ්මයජනක කරුණ වන්නේ ”කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය පතිරාජ එල්. එස්. දයානන්දගේ ස්වතන්ත‍්‍ර නිර්මාණයක් වීමයි. එම නාට්‍යය නිර්මාණය කිරීමේදී තමා අයනෙස්කෝගේ ”පුටු” නාට්‍යය කියවා නොතිබුණු බව 2003 වසරේ නිකුත් වූ සමරු කලාපයක ඔහු පවසා තිබේ. කෙසේ වෙතත් මෙම නාට්‍යය වසර 35ක් තුළ විවිධ නිෂ්පාදන 4ක් පැමිණි අතර දර්ශන 429ක් වේදිකාගත විය.
අමාලි දීපිකා දහනායක විසින් මේ නිර්මාණය කර ඇත්තේ එහි පස්වන නිෂ්පාදනය විය යුතුය. ''කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය සිංහල ස්වතන්ත‍්‍ර නාට්‍ය නිර්මාණ අතර පළමු ''විකාරරූපී” (Absurd) නාට්‍යය බව සැලකේ. ධම්ම ජාගොඩගේ ”කොරා සහ අන්ධයා” බන්දුල විතානගේ ගේ ”ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්” වැනි ස්වතන්ත‍්‍ර විකාරරූපී නාට්‍ය බිහි වූයේ ද සැමුවෙල් බෙකට් (පරපුටුවෝ) ඉයුජින් අයනෙස්කෝ (''පුටු” සහ ''හස්තිරාජ මහත්තයා”) වැනි යුරෝපයේ විකාරරූපී නාට්‍යකරුවන්ගේ නාට්‍ය කෘති සිංහල වේදිකාව මත පරිවර්තනය - අනුවර්තනය වන්ට පටන්ගත්තේ ද ”කවුරුත් එන්නේ නෑ” නාට්‍යයෙන් ඉක්බිතිවය.
අයනෙස්කෝ, බෙකට්, ඇඩමෝෆ් ආදීන්ගේ අසම්මත නාට්‍ය රටාව, ‘විකාරරූපී‘ (Absurd Theatre) ලෙසින් නම් කළේ ප‍්‍රකට නාට්‍ය විචාරකයකු වන මාර්ටින් එස්ලින් විසිනි. නමුත් අයනෙස්කෝ විකාරරූපී ලේබලයට එතරම් කැමැත්තක් නොදැක්වීය. ඔහු එක් සාකච්ඡුාවකදී කියා සිටියේ තමන් ද ශේක්ස්පියර් ආදීන් ද ඇතුළත් ප‍්‍රධාන නාට්‍ය ධාරාවෙහිම සාමාජිකයන් බවය. ඔහු ‘පුටු‘ නාට්‍ය හඳුන්වන්නේ ද ශෝකාන්ත ප‍්‍රහසනයක් (Tragic - Farce) ලෙසිනි. මේ ආකාරයටම පතිරාජ එල්. එස්. දයානන්ද සිය ''කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය විකාරරූපී ශෛලිය නොවන බව පවසා තිබේ. නමුත් ඔහු එම ශෛලියට අදාළ සමීපත්වයක් තිබුණු බව පෙනේ. එච්. ඞී. පේ‍්‍රමරත්න රචනා කළ
''යකාගේ කම්මල” (1964) පතිරාජ එල්. එස්. දයානන්ද නිෂ්පාදනය කළ මුල්ම වේදිකා නාට්‍යයයි. ඉන් පසු ඔහු ''දියසේන” (1967) නමින් ද නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එය විකාරරූපී රංග ශෛලිය පිළිබඳ කළ පර්යේෂණාත්මක අත්හදා බැලීමක් ලෙසද විචාරකයන් හඳුන්වා ඇත. මේ නාට්‍යයේ මංගල දර්ශනයට ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ එවක කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළ ඒ. ජේ. සෙල්වදොරේය. ඔහුට සැමුවෙල් බෙකට්ගේ Waiting for Godot නාට්‍යය ''ගොඩෝ එනකං” නමින් සිංහලට නැඟීමේ අදහස පහළ වූයේ ”දියසේන” නාට්‍යය නැරඹීමෙන් බව කියැවෙයි. ”ගොඩෝ එනකං” නාට්‍යයේ නිෂ්පාදන කටයුතුවලට පතිරාජ එල්. එස්. දයානන්ද ද දායක වී ඇත. මේ නාට්‍යයේ මංගල දැක්ම අවස්ථාවේ විකාරරූපී නාට්‍ය කලාව සම්බන්ධයෙන් මහාචාර්ය ඒ. ජේ. සෙල්වදොරේ හා මහාචාර්ය ඈෂ්ලි හල්පේ කළ කතාබහ පතිරාජ එල්. එස්. දයානන්දට වැඩි බලපෑමක් කළ බවත්, ”කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය එහි ප‍්‍රතිඵලය බවත් විචාරකයෝ පවසති.
පතිරාජ එල්. එස්. දයානන්ද පසුකාලීනව සිනමාවට යොමුවූ අතර ඒ අතර ඔහු නිර්මාණය කළ ''ආයිත් ඉතින් හෙට” (1976) ''පැමිණිය නොහැක” (1981) ''හූනෝ” (1980) ''පිහාටු කඩා හැලේ” (1990) ''කැණිමඬලේ විනිසුරුවෝ” (1990) ''පේරැස් මුද්ද” (1991) ''මුතුකැටයේ පලූද්දක්” (1996) වැනි වේදිකා නාට්‍ය එතරම් සාර්ථක වුයේ නැත. ඔහුගේ ''කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය ඔහුගේ නාට්‍ය අතර විශිෂ්ඨම එක ලෙස සැලකේ. අමාලි දීපිකා දහනායක නවක නිර්මාණ ශිල්පිනිය එම පිටපත නව නිෂ්පාදනයක් ලෙස වේදිකාගත කිරීමට ගත් තීරණය පැසසුම් කටයුතු වන්නේ අඩ සියවසකට පසු වුවද මේ නාට්‍යයේ අගය හීන වී නැති හෙයිනි.
ඒ අතර අමාලිගේ නව නිෂ්පාදනයේ ඇති අඩුලූහු`ඩුකම් කිහිපයක් වෙතද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. විකාරරූපී ශෛලියෙදී දෙබස් අතර, නිදසුනක් ලෙස ඇතැම් විට ප‍්‍රශ්නයක් ඇසීම හා එයට පිළිතුරු දීම අතර යම් කාල පරතරයක් පවතී. එය බොහෝ විට අපට අපේ සිතෙහි ඇති සියල්ල එලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ඇති භාෂාමය බාධාව මෙන්ම අප අතර සංවාදයක් ගෙන යාමට ඇති දුෂ්කරතාව සමග සම්බන්ධ වේ. එම කාල පරතරය මෙන්ම වේදිකාව මත ඇති දීර්ඝ නිහඬතා පේ‍්‍රක්ෂකයාගේ වින්දනයට බාධාවක් නොවන්නේ පේ‍්‍රක්ෂකයා නාට්‍යයේ හැඟීම සමග බද්ධ වී සිටීම නිසාය. නමුත් ”කවුරුවත් එන්නේ නෑ” නව නිෂ්පාදනයේ රංග ශෛලිය ස්වාභාවවාදී එකක් ලෙස පේ‍්‍රක්ෂකයාට හැඟී යන අතර දෙබස් අතර ඇතිවන කාල පරතරය නළු නිළියන්ගේ ආධුනික බව හෝ පෙළ කියවීමේ ප‍්‍රමාදයක් හෝ නළු නිලියන් පිටපත සමග හොඳින් පුහුණු නොවීමේ ප‍්‍රශ්නයක් ලෙස හැඟී යයි. එය නිර්මාණ ශිල්පිනිය සිය දැඩි අවධානය යොමු කළ යුතුව තිබෙන කරුණකි. පොදුවේ ගත් කළ නාට්‍යයේ නිෂ්පාදනයට අදාළව තවත් සුසර කරගත යුතු පැති තිබෙන බව පෙණුනත් අප දුටුවේ නාට්‍යයේ පළමු දර්ශනය නිසා නාට්‍යයේ ඉදිරි දර්ශන වාර තුළ ඒවා නිවැරදි කර ගැනීම අපහසු නොවනු ඇත. ඒ සියල්ල අතර ”කවුරුවත් එන්නේ නෑ” නාට්‍යය අප කවුරුත් පැමිණ නැරඹිය යුතු නාට්‍යයක් බව නම් කිව හැකිය. ”කවුරුවත් එන්නේ නෑ” නාට්‍යයේ 1969 ප‍්‍රථම දර්ශනයෙන් පසුව එය නැරඹු සුගතපාල ද සිල්වා නාට්‍යවේදියා පතිරාජ එල්. එස්. දයානන්දට එවූ ලිපියක ලියු මේ අදහස පේ‍්‍රක්ෂකයාට උත්පේ‍්‍රරකයක් ලෙස සටහන් කර තබමු.
''වෙනත් මිනිසකුගේ ජීවිතය මිට මොළවා ගන්න ඕනෑම කලාකාරයකුට අපූරු වාසනා ශක්තියක් තියෙන්න ඕනෑ. ඔබේ අතැඟිලිවලට අහු වුණේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති, අත්දැකීමෙන් මහලූ වුණු රචකයකුට උරුම වූ විෂයයක්. ‘කවුරුවත් එන්නේ නෑ’ නාට්‍යයෙන් අපි කම්පා වුණා. සසල වුණා. නාට්‍යකරුවකු හැටියට ඔබ කළ යුත්තේ ඒකයි”
Comments
Post a Comment