නටඹුන් නූතනත්වයක තතු...



(උපුල් සේනාධීරිගේ පළ කළ ‘ගොම්මන කුසුම් උයනක’ කාව්‍ය එකතුව ගැන සටහනක්)

නූතනත්වය යනු සබුද්ධිකත්වයයි. (වෙබර්)

නූතනත්වය යනු නාගරික ජීවිතය හා මූල්‍ය ආර්ථිකයයි. (සිමෙල්)

නූතනත්වයහි කාල නිර්ණය වශයෙන් ගතහොත් එය 18 වැනි සියවසේ ප‍්‍රබුද්ධ ව්‍යාපාරයෙන් හා ප‍්‍රංශ විප්ලවයෙන් ඇරඹෙයි.

උපුල් සේනාධීරිගේ කවියාගේ නවතම කාව්‍ය සංග‍්‍රහය වන, ‘ගොම්මන කුසුම් උයනක’ කෘතිය කියවීමට නූතනත්වය පිළිබඳව යම් එළඹුමක් අවශ්‍ය බව අපි විශ්වාස කරමු. උක්ත උපුටා ගැනීම ඒ වෙනුවෙනි.

එයින් අදහස් වන්නේ උක්ත කෘතිය නූතනත්වය හරය කරගත් කෘතියක් බවද? නැත. ඒ වෙනුවට අප කියන්නෙ, එය නූතනත්වයේ අභාවය පිළිබඳව වන පශ්චාත්තාපයක් බවයි. සිංහල කාව්‍ය ක්ෂෙත‍්‍රයේ බහුලව හමුවන ග‍්‍රාමීය කෘෂි සමාජය අහිමිවීමේ පශ්චාත්තාපයෙන් එය පැහැදිලි වෙනසකි.

එය එකම නටඹුන් නගරය කි. සැමතැනම දැකිය හැක්කේ නූතනත්වයේ උරුමයන් වන නාගරිකත්වය හා මානව සබදතා, සමානාත්මතාවය නටබුන් ව ගොස් ඇති ආකාරයයි. ඒ පිළිබඳ කවියාගේ පශ්චාත්තාපයයි. නැතිනම් විරෝධය යි. ඒ නටබුන් නගරය මැදින් වඩාත් නිවැරැුදි ව කිවහොත් ඒ නටබුන් තුළින් මතුවන පසුනූතන සමාජයේ මූලාංකුරද එහි වෙයි.

බලන්න මේ උදුරා  ගැනීම්....


චිමිනි බටයක් දිගේ

කේතුවක් විලාසෙන්

ඉරගලට මුවා වී

අහස් පලකය මතුයෙහි

නුබ බොඳ ව යන අයුරු

එරන් හිනි පාමුලෙහි

නැඹුළු වත වකුටු කොට

මම හෙවමි සිහිනයක

         (නුඹ නමින් ටැටුවක්  පි.55)


ද්වාරය දෙපස සිටි

මුරකාර පහන් ටැම්

තනි ඇසක් දල්වාන

මැඳුර වෙත නෙත් හෙළයි


ඉදිරිපස පවුර මත

බෙලසුන් ව ගිලිහෙනා

දූලි මුසු වතුර වැකි

සෝ ප‍්‍රකාශයක් මත

විස්සෝප මුහුණක් ය..

        (සාක්ෂියක් ඇවැසිව ඇත පි, 81)


මේ නූතනත්වයේ මිනිසෙකු ගැන නොවේද?


විසුළ කණිකා දිලූණු

උතුල මී මිණි බඳුන්

ඉපිලෙනා මල් අතර

සරන බි`ගු මිනිසා ය

....................................

පවර තු`ගු මහල් නැ`ගි

මහරු නුවරක් වුව ද

උජු කයින් නැ`ගී හුන්

සාධුවර මිනිසා ය.

          (නඳුන් විඳැවුම්  පි,50)

මේ ආකාරයට නූතනත්වය හා එහි රූපකායන් පිළිබඳ ඇති තරම් නිදර්ශන කාව්‍ය සංග‍්‍රහය තුළින් සොයා ගත හැක.

අප කැමති වුවද අකමැති වුවද නූතනත්වය අපට සම්මුඛ විය. ශිෂ්ටාචාරය නුතනත්වයේ දරුවෙක් ලෙස යළි වැඩුනේය. හේතුව ද තර්කනයද පාදක වූ ශිෂ්ටත්වය දෙවියන් මරා දැමීය. සාමූහිකත්වය වෙනුවට පුද්ගල භාවය ඔසවා තැබීය. අවසානයේ සියලූ මහා ආඛ්‍යානයන් දිව වී ඒ නටබුන් මතින් පසු නූතනත්වය උදාවිය.

බලන්න මේ කවිය,

සුහුරු තෙලබනු අතර

අවල ආදර තෙපුල

වණික් ජිංගල් නදින

වෙළෙයි වෙන තත් මුසු ව

ගොදුරු වෙත ම ය නතු ව

..............................................


නැණ පහන් සිළු නිවුණු

සුවඳ වත්සුණු අසපු

නියොන් එළි ගිනිකණෙහි

කළල් ගොජලන කළපු

            (පියාපතක් වූ ජීවිතයක් ,පි36)

නව වටයකින් යළිත් මානව ශිෂ්ටාචාරය අවතැන් වී ඇති සෙයකි. මේ නිම නොවන කාංසාබරිත නිදහසින්  ගැලවීමට කවියා යෝජනා කරන්නේ, මරා දැමූ දෙවියන් යළි උත්ථානය කිරීමයි. නමුත් ඒ වඩා මානුෂිකකරණය වූ දෙවියකි.


යළිඳු සැකසිය යුතු ය දෙවියන්

එහෙයින් ම පුදසුනෙහි හිඳුවා

....................................................

නේක අවි හා දේව භරණ ද

නාගයන් ගරුඬන්ද ගව දෙන

මුදා හැරියෙමි නුදුරු වනයට

අසල සංහිද බිමෙහි හිඳුවා

පැවසුවෙමි දෙවියන්ට හෙමිහිට

මොන බරක් දෝ එ හැම ඔබ වෙත

...................................................

දෙවිඳු සැනකින් අහස කළුමැද

වැසි පළ`ග බිම හොවන තුරු

මතු ව සුහුඹුල් දෙපෙති මතු කොට

නැෙ`ගනයුරු මල් මංජරිය

නෙළෑ අගහස් කොටස නිකැලල්

පුදන විට බැති හදිනි දෙවිඳුට

දෙවිඳු මුමුණයි මගේ සවනට

සම සම ව මිතුරන් පිදිය යුතු

              (සහෝදර දෙවියන් ,පි57)

දැන් අපි කාව්‍ය සංග‍්‍රහයේ ව්‍යුහාත්මක සංරචනය වෙත එළඹෙමු.

  කවිය මතු නොව නවකතාව, කෙටිකතා ව ආදී සාහිත්‍යාංගයෝ ද අති සිල්ලරකරණයට භාජනය වී ඇත. (මහා අඛ්‍යාන බි`ද වැටීම*, විශේෂයෙන් කවිය හා කෙටිකතාව, නවකතාවට සාපේක්ෂව පසුගිය දශකයේ යම් සංකීර්ණත්වයක්, තේමාත්මක විවිධත්වය ක් හා ගැඹුරක් ව්‍යුහාත්මක සංරචනයේ විවිධත්වය ක් ලබා ගත්තද මේ මොහොත වන විට එය සීග‍්‍රයෙන් නාය යනු පෙනේ. ‘කෝලා’ වීදුරුවක් සමග ආහාරයට ගන්නා ක්ෂණික නූල්ඞ්ස් රසය හා කවියක් කෙටිකතාවක් ඇසුරු කරමින් ලබන රසය අතර වෙනස මැකී යමින් පවතී. නවකතාව ද කෙතරම් දියුණු, සංකීර්ණ තේමාවන් හසුකර ගත්තද එයද ‘රීඩබල්’ උගුලේ හසුවී ඇත.

‘ගොම්මන කුසුම් උයනක’ කෘතිය කියවීමට ලැබෙන්නේ මෙවන් සන්දර්භයක සිටය.

එහි භාෂාව වඩාත් ලංවන්නේ, පැරැුණි සම්භාව්‍ය කාව්‍ය භාෂාව ට ය. උදාහරණ වෙන් වෙන්ව නොදක්වන්නේ සෑම කවියක් ම ඊට උදාහරණයක් වන බැවිනි. එය කවියේ තේමාත්මකයට අපූරුවට බද්ධ වේ. උපයුක්ත කාව්‍ය උපක‍්‍රමයෝද, භාෂා අලංකාරිකයෝද පට්ටා ගසා පිළුණු වූවෝ නොවෙත්. සීග‍්‍රයෙන් කියවිය හැකි භාෂාවක් ද, රිද්මයක්ද එහි නොමැත. කියවා අවසන් වූ සැනින් ඇ`ග හිරිගඩු නගන, ඇස කඳුළින් තෙත් කරන සංවේදනා ගුලියක් ද එහි නැත. කෙටියෙන් ම නූතනත්වයේ ගාම්භීරත්වය කාව්‍ය සිරුර පුරාම විසිරී ඇත. ඒ කවි සීරුවෙන් කියවිය යුතුය. කවිය ළ`ග තත්පර විය යුතුය. කවිය තුල යම් අර්ථමය කනිකාවන් ඇත්නම් ඒවා මහන්සියෙන් තෝරා බේරා ගත යුතුය. එය තරමක වෙසෙකර මුදු සුන්දර අභ්‍යාසයකි.

නූතනත්වය වෙතින් ඉපිද , එහි නියාමයන්ට ගරු කළ, විශ්වාස කළ පරපුරක් ඉදිරියේ ම නූතනත්වයේ ගරුකටයුතු භාවය, ඒ තුළින්ම උපන් බග රටාවන් තුළින් ම දියව ගොස් පසුනූතනත්වය ඉපදෙනු අපි දුටුවෙමු.

එබැවින් ශිෂ්ටාචාරයේ ඊළ`ග මොහොත පිළිබඳව යම් සංශයවාදී භාවයක් කෘතිය පුරාම දැකිය හැක. නමුත් ඉතිහාසය යනු මානව ක‍්‍රියාකාරිත්වයේම ප‍්‍රතිඵලයක් බව අපි විශ්වාස කරමු. අවශ්‍ය වන්නේ ඉතිහාසයේ ගමන් මග වඩා යහපත් කරන මානව ක‍්‍රියාකාරිත්වයකට මැදහත් වීම බවද අපි විශ්වාස කරමු.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?