අල්බොරාදා - කලා අවකාශයේ තාරකාවක් ව්‍යවච්ෙඡ්දනය කිරීම




1904 චිලියේ පරාල් නගරයේ උපන් රිකාඩෝ බැසෝ අල්වෝගේ පියා දුම්රිය කම්කරුවෙකි. ගුරුවරියක් වූ මව, ඔහුගේ ඉපදීමත් සමග මිය ගියාය. වයස අවුරුදු 10-13 කාලයේ ලිපි හා කවි ලිවීම ඇරඹු රිකාඩෝ වයස අවුරුදු විස්සේ දී තම උපතින් ලද නම වෙනුවට පැබ්ලෝ නෙරුදා යන නමින් තමන් හඳුන්වා ගන්නට යෙදුනි. දහනවවන සියවසේ දී චෙකොස්ලොවැකියාවේ කවියෙක් මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ‘ජැක් නෙරුඩා’ නම් මාක්ස්වාදීන් නිර්මාණකරුවාගේ නිර්මාණ තමන්ට තදින්ම බලපෑම හේතුවෙන් ඔහුගේ නම භාවිතා කරමින්, පැබ්ලෝ නෙරුදා යන ලේඛක නාමය සකස් කරගෙන තිබිණි.

‘විසිවන සියවසේ ලොව පහළ වූ විශිෂ්ටතම කවියා පැබ්ලෝ නෙරුදා ය.’ 

ගේබි‍්‍රයල් ගාර්ෂියා මාර්කේස්

කවිය යනු භාෂාව තුළින් අර්ථ සැපයීමය. භාෂාව වචන අපූර්වත්වයෙන් යුතුව ගැලපීම සහ ඒ තුළින් පේ‍්‍රමය ශෘංගාරය වේදනාව ජීවිතය පිළිබඳ හැගීම්බර අර්ථ සැපයීම යි. නෙරුඩා යනු මේ සියළුම හැගීම් කවියට මුසු කළ කවියාය. 

සිය තරුණ වියේදීම තානාපති සේවයට සම්බන්ධ වන නෙරුදාට 1929 දී ලංකාවේ චිලී කොන්සල්වරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. 1945 චිලී කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව 1947දී සෙනෙට් සභිකයෙකු ලෙස ද සේවය කරයි. 1948 එහි ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් වීම නිසා ආජන්ටිනාවට පලායාමට තරුණ කවියාට සිදුවිය. ඔහුගේ කවියේ ඇති වාමාංශික නැඹුරුව මෙන්ම සමාජ විශ්ලේෂණය හේතුවෙන් 1950 ත්‍යන්තර සාම ත්‍යාගය මෙන්ම 1953 දී ලෙනින් සාම ත්‍යාගය ඔහුට හිමි විය. 1971 දී පැබ්ලෝ නෙරුදා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ලාංකිකයන් අතර විශේෂයෙන්ම වාමාංශික තරුණ විප්ලවවාදී අතර නෙරුදා ආකර්ෂණයක් වීමට බලපෑවේ ද 1971 දී ඔහු පිළිබඳව ලොව පුරා පැතිර ගිය සාකච්ඡුාවයි. චිලී කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 1970දී පැබ්ලෝ නෙරුඩා ගේ නම යෝජනා වූවද එය සහෝදරාත්මක ව ප‍්‍රතික්ෂේප කරමින් එම අවස්ථාව සමාජවාදී පක්ෂයේ සහෝදරයකු වන සැල්වදෝර් අයන්දේ වෙත ලබාදුනි. 

ජනධිපතිවරණයෙන් ජය ලැබූ අයන්දේ් ගේ පාලනයට අමෙරිකා එක්සත් ජනපදයේ කුමන්ත‍්‍රණකාරී බලපෑම් එල්ල වූ විට ඊට එරෙහිව නෙරුඩා් සිය කවිය තුළින් මතයක් ජනගත කළ අතර මේ නිසා කුමන්ත‍්‍රණකරුවන්ගේ ඉලක්කය ඔහු වෙතද යොමුවිය. අයන්ඳේ ගේ පාලනය සමයේ හමුදා නිලධාරියකු වූ පිනෝචේ විසින් ඇයඳේ සහ ඉ ආහාර ඇතුළු සමාජවාදී රජයේ නියමුවන් රාශියක් ඝාතනය කරන ලදී. පිළිකාවක් හේතුවෙන් රෝහල් ගත කර සිටී බසරමාය් වෙතද ඒ ඝාතන අවි එල්ල විය කුමන්ත‍්‍රණකාරී ලෙස විෂ සහිත එන්නතක් ඔහුට ලබා දීමත් ඒ පිළිබඳ සැකසීම නිසා ඔහු රෝහලෙන් පලායාමක් ඉන් පැය කිහිපයකට පසුව ඔහු මිය යාමත් සිදු විය. ඒ 1973 සැප්තැම්බර් 23 වෙනිදා ඒ වන විට කවියාට වයස අවුරුදු හැට නවයක් විය.

පසුකාලයක නෙරුදා ඔහුගේ මතක සටහන් ඵැපදසරි නම් කෘතිය තුළින් ප‍්‍රකාශයට පත් කළ අතර ලංකාවේ සේවය කළ 1929-1930 කාලයේ සිදු වූ ඔහුගේ සිත සසල කළ සිදුවීමක් ලෙස යම් සටහනක් තැබීමටද ඔහු අවංක විය.

”එක් උදෑසනක මෙහි කෙළවරක් දැකීමට මම තීරණය කළෙමි මම ඇගේ මැණික් කටුව ැඩිව ග‍්‍රහණයට ගෙන ඇගේ ඇස් වලට එබී බැලූවෙමි ඇය සමග කථා කළ හැකි බසක් නොවීය සිනාවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර ඉතා සුළු වෙලාවක් ඇතුලත මගේ ඇඳ මත නිරුවත් වූවාය ඇගේ සිහින් ඉගත් පුපුරන්න තරම් පුන් පියයුරු ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පැරණි පිළිම වලින් එකක් බවට පත් කර ඇත එය වූ කලී පුරුෂයකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඒ මුළු කාලය පුරාම ඇය ඇස් හායි ගා ඇරගෙන සිටියාය ඇය මා පිළිකුල් කිරීම නිවැරදිය එය නැවත සිදු වූයේ නැත.”

(Memoirs, ‘මට මතක මම’, පරිවර්තනය සමන් වික‍්‍රමාරච්චි)

විසිවන සියවසේ ශ්‍රේෂ්ඨ කවියා ලෙස ගාර්ෂියා මාකේස් විසින් හඳුන්වා දුන් පැබ්ලෝ නෙරුදා ගේ මතක සටහන් අතර ඇති ඉහත කොටස මෙම සාහිත්‍යකරුවා පිළිබඳව වූ කතිකාව සංවාදයට ලක් කරවීය. ඔහුගේ කවි තුළ අන්තර්ගත මානුෂීය අදහස් ප‍්‍රශ්න කරමින් ස්ත‍්‍රීවාදී සංවිධාන සහ සමාජ ක‍්‍රියාකාරීන් මියගිය නෙරුදා ට එරෙහිව අවි අමෝරාගත් 2018 වසරේ දී සන්තියාගෝ ගුවන්තොටුපළට පැබ්ලෝ නෙරුදා ගුවන්තොටුපළ යන නම යෙදීමට චිලියේ ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව ය. සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණින් සන්තියාගෝ අගනුවර ගුවන්තොටුපල නෙරුඩා සම්මානනීය කවියාගේ නමින් නම් කිරීමට එරෙහිව ස්ත‍්‍රීවාදීන් මානව හිමිකම් හා සමාජ ක‍්‍රියාකාරීන් සංවිධානය වී විශාල උද්ඝෝෂණයක් පැවැත්වූහ. ප‍්‍රසිද්ධ කලාකරුවකු වීම නිසාම ස්ත‍්‍රී අපයෝජකයකු වීමට වරම් ලැබීමක් ලෙස සැලකීමද සිය රාජ්‍ය තාන්ත‍්‍රික වරප‍්‍රසාද හා කීර්තිය තුළින් හඬක් නැති අසරණ කම්කරු ස්ත‍්‍රියක් ලිංගික අපහරණයට ලක් කිරීම බරපතළ වැරැුද්දක් බව නූතන කරුවෝ එක හඬින් කියා සිටියහ.

අශෝක හඳගම සිය අල්බරාදෝ සිනමාපටය තුලින් නෙරුඩා එවන් වූ සරල මිනිසෙක් ලෙස හඳුන්වා දෙනුයේ සිනමාපටය පුරාම ඔහුගේ හැසිරීම ඒ තුළ යම් ආකාරයකට සාධාරණිකරණය කිරීමට දැයි හැ`ගුමක් ඇති කරයි. ලංකාවට පැමිණෙන විට වයසින් අවුරුදු 25ක යෞවනයා තුළ තාරුණ්‍ය සතු ගති ලක්ෂණ නොඅඩුව පෙන්නුම් කරයි. ඔහු සතු රූපකාය සහ සමාජ ආකර්ෂණය සහිත කවිත්වය හා කීර්තිය හරහා යෞවන වියේදීම බොහෝ සුරූපී කාන්තාවන් ඇසුරු කළ පේ‍්‍රමාන්විත චරිතයක් සේ හඳුනාගත හැක. එනිසාම ඔහුට විශේෂයෙන්ම කාන්තා ආකර්ෂණය නොඅඩුව ලැබුණි. 

‘අල්බොරාදා‘ තුළ නෙරුදාට පළමුවෙන් රූමතියක මුණගැහෙන්නේ සාදයක දී ය. සාදයට යන අතර මග ඔහුට මෙරට සමාජ සංස්කෘතික ලක්ෂණ සහ කලාවේ සංගීතයේ මුහුණුවර හඳුනා ගැනීමට හැකිවේ ගරා යක් මුහුන එල්ලා ගත් කොලූගැටයෙක් ඔහු අභිමුඛයට පැමිණීමත් ඒ ගරා යක් මුහුන සමග පසුබිමෙන් ඇහෙන යක්බෙර ශබ්දයක් තුළ නෙරුඩා උමතු වෙයි.

‘පේ‍්‍රම කරමි මම සේලරුවන්ගේ ආදරයට මුව සිප ඊළඟ මොහොතේ නික්මී යන’

සාදයෙදි හමුවන ටැප්සි නම් රූමත් තරුණිය තමා කවුදැයි ඔහුට හඳුන්වා දෙන්නේ ඔහුගේම කවියක පද කිහිපයකිනි. එහෙයින් පුදුමයටත් උද්දාමයට පත්වන ඔහු ඇය හා කුළුපග වෙයි. කවිත්වයේ වරප‍්‍රසාදයෙන් ටැප්සි නෙරුදා ට ආදරය කරයි. නෙරුදාට වඩා ඔහුගේ කවියට ආදරය කරයි. ඇය ලිංගිකව එක් වන්නේ නෙරුදා් සමග නොව ඔහුගේ කවිය සමගින් බව චිත‍්‍රපටය තුළ හැ`ගවුම් කරයි.

නෙරුදා ඇයව හමු වන්නේ කොළඹ හතේ ගිල්බට් ක්‍රෙසන්ට් හී පිහිටි ලයනල් වෙන්ඞ්ට් නම් වූ ඡුායාරූප ශිල්පියාගේ නිවසේ පැවති සාදයක දී ය. ඔහුගේ මේ නිවසට අල්බොරාදෝ යන නම තැබුවේද නෙරුඩා විසිනි. නෙරුඩා සහ ලයනල් අතර පැවතියේ ඉතාම සමීප මිත‍්‍ර සබඳතාවකි. සිනමාපටය තුලින් අශෝක හඳගම නෙරුඩාගේ ලිංගික ක‍්‍රියාකාරකම් සේම ලයනල් වෙන්ඞ්ට් ගේ ලිංගික හැසිරීම් ද සියුම්ව මතු කරයි. නෙරුඩාගේ නිල නිවස පිහිටා ඇත්තේ වැල්ලවත්තේ වෙරළාසන්න ප‍්‍රදේශයේය. අල්බොරාදා තුළ ප‍්‍රධාන නිශ්චිත චරිතයක් හා සංකේතීය මෙවලමක් වන්නේ නිවෙස මධ්‍යයේ තැන්පත් කර ඇති දකුණු ඉන්දීය පැරණි පාර්වති ප‍්‍රතිමාවයි. ස්ත‍්‍රී ශරීර අංගෝපාංග පරිපූර්ණ ලෙස නිරූපිතව නිර්මිත වූ මේ පැරණි දකුණු ඉන්දීය ප්රතිමාව තුළ පුනර්ජීවය සහ වයමනය නියෝජනය වන බව පුරාවෘත්ත වල සඳහන්ය.

නෙරුදා ලංකාවට පැමිණෙන්නේ පලා යෑමක් ලෙසයි. ලංකාවට පලා ඒමට පෙර ඔහු බුරුමයේ රැුංගුන් නුවර ජීවිතය ගත කරයි. එහිදී ඔහු ආදරයෙන් බැඳුනු යුවතියක් වන්නේ ජොසී බිලිස්ය. ඇය කවියට සේම නෙරුදා ට අසීමිතව ආදරය කරන්නියකි. ඇයගේ එම ආදරය මාරාන්තිකයකි.

ඒ නිසාම ඇය නෙරුඩාට අඳුන් දිවි දෙනකි. ඔහු ඇයටත් හොරෙන් ලංකාවට පලා එන්නේ ඇයගේ මේ අසීමිත ත‍්‍රස්තවාදී ආදරෙන් දිවිගලවා ගැනීමට ය. නමුත් ඔහු නිවසේ දොර විවෘත කරද්දී ඇය කියුබානු සුරුට්ටුවක් උරමින් සහල් මල්ලක් හිස දරා පැදුරක් ද ඔතා අතකින් ගෙන ගෙයි දොරකඩ සිටින්නේ නෙරුදා් බලාපොරොත්තු නොවූ පරිදි ය. ඔහු ඇය එලියේ දමා දොර වසා නිවස තුල සැඟවේ. ඇය උමතුවෙන් නිවස එළිපත්තේ දිවා රෑ පහන් කරද්දී නෙරුඩා පිටුපස දොරින් සිය පෙම්වතිය ගෙට ගන්නේ නෙරුදා යනු කවරෙක්දැයි හැගවුමක් ලබා දෙමිනි. ජොසීට අනුව නැන්දා ඇයගේ අයිතියකි. ඔහු ආදරය කළ යුත්තේ ඇයට පමණි. ඒ ඊර්ෂ්‍යාව සහිත උමතු ආලය ඉදිරියේ ඔහු නිරුත්තර ය. අවසානයේ ඇය ඔහු දමා යාමට තීරණය කරයි දරයෙන් ප‍්‍රචණ්ඩ වූ ඇය ඔහුගේ පාමුල හඬා වැටෙන ඇයගේ කඳුළු ඔහුගේ පාමුල ගලා යයි. ඔහුගේ දිස්නය දෙන සපත්තු වල තැවරූ පොලිස් ඇයගේ දෙකක්ම ලේ පැල්ලමක් සේ තැවරී යයි. නෙරුදා නම් වූ කවියා ගේ සිත ඉන් සසල නොවේ. එතනදි ඔහු දැඩි පුරුෂෝත්තමවාදී දෘෂ්ටියකින් යුතුව ඊට මුහුණ දෙයි. 

පැබ්ලෝ නෙරුඩා, වැල්ලවත්ත නිල නිවස තුළ විමසිලිමත් වන්නේ වැසිකිලිය තිබෙන ස්ථානය පිළිබඳවයි. නිවුස් තුළ වැසිකිලියක් දක්නට නොමැත. අවසානයේ දී ඔහුට එය හමුවූයේ නිවස පිටුපස කොණකය. කුඩා වළක් තුළ බාල්දියක් තබා ඇති එම එම කුඩා මඩුව තුළ ඔහුට කුතුහලයක් ගෙනදෙන්නේ බාල්දිය දිනපතා පවිත‍්‍ර වන්නේ කෙසේද යන්නයි. 

1929 යනු ලාංකීය සමාජය හා යටත්විජිත පාලනයට නතු වූ වකවානුවකි. ඉංග‍්‍රීසින් විසින් ලංකාවට ගෙනා කම්කරුවන් අතර ඉන්දියාවේ කුල ධූරාවලියේ පීඩනයට ලක් වූ කුලවල කම්කරුවන්ට සිටි බවට සාක්ෂි ඇත. නෙරුඩා මෙන්ම බොහෝ රාජ තාන්ත‍්‍රික නිලධාරීන්ගේ නිවෙස්වල වැසිකිලි පවිත‍්‍ර කිරීම මොවුන් ලවා කරගත් බව සඳහන්ය. ස්ත‍්‍රී පාර්ශවය එම සේවය කළ අතර පුරුෂ පාර්ශවයේ මිනී වළවල් හෑරීම රික්ෂෝ කරත්ත ඇදගෙන යාම වැනි කම්කරු කටයුතුවල යෙදුනි. 

නෙරුඩා, ඔවුන් කමින් බොමින් ප‍්‍රීති වන තැනට රික්ෂෝවෙන් ගොස් ඔවුන් සමග කමින් බොමින් නටමින් ප‍්‍රීති වන්නේ කුලය වර්ගවාදය ඔහුට අදාළ නොවන හෙයිනි. එම කුලයේ ජනයාගේ ස්පර්ශයක් ‘කිලිටි‘ වනවා යැයි දැඩි ලෙස දෝෂයට ලක් කරමින් රත්නයියා නමැති සේවකයා නෙරුඩා මුහුදට තල්ලූ කරන්නේ ද එම අදහසිනි. දිනපතා වැසිකිලි පෝච්චිය සුද්ධ පවිත‍්‍ර වන්නේ කෙසේදැයි යන කුහුල විසඳාගැනීම සඳහා නෙරුඩා නොනිදා රැය පහන් කරයි. පා සලඹක මිහිරි හඬක් සම`ග ඔහු ඇස ගැසෙන්නේ ඔහු නොසිතූ දර්ශනයකි.

මේ සුන්දර ස්ත‍්‍රිය දුටු දිනයේ ම තම නිවසේ මැද තිබූ පාර්වති පිළිමය දෝතින්ම වැළඳ ගෙන විත් තම නිදන කාමරයේ තැන්පත් කර එය ස්පර්ශ කරන නෙරුඩා, ඉන් අනතුරුව මේ කසළ ශෝධක ස්ත‍්‍රියව දකින්නේ ප‍්‍රතිමාව තැන්පත් කළු මිශ‍්‍ර රන්වන් වර්ණයෙනි.

වරප‍්‍රසාද ලත් රාජ්‍ය නිලධාරරියකු ලෙස ඔහු ඔහුගේ බලය අව භාවිත කළේය. හැ`ගීම් සමග යටත් විජිත පාලක නිලධාරීන් සතු අධිකාරි බලය හරහා පීඩිත කාන්තාවන් වෙත මුදාහරින ලිංගික බලපෑමක් තරුණ නෙරුඩා විසින්ද මුදාහරිනු ලබනවා. 

කිසිදු සිවිල් බලයක් නොමැති අවවරප‍්‍රසාදිත කම්කරු ගැහැනිය බලෙන් නතුකර සේ ඇඳ මත හොවා ඇයව ලිංගිකව අපයෝජනය කරනුයේ භීතිය හා අවසන් මොහොතේ හෝ ගැලවී යාමේ උත්සාහය මධ්‍යයේය. වරප‍්‍රසාදිත ගැහැනුන් සමග විවෘත අවකාශයේ ලිංගික හැසිරීම් කරන නෙරුදා මේ කම්කරු දෙමළ කාන්තාව සමග ලිංගිකව හැසිරීමට සංවිධානය වන්නේ දොර අගුළු දමා සිය කාමරයක සිර කුටියක් කරමිනි. 

‘ඒ වූ කලී පුරුෂයකු සහ පිළිමයක සම්භෝගයක් විය. ඒ මුළු කාලය පුරාම ඇය සිය ඇස් හායි ගා ඇරගෙන සිටියාය.’ 

(Memoirs, ‘මට මතක මම’, පරිවර්තනය සමන් වික‍්‍රමාරච්චි)

අශෝක හඳගම ‘අල්බොරාදා‘ තුළ ප‍්‍රබන්ධගත කරන්නේ ද ප‍්‍රශ්න කරන්නේ නෙරුදා තුළ සිටි මේ මිනිසාය. සන්තියාගෝ ගුවන්තොටුපල සිදුවීමේ අර හඳගම සිනමාව තුළින් මතු කරයි. හිදී පැහැදිලිවම නෙරුදා යනු ස්ත‍්‍රී අපයෝජකයෙක් යන්න පසක් කරයි. අපයෝජනයට ලක් වීමෙන් අනතුරුව මේ පහත් කුලයේ යැයි සැලකෙන කම්කරු ස්ත‍්‍රිය කෙටි වූ තම ශරීරය මුහුදේ ගිලී සෝදා පවිත‍්‍ර කරගනී කසල ශෝධක ස්ත‍්‍රියට දිනපතා මේ විදේශිකයාගේ අසූචි හිස මත තබා ගමන් ගන්නා ගැහැනියට අනෙකාගේ අපද්‍රව්‍ය තම රැකියාව කරගන්නා ගැහැනියට විදේශීය තරුණයාගේ පහස අපවිත‍්‍රය. එනිසාම ඇය සියලු අපද්‍රව්‍ය මහ මුහුදට ඇයගේ පවිත‍්‍රතාවය භාර කරයි. වැසිකිළිය භාවිත කළ යුත්තේ තමා පමණකැයි ආවතේවකම් නියෝග දෙන නෙරුදාට සිදුවන්නේ අතවැසියාගේ අසූචි ද බාල්දියට බහා හිස මත තබාගෙන යාමටය. තමා විසින් සිදු කළ අප‍්‍රසන්න ක‍්‍රියාව පිළිබඳ පසුතැවෙන පැබ්ලෝ නෙරුදා අවසානයේ අසූචි බාල්දිය හිස මත දරා වෙරළ දිගේ ඇවිද යනුයෙන් සිය හෘද සාක්ෂිය ද ප‍්‍රශ්න කරමිනි. 

ලෝක ප‍්‍රකට මානව හිතවාදී කවියා පැබ්ලෝ නෙරුදා ඔසවාතැබූ ඉහළම තැනින් පොළොවේ ගෙනැවිත් මහ පොළොවේ තැන්පත් කරන අල්බරාදෝ සිනමා නිර්මාණය තුළ නෙරුදා නම් පරමෝත්කෘෂ්ට ප‍්‍රතිමාව උස්සා පොළොවේ ගසා ඒ තුළ සිටිනා නෙරුදා නම් වූ මිනිසා මතූ කරයි. එය සිනමාව තුළ ආන්දෝලනාත්මක ක‍්‍රියාවක් ලෙස සැලකිය හැකිය. මෙම සිනමා කාව්‍ය තුළ විවිධාකාර වූ මාර්ගයන් විවිධ මානයන් කරා විවෘත වූ දොරවල් රාශියකි. හැඟවුම් රාශියක් මතු කරන හැ`ගවුම්කාරක දාමයකි. චරිත වර්ණ රූපරාමු සංගීතයේ යනාදී සියල්ල තුළින් කියවා ගත හැකි කියැවීම් රාශියකි. සාර්ථක සිනමා කෘතියක ලක්ෂණය විය යුත්තේද එයයි.




Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?