නඩු අවනඩු කෙරෙන රටකදී Jai Bhim



පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක්වූ ජනමාධ්‍ය වහරට අනුව, ‘ටින්කරින් ලසන්ත’ගේ මරණය සමාජය තුළ යම් කතා බහක් ඇති කිරීමට සමත් විය. ඒ ඔහුව ඝාතනය කිරීමට නියමිත බවට ඊට පෙරදින යම් යම් පාර්ශවයන්ට දැනගැනීමට ලැබීමත් සමගය. සැකකරුවන් ආයුධ පෙන්වීමට ගොස් වෙඩි වැදී හෝ ගඟක ගිලී මිය යාම සාමාන්‍ය සිදුවීමක් වන තරමට මෙරට සුලභය. මෙම සිදුවීම් ර`ගදක්වන නාට්‍යයන් බවත්, සැබෑ ලෙස සිදුවන්නේ සැකකරුවන් ඝාතනය බව අපි සියල්ලන් දනිමු. නමුත් අප එයින් කම්පා නොවෙයි. එම ඝාතනයට ලක්වූවන් අපරාධකරුවන්ය, ඔවුන්ව මරා දැමීම සමාජයට සිදුවන මෙහෙවරකි. මෙය සමාජයක් ලෙස අපව ඇබ්බැහි කරවූ බියකරු මිත්‍යාවකි. මෙම ඝාතනයට ලක්වන්නන්ගේ සමාජ ආර්ථික පසුබිම සොයා බැලූවහොත් එය අපට පැහැදිලිවනු ඇත. 

කොළඹ ඇතැම් පැල්පත් ප‍්‍රදේශ වල ජීවත්වන්නේ කවරෙකු වුවද  අපරාධ කරුවෙකු යැයි බාහිර සමාජය සිතයි. කුමන හෝ අපරාධයක් සිදුවූ සැනි න් සැකකරුවන් සොයා පොලීසිය පීරන්නේද මෙම ප‍්‍රදේශයි. පොලිස් ප‍්‍රශ්න කිරීම් අතරතුර පහරදීම් නිසා මියයන සැකකරුවන් ගැනද වාර්තාවන අවස්ථා දුර්ලභ නොවන නමුත් එවැන්නකට නිසි දඩුවම් ලැබුණු අවස්ථාවක් අසන්නට නොමැත. එවැනි මරණ එළියට එන්නේද ගමේ මිනිස්සු පොලිසිය වටකල විටය. නැතිනම් ඒ සියල්ල හෘදයාබාධ හෝ සිය දිවි නසා ගැනීම් බවට පත්වෙයි. අප අත්දකින මෙම යථාර්ථය මීටත් වඩා බරපතලව අත්දකින දකුණ ඉන්දීය සමාජයේ ඊට එරෙහි අරගලයක කතාවයි Jai Bhim.

චන්දෘ අපට හමුවෙන සාමාන්‍ය නීතීඥවරයෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගිය අපූර්වවූ පුද්ගලයෙකි. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක කි‍්‍රයාකාරිකයෙකු වන ඔහු උසාවියට යන ගමන් පෝස්ටර් අළවයි, අත්පත‍්‍රිකා බෙදයි, උද්ඝෝෂණයන්ට සහභාගි වෙයි, මේ සියල්ල අතරතුර දක්ෂ නීතීඥවරයකු ලෙස සිය වෘත්තියේ යෙදෙයි. වෘත්තීය තුළද ඔහු විකල්ප සම්ප‍්‍රදායක් අනුගමනය කරයි. නොමිලයේ සිදුකරන මානව හිමිකම් නඩුකරයන් සම්බන්ධයෙන් ඔහු ජනපි‍්‍රය වෙයි.

චිත‍්‍රපටය ආරම්භවන්නේ සිරගතව සිටි සිරකරුවන් පිරිසක් නිදහස්වන අවස්ථාවකිනි. එහිදී නිදහස ලබන්නට නියමිත ‘අඩුකුලයේ යැයි සැලකෙන’ සිරකරුවන් වෙන් කරන අතර ඔවුන්ව එහිදී පොලිසිය විසින් නැවත අත්අඩංගුවට ගනී. වරදකරුවෙකු සොයාගැනීමට නොහැකිවූ අපරාධයකට මොවුන් සම්බන්ධ කිරීමට පොලිසිය සැරසෙන අතර මොවුන්ට පෙර වැරදි තිබීම හා කිසිදු සමාජ දේශපාලන සවියක් නොමැති නොසළකා හරින ලද ජන කොටසක සාමාජිකයන් වීම නොකළ වරදක වැරදිකරුවන් වීමට සුදුසුකම් වෙයි. මෙය එම පොලිස් නිළධාරීන්ට හුරු පුරුදු කි‍්‍රයාමාර්ගයක් බව ඇඟවෙයි. කෙසේ නමුත් චන්දෘ මෙම පිරිසගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතර අධිකරණයේදී තහවුරුවන්නේ අදාළ අපරාධය සිදුවන විට මෙම සැකකරුවන් බන්ධනාගාරගතව සිට ඇති බවයි. එය හාස්‍යයකි. නමුත් එය ඛේදවාචකයක් වන්නේ මෙය සත්‍ය සිදුවීම් පාදක කොට ගනිමින් නිර්මාණය වූවක් වන බැවිනි.

1993 වසරේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් මෙම චිත‍්‍රපටය නිර්මාණයවන අතර මෙහි ප‍්‍රධාන  චරිතය වන පසුකලෙක ඉංදියාවේ මහාධිකරණ විනිසුරුවරයකුව සම්මත සම්ප‍්‍රදායන්ගෙන් ඔබ්බට ගොස් යුක්තිය වෙනුවෙන් කැපවෙන චන්දෘ  මෙහි වින්දිතයා වන ‘රාජකන්නු’ ඇතුළු අය පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන්වීම පිළිබඳ යුක්තිය සොයා යන ගමන මෙහි නිරූපිතය.  මෙහි ප‍්‍රභූ නිවසක සොරකමක් සිදු වන අතර ඔවුන්ගේ දේශපාලන බලය මත අපරාධකරුවා සොයා ගැනීමට පහළ පොළිස් නිළධාරීන්ට පීඩනයක් එල්ලවෙයි. කිසිදු සාක්ෂියක් නොමැති තැන ඔවුන්ගේ අවධානය යොමු වන්නේ එම නිවසට සර්පයකු අල්ලා ඉවත් කිරීමට ටික දිනකට පෙර පැමිණි පහළ සමාජ ස්ථරයක තරුණයෙකු වෙතයි. නොකළ වරදක් පිළිගැනීමට ඔවුන්ට සිදුකරන වධහිංසා සියල්ල දරාගනිමින් තමන්ගේ නිවැරදිභාවය වෙනුවෙන් සටන් වදින 'අඩුකුලයේ යැයි සැලකෙන’ තරුණයන් පිරිසක් අපට හමුවෙයි. නමුත් එක් වරම ඔවුන් පොලිසියෙන් පලාගිය බව පැවසෙන අතර එය ඇදහිය නොහැකි රාජකන්නුගේ ගැබිනි බිරි`ද සිය සැමියා සොයා ඇවිදින අතර ඇයට එම ප‍්‍රදේශයේ ස්වේච්ඡා ගුරුවරියක් මාර්ගයෙන් වාමාංශික ව්‍යාපාරයක සාමාජිකයන් හමුවන අතර ඔවුන් මීට විරුද්ධව උද්ඝෝෂණික කි‍්‍රයාමාර්ග ගන්නා අතරම එහි සමාජිකයෙක් ඇයව චන්දෘ වෙත යොමු කරන අතර වීදියේ අරගලයේ තවත් කොටසක් නීතියේ අසීරු කාර්ය පටිපාටීන් මතින් ඇවිදිමින් අධිකරණ ශාලාව තුළ ඇරඹෙයි.

මෙම පොලිස් භාරයට පත්වූ තරුණයන් තිදෙනා රඳවා තබා ගෙන සිටින ස්ථානයකින් අධිකරණය හමුවට පැමිණවීමට නියෝගයක් ඉල්ලමින් හබයාස්කෝපුස් නඩුවක් අධිකරණයේ ගොනුවෙයි. මෙය අපට සිහිකරවන්නේ ලලිත් කූගන් සහෝදරවරුන් මෙන්ම මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ වැනිවුන් මේ ආකාරයෙන්ම ආරක්ෂක අංශ විසින් පැහැර ගැනීමත් එයින් පසු අතුරුදන්වීමත්ය. එහිදීද අධිකරණය හමුවේ මේ ආකාරයේ නඩුකරයක් ගොනු විය. නමුත් තවමත් යුක්තිය නිහඬය.

මෙම චිත‍්‍රපටයේ ප‍්‍රමුඛ චරිතය වන චන්දෘ විසින් නිරූපණය කරන සැබෑ ඉන්දිය විනිසුරුවරයා අයිතිවාසිකම් අහිමිවූ ජනතාව වෙනුවෙන් නඩු තීන්දු රාශියක් ඔහු විසින් ලබාදෙන අතර සාමාන්‍ය ලෙස මහාධිකරණ විනිසුරුවරයෙකුට ලබාදෙන ආරක්ෂාව ප‍්‍රතික්ෂේප කරන ඔහු තමන්ට අධිකරණය තුළ හෝ ඉන් පිටත ගෞරවාර්ථයෙන් ආමන්ත‍්‍රණය අනවශ්‍ය බව දන්වයි.

T.J. Gnanavel ගේ අධ්‍යක්ෂණයක් වන මෙය ජාත්‍යන්තර නිෂ්පාදන ආයතනයක් වන 2D Entertainment හි නිෂ්පාදනයකි. මූලිකව බටහිර සිනමා නිෂ්පාදන ආයතන මේ වන විට ඉන්දියානු චිත‍්‍රපට රාශියක් එකිනෙකා තරගකාරීව නිෂ්පාදනයට එක්වී ඇති ආකාරය අපට හඳුනාගත හැකිය. මෙහි ප‍්‍රධාන චරිතය දමිළ සිනමාවේ ජනපි‍්‍රය දහරාවේ නළුවකු වන සූර්යා විසින් නිරූපණය කරන අතර මෙම චිත‍්‍රපටය සිනමාත්මක අතින් ගත්කල ජනප‍්‍රිය සිනමා ආකෘතිය තුළ නිෂ්පාදනය වුවද එය  අද්විතීය සිනාමාත්මක භාවිතයක් යැයි පැවසීමටද අපහසුය. සාමාන්‍ය මෙවැනි සිනමා නිර්මාණයක සිදුවන ප‍්‍රධාන චරිතය වටා ගොඩනැගෙන පේ‍්‍රම වෘත්තාන්තයක් වැනි දෙයක් නිරූපණය නොකර දමිළ සිනමා පේ‍්‍රක්ෂකාගාරය ආකර්ෂණය කර ගැනීම පැසසිය යුතු අභියෝගාත්මක කාර්යයකි.

Jai Bhim චිත‍්‍රපටයේ තේමා ගීතය පරිවර්තනයක් ලෙස ඉදිරිපත් කිරීම මගින් පාඨක ඔබට මෙම චිත‍්‍රපටය තවදුරටත් සමීප කරවනු ඇත.

"ඔබේ අතට බලය ගන්න

ඔබේ අතට බලය ලබාගන්න 

අභියෝග කරන්න

ඔබට වෙන තෝරාගැනීම් නැහැ

ඔබේ අතට බලය ලබාගන්න

බලයට ශිෂ්ටත්වයක් දෙන්න

බලය ඉල්ලා සිටින්න

ඊට තියෙන එකම මාවත

අපේ හිස් කෙළින් තබාගෙන ඇවිද යාමයි


වෙනස ඉදිරියට ගෙන එන්න

යහපතට හුරුවෙන්න

සම්මුතියන් නැහැ

මෙය අරගලයක් ඔබේ අයිතීන් වෙනුවෙන්

තවදුරටත් කම්පාවෙමින් නොසිටින්න

නැගී සිටින්න


සාමාන්‍ය මිනිසුන්ට නැගී සිටින්න දෙන්න

එයට ආලෝකයක් වන්න

අලූත් ආරම්භයකට මාවත විවර කරන්න

අපට හුස්ම ගැනීමේ අයිතියට පවා

සටන් කරන්න අවශ්‍යයයි

අප එක් නොවුනොත්

වෙනසක් කොහොමද ඇතිවෙන්නෙ


ඔබේ අතට බලය ගන්න

ඔබේ අතට බලය ලබාගන්න අභියෝග කරන්න


කිසිවෙකු සවන් නොදුන්නවුන්ගේ 

හඬ වෙන්න

ගර්ජනා කරන්න අකුණු සැරයක් පරිද්දෙන්

ආත්මාර්ථකාමීත්වය අවසන් කරන්න

එකාවන්ව නැගී සිටින්න

”යුක්තිය හැමදෙනාටම”

මේ පණිවිඩය මිනිසුන් අතරට 

ගෙන යන්න

ජීවිතයෙන් තේරුමක් නැහැ

නැගී සිටින්න

කවුරුන් හෝ එය ඉල්ලා සිටිය යුතුයි

එය ලැබෙන තුරු සටන් වදින්න

සුළඟක්ව පියඹා යන්න

ඔබව සිරකරන විලංගු බිඳ දමන්න


සම්මුතියන් නැහැ

මෙය අරගලයක් ඔබේ අයිතීන් වෙනුවෙන්


ඔබ කවුද මට නියෝග දෙන්න?

දෙපයින් නැගී සිටින්නන් සෑම විටම

සත්‍යයට සමීපයි

නිවට බයගුල්ලනි,

අපි යටත් වෙයි කියා සිතන්න එපා

මෙහි බොහෝ ආයුධ නැත

”ආදරයයි” මෙම අරගලයට මගපෙන්නුවේ


ඔබේ අතට බලය ගන්න

ඔබේ අතට බලය ලබාගන්න අභියෝග කරන්න.,"

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?