ආකෘති බිඳින කාව්‍යාකෘති
තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘ගැලූ ලේ විලවුන් බහාලුම’ කෘතිය විමසුමක්
සිංහල කවියේ’ බොහෝ කාව්‍ය අලංකාරයන් තවමත් පදනම් වී ඇත්තේ පූර්ව නූතන ආකෘතියක් තුළ යැයි කිව හැක. උදාහරණයක් ලෙස උපමාව, උපමේය, රූපක ආදී බොහෝ කාව්‍ය අලංකරණ, කවියේ ශ‍්‍රව්‍ය ගෝචර ආකෘතියෙන් අත් මිඳී නැති බව අපගේ අදහසයි. එනම්, ‘කණෙන් අසා සිතින් මවා ගැනීමේ’ ආකෘතියයි. එහෙත්, කවිය, කණින් අසනු වෙනුවට ඇසින් බලන (කියවන) අපේ යුගයේ (කඩදාසි මත හෝ විද්‍යුත් තිර මත) කවියේ සිදුවී ඇති වෙනස්කම්, විශේෂයෙන් එහි ආකෘතික පාර්ශ්වයේ වෙනස්කම් බොහෝ දිග දුර ගිය වෙනස්වීම්ය. තක්ෂිලා ස්වර්ණමාලිගේ ‘ගැලූ ලේ විලවුන් බහාලූම’ කාව්‍ය කෘතිය මෙම වෙනස්කම් පිළිබඳ අදහසක් ගැනීමට මෑතකදී පළ වූ හොඳ නිදර්ශනාත්මක කාව්‍ය කෘතියකි.
(බලන්න 11 පිටුවේ කවිය)
ඉලක්කයකට ඇදී යන උණ්ඩයක සරල රේඛීය ගමන්මග කවියේ දෘෂ්‍ය ආකෘතිය ලෙසින් අපට සිහි ගන්වන මෙය, දෘෂ්‍ය ආකෘතියේ කවියක මුල් අත්හදා බැලීම වූ මහගම සේකරගේ ඇතැම් කාව්‍ය උත්සාහයන් සිහිපත් කරයි. ඔහුගේ සුප‍්‍රකට කවියක් වන පහත කවිය ඊට උදාහරණ වේ.
කුසලානේ
ලූ
මිදි යුෂ
කුෂලානේ හැඩය ගනී
කුෂලානේ
ලූ
විෂ වුව
කුෂලානේ හැඩය ගනී
දෘෂ්‍ය ගෝචර කාව්‍ය ආකෘතියකට මෙම උදාහරණය සේකරගේ ‘හෙට ඉරක් පායයි’ (1963) කෘතියේ දක්නට ලැබේ. ඉනිඳු නොනැවතී දෘෂ්‍ය ගෝචර ආකෘතියක කවියක් පිළිබඳ උත්සාහය චරිත් සේනාධීර, ප‍්‍රසාද් වීරසේකර වැනි නූතන පරපුරේ කවීන්ගේ කවි තුළද දක්නට ලැබේ.
බහුභාණ්ඩික වෙළෙඳපොළකින්ද අනෙක් අතින් ඒකමානි දෘෂ්ටිවාදයකින් ද විසඳාගත නොහැකි පරස්පරයක්, උභතෝකෝටිකයක් බවට පත්කර ඇති අපේ යුගයේ මානව සබඳතා පිළිබඳ කවියේ වචනයට නො දෙවෙනි ලෙස එහි දෘෂ්‍ය ආකෘතිය විසින් අර්ථ නංවන සැටි පහත කවියෙන් අපට නිරීක්ෂණය කළ හැක. (බලන්න 14 පිටුවේ කවිය)
සාම්ප‍්‍රදායික කාව්‍ය අලංකාරණයේදී ‘පේ‍්‍රමවන්තයාගේ හෝ පේ‍්‍රමවන්තියගේ සම්බන්ධය’ ‘මගෙ නෑනා මට මානෙල් මලක් වැනී’ ආදී ලෙස උපමාව ගොඩනැඟිය හැකි වුවත්, අපේ කාලයේ මානව සබඳතාවන්හි සංකීර්ණත්වය ග‍්‍රහණය කරගැනීමට එම පැරණි උපමාලංකාර අසමත් වන තැනදී, දෘෂ්‍යගෝචර කවියේ මෙම නව ආකෘතිය පැන නගින බව අපට දැක ගත හැක.
සංයුක්ත කවි, concrete poem (සංයුක්ත කවිය) වැනි නාමකරණයන් මගින්ද ඇඟවුම් කෙරෙන මෙම කවිය වචනයේ ධ්වනිතාර්ථය, ව්‍යංගාර්ථය වැනි දේට ‘වැඩි යමක්’ එකතු කරන බව පැහැදිලිය. කවියේ ධවනිතාර්ථය, ව්‍යාංගාර්ථය මෙන්ම ඒ තුළ පවත්නා දෘෂ්‍යගෝචරත්වය ද පාඨකයා පේ‍්‍රෂණය කොට ගත යුතුය. (බලන්න 15 පිටුවේ කවිය)
තක්ෂිලා ස්වරණමාලිගේ කවියේ ආකෘතිය හා අන්තර්ගතය ඉතා ළඟින් සහසම්බන්ධව අප ඉහත කී අර්ථ හැඟවුම් කිරීම ප‍්‍රබල දේශපාලන අර්ථයක් දක්වා එසවුණු අවස්ථාවක් ලෙස ඇගේ පහත දක්වන කවිය උදාහරණ කොට ගත හැකිය. සාම්ප‍්‍රදායික කාව්‍යකරණයේ එන ධ්වනිතාර්ථවත් යන වචනය මෙය හැඟවීමට අසමත් වන බව අපගේ අදහසයි. (බලන්න 17 සහ 49 පිටුවල කවි)
කෙසේවෙතත් තිරස් අතට ටකරෙන ‘සාම්ප‍්‍රදායික පාඨනයක්’ වෙනුවට සිරස්, වක ගැහුණු හා ‘අක්වක්’ පාඨනයක් පාඨක පේ‍්‍රක්ෂකයාට යෝජනා කරන කිවිඳිය, ‘ව්‍යුහවාදී ප‍්‍රවේශයකින්’ කියවීම නමැති ක‍්‍රියාවේ හුරුව බිඳ දමයි, කියවීම දේශපාලනික කරයි. එවිට වචනයන්ගේ සාම්ප‍්‍රදායික අර්ථ බිඳ වැටී, වචනවල වෙනස් අරුත් මතුවීමට පටන් ගනී. අපගේ වචනවල අරුත අකුරුවලින් හෝ යථාර්ථයෙන් පවා හෝ පැන නගින්නකට වඩා දෘෂ්ටිවාදයෙන් පැන නගින්නක් බව අපට වැටහෙන්නට පටන් ගනී. (බලන්න 34 - 35 පිටුවල කවිය)
දෘෂ්ටිවාදය අපට මුහුණට මුහුණ හමුවනුයේ, දෘෂ්ටිවාදයට බාධාවන පැවැත්මෙනි. ඉහත කවියේදී එහි පහළම පදයෙනි. එකී බාධාව විසින් අප මෙතෙක් කියවූ වචන වෙනත් විදියකට අර්ථගන්වා ගැනීමකට අපව පොළඹවයි.
කෙසේවුවත්, මෙවැනි දෘෂ්‍යගොචර කාව්‍යාකෘතියක් තුළදී කිවිඳියක හෝ කවියකු ප‍්‍රවේශම් විය යුතු වන්නේ, කවිය, වචනයේ බලය සිඳී ගිය හුදු ග‍්‍රැෆික් චිත‍්‍රයක් වීමට ඇති අනතුර ගැනය. කෘතියේ අවසන් භාගයට වන්නට ඇගේ කවියේ සංකීර්ණ වන දෘෂ්‍ය ආකෘති තුළ මෙතෙක් ඇගේ කවියේ මූලික තැනුම් ඒකකය වූ වචනයට ඇති බලය හීන වී හුදු ග‍්‍රාෆික ලක්ෂණ ඉහළට ආවේදැයි යළි සිතා බැලිය යුතුය. මන්ද, ඉන් ‘අලංකාර ග‍්‍රාෆිකයන්’ සෑදෙනු මිස අලංකාර කාව්‍යයක් නොසෑදීමට ඉඩ ඇති බැවිනි. (බලන්න 56 57 පිටුවල කවිය)
කෙසේවෙතත්, සඳැස් නිසඳැස් සාම්ප‍්‍රදායික අර්ථකථන තුළ ගල් ගැසී ඇ.ති ‘සිංහල කවියේ’ ආකෘතිය නව කලා තාක්ෂණයකින් අභිභවනය කිරීමට ඇය ගෙන ඇති උත්සාහය අප තුළ අපේක්ෂා දල්වනු ලබයි. නිසැකවම ඒ, විප්ලවවාදී කලාවක් යනු කවියේ ආකෘතික ශක්‍යතා පාවාදී හුදු දේශපාලන සටන්පාඨ ඇද බෑමක් නොව, කලාවේ ආකෘතිය නවමු අන්තර්ගතයකින් විපර්යාසයට ලක් කිරීමක් වන බැවිනි.
Comments
Post a Comment