හරුකි මුරකමි - දරාගත නොහැකි වූ බරක් සාහිත්‍යයට නැඟීම



සමකාලීන ලෝක සාහිත්‍ය තුළ හමුවන විශිෂ්ටතම හා ප‍්‍රමුඛම ලේඛකයකු ලෙස ජපන් ලේඛක ‘හරුකි මුරකමි’ අපට හඳුනාගත හැක. කෆ්කා මුහුදු වෙරළේ, තීර්ථ යාත‍්‍රාවේ වසර ගණනාවක්, දකුණු මායිමේ, ගැහැනු නැතිව, අලියා අතුරුදන්, හිරු නැගෙන රටේ පෙම් පුවතක්, නිරුවත් කළුවර වැනි කෘති හරහා සිංහල භාෂාවෙන් කියවන පාඨක සමාජයටද ආගන්තුක නොවන ලේඛකයාගේ තවත් කෘතියක් සිංහල භාෂාවෙන් රසවිඳීමට අපිට හැකි වී තිබේ.

ඒ දුමින්ද බොරලූගොඩ පරිවර්තන කාර්යයක ප‍්‍රතිඵලයක් වශයෙන් එළි දක්වා ඇති ‘මම නොවන මම’ කෘතිය ආශ‍්‍රයෙනි.

මුරකමිගේ මෙම කෘතිය, ඇතැම් දේශපාලන විචාරකයන් විසින් ‘පසු ධනවාදය’ ලෙස නාමකරණය කරන ‘ධනේශ්වර සමාජයේ වර්තමාන මොහොත’ කියවා ගැනීම අපට වැදගත් වන බව අපගේ අදහසයි. ඒ මන්ද යත්, මුරකමි ලේඛකයකු ලෙස තම සමකාලීන පරම්පරාවේ ජීවන අත්දැකීම හා ධනවාදී සමාජයේ වත්මන් මොහොත මෙම කෘතිය තුළ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බැවිනි. එමෙන්ම එය ජපාන සමාජයට පමණක් උරුම වූවක් නොවන බව අපේ ජීවිත අත්දැකීම් විසින්ද ජපාන සමාජයට පමණක් උරුම තත්වයක් නොවන බව අපට පෙන්වා දී ඇත.

”අපි තමයි යුද්දෙන් පස්සෙ ඉතුරු වෙලා තිබුණු මොනයම්ම හෝ පරමාදර්ශයන් පසු ධනවාදය විසින් ගිල ගන්න හදන කොට 'එපා' කියලා කෑ මොර දුන්නෙ. ඒ තීරණාත්මක මොහොතෙදි රටම නැගී හිටියා. මෙන්න බොලේ මම, මමත් ඒ ධනවාදී තර්කනයේම ගිලිලා. මගේ ඒකේ සැපට වාඩි වෙලා ෂූබර්ට්ස්ගෙ ‘වින්ටර් රයිස්’ රසවිඳිමින් ඉහළ පන්නයේ ඔයාමා නගරයේ අතුරුපාරක සිග්නල් ලයිට් වැටෙනකං බලා ඉන්නවා.”

(77 පිටුව - මං නොවන මම - දුමින්ද බොරලූගොඩ)

එහිදී අපට දැනගත හැකි වන්නේ ජපාන සංස්කෘතියේ සිදුව ඇති විශාල විපර්යාසයයි. මෙම සංස්කෘතික විපර්යාසයේ හේතුව ඇත්තේ ජපාන ආර්ථික ව්‍යුහයේ සිදුවූ වෙනස්කම්වල ඍජු බලපෑමයි. මෙම සංස්කෘතික විපර්යාසයේ තර්කය වටහා ගැනීමට ෆෙඞ්රික් ජෙම්සන්ගේ පශ්චාත් නූතන දාර්ශනිකයාගේ මූලික ප‍්‍රවාදය අපට ඉතාම වැදගත් වේ. ඔහුගේ ප‍්‍රවාදය සාරාංශගත කරන ටෝනි මයර්ස් මෙසේ සටහන් කරයි.

”පසු ධනවාදයේ මූලික ම ලක්ෂණය වන්නේ එයට ජිවිතයේ සෑම ක්ෂේත‍්‍රයක් වෙතට ම නොදැනුවත්වම කාන්දු වීමට හැකි වීමයි.”

(අවිඥානයේ ෆැන්ටසිමය අවකාශය - මුරකමි හරුකි නිර්මාණ විමසුම - ඩිල් ජොනතන්, - පරි. උදිත අලහකෝන්)

එනම් අපට නොදැනුවත්වම අපගේ අපගේ ජීවිතයේ සියලූ කලාප වෙලා ගැනීමට ධනේශ්වර ක‍්‍රමය සමත් වෙයි. මෙය මිනිස් ජීවිතවලට හා මිනිස් අධ්‍යාත්මයට සීරුවෙන් රිංගා ඇති ආකාරය කෘතියේ ප‍්‍රධාන චරිතය වන හජිමේගේ අදහසින් පැහැදිලි වේ.

”මං වෙන කාගෙ හරි ජීවිතයක තමයි ජීවත් වුණේ. ඒ මගේ ජීවිතය නොවේ. මම කියලා කියන මනුස්සයාගෙන් ඇත්තටම කොච්චර ප‍්‍රමාණයක් ද මම කියන්නෙ? මම නොවන ප‍්‍රමාණය කොච්චර ද? සුක්කානම අල්ලන් ඉන්න මේ අත් දෙකේ කොච්චර ප‍්‍රමාණයයි ද මගේ? එළියේ පෙනෙන දේවලින් කොච්චර ප‍්‍රමාණය ද අව්‍යාජ ?”

(77 පිටුව - මං නොවන මම - දුමින්ද බොරලූගොඩ)

හජිමේගේ අධ්‍යාත්මයට හජිමේ  නොවන කෙනෙක් ඇතුලට ආවේ කෙසේ ද? සමාජ මනෝවිද්‍යා දාර්ශනිකයකු වූ ලැකාන්ගේ දාර්ශනික පද්ධතිය ආශ‍්‍රයෙන් අපට මේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත හැක. ඔහු පවසන පරිදි සමාජ ජීවිතයේ සංකේත පද්ධතිය බිඳවැටීම මෙයට හේතු වෙයි. 60 දසකය අග භාගයේ සිදු වූ ශිෂ්‍ය අරගලවල පරාජය මෙම බිඳ වැටීමට හේතු විය. එවකට තරුණ වියේ පසු වූ මුරකමිද ඔසඩා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු විය. කෘතියේ එන පරිදි මෙහි ප‍්‍රධාන චරිතය උපත ලබා ඇති වර්ෂය 1951 වසරයි. එබැවින් මේ සමස්තය පිටුපස ඇති සමාජ දේශපාලන හේතු කාරණා අපට පැහැදිලි වේ.  

”මං අවබෝධ කරගත්ත ඊළඟ දේ තමයි දේශපාලන වාරය අවසානයි කියන එක. සුළඟ නැති දවසක හැකිළී වැටෙන කොඩියක් වගේ, කාලයක් පුරා සමාජය කම්පනය කරමින් හිටපු යෝධ රළ, කිසිදු පැහැයක් නැති, ලෞකික, ඒකාකාරී ලෝකය, ගිලලා දැම්මා.”

(54 පිටුව - මං නොවන මම - දුමින්ද බොරලූගොඩ)

මෙම ශිෂ්‍ය අරගලවල පරාජය මුරකමිව ලේඛන කලාව වෙත යොමුකළ අතර අපට ඔහු හරහා ජපානය කියවා ගැනීමටත් ජපානය හරහා ඔහුව කියවා ගැනීමටත් ඉඩ විවර වේ. මෙසේ සමාජ ලෝකයට අරුතක් සහ ගැලවීමක් සපයන ආයතන චාරිත‍්‍ර වාරිත‍්‍ර යනාදියෙන් සැදුම්ලත් ජාලය බිඳවැටීම හරහා අපට හමුවනුයේ මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන ලිංගික ක‍්‍රියාව පවා රොබෝවරුන් හරහා ඉටු කරගැනීමට ප‍්‍රයත්න දරණ මිනිසුන්ය. සියදිවි නාශක දර්ශනවාදයන් හරහා විමුක්ති මාර්ගය සොයන මිනිසුන්ය. ඔවුන්ගේ පැවැත්මට අර්ථයක් සොයාගත හැක්කේ කෙසේද යන්න, මග පෙන්වීමට කිසිවකු ඉතිරි නොවූ, සංස්කෘතිය අධ්‍යාත්මය බිඳ වැටුණු මොහොතක නිදහස යන්න දරාගත නොහැකි වූ බරක් වී තිබීම අරුමයක් නොවේ. ඒ පිටුපස ඇත්තේද ජපානයේ සිදුවූ මෙම සමාජ දේශපාලන විපර්යාසයය. 

මෙසේ සමාජයේ සංකේත පද්ධතියේ පුරුෂාර්ථයන්ගේ බිඳවැටීමේ ප‍්‍රතිඵලය වන්නේ තමා තුළටම වැඩි වැඩියෙන් නැඹුරු වූ පුද්ගල ආත්මයන්ය. අවසානයේ ඔවුන් තුළ ඉතිරි වන්නේ සාංකාව පමණමක්ය.


Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?