ඡීවිතය සොයන මරණයේ ක්‍රීඩාව - Squid Game


කොරියාව කියූ විට අපට එකිනෙකට වෙනස් රටවල් දෙකක් සිහි වේ. එකක් ‘උතුරු කොරියාව’යි. අත්තනෝමතික පාලනය, මිනිසුන් බඩගින්නේ සිටියදී න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන පාලනයක් සහිත ලෝකයෙන් විතැන් වූ රාජ්‍යයක්. අනෙක් රට ‘දකුණු කොරියාව’ කියූ සැනින් සිහියට නැගෙනුයේ ඊට හාත්පසින් ම වෙනස් වූ දියුණු රාජ්‍යයක හැඩහුරුකමයි. මේ වන විට ලංකාවේ තරුණ තරුණියන් රාශියකගේ සිහිනය වන්නේ කොරියාවේ රැකියාවකි. කොරියාවට පැනගත්තොත් ජීවිතේ ගොඩ දමා ගත හැකිය යන්න ඔවුන්ගේ පරම විශ්වාසයයි. එකී කොරියානු සිහිනය අප හමුවේ ඔසවා පොළොවේ ගසන හා එහි යථාර්ථයට අපව අභිමුඛ කරන රූපවාහිනී කතා මාලාවකි Squid Game.

කොරියානු රූපවාහිනී කතා මාලා ඇතැම් කාලවල උමතුවක් වන තරමට ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂාගාරය තුළ ජනප්‍රිය විය. ඉතා සුකුමාල නළුවන් හා නිළියන් රඟන ප්‍රේමණීය ෆැන්ටසිමය ආකාරයේ කොරියාවේ සශ්‍රීකත්වයත් නිරූපිත ටෙලි කතා කොරියාව කියූ සැනින් මතකයට එන පමණට මෙරට ජනපි‍්‍රය විය. ඉන්දියානු ටෙලි කතා මෙන් ම ඒවා ද බොහෝ විට ධනවත් පවුල් වටා ගොඩනැඟුනු කතාය. අනෙක් අතින් ජනප්‍රිය වූයේ කොරියාවේ ඓතිහාසික කාල පරිච්ඡේද පදනම් කරගනිමින් ගොඩනැ`ගුනු කතා මාලාවන්ය. නමුත් මීට බාහිරව කොරියානු සිනමාව තුළ මෙන්ම ටෙලිනාට්‍ය කලාව තුළද සමාජ යථාර්ථය නිරූපණය කරන යථාර්ථවාදී නිර්මාණ සම්ප‍්‍රදායක්ද පවතී. Parasite වැනි සිනමා නිර්මාණයක් ඒ පිළිබඳ අවධානය ලෝකයට ම යොමු කරන ලදී. ඒ ආකාරයට නිෂ්පාදකයන් පවා නො සිතූ ලෙස ලොව පුරා රසිකයන් වැළඳ ගත් රූපවාහිනී කතා මාලාවකි Squid Game දැනටමත් Netflix නිෂ්පාදනයන්ගේ වැඩිම නැරඹුම් වාර ප‍්‍රමාණයක් ඇති ටෙලි මාලාව බවට එය පත්ව ඇත.

එක් අතකින් දරිද්‍රතාවයෙන් හෙම්බත්ව ණය ගෙවා ගැනීමට නොහැකිව මුදල් වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබන්නට සූදානම් දිළින්දන් ය. තවත් අතකින් මුදල් වලින් කිරීමට කිසිත් නැති කිසිදු දෙයකින් සතුටක් නොමැතිව පීඩාවට පත්ව ජීවිතේ එක් විදීමක් වෙනුවෙන් සිය ධනය නොව ජීවිතය ද අනතුරේ දැමීමට සූදානම් ධන කුවේරයන්ය. ඇස් නිලංකාරවන කොරියානු සිහිනයන්ගෙන් ඇහැරුන කල අත්දකින සැබෑ කොරියාව මෙයම වන බවට සැකයක් නොමැත.

Squid Game යනු අවසානයේ එක් තරගකරුවකු පමණක් ඉතිරිව ඔහු ඉතා විශාල මුදල් ප‍්‍රමාණයක් ජය ගන්නා රහසිගත ‘රියැලිටි’ වැඩසටහනකි. එහි ප්‍රේක්ෂාගාරය වන්නේ ධනකුවේරයන්ය. එක් අතකින් ප්‍රේක්ෂාගාරය ආකර්ෂණය කර ගැනීමට අවැසි  ඕනෑම අවර ගණයේ මාධ්‍ය භාවිතයකට වුව නොපැකිළෙන වත්මන් මාධ්‍ය භාවිතය දෙස බලන කළ මෙම කතා මාලාවේ එන සිදුවීම් හුදු ෆැන්ටසියක්ම නොවේ. ධනය උපයන උල්පත් බඳු වූ එබඳු වැඩසටහන් සඳහා අදාළ සමාගම් විශාල ධනයක් ආයෝජනයට සූදානම්ය. මන්ද යත් එම මුදල් පෙරළා ඉතා පහසුවෙන් ලාභ උපයා ගත හැකි වන බැවිනි. වර්තමාන ලංකාවේ රියලිටි වැඩසටහන් තුළ ද අප දකින ‘දැවැන්ත වේදිකා’, ජයග‍්‍රාහකයන්ට ලබාදෙන ‘දැවැන්ත ත්‍යාග’ මුදල් ආදිය මේ ආකාරයට හඳුනා ගත හැකිය. තවමත් එම වැඩසටහන් තුළ මිනිසුන් ඝාතනය නොවුනද එහිදී මිනිසුන් අපහසුතාවයන්ට පත්වන කෙරෙයි. ප්‍රේක්ෂාගාරය ආස්වාදය කරන්නේ ඔවුන්ගේ ‘ක`දුළු’ මෙන්ම හැඟීම් ය. සත්ව උද්‍යානයේ අලි සෙල්ලම් බැලීමට අපි කැමැත්තෙමු. එම සතුන්ගේ විවිධ ඉරියව් බලා අපි ආස්වාදයක් ලබන්නෙමු. රියලිටි වැඩසටහන්වලද අප ගායන තරු, නර්තන තරු තෝරනවා යැයි පැවසුවද සැබෑ ලෙස ම එහි සිදුවන්නේ අප අලි සෙල්ලම් බැලීමේදී ලබන ‘ආස්වාදය’මය. ගායන තරු තෝරන විට ගීත අසනවාට වඩා විනිසුරන්ගේ රණ්ඩු හා විවිධ රංගනයන් බලා සිටීමට අපට සිදු වන්නේ මෙවන් තත්වයක් තුළය.

අප මින් පෙර නරඹා ඇති Hunger Games වැනි මෙවැනි මාදිලියේ චිත‍්‍රපට හා සංසන්දනයේදී මෙහි ක්‍රියාදාම ස්වභාවයේ අඩු බවක් දක්නට ලැබෙයි. එවැනි බොහෝ නිර්මාණවල මෙන් මෙහිදී තරගකරුවන් ආයුධ වලින් එකිනෙකා මරා ගන්නේ නැත. මෙහිදී තරගකරුවන්ට සිදුවන්නේ සාම්ප‍්‍රදායික කොරියානු ළමා කී‍්‍රඩාවල නිරතවීමටය. ළමා ක්‍රීඩා අහිංසකය. නමුත් මෙම ටෙලි මාලාවේ එන ආකාරයට පරාජිතයන්ට උරුම වන්නේ ‘මරණය’යි. එම ක්‍රීඩාවල කුඩා කල නිරත වූ කොරියානු ටෙලි ප්‍රේක්ෂාගාරයට මෙය වඩාත් තදින් දැනෙනු ඇත.

කතා මාලාව අවසානයේ හෙළිවන අන්දමට ඉහළ ධනපති පන්තිය හැර සෙසු සියලූ දෙනාම මෙම ක‍්‍රමය තුළ අර්බුදයට ලක්ව ඇත. එම ධනපතියන්ද පෙර ස`දහන් කළ ලෙස වෙනත් ආකාරයක අර්බුදයකට මුහුණ දෙයි. මෙම නාට්‍ය මාලාව තුළ නිරූපිත තරගයට එක්වන එකිනෙකට වෙනස් විවිධ පුද්ගලයන් හරහා කොරියානු සමාජය මුහුණ දෙන අර්බුදය හා ජීවන ඛේදවාචකය අනාවරණය කර ගැනීමටද හැකි වේ. අබ්දුල් අලි පකිස්ථානයේ සිට සාර්ථකත්වය සොයා කොරියාවට සංක‍්‍රමණයවූ තරුණයෙකි. Seon Gi-hun යනු තම විවාහය ඇතුළු ජීවිතයේ සියළු දේ අහිමිකර ගත් තරුණයෙකි, Cho Sang-Woo යනු සම්මත ලෝකය තුළ සාර්ථකත්වයට පත්වූවෙකි. ඔහුගේ මව ඔහු උපාධිය ලබාගත් අවස්ථාවේ ඡායාරූපයක් සිය වෙළඳසලෙහි ප‍්‍රදර්ශනය කරමින් සියල්ලන්ට ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරයි. නමුත් ඇය නොදන්නා කරුණ වන්නේ ඔහු ණය පැහැර හරින්නෙකු බවට පත්වී නුදුරේ දේපළ පවා අහිමි වන බවයි. මේ ආකාරයට මැරයකු, උතුරු කොරියාවේ සිට පලා ආ තරුණියක් ආදී එකිනෙකට වෙනස් මිනිසුන් 456 දෙනෙකු මෙහිදී අපට හමුවෙයි. ඒ හැම කෙනෙකුටම පොදු කාරණය නම් ඔවුන් සියල්ලන් විසඳුමක සේයාවක්වත් නැති ඡීවිත අර්බුදයන්ගේ සිර වී සිටීමයි.

පළමු තරග වටය අවසානයේ ඉතිරි තරගකරුවන්ට තරගයෙන් ඉවත්ව යාමට අවස්ථාව ලැබෙයි. නමුත් මෙම මාරාන්තික ක්‍රීඩාවට වඩා ඔවුන්ගේ ජීවිත දරුණු බව ඔවුන්ට තේරුම් යන අතර මෙම තරගයේදී යම් බලාපොරොත්තුවක් හෝ ජීවිතය දිනා ගැනීමට යම් උත්සාහයක් දරන්නට හෝ ඔවුනට ලැබෙන නමුත් සැබෑ ජීවිතය තුළ අපේක්ෂා භංගත්වය හැරෙන්නට වෙනත් කිසිවක් ඉතිරි නොවෙයි. ඔවුන් නැවතත් සිය කැමැත්තෙන්ම මෙම කී‍්‍රඩාවට පැමිණෙයි. 

Squid Game යම් තරමක ප‍්‍රචණ්ඩ දර්ශන ඇතුළත් ටෙලි මාලාවක් වන අතර මෙහි රචකයාට එම හේතුව නිසාම මෙම ටෙලිනාට්‍ය සඳහා නිෂ්පාදකයකු සොයා ගැනීමට නොහැකිව වසර ගණනාවක් බලා සිටීමට සිදුවී ඇත. තරගකරුවන්ගේ කොළ පැහැති ඇඳුම් හා තරගය හසුරුවන නිලධාරීන්ගේ ලා රතු පැහැති ඇඳුම් ආදී ලෙස මෙහි මෙම ටෙලිනාට්‍යටම අනන්‍ය වූ වර්ණ සංකලනයක් දැකගත හැකිය. නිර්මාණශීලීත්වය හා කලාත්මකභාවය අතින් මීට වඩා ඉදිරියෙන් තැබිය හැකි ටෙලිනිර්මාණ බොහෝ තිබුණද මෙය ලෝකයක් වසඟයට ගැනීමට හේතුව එහි පවත්නා නැවුම් ස්වභාවය විය හැක.

කෙසේ නමුත් මෙම තරගකරුවන්ට එකිනෙකා පරදා කරන මාරාන්තික කී‍්‍රඩාවකින් මෙම අර්බුදයට විසඳුමක් ලැබෙයිද? මේ ආකාරයට දෘශ්‍යමාන නොවුණද අප සියල්ලන්ම මෙම ක‍්‍රමය තුළ ඡීවත්වනවා යැයි කියමින් සිදුකරන්නේ මෙවන් ක්‍රීඩාවකි. ආත්මාර්ථයේ ගිලෙමින් එකිනෙකා පරයා තරගවදිමින් සමාජ සබඳතා අත්හරිමින් අපද තරග වැද සිටියි. Squid Gameහි තරගකරුවන් තරගයේ රඳවාගැනීමට පෙන්වන මුදල් පිරෙන කැටය මෙන් අපටද විවිධ සිහින ලබාදෙමින් මෙම ක්‍රීඩාවේ නිරත වෙන්නට බල කරයි. නමුත් මෙම ටෙලිනාට්‍යයේ මෙන්ම සැබෑ ලොවද මෙලෙස තනිව කරන සටනකින් මේ අර්බුදයට විසඳුම් නොලැබෙන අතර එය වෙහෙස විතරක්ම ඉතිරිකරනු ඇත. තරගය හෙටත් පවතිනු ඇත, අපද තරග වදිනු ඇත.

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?