"රතු එළි"
පද රචනය - මනුරංග විජේසේකර
සංගීතය - නිමන්ත කලූආරච්චි
ගායනය - උමාරියා සිංහවංශ
ලංකාවේ සින්දුවල ගැහැනු කටහ`ඩවලින් ඇත්ත ගැහැනු අර්බුද ගැන කතා කරනවා ඇහෙන්නෙ අඩුවෙන්. ඒ අතින් ගත්තම ලංකාවෙ සිංහල කවිය සිංහල සින්දුවට වඩා සෑහෙන්න ඉදිරියෙන් කියලා කියන්න පුළුවන්. ඒකට ප‍්‍රධාන හේතුව සිංහල කවිය නියෝජනය කරමින් ලියන්නියන් බොහෝ දෙනෙක් ක්ෂේත‍්‍රයට පැමිණීම වෙන්න පුළුවන්. ඒ තරමට සිංහල සින්දුවට ලියන්නියන් ඇතුළු වෙලා නෑ. මෙන්න මේ වගේ පසුබිමකදි තමයි අපට උමාරියා ගයන ‘රතු එළි’ කියන සින්දුව අහන්න ලැබෙන්නෙ. හැබැයි ඒකත් ලියලා තියෙන්නෙ ලියන්නෙක්.
ලියන්නෙක් වුණාට මනුරංගට පුළුවන් වෙනවා සින්දුවෙදි ගැහැනු ශරීරය කියවනවා වෙනුවට ගැහැනු ආත්මය කියවන්න. පහුගිය කාලයේ ජනප‍්‍රිය වෙච්ච සමහර සින්දු එක්ක බලද්දි ක‍්‍රිෂ්ණා සොබ්ති Krishna Sobthi වගේ විචාරිකාවක් ගැහැනු ගැන පිරිමින් ලියන දේවලින් පෙනී යන්නෙ ගැහැනිය සිටින තැන නොව ඇය සිටින තැන ගැන සිතන පිරිමින් සිටින තැනයි කියලා මතුකරන නිරීක්ෂණය මනුරංගට නම් එච්චර අදාළවන බව පෙනෙන්නෙ නෑ.
සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථයකින් මේ සින්දුව දිහා බලන කෙනෙකුට පෞද්ගලික දේපළ එක්ක බැඳිලා බිහිවෙච්ච පවුල කියන ඒකකය ඇතුළෙ බහුභාර්යා සේවනය ආපහු ගොඩනැගිච්ච විදිය ගැන මාක්ස්, එංගල්ස් සිදු කරපු පැහැදිලි කිරීම් පෙනෙන්න ගන්න පුළුවන්. විවාහය වගේ චාරිත‍්‍රයකින් වහලා න්‍යෂ්ටික පවුල ඇතුළෙ හිරකරලා ලෝකයේ මුල්ම වහලිය බවට පත් කරපු ගැහැනියක් එක්වරම නැගිටලා කියන සින්දුවක් වගේ කෙනකුට මේ සින්දුව ඇහෙන්න පුළුවන්. මාක්ස් නො කියවපු රසිකයකුට වුණත් උමාරියා එයාගෙ කටහඬෙනුයි ගායනයෙනුයි ඒ වගේ අදහසකට එන්න වුණත් ඉඩ හදලා දෙනවා කියලා කියන්න පුළුවන්.
පශ්චාත් මාකස්වාදී අදහසකින් මේ සින්දුව දිහා බලන කෙනෙකුට එතැනිනුත් ඉස්සරහට ගිහින්, අද දවසේ මානව සබඳතා ඇතුළෙ ‘ප්‍රේමය’ වෙනුවට ‘වසඟය’ ක‍්‍රියාත්මක වෙන විදිය තේරුම් ගන්න මේ සින්දුව පාවිච්චි කරන්න පුළුවන්. ධනේශ්වර වෙළඳපොළ තර්කනය ඇතුළෙ ‘ප්‍රේමය’ මිල දී ගන්න පුළුවන් භාණ්ඩයක් බවට පත් කිරීමේ අර්බුදය පහත පද පේළිවල සටහන් වෙලා තියෙනවා කියලා අපට හිතෙන්නෙ ඒ නිසා.
‘රතු එළි වීදියෙ මා විසාරී ළඳක් නම්
කැරොකේ ශාලාවක මා රඟනා ලියක් නම්
ඔබ මට නම් මීට වඩා
පෙම් කරාවි ආදරෙන්
රන් මුදුවට බැරි දේ බෝමයි’
තත්වය කොයි තරම් බරපතළ වෙලාද කියලා කියනවා නම් ගැහැනියට හිතෙනවා තමන්ගෙ ස්වාමි පුරුෂයාගේ පේ‍්‍රමය ලබා ගන්න අබිසාරිකාවක් වෙන්න, නිළියක් වෙන්න. හැබැයි මේ සින්දුව කියන කථක ස්ත‍්‍රිය මේ කතාව කියන්නෙ වෙලා තියෙන ඇබැද්දිය පෙන්නන්න විතරයි. ධනේශ්වර වෙළඳපොළ මේකට සමබන්ධ වෙන්නෙ කොහොමද කියලා එයාට තේරෙන්නෙ නැති වුණාට ප්‍රේමය කියන්නෙ මේ තියෙන පවුල ඇතුළෙ හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා නම් එයා තේරුම් අරගෙන ඉවරයි.
ස්ත‍්‍රීවාදී පර්යාලෝකයකින් මේ සින්දුව එක්ක හැසිරුණාම මේ සින්දුව ඇතුළෙන් අපට ඇහෙන්න ගන්නවා හෙන්රික් ඉබ්සන්ගෙ ‘ඩොල්ස් හවුස්’ නාට්‍යයේ නෝරා සද්දෙට වහන් යන දොරේ සද්දෙ. ජීවිතේ හැම කාලෙම පිරිමින්ට ඕන විදියට භූමිකා රඟපාපු ගැහැනියක් තමන්ට අන්දවලා තිබුණ කොස්ටියුම් ගලවලා මේකප් හෝදලා දැම්මට පස්සෙ එයාට දැනෙන නිදහසේ සද්දෙ නිමන්තගෙ සංගීතයෙන් අපිට ඒ සද්දෙ තවත් තීව‍්‍ර කරනවා. මෙච්චර කල් තමන්ගෙන් උදුරාගෙන තිබුණු ගෞරවය ආපහු අත්පත් කරගන්න හ`ඩ නගන ගැහැනියකගේ ආවේගය ඒ සංගීතයෙන් අපට ඇහෙනවා.
අන්තිම අන්තරා කොටසෙ අන්තිම පේළිවලදි මේ සින්දුවෙ කථක ගැහැනිය, තමන් වගේම අනෙක් ගැහැනුන්ට කරන ආරාධනය ස්ත‍්‍රී ධෛර්යයේ ආනුභාවය කොයිතරම්ද කියලා අපට කියනවා. ඒ කියන්නෙ මේ සින්දුව ගැහැනුන්ට තියෙන ඇත්ත අර්බුදය කියලා විතරක් නතර වෙන්නෙ නැතුව තැනිනුත් ඉස්සරහට යනවා. සිංහල සින්දු අතර මේ තරම් නිර්භීත යෝජනා සිදු කර ගැහැනු කටහඬවල් නම් ඇහෙන්නෙම නැති තරම්.
‘ලොව බිරිඳක් වේ නම්
මා වැනි තනිකම හිමි තැන්
තනියට නොහඬන් කිසිදා
මේ ඔබේ ගීතයයි’
ගැහැනුන්ට මේ වගේ ගීතයක් ඕන වෙන්නෙ ඇයි? යථාර්ථය මොකක්ද කියලා තේරුම් අරගෙන ඊට යටත් වෙනවට වඩා වැඩි දෙයක් මේ සින්දුව ගැහැනුන්ගෙන් ඉල්ලා සිටින නිසා. යථාර්ථය ඒ විදියට භාර ගෙන නිහඬ වෙනවද? නැතිනම් ඊට එරෙහිව සටන් කරනවද? මේ පළමුවෙනි ප‍්‍රශ්නයට ‘නෑ’ කියලත් දෙවෙනි ප‍්‍රශ්නයට ‘ඔව්’ කියලත් උත්තර දෙන කොට දැනෙන සුඛ වේදනාවක් තමයි ඒ ඉල්ලීමෙන් අපට දැනෙන්නෙ.
මේ සින්දුව අන්තිම වෙන්න ඇහුවට පස්සෙ බොබ් මාලෙගෙ No Woman No Cry ගීතය නිදහසේ වාදනය වෙන්න ඉඩ දීලා ඔයාලා ටිකක් හිතන්න. වෙන විදියකට එයත් මේ කියලා තියෙන්නෙ ඒකම ද?
බොබ් මාලෙ -No Woman No Cry
Comments
Post a Comment