චිනුවා අචිබි - මානවයකු වීමේ අබිරහස විනිවිද දුටු මනස
අප‍්‍රිකානු ලේඛක චිනුවා අචිබි මිය ගිය අවස්ථාවේ 'නදීන් ගෝඩිමර්' නමැති දකුණු අප‍්‍රිකානු ලේඛිකාව විසින් 'ලන්ඩන් ගාඩියන්' (London Guardian) පුවත්පතට ලියූ ලිපියේ අනුවාදය පහත පළ වේ.
"චිනුවා අචිබි, සිය ප‍්‍රථම නවකතාවට Things Fall Apart යන අපූරු නම සොයා ගත්තේ W.B.Yeats නමැති අයර්ලන්ත කවියාගේ වැකියකිනි. අචිබි උපන් නයිජීරියාවේ යටත් විජිත සමයත් ඉන් පසුව එළඹි සමයත් පිළිබඳ එම නවකතාවේ පුරෝකථනය නිවැරදිය. එය වූකලී නූතන අප‍්‍රිකානු සාහිත්‍යයක ආරම්භක නිර්මාණ කාර්යය විය. එසේම එය නයිජීරියානු ගමක උපන් අචිබි තමන් දැනගත් සාම්ප‍්‍රදායික ප‍්‍රකාශන මාදිලියෙන් ද යටත් විජිත ක‍්‍රමයෙන්, විශේෂයෙන් ඉංග‍්‍රීසි භාෂාවෙන්, අප‍්‍රිකානු විඥානය ගවේෂණය කිරීමට ගත් පළමු උත්සාහය ද විය.
එම පළමු කෘතිය, අචිබිගේ පසුකාලීන කෘති දක්වා ඔහු සතු නිර්මාණ ශක්තීන් වර්ධනය කරවීමට තුඩු දුන්නා පමණක් නොව, අප‍්‍රිකානු ජනතාවගේ ජීවිතය හැඩගැස්වූ නැගිටීම්වලට ද එය ශක්තියක් විය.
ඔහුගේ රටේ ඛේදජනක සිවිල් යුද්ධය ඇවිලෙන කාලය තුළ අචිබි එය අත්දකිමින් ජීවත් විය. ඒ තුළ ලේඛකයකු ලෙස ක‍්‍රියාකාරී වීමෙන් දේශපාලන බලය හමුවේ තම ජීවිතය ද අනතුරට හෙළාගත් ඔහු අවසානයේ දී රටින් පිටුවහල් වී ජීවිතය රැක ගත්තේය. ඇල්බෙයා කැමු, ලේඛකයකු වීම පිළිබඳව වරක් මෙසේ කීය.
"මා ලේඛකයකු මිස අන් කිසිවකු නොවන දිනයේ මා ලේඛකයකු ලෙස අහෝසි වේ."
චිනුවා අචිබි එම උදාන වාක්‍ය සත්‍ය බවට පත් කරමින් සැබැවින්ම සිය ලිවීමේ කාර්ය වෙනුවෙන් පෙනී සිටි අයකු විය. ඔහු එම කාලය තුළ ලියූ නවකතා, කෙටිකතා, රචනා, කවි ආදිය සිය සහෝදර ජනයාගේ ජීවිත පිළිබඳවත් මර්දනය පිළිබඳවත් කළ සැබෑ කෘති විය. ඇත්ත වශයෙන්ම යටත් විජිතවාදය පිළිබඳ අචිබිගේ අර්ථනිරූපණය ඒ තුළ අඩංගු විය. ඔහුගේ රචනා එකතු කළ The Education for a British Protected Child නමැති කෘතිය මෑතකදී යළිත් ප‍්‍රකාශයට පත් කරන ලදී.
විරුද්ධ පක්ෂ තහනම් කරමින්, තමන් ලබා ඇති බලය දූෂිත ලෙස යොදා ගන්නා අප‍්‍රිකාවේ පශ්චාත් යටත් විජිත නායකයන් පිළිබඳව සිය කෘති තුළින් අභියෝග කිරීමට වුව ද අචිබි පැකිළුණේ නැත. උපහාසයේ තියුණු මුවහතින් අචිබි පාඨකයා වෙත දනවන්නේ නිදහස් වූ බව කියන අප‍්‍රිකානු රාජ්‍යයන්හි නිලධාරීන්ගේ කෑදරකම හා එය සාධාරණිකරණය කරන්නට උත්සාහ දරන සමාජ වටපිටාවේ දුබලතා ගැනයි.
Chike and the River නමැති ඔහුගේ කෘතිය 2011 දී යළි ප‍්‍රකාශයට පත් විය. එය මට මහත් සුවිශේෂී අත්දැකීමක් විය. ඇත්තෙන්ම එය දීප්තිමත් මනසකින් කළ රචනාවකි. රචකයා විසින් තම රටේ මෙන්ම සෙසු ලෝකයේ ද වසන මිනිසුන්ගේ ජීවිත තුළ පවතින විවිධත්වය, අබිරහස් බව හා තිබිය හැකි විවිධ සමත්කම් විදාරණය කිරීම එහිදී දක්නට ලැබේ.
"ලිවීමේදී මධ්‍යම ප‍්‍රතිපදාවක් තෝරා ගැනීම ගැන මම කියන්නේ මගේ යටත් විජිත උරුමයන් නිසාය." එසේ කියුවත් ඔහු ලේඛකයකු ලෙස තමන්ගේ වගකීම පැහැර හැරියේ නැත.
"මගේ අත්දැකීම් යනු යටත් විජිත උරුමයන් යැයි කිව්වම සමහරු පුදුම වෙන්න පුළුවන්. එහෙත්, ධාන්‍යවල ඉඳන් පිටි දක්වාත් ඒවා අඹරනු ලබන මෝලත් යන මේ හැමදේම කලාකරුවාගේ. ඇත්ත, එක් ධාන්‍ය ඇටයක් අනෙක් ඇටවලට වඩා පෝෂණ ගුණයෙන් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණත්, අප වෙත ලැබෙන හැම ධාන්‍ය ඇටයකටම පිළිගැනීමක් ලබා දිය යුතුයි. ඒවා ප‍්‍රයෝජනවත් ලෙස භාවිත කළ යුතුයි."
ඔබ කෘතියකින් ආමන්ත‍්‍රණය කරන්නේ කවර පාඨකයකු ගැන හිතේ තියාගෙනදැයි නිර්මාණකරුවකු වෙත ප‍්‍රශ්නයක් යොමු කළ විට ලැබෙන නිරායාස පිළිතුර මෙසේ විය හැකිය. 'අප ලියන්නේ කවුරුන් හෝ එය කියවන අයකු වෙතයි.' තම කෘති සිරගෙවල්වල බිත්තිවලින් ඔබ්බට ගොස් කියවනු ලබන බව දැන ගැනීම ලේඛකයකුට මහත් සතුටක් විය හැකිය. නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීම් ගණනාවක් කළාම කලක් ගතවූ පසුව හෝ දේශපාලන සිරකරුවකු දැකීමට හැකිවීම බඳු ජයග‍්‍රාහී හැඟීමක් එයින් ලැබේ.
අවුරුදු 27 සිරගතව සිටි එක්තරා දේශපාලන සිරකරුවකු අචිබි හඳුනා ගත්තේ තමන් වෙත ගෙන එනු ලැබූ ඔහුගේ කෘති ඇසුරිනි. නෙල්සන් මැන්ඩෙලා නම් ඒ සිරකරුවා තමන් කියැවූ කෘතිවල ලේඛකයා ගැන හඳුනාගෙන තිබුණේ මෙසේය.
"චිනුවා අචිබි කියලා ලේඛකයෙක්ගෙ පොත් මම කියෙව්වා. ඒවා කියවන කොට හිරගෙදර බිත්ති කඩා වැටුණා!"
(අචිබිගේ 91 වැනි ජන්ම සංවත්සරය නොවැම්බර් 16 වැනිදාට යෙදී තිබේ)
Comments
Post a Comment