ඔක්තෝබරය සහ කලාව
ඔක්තොබර් විප්ලවය වූකලී මෙතෙක් මානව ඉතිහාසයේ සිදුවුණු අසිරිමත්ම සංසිද්ධීන් අතරින් එකකි. එය හුදු දේශපාලන බල මාරුවකට එහා ගිය, අපේක්ෂාවන්ගේද, ලාලසාවන්ගේද උත්කෘෂ්ට ප්රකාශමාන වීමක් විය. ඊට සහභාගි වූවෝද ඊට නායකත්වය දෙනු ලැබුවෝද එකී ලාලසාවෙන් අලෝලනය වූවෝ වෙති. ඔවුන් අතර, ශීත මාලිගයට එල්ල කළ ප්‍රහාරයෙන් එහි අලංකාර වීදුරු කැටයම් බිඳී යාම ගැන ශෝකවුණු කොමිසාර්වරයෙක්ද විය. විප්ලවීය ආණ්ඩුවේ ප්‍රථම නෛතික නියෝගය වූෙයේ මොස්කව් ඇතුළු රුසියාවේ සෑම ප්‍රදේශයකම වූ පුරා විද්‍යාත්මක හා කාලාත්මක ස්මාරකවල ආරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයයි. ඒ, පැරණි පාලනයේ සංකේත කෙරෙහි කොපාවිෂ්ට වූ කම්කරුවන් ඒවා බිඳ දැමීමට ඉඩ තිබුණු බැවිනි.
විප්ලවයෙන් අනතුරුව ඒ ආසන්නයේම පැන නැගුණු සෝවියට් කලාව ආකෘතියෙන්ද අන්තර්ගතයෙන්ද මානව සංස්කෘතියේ විශිෂ්ට දායාදයෝ වෙති. සාහිත්‍ය, චිත්‍ර හා මූර්ති කලාව, නාට්‍ය හා සිනමා කලාව ආදී සකල විධ කාලාංගයන්ගේ නියැළුණු ඉදිරිගාමී ම කොටස් විප්ලවයට ආකර්ශනය වූ අතර පෙරලා විප්ලවය සංස්කෘතික වශයෙන් පෝෂණය කරවීය. චිත්‍ර කලාවේදී වසිලි කැන්ඩින්ස්කි, නාට්‍යවේදී මෙයර්හොල්ඞ්, මුර්ති ශිල්පී ව්ලැද්මීර් ටැට්ලින් මේ අතරින් කිහිප දෙනෙකි.
ඔවුන්ගේ කලාත්මක පැවැත්ම හුදු ‘ඔක්තෝබර් විප්ලවය’ වර්ණනා කිරීමකට සීමා නොවීය, ඔක්තෝබර් විප්ලවයේ ආවේශයෙන් ආලෝලනය වූ ඔවුහු දේශපාලන ජීවිතයේ, ආර්ථික ජීවිතයේ, සංස්කෘතික ජීවිතයේ පමණක් නොව සොබාදහමේද සකල විධ කලාපයන් විනිවිද දැකීමේ කලාත්මක අධිෂ්ඨානයෙන් මෙහෙයවනු ලැබුවෝ වූහ. තුන්වන ජාත්‍යන්තරය සැමරීම සඳහා ව්ලැද්මීර් ටැට්ලින් සැලසුම් කළ ති්රපාද කුළුණ ඉදි වූවා නම්, පැරීසියේ අයිෆල් කුළුනට වඩා උස්වන අතර එහි සර්පිලාකාර සැකැස්ම ති‍්‍රමාන අවකාශය මත මෙතෙක් මිනිසා ගොඩනැඟූ සංකිර්ණතම රේඛා ව්‍යුහයක් සහිත කලාත්මක ගොඩනැංවීමක් වීමට ඉඩ තිබුණි.
එහෙත්, පසුකාලීනව රුසියාවේ සිදුවූ නිලධාරිවාදී අපගමනයන් මත මර්දනය කෙරුණේ එවන් සුවිසල් කලාවක උරුමයයි. එයින් මතු තහවුරු කෙරුණේ පසුකාලීනව ‘සෝවියට් කලාව’ යනුවෙන් හැඳින්වූ සරල ප්රචරකවාදී කලාවයි. එබැවින් අද දින ‘සෝවියට් කලාව’ යනුවෙන් බොහෝ විට හඳුනා ගැනෙනුයේ විප්ලවයේ ඉහත කී කලාත්මක උරුමය දවා හළු කොට ඒ මත නිලධරයන් ගොඩ නැගු ප්රචාරකවාදී කලාත්මක උරුමයයි. ඉතින් තවත් ඔක්තෝබරයක ‘රළ’ සංස්කෘතික අතිරේකයේ මුල් පිටුව සඳහා අප තෝරා ගනුයේ පසුකාලීන ප්රචාරකවාදී, නිලධාරිවාදී කලාවෙන් යට කොට දැමු විප්ලවීය කලා උරුමයේ අනුස්මරණීය කලා කෘතියක් ලෙස සැලකෙන In Gray(1919) නමැති සිතුවමයි.
ඒ, ඔක්තෝර් විප්ලවයේ කලාත්මක උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙනි.
Comments
Post a Comment