නිම්නාට මිස ඉතිහාසයට සුරතාන්තයක් නැත!
(කෞශල්‍ය කුමාරසිංහ ලියූ 'නිම්නාගේ ඉතිහාසය' කෘතිය පිළිබඳ කියැවීමක්)
නිම්නාගේ උපතත්, ඇගේ පියා වූ අමරගේ විපතත් බර්ලින් තාප්පය බිඳ වැටෙන දිනයේම සිදුවීම කිසිසේත්ම අහම්බයක් නොවන අතර නවකතාව නිශ්චිතවම දේශපාලනික එළඹුමක පිහිටුවීමකි. විය යුතු පරිද්දෙන්ම ඉනික්බිති නිම්නාගේ පැවැත්මේ චලනය සිදු වන්නේ ෆුකුයාමා විසින් ‘ඉතිහාසයේ අවසානය පිළිබඳ උදාන වාක්‍ය’ නිවේදනය කරන පසුබිමකය. පාරිභෝජනවාදයම මිස වෙනත් පුරුෂාර්ථයක් උත්කර්ෂයට නොනංවන ලද සමාජ මොහොතක් තුළ ‘නිම්නා නම් ශරීරය’ මිස ‘මිනිස් ජීවිතයක්’ අපට මුණ නොගැසේ. එනිසා ම ඇගේ වංශාවලිය තුළ රමණී හෝ චාලට් හෝ ඇග්නස් හෝ මිලි නෝනා හෝ මුහුණ දුන් ආත්මීය කම්පනයන්ට නිම්නා අභිමුඛ වන්නේ මඳ වශයෙනි. ඇය වග කියන්නේ ශරීරයටත් ඉන් කැණ ගත හැකි ප‍්‍රමෝදයටත් පමණි. මෙනිසාම නිම්නාගේ චරිතය නිරූපණය කිරීමේදී ඇගේ විලාසිතාමය සර්වාංගය වචනානුසාරී ඡායාරූපයකට නැගීමට වඩා යමක් කතුවරයා විසින් කළ යුතු නොවේ.
ගුචි ගිල්ටි සුවඳ විලවුන් බඳුනකින්, බෙල්ජියම් චොක්ලට් කුකීස් පෙට්ටියකින්, අවිරාටේ ගවුමකින්, ඇපල් අයිපෝනයේ ඡුායාරූප සංස්කරණ මෘදුකාංගයකින් සන්තර්පණය වන්නට තරම් ඇගේ විශ්වය කුඩා වන අතර කොටින්ම වහලය රහිත BMW sports කාරයකට පවා ඇයව සුරතාන්තයට පත් කළ හැකිය. ඊට ලස්සන මනුෂ්‍ය සබ`දතාවයක් හෝ මනුෂ්‍ය සරාගයක් අවශ්‍ය නොවේ.
"Come to my lap'ill guide' (මගෙ ඔඩොක්කුවට එන්න. මං කියල දෙන්නං.) ඔහු පැරණි පාර්ලිමේන්තුවේ බණ්ඩාරනායක ප‍්‍රතිමාව ඉදිරියේ වාහනය නතර කර සිය අසුන පසුපසට කර ඇයට තම උකුළ මතට ගොඩ වීමට ඉඩ දෙන්නේ ඈ පිළිතුරු දෙන්නත් කලින්. නිම්නා සිය සපත්තු ගලවා ඔහුගේ අසුනට පැන ඔහුගේ උකුල මත වාඩි වූ සැණින් වාහනය ශබ්ද නගා රේස් කළ ඔහු එය නැවතත් ගාලු පාරට අවතීර්ණ කළා. තවමත් එක්සලේටරය පාලනය කළේ ඔහු. ඒ වගේම කාරයේ කුඩා සුක්කානම මත තවමත් ඔහුගේ අත් රැඳී තිබුණා. නිම්නාට කිසිසේත්ම ඔහුගේ ශරීරය මේ වාහනයෙන් වෙන් කර තේරුම් ගන්න පුළුවන් වුණේ නැහැ. ඈට දැනුනේ ඔහුත් මේ BMW රථයේම දිගුවක් හැටියට පමණයි. මිනිස් පහස විසින් ඇති කරන කිසිදු සුවිශේෂී අනුරාගයක් ඇය කරා පැමිණියේ නැති බව ඔබට වටහාගන්න ඒ තරම් අසීරු නැහැ. ඒ හුරුබුහුටි සුක්කානම මත ඇති ඔහුගේ අත් සුක්කානමේම කොටසක් වූ අතර ඔහුගේ උකුළ මේ සුවපහසු ලෙදර් ආසනයේම කොටසක්. වේගයෙන් කොල්ලුපිටිය දෙසට වාහනය ඇදෙන අතරේ ඔහුගේ අතක් සුක්කානමෙන් ඉවත් වී මොහොතක් ඇගේ කලවා මත නැවතුණා. ඉන් පසු ඒ අත ඇගේ සාය තුළ ගිලී ගිය විට ඇයද සිය අතක් සුක්කානමෙන් ඉවතට ගෙන ඔහුගේ අත පසුපස ගොස් ඒ ඇඟිලි මෙහෙයවන්නට වුණා. ඇයට දැනුනෙ විඥානයෙන් තොර වාහනයේම කොටසක් තමා සුරතාන්තයට පත් කරන්නට උත්සාහ කරන බවක් පමණයි. ඇය එය මෙහෙයවන්නේ ඒ නිසයි. වාහනයේ වේගය... කඩා වදින සුළඟ... හා සංගීතය මැද මේ තරු පිරුණු අහස යට ඈ සුරතාන්තයට පත් වන විට තවමත් ඉදි නොවූ ෂැංග‍්‍රිලා පසුවෙමින් තිබුණා"
(පි.571)
ඇග්නස් විසූ යටත් විජිත යුගය හා සසඳද්දී නිම්නා භුක්ති විඳිමින් සිටිනවා යැයි අපටද හැගෙන ලිංගිකත්වයේ විවෘතභාවය වටහාගත යුතුව තිබෙන්නේම පාරිභෝජනවාදයේම ප‍්‍රකාශනයක් ලෙසිනි. මානවීයත්වය නමැති සාරයෙන් මුදා මිනිසුන් හුදු ‘දේවල්’ හෝ ‘භාණ්ඩ’ සමූහයක් බවට උෘනනය කොට ඇති සමාජ මොහොතක ඇත්තේ උපයෝගීතාවයේ රැහැන් පොටවල් පමණි. එකම මොහොතක හාස්‍යජනක මිත‍්‍ර සංවාදයකුත්, දාර්ශනික දේශපාලනික සංවාදයකුත්, හුරතල් ආදර සංවාදයකුත්, ස්වයං වින්දනීය කාම සංවාදයකුත් එකවර කළ හැකි ඉන්ද්‍රජාලික ආදරවන්තයා බවට අරවින්ද වැනි චරිත පත් වන්නේත්, එවැනිම අනුරාගික සංවාද සමූහයක් නඩත්තු කරන නිම්නා අරවින්දගේ පේ‍්‍රමයේ ආචාර ධාර්මික විලාසය ප‍්‍රශ්න කරන්නේත් මේ සන්දර්භය තුළය.
යුද්ධය අවසාන වීමෙන් පසු උන් හිටි හැටියේ අධිනිශ්චය වූ ජාත්‍යනුරාගය, දේශවාත්සල්‍යය විසින් සමාජ ආර්ථික දේශපාලන භූ සිතියම තුළ බොරු වළවල් බොහොමයක් කණින්නට ගන්නා අතර යුගයේ වික‍්‍රමාන්විත භාවය ලෙස කල්පනාවට ගන්නේ එකී බොරු වළවල්වලට උඩින් ජව සම්පන්න පිම්මක් පනින්නේ කෙසේ දැයි යන කාරණාවය. එහි ලා සිදු වීමට නියමිත මාරාන්තික අත්වැරැද්ද නම් සමාජය විසින් සත්‍ය වශයෙන්ම තීරණය කළ යුතු අඳුරු ආගාධය ඇසටත් නුවණැසටත් නොපෙනී යාමය.
අර්බුදයේ තීව‍්‍රතාව උග‍්‍ර වන්නේ අබග්ගය සිද්ද වන මොහොතේත් එහි අක් මුල් දිගේලි වන ඓතිහාසික කොන්දේසි පිළිබ`ද වන නිම්නාගේ නොදැනුමෙහිය. ඇතැම් විට පාරිභෝජනවාදයෙහි අරුමැසි දඩබිම තුළ තමන් දඩයමක් බවට පත් වෙමින් තිබීම පිළිබ`දවත් ඔවුන් සවිඤ්ඤාණක නොවේ.
ඔවුන් කරා සවිඤ්ඤාණකත්වය රැුගෙන යා යුත්තේ කවුද? ඔවුන් කරා සබුද්ධිකභාවය රැගෙන යා හැක්කේ කාටද? ඇගේ පියා නියෝජනය කළ පැරණි දේශපාලන ජීවියාගේ පැවැත්ම තවදුරටත් යථාර්ථයක් නොවන වටපිටාවකදී නිම්නලාට සාරය එන්නත් කිරීමේ වගකීම පැවරෙන්නේ අරවින්ද ලාට බව නොකිවමනාය. එහෙත් අමර තරම් අරවින්ද බැරෑරුම් යැයි නොහැඟී යන්නේ ධනවාදයේ නව නිමේෂයන් තුළ ‘ඇකඩමික් වාමාංශිකයා’ගේ භූමිකාවද විලාසිතාමය අර්ථයකට ලඝු කොට ඇති නිසාය. පොදුජන සමාජය මෙකී ඇකඩමික් වාමාංශිකයන්ගේ ක‍්‍රියාකාරීත්වය කියවා ගන්නේ දේශපාලන පෙරමුණක් ලෙස නොව කිසියම් ආකාරයක විකල්ප සංස්කෘතික නිකායක් ලෙසිනි. සිය සමීපතමයන් පවා වෙනස් කිරීමේ විභවතාවක් සහිත භෞතික බලයක් ඔවුන්ගේ අදහස් පද්ධතිය වටා ගොඩනැඟී නැත.
ජීවිතය පිළිබඳ නිම්නාගේ විචිත‍්‍ර පරිකල්පනය ඉරි තලා යන මොහොතේ නව යථාර්ථයක් ගවේෂණය කිරීමේ මානසික මෙහෙයුම සඳහා ඇය නැඹුරු වනු ඇත්තේ අරවින්දලාගේ දේශපාලන විග‍්‍රහයන් වෙතටද? නොඑසේ නම් බුද්ධ, ඕෂෝ හෝ ක‍්‍රිෂ්ණ මූර්ති වෙතටද? නිර්වාණය පිලිබදව විශ්මි ගේ අලුත් උනන්දුව අපට කියන රහස නම් ඔවුන් අරවින්ද ලා වැනි ක්‍රියාකාරිකයන්ට වඩා ලෝකය පිලිබඳ පැරණි දැනුම දරාගත් අතීත මුනිවරයන්ට වඩා සමීප වන වගය.
මුල, මැද, අග මැනවින් පූර්වාපර සන්ධි ගලපන ලද රසවත් කතාන්දරයක් හමුවන බැවින් සිහින පිළිබඳ ෆ්‍රොයිඩියානු විශ්ලේෂණ නොදන්නා පාඨකයකුටත් කෘතිය බිම තබන්නට සිතෙන්නේ නැත. ලංකාවේ පාඨක අවකාශය පිළිබඳ කතුවරයා හොඳින්ම දැනුවත් වග පෙනෙන්නේ පොදු පාඨකයාත් විදග්ධ පාඨකයාත් එකවරම ආකර්ෂණය කර ගත හැකි සාහිත්‍ය උපක‍්‍රම ඔහු විසින් ප‍්‍රගුණ කරනු ලැබ ඇති බැවිනි. (මේ සාහිත්‍ය උපක‍්‍රම ඔහු මුලින්ම සොයා ගන්නේ සිය පළමු කෘතිය වූ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ කෘතියේදීය.) කෙසේ වෙතත් කතාන්දරය නවකතාවක් බවට ඔසවා තබන ආඛ්‍යානමය දීප්තිය ඇස ගැටෙන්නේ කෘතිය සංකේතාත්මක කියවීමකට ලක් කරද්දීය.
‘කුළුණක් නැතුව නගරයකට පවතින්න බැහැ’ යනුවෙන් කතුවරයා නැවත නැවත ලියද්දී අපට හැඟෙන්නේ කුළුණ නොමැතිව නවකතාවට ද පවතින්නට බැරි වගය. ආඛ්‍යානය විසින් ආවරණය කරනු ලබන සමාජ සංස්කෘතික දේශපාලනික කලාපය වඩ වඩාත් පැහැදිලි කරන ආලෝක කදම්භය එල්ල කරනු ලබන්නේ කුළුණ නමැති රූපකය හරහාය. එය නවකතාව තුළ බහුකාර්ය මෙවළමක් බවට පත් වන අයුරු ඉවසිලිවන්ත කියවීමකදී අපට හඳුනාගත හැකිය. එක පැත්තකින් කෘතියේ තේමාත්මක මානය තීව‍්‍ර කරන අතර අනෙක් අතට චෛතසිකයන්ගේ අපූර්ව සංකීර්ණත්වය හෙළි පෙහෙළි කර ගැනීමට රුකුලක් සපයයි.
උදාහරණයක් වශයෙන් අපට මෙසේ ලිවිය හැකිය. නිම්නාගේ පියා වූ අමරගේ චරිතය ඇසුරේ කුළුණ නමැති රූපකය ඉතිහාසයේ දයලෙක්තිකය පිළිබඳ සංඥාව දනවන අතර නිම්නා විෂයෙහි දනවනු ලබන්නේ කවර ලක්ෂ්‍යයකදීවත් සෑහීමකට පත් නොවන උමතු පරිභෝජනවාදයක සලකුණය. ඒ ආශාවේ ස්වභාවය මෙපරිදිය.
"මීට වසර පහකට පමණ පෙර තමන්ට තෑග්ගක් ලෙස සුදුමාමාගෙන් ලැබුණු තමාගේ පළමු ස්මාර්ට්ෆෝන් එක ගැන සිතන විට මේ දක්වා සිදු වී ඇති වෙනස්වීම් ඇයට අනාගතය පිළිබඳ රැගෙන ආවේ සුබවාදී ආහ්ලාදයක්. තව කොච්චර වෙනස් වෙයිද? ඈට නිතරම හිතුණා. තාරා සහ අරවින්ද දෙදෙනාම කියන්නේ මේ විදිහට ලෝකයට ඉදිරියට යා නොහැකි බව වුණත් ඇයට එය වැටහුණේම නැහැ. ඇයි බැරි? ඇය බලන් හිටියෙ මිනිසුන් ඔන්ලයින් ඇණවුම් කළ බඩු අරගෙන ඇමසෝන් රොබෝවරු පියාඹන ආකාශය දිහා තමා අනාගතයේ ජීවත් වන මහල් නිවාසයේ මුහුද දෙසට ඇරුණු සඳළුතලයේ සිට බලා ඉන්න."
(පි 510)
දුලිප්, වන්දනා හෝ විශ්මි විසින් ලිංගි කය තුළ කරනු ලබන නව්‍ය අත්හදා බැලීම් වූ කලී ද කිසිදා දිව්‍යලෝකය මුණ නොගැසෙන පර්යේෂණ කලාපයකි.
නිම්නාගේ ඉතිහාසය යනු අබිරහස් බර්මියුඩාවක් නොවේ. ඒ වූ කලී සියවසකට මඳක් වැඩි ලංකාවේ ඉතිහාසයයි. එහෙත් මේ දක්වා ලියැවුණු ඉතිහාස කතා වලට වඩා නිම්නාගේ කතාව වෙනස් වන්නේ එය ඉතිහාසයේ පුලින තලාවෙන් සදාතනිකවම වැසී යාමට නියමිත ක්ෂුද්‍ර මිනිසුන්ගේ ක්ෂුද්‍ර ජීවන නිමේෂයන් අප හමුවට පමුණුවන බැවිනි.
අප මෙම ලියමන තුළ උත්සාහ ගත්තේ කෘතිය විසින් මතු කෙරෙන කලාත්මක දේශපාලනිකය වෙත කිසියම් ආලෝක ධාරාවක් එල්ල කිරීමටය. එහිදී කෘතිය විසින් මතු කෙරෙන ඇතැම් දාර්ශනික අන්තර් දෘෂ්ටීන් සහ සාහිත්‍යමය ජීව ගුණය අරභයා වූ රසාස්වාදය මග හැරී ඇති වග නිසැකය. අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීමේදී කතුවරයාගේ වරණයන් ඔහු විසින් ආවරණය කිරීමට අපේක්ෂිත සමාජ නිමේෂයන්ගේ ඓතිහාසික සමස්තය ඌනතාවයකින් තොරව දරා සිටී. එබඳු අවස්ථා අතරින් එකක් දෙකක් හෝ සඳහන් නොකරන්නේ නම් එය කෘතියට කරනු ලබන අසාධාරණයකි.
දෙදහස් නවයේ මැයි දහ අට වෙනි දා නිම්නාගේ හැසිරීම එක්තරා විදියක උභතෝකෝටිකයක් ද, විචිකිච්ඡාවක් ද ශේෂ කරන්නකි. ඒ එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන නිම්නලා බොහෝ දෙනෙකු යුධ ජයග‍්‍රහණය නමැති ‘විනෝද සැණකෙළියේ’ උද්යෝගීමත් හවුල්කාරියන් වූ බැවිනි. එහෙත් ප‍්‍රබන්ධ යථාර්ථයක දී නිම්නාට ජාතික කොඩියේ සිංහයා වෙනුවට දඩාවතේ යන ‘පපීන්‍යා’ හමුවීම විශ්වසනීයත්වයෙන් යුතුව බාර ගන්නට බැරි කමක් ද නැත. ඇතැම් විට Facebook අවකාශය තුළ හදිසි අතුරුදන් වීමෙන් පසු ඇගේ පුනරාගමනය සිදු වනු ඇත්තේ කිනම් ස්වරූපයකින් ද යන්න පිළිබඳ ඉඟියක් සපයා ගැනීමට ද අවස්ථාවක් ඒ අවස්ථා නිරූපණය තුළ නැතුවා නොවේ.
Comments
Post a Comment