ගිනිගත් සමාජයක නඩු විභාගය හෙවත් Trial by Fire

 



ඔහු සමාජයෙන් හංවඩු ගසා කොන්කරන ලද පහළ සමාජ ස්ථරයකට අයත් තරුණ පියෙකි. විරැකියවෙන් හා එයටම බැදුණු දරිද්‍රතාවයෙන් පීඩාවිදින පවුලක ස්වභාවයෙන්ම ඇතිවෙන අඩදබර බහුල යුවලක්. හදිසියේම නිවසේ ඇතිවෙන ගින්නකින් ඔවුන්ගේ දියණියන් තිදෙනා ඛේදජනක ලෙස මියයයි. සිය දියණියන් තිදෙනා පණපිටින් ගිනි තබා ඝාතනය කළ රාක්ෂසයකු ලෙස අධිකරණයෙන් තීන්දුවන අපගේ කථානායකයා වන Todd Cameronට මරණ දඩුවම නියම වෙයි.

කොළඹ මුඩුක්කුවාසී තරුණයකු දුටු විට බොහෝ දෙනකු ඔහුව දකිනුයේ කුඩුකාරයකු, සොරෙකු වැනි අපගේ සිත් තුළ අපම ගොඩනගාගන්නා ලද රාමුවක් තුළ ඔහුව ස්ථානගත කොටය. යම් තැනක සොරකමක් හෝ වෙනත් අපරාධයක්වූ විට වැරදීමකින් හෝ ඒ අවට මෙවැනි සමාජ ස්ථරයකට අයත් තරුණයකු දුටුවහොත් බොහෝ විට ඔහු මෙම අපරාධය කළ බවට පූර්ව නිගමනයක් ඇතිවෙයි. පොලිසියටද ඉහළින් මත්ද්‍රව්‍ය හෝ වෙනයම් වැටලීමක් කිරීමට අවශ්‍යයවූ විට ඔවුන් සිදුකරන්නේද මෙවන් පෙදෙසකට ගොස් අසුවන තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමය. පසුගිය දිනෙක ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ උද්ඝෝෂණයක් අතරතුර කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී මලික අබේකෝන් සහෝදරයා අත්අඩංගුවට ගැනෙන්නේද ඔහුගේ බාහිර පෙනුම මතය. මෙය ඇතැම් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් සමබන්ධයෙන්ද කි‍්‍රයාත්මක වෙයි. ශී‍්‍ර ලංකාව වැනි ආසියාතික රටවල පමණක් නොව දියුණු යැයි සම්මත යුරෝපානු රටවල පවා මෙම තත්වය අපට දැකගත හැකිය. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වුණු ඇමරිකානු පොලිසිය මගින් සිදු කළ ජෝර්ජ් ෆ්ලොයිඞ් නම් අප‍්‍රිකා-අමෙරිකානුවාගේ් ඝාතනයත් එයින් ජීවය ලද ඊක්ජන ඛසඩැි ඵ්ඒඒැර ව්‍යාපාරයත් මෙම වෙනස් කොට සැලකීම නිසා ඇතිවූ පීඩනයේ පොලාපැනීමකි.

මෙවැනි යම් යම් සමාජ ස්ථරයන් අතර යම් ආකාරයක අපරාධමය ස්වභාවයේ කි‍්‍රයාවන් සාපේක්ෂ ලෙස ඉහළ අගයක් ගැනීමට හේතු වන්නේද ඔවුන්ව පිළිකුල් කරන සමාජයමය. ආර්ථිකමය අසමානතාවත් ඒ තුළින්ම හටගැනෙන සංස්කෘතිකමය දරිද්‍රතාව ආදියත් මීට හේතුවන අතර මේ එකිනෙක විෂම චක‍්‍රයක් ලෙස එකිනෙක මත යැපෙමින් කි‍්‍රයාත්මක වෙයි. යම් ආකාරයක ප‍්‍රචණ්ඩ ස්වරූපයෙන් පරාවර්තනය වන්නේ ඔවුන් ජීවිතයේ මුහුණ දෙන පීඩාවේ ම විලාපය මිස අන් යමක් නොවෙයි.

Todd ගේ දරුවන්ගේ මරණය මාධ්‍යට විකිණිය හැකි උණුසුම් පුවතක් වන අතර අධිකරණයේ තීරණයට පෙර මාධ්‍ය මගින් ඔදාා මිනීරුවෙකු කර අවසන්ය. මෙවැනි සිදුවීම් ගණනාවක් අප පසුගිය කාල සීමාව තුළ අත්විඳි අතර මෙම චිත‍්‍රපටයට පාදක සිදුවීමේ මෙන්ම ඒවායේ අදාළ සැකකරු නිවැරදිකරුවකු බව ඔප්පු වන විට සමාජයීය හා මානසික ලෙස අදාළ තැනැත්තාට නැවත පිරිමැසීමට නොහැකි හානියක් සිදු වී අවසන්ය. එලෙස නිවැරදිකරුවකුව නිදහස්ව පැමිණ පීඩනය දරාගත නොහැකිව සියදිවි නසාගත් සිදුවීම් පවා පසුගිය කාලයේ වාර්තා වූ අතර ඒවා සියදිවි නසා ගැනීමකට වඩා අනියම් ආකාරයේ මනුෂ්‍යය ඝාතනයන්ය. මරණ දණ්ඩනය කි‍්‍රයාත්මකවූ කාලයේ අමෙරිකාවේ විශේෂයෙන් ටෙක්සාස් වැනි ප‍්‍රාන්තයන් තුළ මෙවැනි ඛේදවාචකයන් බොහෝ සිදු විය. එහිදී මරණ දණ්ඩනයට ලක්වූ පිරිස අතරින් සාතිශය බහුතරයක් අප‍්‍රිකානු-අමෙරිකානු ජාතිකයන් හා දරිද්‍රතාවයේ ගිලූණු පුද්ගලයන් විය.

මෙවැනි පිරිස් සම්බන්ධයෙන් සමාජයේ පවතින මතය අධිකරණය පොලිසිය සහ අනෙකුත් ආයතන පද්ධතීන් වෙතත් බලපාන අතරම මාධ්‍ය මගින් ඇතිකරන මතවාදයන් වලටද එම පිරිස් ගොදුරු වෙයි. මෙහි Todd සම්බන්ධයෙන් පොලිසිය, විශේෂඥයන් ඇතුලූ සියලූ දෙනා ඔහු මෙම අපරාධය කළ බවට වූ අනියම් පූර්ව නිගමනය මත සිට එය තහවුරු කර ගැනීමට අදාළව කරුණු සොයයි. විනිශ්චයකාරවරයා, ජූරි සභාව ඇතුලූ සියල්ලන් එම ස්ථාවරයේ සිටින බැවින් විමර්ශන කටයුතු වල පැවති දුර්වලතා කිසිවෙකුගේ අවධානයට යොමු නොවෙයි. පසුකාලීනව Todd වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා ප‍්‍රකාශ කරනුයේ තමාද මෙම තැනැත්තා මෙම අපරාධය කළ බව විශ්වාස කරන බවයි. මෙම සමාජ මතය කෙතරම් ප‍්‍රබලද යත් අවසානයේ මෙම අපරාධය නොකළ බව කොතරම් දැන සිටියත් ඔහුගේ බිරිඳට ද මාධ්‍ය ඉදිරියේ එය ප‍්‍රකාශ කිරීමට නොහැකි වේ. 

බටහිර සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් වැනි කරුණු පිළිබඳව නිරන්තරයෙන් කතාබහ සිදුකරන නමුත් මෙම සිනමා නිර්මාණයේ Toddගේ සිරකුටියට යාබද සිරකුටියේ සිටින අප‍්‍රිකානු-අමෙරිකානුවා ඇමරිකාවේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය අර්ථකතනය කරනුයේ "සියලූ දෙනාටම එක හා සමාන අයිස් ප‍්‍රමාණයක් ලැබෙයි, නමුත් පොහොසතුන්ට එය ලැබෙන්නේ ග‍්‍රීෂ්ම සමයේදීය" ලෙසින්ය. එනම් සමානාත්මතාව ඇත්තේ පෙනෙන්නටය. නමුත් සත්‍ය වශයෙන් එවැන්නක් නොපවතී. මෙහිදී Toddට වඩා දක්ෂ නීතීඥවරයකුගේ සේවය ලබාගැනීමට හැකියාවක් නොලැබෙන අතර රජයෙන් ලබාදෙන නීතිඥයකුගේ සහායෙන් සෑහීමකට පත්වීමට සිදුවෙයි. එලෙසම ඔහුගේ නිරවද්‍යතාවය ඔප්පු කිරීමට අවැසි පරීක්ෂණ හා විශේෂඥයන්ගේ සහය ලබාගැනීමටද ඔහුට වත්කමක් නොමැත. අවසානයේ අධිකරණය ඉදිරියේ සියල්ලන් සමාන ලෙසින් පැවසුවද එය එසේ නොවන බව පසක් වෙයි.

සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය වූ Trial by Fire කුතුහලය සමගින් සංවේදී අවසානයක් වෙත අපව රැගෙන යයි. වින්දිතයාගේ කෝණයෙන් මෙහි සිදුවීම් දකින අපට මොහොතකට ඔහු මුහුණ දෙන යථාර්ථයට අප අභිමුඛ වූයේ නම් අප මීට වෙනස් ආකාරයකට හැසිරෙනු ඇද්දැයි යන පැනය ද අප වෙත පැන නගී. මරණ දණ්ඩනය නොමැතිවුවද මෑත කාලීන පාස්කු ප‍්‍රහාරය ඇතුළු බොහෝ සිදුවීම් වලදී කිසිදු අදාළත්වයක් නොමැතිව යම් ජන කොට්ඨාසයකට අයත්වීම යන පදනම මතම ද`ඩුවම් වි`දීමට සිදුව සිටින පිරිස් අපටද හමුවෙයි. 

Comments

Popular posts from this blog

'දැවෙන විහගුන්' සහ දැවෙන ප‍්‍රශ්න

ආදරය, වෛරය සහ සමාජය අතර රජා සහ වහලා

වම කූඹි කෑවද ‘සහෝදරයා‘ අපේ සහෝදරයාද?