'නිදහස් අධ්‍යාපනයේ ගීතය'
පද රචනය - විදර්ශන කන්නංගර
සංගීතය සහ ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
සාහිත්‍ය-කලා ව්‍යාපෘති ඇතුළෙ සෑහෙන්න ඇහෙන වචනයක් තමයි ‘සර්වකාලීනත්වය’ කියන්නෙ. ඒ වචනෙ ඇතුළෙම විරුද්ධාභාසයක් (paradox) එකක් තිබුණට සාමාන්‍යයෙන් ඒකෙන් කියවෙන අර්ථය ගැන මේ ව්‍යාපෘති ඇතුළෙ ඉන්න අයට පොදු අදහසක් තියෙනවා.
බොහෝ විශිෂ්ට කලාකරුවන් ඒ වගේ ‘උත්තර්-ඓතිහාසික’ නිර්මාණ බිහි කරලා තියෙනවා. අපි ඒවා ඉතාම ආදරයෙන් බදා වැලඳ ගන්නවා. ඒත් ඒකෙන් කියැවෙන්නෙ නෑ අපි ‘සර්වකාලීනත්වය’ හා බැඳුණු දේශපාලන, ආර්ථික හා සමාජයීය මොහොත අමතක කළ යුතු බව. අර කියන උත්තර්-ඓතිහාසික බව දරාගෙන ම අපට සිදු වෙනවා කලාකරුවන් විදියට අප ජීවත්වන මේ මොහොතට අදාළ අපගේ ප‍්‍රතිචාර දක්වන්න. ‘නිදහස් අධ්‍යාපනයේ ගීතය’ අපි ස්ථානගත කර ගන්නෙ ඒ වගේ මැදිහත් වීමක් විදියට.
නව ලිබරල් ධනේශ්වර මොහොතක ‘නිදහස’ කියන වචනෙ වලංගු වෙන්නෙ වෙළඳපොළ අර්ථයකින් විතරයි. එබඳු මොහොතක අධ්‍යාපනයේ නිදහස මෙන්ම නිදහස් අධ්‍යාපනය පිළිබඳ සංවාදය ඉදිරියට ගැනීම කියන්නෙ ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවන්ට අභියෝග කිරීමක්.
හැම දේම විකිණෙන සමාජයක අධ්‍යාපනය විතරක්වත් ඒ ප‍්‍රාග්ධනයේ ලාභ කේන්ද්‍ර‍්‍රීය තර්කණයෙන් බේරාගන්න ඕන මොකක් නිසාද කියලා කියාගෙන තමයි සින්දුව ආරම්භ වෙන්නෙ.
"ලොව දකිනා
මගේ මේ ඇස්
මගේ නොවෙයි
නුඳුනන නුඹගෙයි
හුදී ජන පොදු
සිහිනයන් මට දුන්
සම බිමක ඇහැරෙන
දිනක් වෙනුවෙන්”
සාමූහික සවිඤ්ඤාණකත්වයක් ගොඩනැ`ගීම වෙනුවෙන් අධ්‍යාපනය කියන්නෙ මිනිසා මෙතෙක් නිර්මාණය කර ගොඩනගා ඇති විනා ම ආකෘතිය කියලා කියන්න පුළුවන්. අපි ඒක දරුවන්ට ඉස්කෝලවල කියලා දෙන්නෙ නැති එක වෙනම කාරණයක්. ඒක නිසා තමයි මේ වගේ සින්දු ඕන වෙන්නෙ. හැම දෙනා ම දන්න දෙයක් නම් සින්දුවකින් කියන්න මොකට ද? අපි ඉගෙන ගන්න හැම වචනෙක ම ඉලක්කමක ම පිටිපස්සෙන් මහා මිනිස් ශ‍්‍රමයක වටිනාකම් එකතු වෙලා තියෙන බව උගන්වන එක අපේ අධ්‍යාපන ක‍්‍රියාවලියෙ ම කොටසක් වෙන්න ඕන. ‘ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති’ වගේ දැනුම මිනුම තරගවලින් හොයන සාමාන්‍ය දැනුම ළමයින්ට එන්නත් කරලා නම් මේ කියන වැඬේ කරන්න බෑ.
මිනිස් සමාජයක් ඉගෙන ගන්න ඕන ඇයි? මිනිසා ඉගෙන ගැනීම කියලා වෙන ම ක‍්‍රියාවලියක් විධිමත්ව පටන් ගත්තෙ ඇයි? ඒක පැවැත්ම පිළිබඳ කාරණයෙන් ඉදිරියට ගිය මනුෂ්‍යත්වයට අදාළ සමස්ත සුවිශේෂත්වයන් සමග බැඳ ඇති විෂයක්. ඒක සහජාශය වගේ එකක් නෙවෙයි. මුළුමහත් මානව සමාජයක් පියවරෙන් පියවර තියලා දැනුවත්ව නිෂ්පාදනය කළ එකක්. ඉතින් අපි ඉගෙන ගන්න පටන් ගත්තෙම ඒ මනුෂ්‍යත්වයට අදාළ සුවිශේෂත්වයන් වඩා සුසාධිත ලෙසත් විනයගත ලෙසත් පරිපූර්ණ ලෙස සුපුෂ්පිත කර ගැනීම වෙනුවෙන්. ඉගෙන ගැනීම අයිතියක් වෙන්නෙ අන්න ඒ නිසා.
ප‍්‍රාග්ධනය අපට යෝජනා කරන්නෙ ඒ අයිතිය, ධනපතියන්ගෙ ලාභ ලැබීමේ වුවමනාව වෙනුවෙන් කැප කරන්න කියලා. නිදහස් අධ්‍යාපනය විතරක් බේරා ගැනීම ප‍්‍රමාණවත් නොවෙන්නෙ ඒ නිසා. මොකද, අන්තිමට හුදී ජන පොදු සිහිනය අත හැරලා විෂම බිමක ඇහැරෙන ප‍්‍රාග්ධනයේ කුලී කම්කරුවො ටිකකුයි කුලී හේවායො ටිකකුයි මේ නිදහස් අධ්‍යාපනයේ ¥ පුතුන් ලෙස එළියට එන්නෙ?
ඊනියා නිදහස් අධ්‍යාපනයෙන් ඔබ්බට මේ සටන් පාඨය ගෙන යා යුතු වෙනවා. ‘අධ්‍යාපනයේ නිදහස’ කියන තේමාත්මකය අපට වැදගත් වෙන්නෙ එතැනදි. සින්දුවෙ තියෙන පහත පද අපි මෙතෙක් සාකච්ඡුා කරපු සමස්තය රූපකාත්මකව කැටිකර ගන්න සමත් වෙලා තියෙනවා.
"දිය පොදක
සයුරක් දකින්නට
වැලි බිඳක
විශ්වය දකින්නට”
අධ්‍යාපනයයි ශිෂ්ටාචාරයයි අතරෙ තියෙන සම්බන්ධය ගැන පුදුම හිතෙන දේවල් කියන්න ඉතුරු වෙලා නෑ. ඒ වුණාට අධ්‍යාපනයෙන් ගොඩනගන ‘ශිෂ්ටාචාරමය විනය’යි හමුදාවෙන් ගොඩනගන ‘යුදමය විනය’යි අතර වෙනසක් තියෙනවා. ශිෂ්ටාචාරමය විනය ගොඩනගා ගන්නෙ විචාර, වාද විවාද, ප‍්‍රශ්න කිරීම් මත ගැටුම් ආදිය මතින්. හමුදා විනය ගොඩනගන්නෙ අවිචාරය, ගතානුගතිකත්වය, අණ පිළිපැදීම, යටත් වීම, වගේ එහෙයියාවන් මතින්.
මෙච්චර කාලයක් කොහොම හරි නිදහස් අධයාපනය රැුක ගත්තට අපට ඒ ආයතන ඇතුළෙ අධ්‍යාපනයේ නිදහස තහවුරු කර ගන්න බැරි වෙලා තියෙන හැටි ගී පද රචකයා අපට මතක් කරලා දෙන්නෙ නිදහස් අධ්‍යාප නය වෙනුවෙන් හඬ නගන දේශපාලන හා ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ද චූදිතයන් බවට පත් කරමින් බව අප වටහා ගත යුතුයි. තවම අපි අකුරු ගැස්සෙන සටනට අත තබා නැති බව ඔහු කියන්නෙ මෙහෙමයි.
"අකුරු ගැස්සෙන දවසක
උතුර දකුණට සිහි වෙයි”
ගෑස් මීදුම අතරින් තවම දිලිසෙන එළිය පිළිබඳ අනුරාගය දල්වා ලන මේ සින්දුව මේ මොහොතේ ‘අධ්‍යාපනය’ සම්බන්ධයෙන් සිද්ධ වෙන අරගලයට ඕන කරන අනුප‍්‍රාණය පිඹින්නකි. ඒත් ඒ එක්කම මේ සින්දුවෙන් ඒ අරගලයන්ගේ සීමාවන් ගැන ඉදිරිපත්වන සියුම් විවේචනය ගැනත් අපි සංවේදී වෙන්න ඕන.
එහෙම නැතුව මේක ප‍්‍රශස්තියක් විදියට භාර ගත්තොත් නං අපට ශිෂ්‍යයා දේශපාලනික කරන එක ගැන හිතන්න තව කාලයක් යන්න ඉඩ තියෙනවා.
Comments
Post a Comment